[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 25 : වටදාගෙවල් අතර සුවිශේෂ වූ මැදිරිගිරියේ වටදාගෙය

වටදාගෙවල් අතර සුවිශේෂ වූ මැදිරිගිරියේ වටදාගෙය

චේතියඝර, ප්‍රතිමාඝර, බෝධිඝර, ආසනඝර අප රටේ පැරැණි බෞද්ධ කලාශිල්ප අතර සුවිශේෂ නිර්මාණ ලෙසින් සැලකේ. ඝර යනු ඒ ඒ පූජ්‍යවස්තු සඳහා නිර්මාණය කරන ලද ගෘහ හෙවත් ගෙවල් ලෙසින් සඳහන් කළ හැකි ය.

කුඩා දාගැබ් සඳහා චේතියඝර ද, ප්‍රතිමා, බෝධි සහ ආසන සඳහා සාදන ලද ඝර හෙවත් ගෘහ අපේ පැරැණි බෞද්ධ කලාශිල්පවල නටබුන් රැසක් හමු වී ඇත. වටදාගෙය යන නාමය ද මේ සඳහා භාවිත වේ. මේ පිළිබඳ පළමුවෙන්ම පර්යේෂණ ග්‍රන්ථයක් ලියූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රථම ලාංකික පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා මෙසේ සඳහන් කරයි.

වටදාගෙය නම් වූ මෙම නිර්මාණ අතර ඉතා සුවිශේෂ වූ වටදාගෙයක් උතුරු මැද පළාතේ තමන්කඩුව ප්‍රදේශයේ මැදිරිගිරියේ (මණ්ඩලගිරි) පිහිටා තිබේ. 1940 - 1947 යන වර්ෂයන් අතරතුර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මැදිරිගිරියේ වටදාගෙය ක්‍රමානුකූලව කැණීම් කර සංරක්ෂණය කර තිබේ. මෙම වටදාගෙයි කේන්ද්‍රය වන ස්තූපය පාදය අඩි 26 විෂ්කම්භයකින් යුක්ත වන අතර අඩි පහක් උසට ආරක්ෂා වී ඇත. ස්තූපය නිර්මාණය කර තිබෙන්නේ ආරම්භයේ දී ගඩොලින් නිමවන ලද එහෙත් පසු කාලයේ දී හුනුගලින් නිර්මාණය කරන ලද පාදමක් මත ය. ගඩොල්වල කොටා ඇති මේසන්වරුන්ගේ සලකුණුවලින් ක්‍රිස්තුපූර්ව සමයට අයත් වූ බවට ඔප්පු වී ඇති මෙම ස්තූපය ආරම්භයේ දී හතරැස් මළුවක් මත පිහිටියේ ය. හතරවැනි අග්බෝ රාජ සමයෙහි (ක්‍රි.ව.667 - 683) දී පැරැණි චෛත්‍යය ආවරණය කොට වර්තමාන වටදාගෙය ගොඩනගන ලදී. හුනු ගලින් නිමවනලද වැඩ සිටි බුදුපිළිම වහන්සේ සතර නමක් ප්‍රධාන දිසාවන් හතරට මුහුණලා ස්තූපයට පිටුපා පිහිටුවා තිබේ. බුදුපිළිමවල ආසන ද හුණුගලින් ම නිමවා ඇත. වැඩසිටින ආකාරයෙන් හිටි පිළිම දෙකක් හුනුගල්වලින් නිමවනලද වටදා ගෙය තුළ විය. එහෙත් ඒවා මෑතක දී එහි පිහිටුවනලද බව පෙනේ.

