[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙවළා බුදු වදන් අතරින් 30 : නැණවතා කෙබඳුද?

තෙවළා බුදු වදන් අතරින් 30 :

නැණවතා කෙබඳුද?

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි භික්ෂූන් වහන්සේ අමතා බාලයාගේ හා පණ්ඩිතයාගේ වෙනස පැහැදිලි කරමින් කළ දේශනාවකි, බාලපණ්ඩිත සූත්‍රය. මැඳුම් සඟියෙහි එන මෙම සූත්‍රයෙහි පණ්ඩිතයා සතු ලක්ෂණ කවරේදැයි විමසා බැලීමෙන් සැබෑ බුද්ධිමතාගේ හා උගතාගේ පෞරුෂය නිවැරැදිව හඳුනාගත හැකි ය.

ලක්ෂණත්‍රයක් බුදුරදුන් විසින් පෙන්වා දෙන ලද පරිදි පණ්ඩිතයෙකු සතු ලක්ෂණ තුන කි. එනම් පණ්ඩිතයා යහපත් චින්තනයෙන් යුක්ත අයෙකි (සුචිත්තිතචින්තිහොති). එසේම යහපත් වචන භාවිත කරන්නෙකි (සුභාසිතභාසි හොති). යහපත් දෑ කරන්නෙකි. (සුකතකම්මකාරී හොති). මේ අනුව යහපත් චින්තනයකින් ද, යහපත් සන්නිවේදන හැකියාවන්ගෙන් ද, යහපත් චර්යා ධර්ම පද්ධතියකින්ද යුක්ත තැනැත්තා පණ්ඩිතයෙකු, උගතෙකු, නැණවතෙකු ලෙස හැඳීන්විය හැකි ය. මෙම ලක්ෂණත්‍රයෙන් පෙන්වා දෙන්නේ තිදොරින් වන අකුසල සහගත චර්යාවන්ගෙන් වැළකුන සදාචාර සම්පන්න උසස් පුද්ගලයෙකි. බුදුසමයට අනුව කෙනෙකු පණ්ඩිතයෙකු වන්නේ අධ්‍යාපනික වශයෙන් අත්පත්කරගන්නා දැනුම අනුව නොවේ. බහුශ්‍රැතබව යට දක්වන ලද ත්‍රිවිධ ලක්ෂණ අනුව ය. අධ්‍යාපනය තුළින් අත්පත්කරගන්නා දැනුම මගින් නිර්මාණය වන්නේ බහුශ්‍රැතයෙකි. බොහෝ ඇසූපිරූ තැන් ඇති අයෙකි. බහුශ්‍රැත බවද බුදුසමයෙන් ඇගයීමට ලක්වේ.

එය අධ්‍යාත්මික ධනයක් ලෙසත් (සුතධන), අභිවෘද්ධිකාරක ධර්මයක් (මංගල) ලෙසත් ධර්මයෙහි දැක්වේ. එහෙත් බාලපණ්ඩිත සූත්‍රයේ දැක්වෙන පරිදි පණ්ඩිතයා එයට හාත් පසින් ම වෙනස් අයෙකි. ඒ අනුව සම්මත අධ්‍යාපනය නොලැබූ කෙනෙකුට වුවද පණ්ඩිතයෙකු විය හැකි ය. ඒ කෙරෙහි ඉවහල් වන්නේ අභිධ්‍යා, ව්‍යාපාද, මිථ්‍යාදෘෂ්ටි යන තෙවැදෑරුම් මනෝ දුශ්චරිතයන්ගෙන් බැහැර වූ සදාචාර සම්පන්න චින්තනයත්, බොරු කීම ආදි වූ සිව් වැදෑරුම් වචී දුශ්චරිතයන්ගෙන් බැහැර වූ යහපත් වාචසික සංවරයත්, ප්‍රාණඝාතාදි ත්‍රිවිධ කායික දුශ්චරිතයන්ගෙන් බැහැර වූ කායික සංවරයත් පමණි. බෞද්ධ විග්‍රහය අනුව පණ්ඩිතයා යනු සදාචාර සම්පන්න උසස් පුද්ගලයෙකි. ඒ සඳහා උපාධි ආදිය ප්‍රමාණකර නොගනී.

