සම්බුදු සසුන යි
මහ සාගරය යි
මහනුවර හන්තාන සිරි ධම්මරතන
ත්‍රිපිටක ධර්මායතනාධිපති
රාජකීය පණ්ඩිත
පූලියද්දේ සුධම්ම හිමි
පින්වත් දරුවනේ, එක් සමයෙක අපේ බුදුරජාණන් වහන්සේ නේරංජා නගරයේ නලේරු නම් කොසඹ
රුකක් මූලයෙහි වැඩි සිටියා. දිනක් පහාරාද කියන අසුරයා බුදුරජාණන් වහන්සේ වෙත
පැමිණියා.
“කොහොමද පහාරාද ඔබගේ සැප සනීප”
බුදුරජාණන් වහන්සේ පහාරාදගෙන් සැප දුක් විමසුවා. බුදුරජාණන් වහන්සේ විමසුවේ අසුරයන්
මහ සයුරේ සතුටින් ඉන්නවාද කියලයි. භාග්‍යවතුන් වහන්ස, මහ මුහුදෙහි තිබෙන අසිරිමත්
කරුණු අටක් නිසා හරිම සතුටින් සිටිනවා. පහාරාද පැවසුවා.
“පහාරාද, මොනවද ඒ අසිරිමත් කරුණු අට?” බුදුරජාණන් වහන්සේ නැවත විමසුවා. අසුරයන්
හරිම කැමැතියි මහ මුහුදට. එසේ කැමැති වෙන්නට විශේෂ වූ ආශ්චර්යවත් කරුණු අටක්
තිබෙනවාලු.
මහ මුහුද පටන් ගන්නා තැනම ගැඹුරක් නෑ. ටිකෙන් ටික ඈතට යන විට තමයි මහ මුහුදේ ගැඹුර
තිබෙන්නේ. අසුරයන් මහ මුහුද පි‍්‍රය කරන පළමු ආශ්චර්යය එය යි.
මහ මුහුද කිසිම වෙලාවක වෙරළ ඉක්මවා යන්නෙ නෑ. එය දෙවැනි ආශ්චර්ය යි.
මහ මුහුදේ කැළි කසළ, මළ කුණු රැඳෙන්නේ නෑ. මහ මුහුද හැමදාම පිරිසුදුයි. කැළි කසළ
ගොඩටම ගසනවා. ඒ තෙවැනි ආශ්චර්ය යි.
ඒ වගේම මහ මුහුදට කොතැනින් වතුර ආවත් එකම වතුරක් වෙනවා. දරුවනේ, ඉන්දියාව වගේ රටක්
ගැන බලන්න. ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී වගේ මහා විශාල ගංගාවන්ගෙන් මහ මුහුදට
ජලය ගලාගෙන එනවා. මේ කොතැනින් ජලය ගලාගෙන ආවත් මහ මුහුදේ දී එකම වතුරක් බවට පත්
වෙනවා. එයත් ආශ්චර්යවත් කරුණක්.
ඒ වගේම දරුවනේ මොන තරම් වතුර වැඩි වුණත්, අඩු වුණත් මහ මුහුදේ ජලය අඩුවැඩි වෙන්නේ
නෑ. වර්ෂාව වැඩියි කියලා වතුර වැඩිවෙන්නේ නෑ. පායනවා කියලා වතුර අඩුවෙන්නේත් නෑ.
එයත් ආශ්චර්යයක්.
ඊළඟට දරුවනේ, මහ මුහුදේ කොතැනින් වතුර ගත්තත්, දැනෙන්නේ එකම රසයමයි. ඒ ලුණු රස.
එසේත් නැතිනම් ලවණ රසය. එය සයවැනි ආශ්චර්ය යි. මහ මුහුදේ බොහොම වටිනා වස්තූන් තිබෙන
නිසා අසුරයන් මහ මුහුදට ඉතා පි‍්‍රයයි. මහ මුහුදේ වාලම්පුරි, මුතු, මැණික් වගේ
වටිනා වස්තු රාශියක් තිබෙනවා.
ඒ වගේම ප්‍රභූ සත්ත්වයන් වාසය කරන නිසා අසුරයන් මහ මුහුදට හරිම කැමැති යි. දරුවන්
දන්නවා ද? මහ මුහුද කොටස් දෙකකට බෙදෙනවා. ගැඹුර මුහුද නොගැඹුරු මුහුද කියලා.
නොගැඹුරු මුහුද යටයි අපට පෙනෙන තැන සිට යොදුන් අසූහාර දහසක්. එතැන සිට තවත් යොදුන්
අසූහාර දහසක් ගැඹුරු මුහුද යටයි. ඉතින් දරුවනේ ඔය ප්‍රභූ සත්ත්වයන් ඉන්නේ ගැඹුරු
මුහුදේ. මහ මුහුදේ සතුන්ගේ නායකයා කවුදැයි ඇසුවොත් මේ දරුවන්ගේ පිළිතුර කුමක් ද?
