[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

කන්දේගෙදර උපනන්ද නා හිමි

ඌව වෙලස්ස දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියට පත් මල්පොත ශ්‍රී නිග්‍රෝධාරාමාධිපති කන්දේගෙදර උපනන්ද නාහිමියන් වෙත 2019 මාර්තු මස 17 වැනි දින මල්වතු මහා විහාරස්ථානයේ දී අභිනව නායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානය කෙරිණි.

උන්වහන්සේ 1964 ජූනි මස 30 වන දින බදුල්ල හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කන්දේගෙදර නම් ග්‍රාමයේ දිසානායක මුදියන්සේලාගේ කළුබණ්ඩේ උපාසක මහතා හා රත්නායක මුදියන්සේලාගේ සුදුකුමා උපාසිකා මාතාව දම්පතීන්ගේ පවුලේ තෙවන දරුවා ලෙස උපත ලැබූහ. පින්වත් කුමරුවා මල්පොත ශ්‍රී නිග්‍රෝධාරාම පුරාණ විහාරාධිපති කන්දේගෙදර ධම්මානන්ද නාහිමියන්හා මැදගම මේධංකර ලොකු හාමුදුරුවන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1978 නොවැම්බර් 03 වන දින කන්දේගෙදර උපනන්ද නමින් ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් විය.

උන්වහන්සේ මහනුවර හඟුරන්කෙත මාදන්වෙල ශ්‍රී ධර්මෝදය මහ පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලබා ප්‍රාචීන පණ්ඩිත මධ්‍යම විභාගය සමත්ව 1984 දී අ.පො.ස. උසස් පෙළ විභාගය සමත්වී රුහුණ විශ්වවිද්‍යාලයට ඇතුළත් වූහ. 1984 දී මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ දී උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබූහ. රුහුණ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබාගත් උන්වහන්සේ ශ්‍රී ලංකා පර්වේණාචාර්ය සේවයට එක්වෙමින් බඩල්කුඹුර ශ්‍රී සුධර්මානන්ද මූලික පිරිවෙන්හි පරිවෙණාධිපති ධූරයට පත් වූහ. 1990 සිට 1994 වර්ෂය දක්වා පුරා වසර 05 ක් භික්ෂු අධ්‍යාපනය සංවර්ධනයෙහි ලා අද්විතීය මෙහෙවරක නිරත විය. අනතුරුව ශ්‍රී ලංකා ගුරු සේවයට එක්වෙමින් බ/ ඇකිරියන්කුඹුර විද්‍යාලයේ ධර්මාචාර්යවරයන් වහන්සේ ලෙස පත්වීම් ලැබ එහි වසර ගණනාවක් සේවය කොට මිරහවත්ත බ/ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට 1995 ස්ථාන මාරුවීමක් ලබාගත්තේ ය. කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිමකළහ. එම විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටින 2000 සිට පුරා වසර 07 ක් නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙස සිය වගකීම් සම්භාරය නොපිරිහෙළා ඉටු කළ උන්වහන්සේ විදුහල්පතිවරයා ලෙස පත් වූහ.

ස්වකීය ආදිකර්තෘවරයන් වහන්සේ කුඩා අතු පැලකින් ආරම්භ කළ මෙම පාසල ප්‍රදේශයේ සුවහසක් දරු දැරියන්ගේ නැණපහන් දැල්වීමට මනා තෝතැන්නක් බවට නගාසිටුවීමට නාහිමියන්ට හැකි විය.මල්පොත බ/ ශ්‍රී මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස වසරක පමණ කාලයක් සේවය කිරීමට ඉඩ ප්‍රස්ථාව සැලසුණි. දේවානන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස පත්වන නාහිමියෝ සිය විහාරස්ථානයේ කටයුතු අධික වීම නිසා ස්ව කැමැත්තෙන් විදුහල්පති තනතුර අත්හැර නියෝජ්‍ය විදුහල්පති ධූරයේ වගකීම් අද දක්වා නොපිරිහෙළා ඉටුකරමින් සිටිති.

ඉහත කී අධ්‍යාපනික හා ජාතික මෙහෙවරයන් වුවද සිය ශාසනික වගකීම් බිඳුවකුදු අතපසු කිරීමට ඉඩහසර නොතැබූ නාහිමියෝ විහාරස්ථ සතර පේරුවේ දායක පින්වතුන්ගේ ආගමික අවශ්‍යතා ඉටුකරමින් විහාරස්ථානය මුළුමනින් ම සංවර්ධනය කිරීමට පෙරමුණ ගෙන ක්‍රියා කරමින් සිටිති. කන්දේගෙදර දේවානන්ද නාහිමිපාණන් වහන්සේ අතු පැලකින් ආරම්භ කළ විහාරස්ථානය අද වන විට සියලු විහාර අංගෝපාංගයන්ගෙන් සමන්විත දියුණු විහාරස්ථානයක් බවට පත්ව තිබේ.

