[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඉපදෙන විට හඬන්නේ මැරෙන විට සිනාසෙන්නේ ඇයි?

ඉපදෙන විට හඬන්නේ මැරෙන විට සිනාසෙන්නේ ඇයි?

බබෙකු ඉපදෙනවා ඔබ දැක තිබේද? අලුතෙන් ලොව දකින බබා කරන්නේ කුමක්ද? ඔහු හෝ ඇය හෝ කරන්නේ බෑගිරි ගසා හැඬීමයි. වෙන්න යන්නේ කුමක්දැයි ඔහු හෝ ඇය දන්නවා. “ඔන්න ආයෙත් සැරයක් ඉපදිලා” කියමින් ඔහු හෝ ඇය මහ හඬින් හඬනවා. මළගමකට ගිහින් මිනීපෙට්ටියේ තැන්පත් කර සිටින මළ සිරුර දිහා බලන්න. සැමවිටම මියගිය තැනැත්තා සිනාසෙමින් සිටියි.

කෙනෙකු ඉපදෙන විට ඉපදෙන තැනැත්තා මහ හඬින් හඬනවා. අනෙක් අය සිනාසෙනවා. ඔහු මිය ගිය විට සිනාසෙමින් සිටින අතර අනෙක් අය හඬා වැළපෙනවා. මෙය සිදුවිය යුතු දේ වැරැදි පැත්තට සිදුවීමක්. කළයුතුව තිබුණේ බබෙකු ඉපදෙන විට, හඬා වැළපෙන විට, ඔබත් ඔහු හෝ ඇය හෝ සමඟ හඬා වැළපීමයි. මිනීපෙට්ටියේ වැතිරී මියගිය තැනැත්තා සතුටෙන් සිනාසෙනවිට ඔබ කළයුතුව තිබුණේ ඔහු සමඟ එකතු වී සිනාසීමයි. කොතරම් විශිෂ්ටද? කළ යුත්තේ එය තමයි!

අත්හරින්න සිදුවෙන මොහොතේ දී අත්හරින්න


අජාන් බ්‍රහ්මවංසෝ හිමි

ඇලීමෙන් තොරව අපට සතුටු විය හැක්කේ එලෙසයි. අප සතු වස්තුව, දේපළ, ස්වභාවධර්මය විසින් සදාකල්ම අප සතුව තිබෙන්නට ඉඩ හරින්නේ නැහැ. “මෙන්න මේ කාලයේ දී ඒවාට අප අත්හැර යන්න ඉඩ දිය යුතු”යැයි ස්වභාව ධර්මය කියනවා. එවිට ඒවාට ඔබ අත්හැර යන්න ඉඩ දෙන්න. ඔබ පොහොසත් නම්, ඇලීමෙන් තොරව පොහොසත්කම ඔබට රස විඳින්න පුළුවන්. මෙය ඔබට ඔබේ ජීවිතය සමඟ වුවත් කළ හැකියි. ඔබට ඔබේ ජීවිතය අත්හරින්න සිදුවෙන මොහොතක් ද එළඹෙනවා. මේ මට අයිතියැයි සිතන සිතිවිල්ලෙන් තොර වූ විට අත්හැරීම පහසුවෙනවා. ඔබේ ජීවිතයට වුවත් ඇලීමෙන් තොරව සිටියාම අත්හැරීම පහසුවෙන විදිහ කියාපාන කදිම බෞද්ධ කතාවක් තිබෙනවා.

ඇලීම කොතරම් මෝඩ ක්‍රියාවක් ද යන්න පහදා දීමට බුදුරජාණන් වහන්සේ දෙසු මේ කදිම උපමා කතාව මෙහෙමයි. පුරාණ කාලයේ වඳුරන් ඇල්ලීමට ඒ කාලයේ මිනිස්සු භාවිත කළ උපක්‍රමයක් තමයි මේ කතාවට වස්තුව වෙන්නෙ.

පොල්ගෙඩියක් අරගෙන, වඳුරෙකුට අත රිංගවන්න තරම් පුළුවන් සිදුරක් පොල්ගෙඩියේ සිදුරුකර පොල්ගෙඩිය ගහකට බැඳ තියනවා. පොල් ගෙඩිය තුළට අර සිදුරෙන් කෙසෙල් ගෙඩියක් ද ඔබනවා. මේ විදිහට කෙසෙල් ගෙඩිය ඇතුළට දැමු පොල් ගෙඩිය ගසක බැඳ දඩයක්කාරයා ගෙදර යනවා. ඒකත් එකටම වඳුරෝ කෙසෙල් ගෙඩිවලට හරිම කැමැතියි. ඊළඟ දවසේ වඳුරෙකුට මේ පොල් ගෙඩිය හම්බ වුණාම, කෙසෙල් ගෙඩිය එළියට ගන්න හිතාගෙන අර සිදුරෙන් පොල් ගෙඩිය ඇතුළට අත දමනවා. නමුත් වඳුරාගේ අත දමන්න තරම් සිදුර ලොකු වුණත්, කෙසෙල් ගෙඩියත් අරගෙනම ඇතුළට දැමූ අත එළියට ගන්න බැරිවෙනවා. කෙසෙල් ගෙඩිය නැතුව ඕනම වේලාවක වඳුරාට අත එළියට ගන්න පුළුවන් වුණත් කෙසෙල් ගෙඩියත් අල්ලාගෙන අත එළියට ගන්න බැරිවෙනවා.

