[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වෛරය එපා

වෛරය එපා

ලොව සාධාරණ ධර්මතාවයක් වන මෛත්‍රිය විශ්ව ධර්මයක් සේ ද හැඳින්වීම අසාධාරණ නොවේ. පාලි සූත්‍රවල ‘මෙත්තා’ යන යෙදුමෙන් හැඳින්වෙන මෛත්‍රිය, බුදු බව පතා බුදුකුරු දම් පුරන සෑම උතුමෙක් විසින්මත්, නිවන් සුවපතා පාරමී ගුණ පුරන සෑම උතුමෙක් විසින්මත් සසර පුරාවට තම ජීවිතයේ සපුරා ගත යුතු ම උදාර මිනිස් ගුණයකි. බෝසත් ගුණයක් ලෙස මෛත්‍රිය හඳුන්වන්නේ ද ඒ නිසා ය.

බුදු පසේ බුදු මහරහත් යන උතුම් ආර්ය තත්වයට පත්වීමට නම් මෙම ගුණයේ ස්පර්ශය හැම කෙනෙක් ම ලබා ගතු යුතු ය. බුදුවරු මෙත්තාව පාරමී, උපපාරමී, පරමත්ථ පාරමී යැයි තුන් ගුණයකින් වැඩිය යුතුයි. පාරමි, උපපාරමි ලෙස මෙත්තාව වැඩිය යුත්තේ පසේ බුදුවරුන් ය. පාරමී පමණක් වැඩිය යුතු වන්නේ මහ රහත් උතුමන් ය. උන්වහන්සේලා ඒ තත්ත්වයට පත්වනුයේ එම ගුණ මෙලෙසින් සපුරාලීම නිසා ය. එසේ නම් මෙත්තාව යනු බෝධිසත්ව ධර්මතාවයකි, පාරමිතාවකි.

බෝසතාණන් වහන්සේ බුදු බව ලබනා තෙක් අනන්ත සසර සැරිසරමින් බෝධි සත්ව ධර්ම සපුරාලුයේ තමන් වහන්සේගේ විමුක්තිය පමණක් නොව සසර දුකට පත් අනන්ත සත්ව වර්ගයා පිළිබඳව පැවැති මෛත්‍රිය නිසාමයි. දීපංකර පාද මූලයේ දී නිවන් සුවය ලබන්නට වාසනා මහිමයක් තිබෙද්දීත් එය අමතක කොට ඊට වඩා බුදුවරයෙක් ව අන් සතුන් ද දුකින් මුදවීමට ඇති බලවත් චිත්තාභිලාෂය නිසා අනන්ත සසර උපදිමින් ගෞතම බුද්ධත්වයට පත්වෙන තුරාවට ම ඇවිද්දේ මෛත්‍රී ගුණයෙන් තම දිවිමග සරසා ගෙන තිබූ හෙයිනි.

බෞද්ධ ජනතාව දකින්න කැමති බුදු පියාණන් වහන්සේ මෛත්‍රියේ ප්‍රති මූර්තියක් ලෙසිනි. ඒ අනික් දෙයක් නිසා නොව එපමණටම උන් වහන්සේ සත්වයාට සම මෙතම පැතිරවූ නිසා ය. තමන් වහන්සේගේ සියලු දේශනාවකින් ම පාහේ අවධාරණය වන, ප්‍රකටවන ගුණය ද මෛත්‍රියයි, මිතුරු බවයි.

වරක් ආනන්ද හාමුදුරුවන් බුදුපියාණන් වහන්සේගෙන් ‘ස්වාමිණී, ඔබවහන්සේගේ ධර්මයෙන් හරි අඩක් ම මිත්‍රත්වය මතම රඳා පවතිනවා නේද”? යි විමසූවිට, පිළිතුර දුන්නේ “හරි අඩක් නොව මුළු බුදු දහමම මිත්‍රත්වය මතම රඳා පවතින” බවයි. ඒ අන් කවරක් නිසා නොව බුදු දහම අපට උගන්වන්නේ මෛත්‍රියම වන බැවිණි.