සමස්ත ලංකා සාමවිනිසුරු පදවියෙන් පිදුම් ලැබූ නාහිමියෝ විහාරස්ථ දහම් පාසල සිය ගුරුදේවයන් වහන්සේගේ ශ්‍රී නාමයට උපහාරයක් වශයෙන් “ශ්‍රී ධම්මානන්ද දහම් පාසල” ලෙස ලියාපදිංචි කර අද දක්වා ප්‍රදේශයේ දරුවන්ගේ දහම් අධ්‍යාපනය නඟා සිටුවන පින්බිමක් බවට පත්කර තිබේ. ගම්මානයේ සියලු ස්වේච්ඡා සමිති සමාගම්වල අනුශාසකත්වය දරමින් ගම්වැසියන් තුළ යහපැවැත්ම වර්ධනය කිරීමට ගන්නා වෙහෙස අපමණය. සිය ජාතික ආගමික සේවාවන් විහාරස්ථ දායක කාරකාදීන්ට පමණක් ලඝු නොකොට වැලිමඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී තනතුර දරමින් ද ප්‍රදේශයට විශාල මෙහෙවරක් සිදුකරති. ප්‍රාදේශීය මහා සංඝරත්නය සමග මෙන්ම මහජනතාව සමග ප්‍රදේශයේ ආගමික මෙන්ම ජාතික කර්තව්‍යයන්හිදී නොපැකිලව අවශ්‍ය නායකත්වය හා මග පෙන්වීම ලබාදෙයි.


අපරැක්කේ හිමරතන නාහිමි

දක්ෂිණ ලංකාවේ කීර්තිමත් විද්‍යාස්ථානයක් ලෙසත්, ඉපැරැණි විහාරස්ථානයක් ලෙසත් මාතර, පුහුල්වැල්ල, කිරින්ද ශ්‍රී පූර්වාරාම පිරිවෙන් විහාරස්ථානය හැඳින්විය හැකි ය.

වේහැල්ලේ ධම්මදින්න නාහිමියන්ගෙන් ආරම්භ වූ දකුණේ කීර්තිමත් සඟ පරපුරකට අයත් මහ තෙරුන් වහන්සේලා වැඩසිටි විහාරස්ථානයක් වන පූර්වාරාමයෙහි ආදිකර්තෘවරයාණන් වහන්සේ ලෙස සැලකෙන්නේ හුන්නදෙණියේ ධම්මපාල මාහිමියෝය. එම පරපුරේ කීර්තිමත් පඬිරුවනක් ලෙස සැලකෙන්නේ පූරවාරාමාධිපතිව වැඩ විසූ ගැටමානේනේ සිද්ධාර්ථ මාහිමියන් වහන්සේය. උන්වහන්සේ විවිධ ප්‍රදේශවල ධර්ම දේශනා සිදු කළහ. මහනුවර ප්‍රදේශයේ ද බොහෝ කලක් වැඩසිටි උන්වහන්සේ 1870 දී නැවත පූර්වාරාමයට වැඩම කරවූහ. 1876 දී පූර්වාරාමය විද්‍යාස්ථානයක් බවට පත් කරන්නේ උන්වහන්සේ විසිනි. ගිහි පැවිදි විශාල පිරිසකට ධර්ම ශාස්ත්‍රය ඉගැන්වූ ප්‍රකට ආයතනයක් බවට පත්ව තිබේ. විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් ද කැපවී ක්‍රියා කළ සිද්ධාර්ථ හිමියෝ විශාල ශිෂ්‍ය පිරිසක් බිහි කළහ.

1894 දී සිද්ධාර්ථ හිමියන්ගේ අපවත්වීමෙන් පසු පූර්වාරාමාධිපති ධුරයට පත්වන්නේ උන්වහන්සේගේ ශිෂ්‍ය හීල්ලේ දේවමිත්ත මා හිමියෝ ය. උන්වහන්සේගේ අපවත්වීමෙන් තත් ශිෂ්‍ය නායිම්බල සාරානන්ද හිමියන් විහාරාධිපති තනතුරට පත්වූහ. 1942 දී සාරානන්ද හිමිගේ අපවත්වීමෙන් පසු එම තනතුරට පත්වන්නේ උන්වහන්සේගේ පැවිදි සහෝදර ගැටමාන්නේ පියරතන නාහිමියෝ ය. ඒ වැඩිමහල් සහෝදර හිමියන් වූ රාජකීය පණ්ඩිත අපරැක්කේ දේවානන්ද මාහිමියන් එම තනතුර භාර නොගැනීම හේතුවෙනි.

