[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

ගම්මුල්ලේ සුමංගල නා හිමි

කුණ්ඩසාලේ ගල්මඩුව රාජමහ විහාරය, වට්ටාරම අරහන්ත මලියදේව රාජමහ විහාරය, තලාව රාජමහ විහාරත්‍රයාධිපති, අස්ගිරිය මහා විහාරයීය කර්මවාගාචාර්ය ශ්‍රී සුමන දහම්පාසලේ ප්‍රධානාචාර්ය සාමවිනිසුරු ගම්මුල්ලේ සුමංගල නාහිමිපාණන්ගේ 67 වෙනි ජන්මෝත්සවය නිමිත්තෙන් නාහිමිපාණන්ට දිගාසිරි ප්‍රාර්ථනා කිරීමේ ආගමික වැඩසටහන් මාලාවක් ගල්මඩුව රාජමහ විහාරයේ දී පැවැත්විණි.

මාතලේ මහදිසාවේ ගම්මුල්ල ග්‍රාමයේ දී 1952 දී උපත ලබා කයිකාවල රජයේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා මාදන්වල ශ්‍රී ධර්මෝදය පිරිවෙනින් උසස් ධර්මශාස්ත්‍රීය අධ්‍යාපනය ලබාගත් සුමංගල නාහිමියෝ, 1961 දී ගල්මඩුව රාජ මහ විහාරාධිපතිව වැඩසිටි විචිත්‍ර භාණක ගම්මුල්ලේ ශ්‍රී සුමනසාර නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් උතුම් ප්‍රවෘඡාභූමියට ඇතුළත් වූහ. 1973 දී අස්ගිරිය මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ දී, අස්ගිරි පාර්ශ්වයේ මහානායක සුදුහුම්පොල රජමහා විහාරාධිපති ගොඩමුන්නේ ශ්‍රී නාගසේන ධම්මානන්ද මාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා විහාරාධිපති ගම්මුල්ලේ ශ්‍රී සුමනසාර නාහිමිගේ ආචාර්යත්වයෙන් උපසම්පදාශීලයෙහි පිහිටවූ සුමංගල නාහිමියෝ 1975, 1983 යන වර්ෂවල ශ්‍රී දළදාමාලිගාවේ ශ්‍රී දළදා සමිඳු තේවාවෙහි නිරත වූහ. විහාරස්ථ ශ්‍රී සුමන දහම් පාසලේ ප්‍රධානාචාර්ය වශයෙන් ප්‍රදේශයේ බාල පරපුර සදාචාරසම්පන්න අනාගත පුරවැසියන් කොටසක් ලෙස සකස්කිරීමෙන් දැහැමි සමාජයක් බිහිකිරීමට මූලික වූ ගම්මුල්ලේ සුමංගල නාහිමියෝ පසුගිය දශක තුන ඇතුළත ගල්මඩුව ඓතිහාසික රාජමහ විහාරය සියලු විහාරාරාංගයන්ගෙන් අංගසම්පූර්ණ සිද්ධස්ථානයක් බවට පත්කිරීමට මූලික වූහ. සම්බුද්ධ ශාසනයේ අනාගත චිරස්ථිතිය වෙනුවෙන් තව තවත් ආගමික කටයුතු සිදුකිරීමට සුමංගල නාහිමිපාණන් වහන්සේට ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලැබේවා.


අපරැක්කේ හිමරතන නාහිමි

මාර/පූර්වාරාම පිරිවෙන් විහාරාධිකාරී ධුරන්දර, මාතර, හම්බන්තොට දෙදිසාවේ ද්විතීය අධිකරණ සංඝ නායක, ශාස්ත්‍රවේදී අපරැක්කේ හිමරතන නාහිමිපාණන් වහන්සේගේ අසූවන (80) ජන්මෝත්සවය නිමිත්තෙනි.