බෞද්ධ සමාජය මෛත්‍රිය සමාජයකි. ඒ නිසා ම සෑම දේශනාවකින් ම බෞද්ධයාගේ දෑත් සාමය, සමගියට, මිතුරුකමට, දික් කළ යුතු වගයි අවධාරණය කරන්නේ. ‘බුදු දහම අසන, දරන, පිළිපදින හැමෝම මෙත් සිතිවිලිවලින් යුක්ත විය යුතුයි. ලෝභ, දෝෂ, මෝහාදී අකුසල චේතනාවන්ට මතු වීමට ඉඩ නොදී යටපත් කරගෙන හික්මවමින් සිටින්නෙක් විය යුතුය. ආත්මාර්ථකාමී වීමෙන් නරක නපුරු ගති ඇතිවේ. එවිට සමාජය කුරිරු වේ. මෛත්‍රිය පලායයි. පරාර්ථකාමී ගුණ ඇතිවන්නේ ආගම දහමින් ශික්ෂිත වූවෙකුටයි. මෙත්තා කායකම්ම, මෙත්තා වචිකම්ම, මෙත්තා මනෝකම්ම කිරීමට උනන්දු වන්නේ එවිටයි. එබඳු පුද්ගලයා තමාටත් තමා අවට වෙසෙන ජීවි අජිවී සියලු පරිසරයට ම හිතකාමී සංවේදී කෙනෙකු වේ.

බුදු දහම අවධාරණය කරන්නේ හැම දෙනාට ම හිත මිතුරු වීමටයි. මෛත්‍රියෙන් කරන්නේ ජීවත්වීමට තරම් හිතකාමී පරිසරයක් ඇති කිරීමයි. ලොව හැම දෙනා ම තමන්ගේ සැපයට, ලාභයට, දියුණුවට කැමැතිවාසේ, අන් උදවිය ද එලෙසින් සැපතට, දියුණුවට කැමති වග සිතීම මෛත්‍රියේ ලක්ෂණයකි. සතුරු මිතුරු මධ්‍යස්ථ යන හැම කෙරෙහි හිත මිතුරු විය යුතුයැයි බුදු සමය කියන්නේ මේ නිසාමයි.

ඔවුනොවුන් කෙරෙහි පැවතිය යුතු හිත මිතුරු බව නොමැති නිසා මුළු මහත් මානව සමාජය ම ගුණ දහමින් උඩු යටිකුරු වී ඇත. මව්පියන් - දූ දරුවන්ටත්, දූ දරුවන් – මව් පියන්ටත්, ස්වාමියා - බිරිඳටත්, බිරිඳ - ස්වාමියාටත්, ගුරුවරයා - සිසුවාටත්, සිසුවා - ගුරුවරයාටත්, ස්වාමියා - සේවකයාටත්, සේවකයා - ස්වාමියාටත්, තමන් – මිතුරාටත්, මිතුරා - තමාටත්, ගිහියා - පැවිද්දාටත්, පැවිද්දා – ගිහියාටත් හිත මිතුරුකම් පාන්නේ නම් ඔබ අප ජීවත්වෙන ලෝකය මොන තරම් අපූරුවේ ද? ලස්සනවේද? එයින් කලකෝලාහල කරගැනීම් නරක නපුරු නොහික්මුණු ක්‍රියා නැති සමාජයක් බිහිවනු ඇත. මෛත්‍රිය මිනිසා තුළ තිබූ පමණින් ම ලොව සුන්දර වනු ඇත.