පොළොන්නරුවේ වටදාගෙයට සමානතාවයක් ඇත. මෙම වටදාගෙය නිර්මාණය කර තිබෙන්නේ වඩා උස නැති ස්වභාවික ගල් කුලක් මත ය. වටදාගෙයට ඇතුළුවීම සඳහා පියගැට පෙළකි. (සෝපාන පන්තියත්) මෙම පියගැටපෙළ ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත ය. පියගැට පෙළෙහි පහළම කොටස ආරම්භයෙහි ගලින්ම නිර්මාණය කළ උළුවස්සකි. ඒ උළුවස්සෙන් ඇතුළුවන විට ගල් පුවරු එක්තැන්කොට සාදන ලද කැටයම් නැති කොරවක්ගල් දෙකට මැදින් පියගැටපෙළකි. ඒ පිය ගැට පෙළට පසු වටදා ගෙයි සිට සකස් කරන ලද පිවිසුමකි. එයින් වටදාගෙයට ඇතුළුවීම සඳහා තවත් පිය ගැට පෙළකි. පිය ගැට පෙළ දෙපස උසින් පිහිටුවා ඇති පුන් කලස් දෙකක් (ශිලාමය) ඇත.

මැදිරිගිරියේ වටදාගෙය පිළිබඳ මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න මහතා මෙසේ සඳහන් කරයි

මැදිරිගිරිය වටදාගෙයි පුරාණ වාස්තු විද්‍යාවේ අද්විතීය නිර්මාණයක් සේ සැලකිය හැකි ය. එය ශෛලමය ස්මාරකයක් වන අතර සමාන ලක්ෂණ සහිත අනෙක් සියලුම ගොඩනැගිලි පරාජයට පත් කරවන නිර්මාණයක් වෙයි. දාගැබ මැදිකොට සාදා ඇති වටදා ගෙයි කුලුන සහ අනෙකුත් අංගෝපාංග සඳහා යොදා ගෙන ඇත්තේ කලුගල් ය. මැදිරිගිරිය සහ පොළොන්නරු වටදාගෙවල්හි කුලුන පේළි තුන බැගින් තිබේ. එහෙයින් සියලුම වටදාගෙවල් වල පොදු නිර්මාණ සැලැස්මක් තිබුණ ද එකිනෙකට විශේෂ ලක්ෂණ කීපයක් වෙයි. මැදිරිගිරියේ පිටස්තර කුලුනු පේළිය එකිනෙකට බැඳී ඇත්තේ ගරාදි වැටකිනි. කුලුන සහ කුලුන හිස් ද කැටයම්වලින් අලංකාර කර ඇත. එම කැටයම් එකිනෙකට වෙනස් ය.

මැදිරිගිරිය වඩාත් ප්‍රසිද්ධ වන්නේ පුරාණ ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ දැකුම්කලු සාධකයක් වශයෙන් සැලකිය හැකි වටදාගෙය පිහිටා තිබෙන බැවිනි. ස්වභාවික වන සම්පත මධ්‍යයේ අලංකාරව කඳු මුදුණක් මත පිහිටා ඇති මෙම සුන්දර වටදාගෙය සැබැවින්ම පුරාණ වාස්තු විද්‍යාත්මක වටිනාකමක් සහ සෞන්දර්යය ගුණයකින් හෙබි එසේ ම, කවුරුත් විසින් නොවලහා නැරඹිය යුතු පුදබිමකි. (පොළොන්නරුව - මධ්‍ය කාලීන ලක්දිව අගනගරය, මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න, පි. 224 - 226)