නාහිමි ගුරුදෙවි - පා පුද නමදිමි

උගෙන සිප්සත කොකාවල විදුහලෙහි ඇසුරේ වැඩුණු සිසුතැන
දිනන තුන්ලොව දුටුව බුදුමඟ සසුන් ගත වී මතුව පෙරපින
වඩන පින්කෙත සුමඟ හුරුකළ ‘අපේ ගුරු දෙවි’ සමිඳු නමදින
ඉසින සෙත් පිනි කළඹ කවිමල් තබම් පුදසුන සරණ තෙරුවන

විවර ලොව දුටු ගමේ අපරැකි පහළ මාතොට රුහුණු පුරවර
සතර දෙස බුදු වදන පතුරන සවිය උරුමය දුටුව පරතෙර
චතුර බසිසුරු බණට සුපතළ සතර බණවර දෙසුම ඉමිහිර
ඇසුර පරිණත දහම තෙවළා ගැඹුර කරණෙකි හුරුව සමුදුර

සතර ඉගෙනුම නිබඳ සරුදුටු ගාලු විදු ලෝ ඇසුරු පිරුවන
අතර සෙසු අය පළමු දිවයින දිනුව නැණතිලකයැති බුහුමන
විවර කරගෙන ගමන සරසවි පිවිස විදුදය බිමට සතොසින
සයුර ගුණ නැණ ගැබර තරණය පිනෙකි ගම රට දෙකට සරිලන

දැහැන් ගත් ලෝ දහම සිරිතට අනුව නැඹුරුව කුසල වඩවන
මුදුන් පත් ජීවිතය අදහස් දැහැමි ලොවුතුරු සුවය දනවන
සුපින් වත් වී ලැබුව අදිසිල් වෙහෙර මල්වතු ඇසුර පිළිගෙන
පහන් සිත් සේ ගමන ඇරඹුණු සපල කරවී දෙලොව දිනවන

දුරුව යන ලෙස වෙනස ඇති නැති සමව සැලකුව මැදුර අතුපැල
දැරුව ගුරුපුටු පදවි හෙබැවුව හැදුව සිසු කැළ සමඟ විදුහල
පිරුව බුදුතුරු දහම වැටහෙන නුවණ පහදා හැඳින අගමුල
හුරුව සුරකින දෙලොව දියුණුව රැඳී පවතී ළයෙහි සුනිමල

විඳින සුර සැප විමන් අතහැර කඳුළු දහදිය දැයට කැපකර
වදින තැනකට විඳින නියමිත වදන් බණ හී අනගි පෙළහර
සිතන දුරදිග තෙදැති අබිමන සිහල නරවිරු හැඟුම තිරසර
ගමන පෙරමඟ වඩින එඩිතර රටට සවියෙකි යෙදෙන මෙහෙවර

නියත පිළිවෙළ ගමට නගරෙට කරන පැහැදිලි අයුරු පැවතුණ
සිරිත අනුව ම වෙහෙර සියලුම අංග සපුරා තැනුව පිරිවෙන
පිරිත බණපොත බරිත පොත්ගුල නැණස පාදන නිසල විදුමිණ
දියත ජයගෙන නගති සිසු කැළ ‘දහම් පාසල’ වඩන ගුණනැණ

පිනැති ලිවිසැරි සසුන් පින්බිම වැඩුව තුරුලිය පොකුරු හුරුවේ
ළයැති එළියට දුරැති පෙනුමට දෙනෙත විනිවිද අඳුර දුරුවේ
හිතැති බස දෙස රැසට දහමට දැනුම බෙදුමට මුලෙකි පිරුවේ
නමැති පිරිවෙන සැකසු සඟරා අරුත් බරැතිව හරය සරුවේ

දැයට සමයට රටට ගැළපෙන මඟක් පෑදෙන ඉදිරි ගමනට
සිතට එකඟව ගැනුම තීරණ කිසිම විටෙකදි නොවුණු පසුබට

වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය මැයි මස 11 වනදා සෙනසුරාදා අපරභාග 07.44 ට ලබයි
12 වන දා ඉරිදා අපරභාග 05.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 12 වන දා ඉරිදාය.

වෙසක් පසළොස්වක පෝය මැයි මස 18 වන දා සෙනසුරාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

Full Moonඅමාවක

ජූනි 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]