දුර්ගුණ මිනිසුන් අතර පහළ වෙන විට සොබා දහම පවා මිනිසාට එරෙහි වන බවයි බුදු දහමෙන් ප්‍රකාශ වන්නේ. දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වන ලෙසට ලොව සොබා දහමින් මිනිසාගේ ජීවත්වීමට ලැබුණු සැප පහසුකම් සියල්ල ම අතුරුදහන් වන්නේ, තෘෂ්ණාව මුල්කොටගෙන ඇති වූ නරක ගති නිසාමයි. දීඝනිකායේ චක්කවත්තී සීහනාද සූත්‍රයේ කියැවෙන ප්‍රාණඝාතාදී අකුසල කර්ම ක්‍රමක්‍රමයෙන් මිනිස් ජීවිත තුළ සංවර්ධනය වෙත් ම ආයුෂ හරි අඩකින් ම අඩු වූ බව අවසානයේ පරමායුෂ අවුරුදු 10-15 ට පමණක් සීමා වන බවත් මවට, පියාට, භික්ෂූන්ට, බුදුරදුන්ට ගරු නොකරන, නොසලකන හා වැඩිහිටියන්ට අවනත නොවන, ගරු නොකරන ඔවුන් වෙසෙන සමාජය කොතෙක් පිරිහේද යත් තිරිසන් සත්වයන්ගේ ස්වභාවයට පත්වෙන බවත්, එනම් හැඳින්වීමට සිදුවන බවත් සඳහන් කර තිබීමෙන් මෛත්‍රිය මිනිස් සිත්වලින් දුරස්ථවීමෙන් සිදුවන සමාජමය බිඳ වැටීම සිතා ගැනීමට අපහසු නැත.

මිනිසුන් පමණක් නොව තිරිසන් සතුන් ද, පක්ෂීන් ද කොයි කවුරුත් සතුටින් නිදහසේ ජීවත්වීමට කැමතියි. ගහ කොළ ද නිදහසට ප්‍රිය කරන බව ඉරියව් දැක්වීමෙන් පෙනේ. මිනිසා අන් සතුන්ට වඩා නිදහස - සතුට ප්‍රිය කරයි. බුදුරදුන් ද ඒ වග දේශනා කොට ඇත. එනිසා මිනිසා ඒ සඳහා නොකරන දෙයක් නැත. “සුඛකාමානී මනුස්සා” ජීවත්වීමට සුදුසු දේශවාසයක් මිනිසා සොයන්නේ එබැවිනි.

පතිරූපදේශ වාසය ඉබේ ගොඩනැගෙන්නක් නොවේ. මිනිසුන්ගේ සුන්දර වූ ගති පැවතුම් හා ඉරියව් සිතුම් පැතුම් නිසා ය. වෙනත් ලෙසකින් කිවහොත් මෛත්‍රී සහගතව හැමෝම දිවිගෙවන්නේ නම් පතිරූපදේශයක් අපහසුතාවයකින් තොරව ගොඩනැගේ.

මෛත්‍රියෙහි සාමාජිකාර්ථයක් ද වේ. ඒ සැමට ම හිතකාමීව සැපකාමීව නිදහසේ ජීවත්වීමට ඇති උරුමයයි. මෙම තත්ත්වය ගැඹුරින් වටහානොගෙන කිසිසේත් ම සමාජ සංවර්ධනයක් හෝ මානව සංවර්ධනයක් පිළිබඳ සිතීමටවත් අවකාශ නැත.

නිවන් පසක් කර ගැනීම මෛත්‍රියෙහි දාර්ශනිකාර්ථයයි. සාමාජික ලෙසින් ඇතිකර ගන්නා මානසික දියුණුව ම විමුක්තියට ඉවහල්වේ. විමුක්තිය පිළිබඳ සිතිය හැකිවන්නේ ද ඉහත කී ලෙසින් මෛත්‍රිය සාධාරණව - නිවැරැදිව දියුණු කරගතහොත් පමණි.

බක් අමාවක පෝය

බක් අමාවක පෝය මැයි මස 04 වනදා සෙනසුරාදා අපරභාග 04.03 ට ලබයි. 05 වනදා ඉරිදා පූර්වභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 04 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය මැයි මස 12 වනදා ඉරිදා.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]