ඊළඟ දවසේ දඩයක්කාරයා එනවා. වඳුරා දඩයක්කාරයා දැක්කාම, කෙසෙල් ගෙඩියත් අරගෙනම අත එළියට ගන්නට වියරු වැටුණා වගේ වෙහෙසෙනවා. නමුත් ඒක කරන්න බැරිවෙනවා. දඩයක්කාරයා තව ටිකක් ළං වුණොත් වඳුරා කෙසෙල්ගෙඩියත් අරගෙනම පොල්ගෙඩියේ සිදුරෙන් අත එළියට දමන්න දඟලනවා. කෙසෙල් ගෙඩිය එළියට ගන්න කරන්න පුළුවන්. හැමදෙයක්ම කරන්න වඳුරා දඟලනවා. වඳුරාට ඒක කරන්න බැරි වෙනවා. දඩයක්කාරයා වඳුරා අල්ලා ගන්නවා.

මේක මගේ ය සිතන නිසා අත්හරින්නේ නැහැ

වඳුරා කළ යුතුව තිබුණේ එකම දෙයයි. කෙසෙල්ගෙඩිය අත්හැරීම පමණයි. කෙසෙල් ගෙඩිය අත්හැර එතනින් යා යුතුව තිබුණත් ඒ සතා ඒක කරන්නේ නැහැ. ඒ ඇයි කියා ඔබ දන්නවාද? ඒ වෙන මොකවත් නිසා නොවෙයි” “මේක මගේ කෙසෙල් ගෙඩිය. මේ කෙසෙල් ගෙඩිය සොයා ගත්තේ මම. ඒක මගේ. “එය ඇලීම් පිළිබඳ ගැටලුව පැහැදිලි කිරීමට බුදුරජාණන් වහන්සේ දෙසූ ඉතා අර්ථවත් උපමා කතාවක්. “මගේ, මගේ” කියා ඇලී සිටිනවා වෙනුවට ඔබට එය අත්හරින්න පුළුවන් නේද? එවිට ඔබ නිදහස් . ඔබට සතුටෙන්, සාමයෙන් ඉන්න පුළුවන්. මේ නිසා ඇලීම වෙනුවට අත්හරින්න පුරුදු වෙන්න. ඒත් ඇතැම්විට අත්හැරීම වේදනාකාරී වෙනවා. ඒ ඇයි?

මේ පිළිබද මා නිතර කියා ඇති උදාහරණ කතාවක් දැන් ඔබට නැවත කියන්නම්.

ශෝකය අත්හරින්න අකැමැති කාන්තාව

මීට අවුරුදු කිහිපයකට පෙර නැතිවීම හා ශෝකය මාතෘකාවෙන් පැවැත්වු සම්මන්ත්‍රණයක දී දේශනයක් පැවැත්වීමට මට සිදුවුණා. ඇලීම් අත්හැරීම පිළිබඳ බුද්ධ ධර්මය දරන අදහස් මා මේ දේශනයේ දී පැවැත්වූවා. ශෝකය අත්හැර දමා සිතේ සතුටෙන් සිටින හැටි මා විස්තර කළා. මගේ දේශනය අවසානයේ දී මා බැහැ දකින්න ආ කාන්තාවක් කෑගැහුවා. මට නින්දා කළා. “මට මගේ ශෝකය මගෙන් ඉවත් කරන්න හදන්නේ ඇයි? කියා ඇය කෑගැසුවා. මුලදි මා කම්පාවට පත්වුණා. ඒත් ඇය ඇගේ ශෝකය සමඟ තදින්ම ඇලී සිටින විත්තිය මට පසුව තේරුම් ගියා. ඇයට ඈ ඇලී සිටින ශෝකය අත්හරින්න ඕනකමක් තිබුණේ නැහැ. මේ වගේ සිදුවීම් නිසා අපට ඇලීම ගැන ගැඹුරට සිතන්න වෙනවා. සමහර වේලාවට අප අපේ පෞරුෂයට තදින්ම ඇලී සිටියාම, විශේෂයෙන්ම කිසියම් දෙයකට ගොදුරුවූ කෙනෙකුගේ පෞරුෂයට අපි තදින්ම ඇලී සිටියාම, එය අත්හැරීම ඒ තරම්ම පහසු වෙන්නේ නැහැ. මක්නිසාද යත් එයින් ප්‍රයෝජනයක් ලබනවා.

මේ කතාවට සම්බන්ධ කාන්තාව බොහෝම ප්‍රසිද්ධ කාන්තාවක්. මා හිතන්නේ ඇගේ දියණිය බොහෝම දරුණු අපරාධයකට ගොදුරු වුණා. මේ කාරණය මුල්කරගෙන, මේ තැනැත්තාට නොයෙකුත් ලාභ ප්‍රයෝජන ලැබුණා. අනුකම්පාව, අනන්‍යතාවය , සමාජයේ පිළිගැනීම, මේ නිසා විපතකට ගොදුරු වීම ගැන ඇය ආඩම්බරයෙන් සිටියා. මේ නිසා තමන් ඇලී සිටින ශෝකය අත්හැරීමට ඇය තුළ බියක් තිබුණා. මෙය ඉතා විශාල ප්‍රශ්නයක් ඇයි අපි අපේ ශෝකය අත්හරින්නෙ නැත්තෙ? අප වරදක් කළාය කියන හැඟීම, අපේ ශක්තිය අප අත්හරින්නේ නැත්තේ ඇයි? අප ඇලී සිටින කවර දෙයක් සම්බන්ධව වුවත් අතීතය අත්හැර අප නැවත පුනරුත්ථාපනය විය යුතුයි.

වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය මැයි මස 11 වනදා සෙනසුරාදා අපරභාග 07.44 ට ලබයි
12 වන දා ඉරිදා අපරභාග 05.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 12 වන දා ඉරිදාය.

වෙසක් පසළොස්වක පෝය මැයි මස 18 වන දා සෙනසුරාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

Full Moonඅමාවක

ජූනි 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk