[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙවළා බුදු වදන් අතරින් 28: පිදිය යුත්තන් පිදීම චාරිත්‍රයක් පමණක් නොවේ

තෙවළා බුදු වදන් අතරින් 28:

පිදිය යුත්තන් පිදීම චාරිත්‍රයක් පමණක් නොවේ

" පෙරදිග සංස්කෘතියට අනුව තම මව්පියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට මෙන්ම සිල්වතුන්ට තම ගෞරවය, කෘතඥතාව හා ප්‍රණාමය පළකරන්නේ, පෙන්වන්නේ වැඳීමෙන් හා දැක හුනස්නෙන් නැගිටීමෙන් ය."

සිල්වතුන්ට නමස්කාර කිරීමෙන් හා නිතර වැඩිහිටියන් පිදීමෙන් ආයු, වර්ණ, සැප හා බලය යන සිව්වැදෑරුම් අංග වර්ධනය වේ යැයි ධම්මපද පාලියේ සහස්ස වග්ගයේ දැක්වේ. 'අභිවාදන සීලිස්ස' යනුවෙන් ඇරඹෙන එම ගාථාව මෙරට ගිහි පැවිදි බොහෝ දෙනෙකුට කටපාඩම් ව තිබෙන හෙයින් එහි ජනප්‍රියතාව පැහැදිලි වේ.

'අභිවාදනය' හෙවත් නැමදීමත්, 'අපචායනය' හෙවත් පිදිය යුත්තන් පිදීමත් බෞද්ධ සංස්කෘතියෙහි පිළිගත් චාරිත්‍ර දෙකකි. ථෙරවාද සම්ප්‍රදායේ එන දස පුණ්‍යත් ක්‍රියා අතරින් අපචායනය හෙවත් පිදිය යුත්තන් පිදීම එක් පුණ්‍යක්‍රියාවකි. ඉහත සඳහන් කළ ධම්මපද ගාථාවෙහි දැක්වෙන පරිදි දිගුකල් ජීවත් වීම, රූප සෞන්දර්යයෙන් යුක්ත වීම, කායික හා මානසික වශයෙන් සුවපත් වූ දිවිපෙවෙතක් ගත කිරීම, තම කායික බලය ආරක්ෂා කරගැනීම ආදිය සෑම පුහුදුන් පුද්ගලයෙකුගේ ම ඒකායන ප්‍රාර්ථනය හා අපේක්ෂාව වේ. එම අරමුණු සාක්ෂාත්කර ගැනීම උදෙසා සෑම අයෙක් ම අනවරත උත්සාහයක නිරත වන බව පැහැදිලි ය. ඒ සඳහා විශාල ධනයක් මෙන්ම කාලය ද වැය කරයි. පුහුදුන් පුද්ගලයා මෙකී චතුර්වර්ග ඵල අපේක්ෂා කිරීම වරදක් නොවේ.

එහෙත් මෙම ප්‍රාර්ථනා සඵල කරගැනීමෙහිලා බුදුසමය හඳුන්වාදෙන්නේ සදාචාරාත්මක පිළිවෙතකි. එනම් සිල්වතුන්ට අභිවාදනය කිරීම හා නිතර වුද්ධාපචායනයේ යෙදීම යි. මෙම කරුණු දෙකින් ම අවධාරණය වන්නේ බෞද්ධ චාරිත්‍ර දෙකකි. වෙනත් වචනයකින් කියන්නේ නම් බෞද්ධයෙකු විසින් අනුගමනය කළ යුතු සදාචාරාත්මක පිළිවෙත් දෙක කි. සිල්වතුන් උදෙසා නිතර අභිවාදනය කළ යුත්තේ ඔවුන් කයින්, වචනයෙන් හා මනසින් ආත්ම දමනය කළ පුද්ගලයන් වන හෙයිනි. වුද්ධාපචායනය හෙවත් වැඩිහිටියන් නැමදීම බෞද්ධ සංස්කෘතියට ආවේණික චාරිත්‍රයකි. දේවවාදී ඇතැම් ආගම්වලින් ඉගැන්වෙන්නේ මව්පියන් හැර අන් අයට නැමදීම නොකළ යුතු බව යි. ඔවුන් වැඩිහිටියන්ට ගරු කරන්නේ වෙනත් ආකාරයෙනි.