තෙවැදෑරුම් සතුටක්

යටකී ලක්ෂණත්‍රයෙන් යුක්ත තැනැත්තා තම සදාචාර සම්පන්න ජීවන පිළිවෙත නිසා මෙලොව වශයෙන් තෙවැදෑරුම් සතුටකට හිමිකම් කියන බව බාලපණ්ඩිත සූත්‍රයේ දැක්වේ. ඒ අනුව සාදාචාරත්මක ශික්ෂණය ගැන අවධාරණය කෙරෙන සැම අවස්ථාවක දී ම තම සදාචාර සම්පන්න ජීවිතය ගැන පණ්ඩිතයා සතුට ට පත්වේ. එය තම නිවැරැදි ජීවන පැවැත්ම නිසා ඇතිවෙන හෘදය සාක්‍ෂිය පදනම්කරගත් ආත්මතෘප්තිය යි. දිට්ඨධම්මවේදනීය වශයෙන් පණ්ඩිතයා ලබන පළමු ආශ්වාදය, මෙය යි.

වැරැදි කළ පුද්ගලයාට ඊට සරිලන දඬුවමක් ලබාදීම පිළිගත් කරුණකි. විවිධ වැරැදි කළ පුද්ගලයන්ට දඬුවම් පමුණුවනු දකින නිවැරැදි අයෙකුට තමා පිළිබඳ සැකයක් හෝ බියක් ඇති නොවන්නේ තමන් නිවැරැදි අයෙකු යැයි තම හෘදය සාක්‍ෂිය අනුව දන්නා බැවිනි.

නීතිය හා සදාචාරය

පණ්ඩිතයාට තමන් වැරැදි නොකළ නිසා දණ්ඩ භීතියක් ඇති නොවේ. නීතිය හා සදාචාරයට අනුගතව තම ජීවිතය ගැඩ ගස්වාගත් පණ්ඩිතයා තමන් නීතිගරුක හා සදාචාර සම්පන්න අයෙකු යැයි සිතා සතුට ට පත්වේ.

මෙය ඔහු මෙලොව වශයෙන් ලබන දෙවන ආශ්වාදයයි.

කවරෙකුට වුව අතීතය සිහිපත් වීම සාමාන්‍ය කරුණකි. අතීතයේ කළ හොඳ නරක පිළිබඳ සැබෑ මතකයක් තිබෙන්නේ ඒ දෑ කළ පුද්ගලයාට ය. අතීත අත්දැකීම් සිහිපත් කරන කෙනෙකුට එයින් තෘප්තියක් ලැබිය හැකි වන්නේ එම අත්දැකීම් යහපත් වූ ඒවා නම් පමණි. අතීතයේ තිදොරින් තමා කළ අයහපත් දෑ සිහිපත් කරන්නෙකුට ඇතිවන්නේ පසුතැවිම යි. පණ්ඩිතයාට තම අතීත අත්දැකීම් සිහිපත් කරන විට දුකක් ඇති නොවන්නේ ඔහු තිදොරින් ම යහපත් දෑ කරතිබෙන හෙයිනි. තිදොරින් යහපත් දෑ කර ඇති බව තමා විසින්ම තහවුරු කරගනු ලැබීම හේතුවෙන් පණ්ඩිතයාට පරලොව ගැන ද කිසිදු බියක් ඇති නොවේ. මරණින්මතු දුගතිගාමී වෙතැයි යන බිය නොමැති නිසා ඔහු ශෝක නොකරයි. දුකට හා වේදනාවට පත් නොවෙයි. මෙය පණ්ඩිතයෙකු මෙලොව වශයෙන් ලබන තෙවන ආශ්වාදය යි. මෙසේ කයින්, වචනයෙන් මනසින් යන තිදොරින් වන දුසිරිත්වලින් වැළකුණ පණ්ඩිතයා මෙලොව වශයෙන් මහත් සොම්නසකට, සතුටකට, සැනසිල්ලකට උරුමකම් කියයි.

යට දක්වන ලද ප්‍රතිලාභ පමණක් නොව සදාචාර සම්පන්න පණ්ඩිතයෙකුට මරණින් පසු දෙව්ලොව උපත ලැබීමට අවස්ථාව සැලසේ. ඒ අනුව සදාචාර සම්පන්න පණ්ඩිතයෙකුට මෙලොව දී පමණක් නොව පරලොව දී ද උසස් සැපතකට හිමිකම් කිව හැකිවේ. දෙව් ලොව ඔහු ලබන සැපත මනුලොව දී ලබන සක්විති සැපත ට ත් වඩා උසස් වූවක් බව බුදුරජාණන් වහන්සේ බාලපණ්ඩිත සූත්‍රය යටතේ දේශනා කළහ. තමා විසින් කරන ලද කායික වාචසික හා මානසික සුචරිත කර්මවල විපාක වශයෙන් දෙව්ලොව ඉපිද සක්විති සැපතටත් වඩා උසස් දිව්‍ය සැප විඳීන පණ්ඩිතයා නැවත මනුෂ්‍ය ලෝකයක උපදින්නේ නම් හැම අතින් ම සමෘද්ධිමත් මනුෂ්‍ය ජීවිතයකට උරුමකම් කියයි.