කිරින්ද පූර්වාරාම විහාරස්ථානයේ වර්තමාන අධිපතිත්වය දරන්නේ මාතර හම්බන්තොට දෙදිසාවේ අධිකරණ සංඝනායක, විශ්‍රාමලත් පරිවේණාධිපති, ප්‍රවීණාචාර්ය, ශාස්ත්‍රවේදී අපරැක්කේ හිමරතනාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. පූර්වාරාම පරිවේණාස්ථානයෙන් බිහිවූ දීප්තිමත් පඬිරුවනක් වන උන්වහන්සේගේ අසු වැනි ජන්ම දිනය අපේ‍්‍රල් මස 25 වන දිනට යෙදී තිබිණි.නාහිමියෝ ජන්මලාභය ලැබුවේ 1939 අපේ‍්‍රල් මස 25 වන උඩඅපරැක්ක ගම්පියසේ දීය. එච්.බී.රණධීර සහ පී.එම්.ගජනායක දම්පතීන්ගේ පුත්රුවන කුමාර පියදාස රණධීර නම් විය.

මාර /කොකාවෙල විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා 1952 දී පැවිදි බිමට පත්වන්නේ එකල කිරින්ද පූර්වාරාම පරිවේණාධිපතිව වැඩ විසූ අපවත්වී වදාළ රාජකීය පණ්ඩිත අපරැක්කේ දේවානන්ද මාහිමිපාණන්ගේ සහ පූරවාරාම පිරිවෙන් විහාරාධිපතිව වැඩ සිට අපවත්වී වදාළ ගැටමාන්නේ පියරතනාභිධාන මාතර,හම්බන්තොට දෙදිසාවේ අධිකරණ සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ හිෂ්‍යරත්නය ලෙසට ය. උගතයුතු මූලික බණදහම් හා ශාසනික අධ්‍යාපනය ලද උන්වහන්සේ උපසම්පදාව ලබන්නේ 1959 දී මල්වතු මහාවිහාරයීය උපෝෂථාගාරයේදී ය.

අධ්‍යාපන කටයුතුවලදී නිසග ඥානශක්තියත්, වාසනා ගුණයත්, අප්‍රතිහත ධෛර්යත් නිසා විවිධ ජයග්‍රහණ හිමිකරගැනීමට සමත් වූ හිමරතන හිමියෝ, පූර්වාරාම පිරිවෙනහිදී ම ප්‍රාචීන ප්‍රාරම්භ පරීක්ෂණයෙන් සමත් වූහ. ඉන්පසු ගාල්ල, විද්‍යාලෝක පිරිවෙනට ඇතුළත් වූ උන්වහන්සේ එහිදී ප්‍රාචීන මධ්‍යම පරික්ෂණයෙන් සමත්වන්නේ දිවයිනේ ප්‍රථමයා වී ඤාණතිලක සම්මානය ද හිමිකර ගනිමිනි. අනතුරුව විශ්වවිද්‍යාලයීය ප්‍රවේශ විභාගයෙන් සමත්ව විශ්ව විද්‍යාලයට ඇතුලත්ව 1964 දී ශාස්ත්‍රවේදී උපාධිය ද හිමිකරගත්හ.

1965 දී රජයේ ගුරු සේවයට ඇතුළත් වන නාහිමියෝ හ/පලපොත මහ විද්‍යාලය , හ/ගැටමාන්න මධ්‍ය මහා විද්‍යාලය, මාර/පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලය යන විද්‍යෘලයන්හි බුද්ධධර්මය, බෞද්ධ සංස්කෘතිය, සිංහල යන විෂයයන් ඉතා වගකීමෙන් හා දැඩි කැපවීමෙන් ඉගැන්වූහ. උන්වහන්සේගේ අවංක ගුරු ජීවිතය ආදර්ශමත් විය. හෘදසාක්ෂියට එකඟ වූවක් විය.එනිසා ම, රටට ,දැයට ,සමයට වැඩැති සදාචාරවත් පිරිසක් දායාද කළේය යන නිරහංකාර සතුට අද ද උන්වහන්සේ විඳිති.