වටදාගෙයි කැටයම් සහ ගල්කණු

මේ ස්තූපය වටා එකිනෙකට පිටතින් සිටින සේ පිහිටුවන ලද වටදාගෙයට අයත් වන මනස්කාන්ත අටපට්ටම් ගල්කණුු පේළි තුනකට සිටින සේ සිටුවා ඇත. ඒ ගල්කණුවල හිස් අනුරාධපුරයේ ථූපාරාමය සහ ලංකාරාමය යන දාගැබ් දෙකේ අප දැක පුරුදු ගල්කණු හිස්වලට සමාන ය. මෙහි බාහිර ගල්කණුු පෙළත්, දෙවැනි ගල්කණු පෙළත් අතර ගඩොල් බිත්තියක් තිබී ඇතත් දැන් එහි ශේෂව ඇත්තේ සුළු කොටසක් පමණි. පොළොන්නරු වටදාගෙයි සැලැස්ම අනුව එහි පවා ගඩොල් බිත්තිය පිහිටා තිබී ඇත්තේ මෙහි මෙනි. මෙහි ඇතුළු කණු වටය ස්තූපයේ අඩියේ සිට අඩියකුත් අඟල් නවයක් ඈතින් පිහිටියේ ය. එහි ගල්කණු දහසයකි. සෑම ගල්කණුවක්ම තවමත් ඍජුව ඇත. ඒ ගල්කණුවල හිස්ද තවමත් නොවැටී පවතී. මැද ගල්කණුු වළල්ලට වඩා අඩි 6 අඟල් 3 ක් මෑතින් පිහිටි දෙවැනි ගල්කණු වටය කණු (20) විස්සකින් සමන්විත ය. ගල්කණු (32) තිස් දෙකකින් යුක්ත බාහිර ගල්කණු වටයට වඩා අඩි 14 නිර්මාණය ගඩොල් බිත්තියට පිටතින් බාහිර ගල්කණු වටය හා එක පෙළට බැඳ ඇති අඩි 3 1/2 පමණ උස් වූ ආවරණය වැටයි. මේ හා සමාන වෙනත් ආවරණයක් ඇත්තේ පොළොන්නරුවේ වටදාගෙයි පමණි. එහි මතුපිට සකස්කළ පෙති හතරේ මල් රටාවකින් ආවරණය විසිතුරු කර ඇත. එහෙත් මැදිරිගිරියේ ඇත්තේ ඉන්දියාවේ ඇතැම් පැරැණි බෞද්ධ ස්තූපවල අප දැක පුරුදු ශිලාවේදියක අනුකරණයකි. (පුරාවිදු පරියේසන - මහාචාර්ය සෙනරත් පරණවිතාන පි. 104 - 105 (1972) විසිදුනු ප්‍රකාශකයෝ) වටා සම බිමෙන් මදක් නැගෙන පර්වත කීපයක් ඇසුරුකොට ගෙන මේ පුදබිමේ සංඝාරාමයක් සැලසුම් කර ගොඩනගා ඇත. මෙම සංඝාරාමයේ පූජනීය වූ පුරාණ ගොඩනැගිලි කීපය සැලසුම් කර ඇත්තේ ගල් පර්වත ආශි‍්‍රතව ය. මෙම මැදිරිගිරි ආශි‍්‍රත වූ පුදබිමෙහි වටදාගෙය පමණක් නොව පුරාණ රෝහලක් ද, ඒ ආශි‍්‍රත බෙහෙත් ඔරුවලින් ද, මෙහි ඇති ශිලාලිපිවලින්ද සාක්ෂි ලැබේ. සංඝාරාම, පොකුණු උපෝසථ ඝර (පොහොය ගෙය) සීමා ප්‍රාකාර ආදිය වේ. මෙම මැදිරිගිරියට පුරාණ කාලයේ දී මණ්ඩලගිරි විහාර යන නාමය ව්‍යවහාර කර ඇත. පෙදරේරුවන්, මූර්ති (ශිලා) ශිල්පීන්, වඩුකාර්මිකයන් හා පුරාණ ඉංජිනේරුවන් ද එක්වී නිර්මාණය කරන ලද මේ මැදිරිගිරියේ වටදාගෙය ලංකාවේ අනිකුත් වටදාගෙවල්වලට වඩා සුවිශේෂ නිර්මාණයකි.

වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය මැයි මස 11 වනදා සෙනසුරාදා අපරභාග 07.44 ට ලබයි
12 වන දා ඉරිදා අපරභාග 05.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 12 වන දා ඉරිදාය.

වෙසක් පසළොස්වක පෝය මැයි මස 18 වන දා සෙනසුරාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

Full Moonඅමාවක

ජූනි 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk