බක් අමාවක 2019.05.04
මානව දයාව
එකම මිනිස් වර්ගයක් වුව ආගම, භාෂාව, වර්ණය, ජීවත්වන දේශය ආදි විවිධ හේතූන් මත
මිනිසා බෙදී වෙන් වී සිටිති. ඒ වෙන්වීම තුළ ඔවුනොවුන් ගේ අයිතිවාසිකම් ගැනම කතා
කරති. එහෙත් මිනිසෙක් ලෙස තමන් සතු යුතුකම අමතක කරති. එකම මිනිස් වර්ගයක් ලෙස
සාමයෙන් ජීවත්වීම, අන්‍යොන්‍ය සුහදත්වය අගය කළ (ඉතා විශාල පිරිසක්) මේ පුංචි රට තුළ
ඉස්මතු වූ නොමිනිස්කම ලෝකයට ප්‍රදර්ශනය කළේ අමානුෂිකත්වයේ කෲරත්වයයි. මිනිසා විවිධ
හේතුන් මත වර්ගීකරණය වුව ද අපගේ අසම සම ශාස්තෘන් වහන්සේ, තථාගත බුදු පියාණන් වහන්සේ
මේ බෙදීම්වල නිසරුබව හා අනුවණ බව පෙන්වා දුන්නේ මීට වසර දෙදහස් හය සියයකටත් පෙර ය.
බුදු දහම සියලු මිනිස් ප්‍රජාව සමානාත්මතාවයෙන් සලකන දහමකි. ඒ තුළ සියලුම දෙනාට
කිසිම භේදයකින් තොරව, මේ මිහිපිට කිසිවෙකුගේ කරදරයකින් තොරව, මරණ බියකින් තොරව
ජීවත් වීමේ අයිතිය තිබිය යුතු ය. එහිදී කිසිවෙකුට, කිසිවෙකුගේ ජීවිතය උදුරා ගන්නට
නො හැකි ය. සරලව කියනවා නම් මිනිස් ඝාතන සිදුකළ නො හැකි ය. ඒ ශ්‍රේෂ්ඨ දහම තුළ
අනුන්ගේ රුධිරය දැක සතුටුවන කෲරත්වයෙන් මඩනා ලද පුද්ගලයා සපුරා ප්‍රතික්ෂේප කෙරේ.
තමන්ට ද හිත අනුන්ටද හිත පිණිස වන ලෙස ජීවත්වන පුද්ගලයා ම අගය කෙරේ. දුර්ජනයා නම්
තමන් නැසී අනුන් ද නසන්නා ය. තමන්ගේ ද අයහපත, අනුන්ගේ ද අයහපත පිණිසවන පුද්ගලයා ය .
එවැනි වසලගති ඇත්තෝ විටෙක මුළු මහත් සමාජයක් උඩු යටිකුරු කරන්නට බියපත් කරන්නට සමත්
වෙති.
උසස් මනසක් ඇතත් මිනිසා එවැනි දුර්දාන්ත තත්ත්වයකට ඇද වැටෙන්නේ සිතිවිලි අවභාවිතයේ
යෙදවීම නිසා ය. කුඩා පැලයක් තමන් වෙත නිසි පරිදි ලැබෙන ජලය , පොහොර, සූර්යාලෝකය මත
අතු ඉතිලා මහා ශාඛයක් ව වැඩෙන්නේ ය. මිනිස් දරුවා ද ලැබෙන ආහාරපාන, අනුව සෞඛ්‍යමත්ව
ශාරීරිකව වැඩී වර්ධනය වේ. එහෙත් එපමණින් නොනැවතේ. මව්පියන්ගෙන් ඇතුළු බාහිර
සමාජයෙන් ලැබෙන අයහපත් හෝ යහපත් චර්යා ධර්ම තුළ මිනිස් දරුවාගේ හැසිරීම ද වර්ධනය
වේ. එය යහපත් අතට හැරුණේ නම් ඒ කුඩා මිනිස් දරුවාගෙන් නිර්මිත වන වැඩිහිටි මිනිසා
යහපත් පුද්ගලයෙක් වේ. අයහපත් වූයේ නම් අයහපත් පුද්ගලයෙක් වේ. මේ නිසා අපගේ ළමා
පරපුර වෙත යහපත් සිතිවිලි ම ගොඩ නැංවීම අත්‍යවශ්‍ය වේ. එය ඉතා දැඩිව අවධාරණයට ගත
යුත්තකි. කෙටි කාලීනව ද, දීර්ඝ කාලීනව ද ළමා මනස දැහැමි සිතිවිලිවලින් පෝෂණය කළ
යුතුම ය. ඒ තුළ මිනිස් වර්ගයාට පමණක් නොව සමස්ත පරිසරයටම ආදරය කරන ගෞරවය කරන සංවේදී
මිනිසෙක් නිර්මාණය විය යුතු ම ය. රටක් වශයෙන් ගත් කල විවිධ ජාතීන් වේ නම්, විවිධ
ආගමිකයන් වේ නම් ඒ සියලු මිනිස් වර්ගයා තුළ ම එය ක්‍රියාත්මක විය යුතු ය. ජාති,
ආගම්, භාෂා ආදි වෙනස්කම් තුළ සංහිඳියාවෙන් යුතු අනාගතයක් බලාපොරොත්තු විය හැකි
වන්නේ එවිට ය.
එක ම මිනිස් කණ්ඩායමක් හෝ මග හැරුණේ නම් ඒ මගහැරීම තුළ අනාගත විෂමාචාර සිදුවීම
වැළැක්විය නො හැකි ය. එහි ප්‍රතිඵල භුක්ති විඳින්නට වන්නේ සමස්ත සමාජයටම ය.
මිනිසාගේ අධ්‍යාත්මය පිරිහෙන වසල ගති පිළිබඳව බුදුරජාණන් වහන්සේ වසල සූත්‍රය තුළ
අවධාරණය කළහ. ඉන් කිහිපයක් පමණක් මෙහිදී අවධාරණය කරමු. නිතර අධික කෝපයට පත්වීම,
වෛරය, මිථ්‍යා දෘෂ්ඨික අදහස් ඇත්තෙක් වීම,පාපකාරි අදහස් ඇත්තෙක් වීම, වැරැදි කිරීමට
ලජ්ජා බිය නැතිකම ආදියයි. යම් කෙනෙක් තුළ විවිධ වේශයෙන් ක්‍රියාත්මක වන විනාශකාරී
මෙවන් වසල ගති වේ නම් ශාරීරික දඬුවම් පමණක් ලබා දීම ප්‍රමාණවත් නොවේ. මන්ද මතු
දිනෙක ඒ වසලගති නැවත ඉස්මතුවනු ඇත. ඒ නිසා මිනිස් මනසට වහා ප්‍රතිකාර දිය යුතුව ඇත.
ඒ සැබෑ මානව දයාව වෙනුවෙනි. |