1990 දී දිගුකාලීන පාසල් ගුරුසේවයෙන් බැහැරවන නා හිමියෝ එතැන් පටන් පූර්වාරාම පිරිවෙනේ අධිපත්වය භාරගෙන එහි අභිවෘද්ධිය පිණිස පුරා වසර දහයක් ක්‍රියා කළහ.තම ගුරුදේව නාහිමිපාණන් වහන්සේගේ අපවත් වීමෙන් පසු පූර්වාරාම පිරිවෙන් විහාරස්ථානයේ අධිපතිත්වයට ද පත් වූ උන්වහන්සේ විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් ඉමහත් සේවාවක් සිදු කළහ. උන්වහන්සේගේ මෙම ආගමික, ශාසනික හා ජාතික සේවාවන් අගයමින් 1994 මහනුවර මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රවරප්‍රමුඛ විංශද්වර්ගික කාරක සංග සභාව විසින් මාතර, හම්බන්තොට දෙදිසාවේ අධිකරණ සංඝනායක පදවියෙන් ද සම්භාවනාවට පත් කරන ලදී

උන්වහන්සේගේ සමාජයීය සේවාව ද අගය කළ යුත්තකි. ප්‍රදේශයේ සිසු දරුවන් දහස් ගණනකට දහම් දැනුම ලබාදෙන ශ්‍රී සිද්ධාර්ථ දහම්පාසල හා සිරි සිදුහත් ළදරු පාසල උන්වහන්ස්ගේ පූර්ණ අධීක්ෂණය හා අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වේ. කිරින්ද , පුහුල්වැල්ල ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපතීන් වහන්සේ ලෙස විශාල සේවාවක් සිදුකරන උන්වහන්සේ ප්‍රදේශයේ සිදුවන සමාජ විරෝධී ක්‍රියා වැළැක්වීම සඳහා අමිල සේවාවක් ඉටුකරති. 1971 වසරේ සිට කිරින්ද නගරයේ පවත්වාගෙන ගිය ගව මස් කඩය වසා දැමීමට කටයුතු කිරීම, කිරින්ද නගරයේ සුරාසැලක් ආරම්භ කිරිමට ඉදිරිපත් වූ සැලසුම් ප්‍රදේශවාසීන් හා එක්ව නිශ්ප්‍රභ කිරීම ඒ අතර ප්‍රධාන තැනක් ගනී. පරිපාලන කටයුතු ඉතා දුෂ්කර ලෙස කර ගැනීමට සිදු වූ කිරින්ද , පුහුල්වැල්ල ප්‍රදේශවාසීන්ට තම අවශ්‍යතා පහසුවෙන් ඉටුකර ගැනීමට හැකිවන සේ නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලබාගැනීමට මූලිකත්වය ගත්තේද නාහිමියෝම ය.


ගලගෙදර රතනවංස හිමි

ගලගෙදර රතනවංස හිමියන් පුවත්පත්, ලේඛක ස්වාමින් වහන්සේ නමකි. උන්වහන්සේ කුඩා කලදී ම සසුන්කෙතට පිවිස , මහඟු සේවාවක් කරන ස්වාමීන් වහන්සේ නමකි. කු/නික/වාරි රත්මලේ රතනසෙල මහ පිරිවෙනෙහි නියෝජ්‍ය පිරිවේණාධිපති වශයෙන් උන්වහන්සේ ගිහි , පැවිදි දෙපක්ෂය වෙනුවෙන් ම විශාල සේවාවක් ඉටුකරති.

ශිල්ප ශාස්ත්‍රයත්, භාෂා ඤාණයත්, විෂයානුබද්ධ කරුණුත් පිළිබඳ උන්වහන්සේ ගවේෂණාත්මකව පසුවන්නේය. ත්‍රිපිටකාගත දහම් කරුණු කියවා ඒවා ලිහිල් බසින් පුවත්පත් ඔස්සේ ලක්වැසියාගේ දහම් පවස නිවා දැමීමට මග සලස්වනු වස් උන්වහන්සේ කරන එම සේවාව ඉතා අගනේය. කිසිඳු ලාභ ප්‍රයෝජනයක් හෝ කීර්ති ප්‍රශංසාවක් නොතකමින් භික්ෂුවකගෙන් විය යුතු සේවය සසුන් කෙතට හා රටට දැයට ඉටුකිරීමට උන් වහන්සේ නිරතුරුවම උත්සාහවත් වනු ඇත. උන්වහන්සේ විවිධ පුණ්‍යක්‍රියා හා සමාජ සේවාවන් ද සිදුකරනු අයුරු දනිමු.

2019 මැයි 08 වෙනි දිනට උන්වහන්සේට වර්ෂ හතළිස් පහක් පිරීම නිමිත්තෙන් සුවිශේෂි බෝධි පූජා පින්කමක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇති බැවින් එපින් බලෙන් හා තුණුරුවන්ගේ බලයෙන් ගලගෙදර රතනවංස හිමියන්ට තව බොහෝ කාලයක් රටටත්, සසුන් කෙතටත් සේවය කිරීමට නිදුක් නිරෝගී සුවය, චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටිමු.

බක් අමාවක පෝය

බක් අමාවක පෝය මැයි මස 04 වනදා සෙනසුරාදා අපරභාග 04.03 ට ලබයි. 05 වනදා ඉරිදා පූර්වභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 04 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය මැයි මස 12 වනදා ඉරිදා.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]