නිල් තල්මසා. එසේත් නැතිනම් තල්මසා. දරුවනේ, මහ මුහුදේ මත්ස්‍යයන්ගේ නායකයා ආනන්ද
නම් මත්ස්‍යයා. එදා ඉපදුණ ආනන්ද මත්ස්‍යයෙකුගේ දිග යොදුන් විසිපහ ඉක්මවනවා. එතකොට,
ආනන්ද මත්ස්‍යයකුගේ දිග යොදුන් සියය ඉක්මවනවා. තිමිරි, තිමිංගල කිණි, ගාන්ධර්ව වගේ
තවත් විශාල මත්ස්‍යයන් ඉන්නවා. එයාලගේ දිග ප්‍රමාණය යොදුන් දහය ඉක්මවනවා. මේ
මත්ස්‍යයන් පිහිනන්නේ නෑ. එහාට මෙහාට හැරෙනවා විතරයි. මහ මුහුදේ අනෙක් මත්ස්‍යයන්
පිහිනන්නේ ආහාර සොයා ගන්නයි. හරියට මේ දරුවන්ගේ මව්පියන්වගෙයි. උදේ නැගිටලා
රැකියාවට යන්නේ තමන්ගේ දරුවන්ට ආහාරපාන ලබා දෙන්නයි. ඒත් දරුවනේ මහ මුහුදේ ප්‍රභූ
සත්ත්වයන් කෑම සොයා යන්නේ නෑ. ඒ අයගේ ආහාරය ගැඹුරු මුහුද යි.
දරුවනේ, පහාරාදගේ කතාව ඇසූ බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා. පහාරාද, මාගේ
ශාසනයත් මහ මුහුද වගේම යි. බුද්ධ ශාසනයෙහිත් ආශ්චර්යමත් කරුණු අටක් තිබෙනවා.
පටන් ගැනීමේ දී ම මහ මුහුද නොගැඹුරු වනවා සේ සම්බුද්ධ ශාසනයත් පටන් ගැනීමේදී
ගැඹුරක් නෑ. දාන, ශීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඤාණ, ඤාණ දර්ශන ආදී ලෙසයි
පටන් ගන්නේ. ශාසනයේ යෙදෙන්න, යෙදෙන්නයි ගැඹුර තේරෙන්නේ. ඒ පළමු ආශ්චර්යවත් කරුණයි.
මහ මුහුද වෙරළ ඉක්මවා නොයනවා සේ මේ ශාසනයේ සිව්වනක් පිරිසම ශික්ෂාපද ඉක්මවා යන්නේ
නෑ. ඒ දෙවැනි ආශ්චර්යයි.
මහ මුහුදේ අපද්‍රව්‍ය නොරැඳෙනවා සේ මේ ශාසනයේ දුශ්ශීලයන්, අපිරිසුදු පුද්ගයන්
පවතින්නේ නෑ. ඒ තෙවැන්නයි. සිව්වැනි ආශ්චර්යය නම් මේ සම්බුද්ධ ශාසනයට කවර කුලයකින්,
කවර ජාතියකින්, ආගමකින් පැමිණ පැවිදි වුවත් හැමෝම බුද්ධ ශ්‍රාවකයින් බවට පත් වෙනවා.
හරියට මහමුහුදට කොතැනින් වතුර ගලා ආවත් එකම වතුරක් වනවා වගේ. මහ මුහුදේ වතුර
අඩුවැඩීමක් නොවනවා සේ සම්බුද්ධ ශාසනය ද රහතන් වහන්සේලාගෙන්, සෝවාන්, සකෘදාගාමී,
අනාගාමී, උත්තමයන්ගේ කිසි කලෙකත් අඩුවක් වන්නේ නෑ.
මහ මුහුදේ කොතැනින් වතුර ගත්තද එකම රසයක් වනවා සේ මේ ශාසනයේ මොන දහම් පදයක් ඇසුවත්,
කවර ධර්ම කරුණක් පිළිපැද්දත් දැනෙන්නේ එකම රසයම යි. ඒ නිවන් රසය. ඒ සයවැනි
ආශ්චර්යයි. දරුවනේ, මහ මුහුදේ වටිනා කියන වස්තූන් තිබෙනවා වගේ මේ ශාසනයේ වටිනා
වස්තූන් තිබෙනවා. ඒවා සත්තිස් බෝධි පාක්ෂික ධර්ම ලෙස හැඳින්වෙනවා. සතර සතිපට්ඨානය
සතර සම්‍යක් ප්‍රධාන, සතර සෘද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග ධර්ම,
ආර්ය අෂ්ටාංගික මාර්ගය ඊට අයත්, එය සත්වැනි ආශ්චර්ය යි.
මහ මුහුදේ ප්‍රභූ සත්ත්වයන් ඉන්නවා වගේ මේ ශාසනයේ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී,
අරහත් වූ මහෝත්තමයන් වැඩ සිටිනවා. මේ නිසා සම්බුද්ධ ශාසනයට හැමෝම කැමැතියි. ඒ
අටවැනි ආශ්චර්යයි.
දරුවනේ, මේ ශාසනයත් හරියට මහ මුහුද වගේ. පුංචි ඔබටත් මේ සයුරට බැස, ශාසනයේ යෙදී
කටයුතු කරන්නටයි අප ධර්මයේ වටිනාකම කියා දුන්නේ.
- රමණී සුබසිංහ |