එසේම පණ්ඩිතයා පෙර භවයේ තමන් විසින් පුරුදු පුහුණු කරන ලද සුචරිත ක්‍රියා දෙවන භවයෙත් අනුගමනය කරනු ලබන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. මේ අයුරින් පණ්ඩිතයා විසින් සිදුකරන ලද යහපත් කර්මයේ විපාක වශයෙන් දිගින් දිගට ම සුගතිගාමීව උපදිනු ලබන බව බාලපණ්ඩිත සූත්‍රයේ ඇතුළත් වේ.

නැණවතා

මෙම කුඩා ලිපියෙන් සාකච්ඡා කළේ බාලපණ්ඩිත සූත්‍රයේ එන පණ්ඩිතයා පිළිබඳ කරුණු පමණි. එහි බාලයා පිළිබඳ ව ද දීර්ඝ විස්තරයක් ඇතුළත් වේ. පණ්ඩිතයා පිළිබඳ කියැවෙන කරුණු මගින් සදාචාර සම්පන්න නැණවතෙකුගේ අධ්‍යාත්මික නිෂ්ඨාව මැනවින් ප්‍රකට වේ. නැණවතාගේ මූලික ස්වභාවය අනුව ඔහු යහපත් චිත්තනයකින් හෙබි අයෙකි. එසේම ඔහුගේ කායික හා වාචසික චර්යාව යහපත් ය. තමාට මෙන්ම ලෝකයටද හිතකරය. කොටින් කියතොත් නැණවතා දස අකුසල් දහමින් මුළුමණින්ම වැළකුණ අයෙකි. එබැවින් ඔහුගේ සිතුම් පැතුම් මෙන්ම චර්යාවත් යහපත් ය. එසේ යහපත් පෞරුෂයක් සහිත නැණවතෙකුට තම නිවැරැදි ජීවන පිළිවෙත ගැන මෙලොව වශයෙන් ආත්මතෘප්තියක් ඇති වේ. තමා ගතකළ නීතිගරුක, යුක්තිගරුක ජීවිතය ගැන අස්වැසිල්ලක් ලද හැකි ය. එසේම තමාගේ අතීත ජීවිතය ගැන පසු තැවීමක් ද ඇති නොවේ. තමා තමාටම අවංක වෙමින් ගත කළ ජීවිතයේ අවසාන නිෂ්ඨාව වන මරණය අභියස දී ඔහුට බියක්, තැති ගැනීමක්, දුකක්, වේදනාවක් ඇති නොවේ. ඉතා සැහැල්ලුවෙන් තම අවසාන මොහොතට මුහුණදීමේ හැකියාව ඇතිවේ. එසේම මරණින් මතු ජීවිතය ගැන වුවද පණ්ඩිතයාට අවිනිශ්චිත බවක් ඇති නොවේ. තමා දැනුවත්ව සදාචාරසම්පන්න යහපත් දිවි පෙවෙතක් ගතකළ හෙයින් මරණින් පසු දුගතිගාමී නොවන බව නිසැක ය. මේ අනුව යහපත් ජීවිතයක් ගත කළ පණ්ඩිතයාගේ ජීවිතය සාකල්‍යයෙන්ම අර්ථවත් ය. පරිපූර්ණ ය. බුදුරදුන්ගේ දේශනාව ඇතුළත් බාලපණ්ඩිත සූත්‍රය අනුව පණ්ඩිතයා යනුවෙන් අදහස් කෙරෙන්නේ වර්තමාන ලෞකික අධ්‍යාපනය යටතේ සම්මත විභාග ආදිය සමත් වූ තැනැත්තා නොව සාදාචාර සම්පන්න චින්තනයකින් හා යහපත් චර්යාවන්ගෙන් යුක්ත දසකුසල ප්‍රතිපදාවේ නිරත පුද්ගලායා ය.

වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය මැයි මස 11 වනදා සෙනසුරාදා අපරභාග 07.44 ට ලබයි
12 වන දා ඉරිදා අපරභාග 05.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 12 වන දා ඉරිදාය.

වෙසක් පසළොස්වක පෝය මැයි මස 18 වන දා සෙනසුරාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

Full Moonඅමාවක

ජූනි 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk