වැරදුණ
පිළිතුරු
මහනුවර හන්තාන
සිරි ධම්මරතන
ත්‍රිපිටක ධර්මායතනාධිපති
රාජකීය පණ්ඩිත
පූලියද්දේ
සුධම්ම හිමි
ලැව් ගින්නක් ඇති වූ මහා වනාන්තරයක් මැදින් භික්ෂූන් වහන්සේ පිරිවරා වඩින
බුදුරජාණන් වහන්සේ ගිනිදැල් පෙන්වා, ගිනිදැල් වැළඳ ගැනීමද හොඳ, සුරූපී ලස්සන
කාන්තාවක් වැළඳ ගැනීම ද හොඳ කියලා ඇසූ ප්‍රශ්නයට භික්ෂූන් වහන්සේ දුන් පිළිතුර වූයේ
ගිනිදැල් වැළඳ ගන්නවාට වඩා සුරූපී කාන්තාවක් වැළඳ ගැනීම හොඳ බව යි.
පින්වත් දරුවනේ, අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා දුන් පිළිතුර අනුමත කළේ
නෑ. “මහණෙනි, ගිනිදැල් වැළඳ ගත්තොත් සිරුර දැවෙයි. තුවාල වෙයි. වේදනා ගෙන දෙයි.
ඇතැම්විට මියයයි. ඒ වුණත් සතර අපායට නම් යන්නේ නෑ.” කියලා බුදුරජාණන් වහන්සේ දේශනා
කළා.
භික්ෂූන් වහන්සේ පිරිවරාගත් බුදුරජාණන් වහන්සේ තවත් ඉදිරියට වැඩම කරනවා. දැල්වෙන
ගිනිදැල් පෙන්වා භික්ෂූන් වහන්සේලාගෙන් මෙසේ විමසනවා.
“මහණෙනි, මේ ගිනිදැල් වැළඳ ගැනීමද හොඳ? එසේත් නැතිනම් පට සිවුරක් පොරවා ගැනීමද හොඳ”
?
භික්ෂූන් වහන්සේ පෙර සේ ම පිළිතුරු දෙනවා. “භාග්‍යවතුන් වහන්ස, ගිනිදැල් වැළඳ
ගත්තොත් ශරීරය දැවෙනවා. තුවාල වෙනවා. වේදනාව ගෙන දෙනවා. එයට වඩා පට සිවුරක් පොරවා
ගැනීම වඩාත් සුදුසු යි. ”
දරුවනේ, බුදුරජාණන් වහන්සේ ඒ පිළිතුර අනුමත කළේ නෑ.
“මහණෙනි, යම් පුද්ගලයෙක් දුශ්ශීලව සිට සිවුරක් පොරවා ගන්නවාට වඩා මේ ගිනිදැල් වැළඳ
ගැනීම හොඳයි. ගින්නෙන් දැවෙයි. තුවාල වෙයි. ඒත් සතර අපායට නම් යන්නේ නෑ.” උන්වහන්සේ
විස්තර කළා.
බුදුරජාණන් වහන්සේ සමඟ භික්ෂූන් වහන්සේ තවත් ඉදිරියට වැඩම කළා. දැන් ගින්න බොහෝ
දුරට නිවී ගිහින්. නිවී යන ගිනිදැල් පෙන්වමින් බුදුරජාණන් වහන්සේ, භික්ෂූන්
වහන්සේගෙන් මෙසේ විමසනවා.
“මහණෙනි, මේ ගිනිදැල් වැළඳ ගැනීම ද හොඳ? එසේත් නැතිනම් ඇල් හාලේ බත් වැළඳීමද හොඳ?”
භික්ෂූන් වහන්සේ පෙර සේ ම පිළිතුරු දුන්නා.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ගිනිදැල් වැළඳීම කිසිසේත් ම නුසුදුසුයි. ඊට වඩා ඇල්
හාලේ බත් වැළඳීම මොන තරම් හොඳද?” දරුවනේ, බුදුරජාණන් වහන්සේ ඒ පිළිතුරක් අනුමත කළේ
නෑ.
“මහණෙනි, දුශ්ශීලව ඉඳලා දානය වළඳනවාට වඩා හොඳයි ගිනිදැල් වැළඳීම.එසේ ගිනිදැල්
වැළඳීමෙන් පිච්චෙයි.තුවාලවෙයි. මියයයි. එහෙත් සතර අපායටනම් යන්නේ නෑ.” කියලා.
උන්වහන්සේ පැහැදිලි කළා.
පෙනෙනවා නේද දරුවනේ, බුදුරජාණන් වහන්සේ පාපයෙහි බරපතළකම පෙන්වා දුන් ආකාරය. මේ
විදිහට පාප කර්මයන්ගේ විපාක දැන ගන්නා අය කවදාවත් වැරැදි කරන්නේ නෑ. එවැනි පව්කම්
කරන දරුණු පුද්ගලයින් පවා මේ විපාක ගැන ඇසීමෙන් දමනය වෙනවා.
දරුවනේ අප මේ කතා කරන්නේ කේශී නම් අශ්වයන් දමනය කරන පුද්ගලයා දරුණු පුද්ගලයන් දමනය
කරන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේගෙන් විමසන ලද අවස්ථාව පිළිබඳව යි. පසුගිය වෙසක්
පෝදා බුදුසරණ පුවත්පතෙන් අපි ඒ ගැන කතා කළා මතකයි නේද?
ඉතින් දරුවනේ, කේශී නැවතත් බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විමසනවා.
“බුදුරජාණන් වහන්ස, අතිශය විපාක ලැබෙන බව කියා දීමෙන් පසුවත් දමනය නො වුණොත් කෙසේද
එවැනි පුද්ගලයන් දමනය කරන්නේ.”
“කේශී, ටිකක් හොඳින් කියලා, ටිකක් නරකින් කියලා දෙනවා. දරුණු ආනිශංසයන් කියලා
දෙනවා. එලෙසත් නොහැකි වුණොත් ඔබ වගේ ම මමත් ඔවුන් මරා දමනවා.”
බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. මේ ඇසූ කේශී කලබල වුණා. බුදුරජාණන් වහන්සේ කවදාවත්
එවැනි ඝාතන කරන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ කේශීගේ සැකය දුරු කළා.
“නෑ කේශී, ඔබ නො දැමුණු අශ්වයන් ඝාතනය කරනවා වගේ මම මිනිසුන් ඝාතනය කරන්නේ නෑ. මම
ඔවුන් මරා දමනවා යැයි කීවේ. අනුශාසනා කිරීමෙන් වළකී සිටිනවා කියල යි. ඒ කියන්නේ කතා
නොකරඉන්නවා. උපදෙස් නො දී ඉන්නවා. එවිට ඔවුන් මරා දැම්මා වගේ තමයි.”බුදුරජාණන්
වහන්සේගේ පැහැදිලි කිරීමෙන් කේශී සැකය දුරු කර ගත්තා.
පින්වත් දරුවනේ, අපේ ජීවිතයේ හමුවන බොහෝ පුද්ගලයන් දමනය නො වූ අය යි. ඒ අය දමනය
කරන්නට ඕනෑ ඔය ක්‍රම හතරට තමයි. එවිට මේ සමාජයම යහපත් වේවි. ඇතැම් පවුල් ජීවිත,
සමහර අපරාධකරුවන්ගේ ජීවිත මේ ක්‍රමවලට යහමගට ගන්නට පුළුවන්. |