වැඩිහිටියන්ට හා සිල්වතුන්ට නැමදීම හුදෙක් චාරිත්‍රයක් ම පමණක් නොවේ. එයින් මානසික පාරිශුද්ධියක් ද ඇති වේ. පුද්ගල සන්තානගත මානය දුරු කිරීම අභිවාදනයේ ප්‍රමුඛතම අරමුණ යි. මානය ප්‍රබල අකුසල සහගත ක්ලේශ ධර්මයකි. එය සෙය්‍යමාන, සදිසමාන, හීනමාන යනුවෙන් ආකාර තුනකින් ක්‍රියාත්මක වේ. විවිධ නයින් තමා පිළිබඳ කල්පනා කොට, අන්‍යයන් පහත්කොට සිතා සිල්වතුන්ට, ගුණවතුන්ට හා වැඩිහිටියන්ට ගරු නොකර සිටීම සෙය්‍යමානය යි. සෙසු අය හා තමන් සමානකොට සලකා ඔවුන්ට ගෞරවනීය ආකාරයෙන් නොසැලකීමත්, අනම්‍යශීලිව කටයුතු කිරීමත් සදිස මානය යි. හැම අතින්ම තමා පහත් කෙනෙකැයි සිතා ගරු නොකළ යුත්තන්ට නොවැඳිය යුත්තන්ට, අයුක්තියට හා අධර්මයට නැමෙන සුළු ගතිය හීන මානය යි. මෙකී ත්‍රිවිධ මානය වඤ්චක ධර්මයක් ලෙස ක්‍රියාත්මක වන අයුරු අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් විසින් සම්පාදිත “වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම” නමැති මහඟු ග්‍රන්ථයේ මැනවින් විවරණයකොට තිබේ. සිල්වතුන් ට ගුරුවරුන් ට හා වැඩිහිටියන් ට නමස්කාර කිරීමෙන් හා ගෞරව දැක්වීමෙන් සන්තානගත ත්‍රිවිධ මානය ක්‍රමයෙන් දුරු වේ.

පුද්ගලයන් අතර විවිධ විෂමතා හා වෙනස්කම් ඇතිවීමෙහිලා ඉවහල්වන හේතු අතර ඔවුන් විසින් විවිධ භවයන්හී කරන ලද කුසලාකුසල කර්මය ද එක් හේතුවක් බව චුල්ලකම්මවිභංග සූත්‍රයේ දැක්වේ. එම සූත්‍රයෙහි දැක්වෙන පරිදි මෙලොව කිසියම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මානයෙන් මත්ව වැඳීය යුත්තාට නොවඳීයි ද, දැක හුනස්නෙන් නැගිට ගෞරව කළ යුත්තාට හුනස්නෙන් නැගිට ගෞරව නොදක්වයි ද, අසුනක් දීමට සුදුසු තැනැත්තාට අසුනක් නොදෙයි ද, මාර්ගය ඉඩදිය යුත්තාට මාර්ගය අවහිර කරයි ද, සත්කාර කළ යුත්තාට සත්කාර නොකරයි ද, ගරු කළ යුත්තාට ගරු නොකරයි ද, බුහුමන් කළ යුත්තාට බුහුමන් නොකරයි ද, පිදිය යුත්තාට නොපුදයි ද එසේ කිරීමෙන් රැස්කරන ලද අකුසල කර්මයේ විපාක වශයෙන් මරණින් පසු දුගතියේ උපදියි. යම් හෙයකින් මිනිසත් බව ලබයි නම් ජන්ම දෝසවලට හිමිකම් කියයි. මානයෙන් මත්වී පිදිය යුතු, ගරු කළ යුතු අයට මදි පුංචිකම් කරමින් ඔවුන් අපහසුතාවයට පත්කිරීම මතු අයහපත් විපාක ලැබෙන අකුසල කර්මයක් බව මෙයින් සනාථ වේ. සිල්වතුන්ට, ගුණවතුන්ට, වැඩිහිටියන්ට මෙන්ම පිදිය යුතු අයට නිසි ගරු බුහුමන් දැක්වීම මානය නමැති ක්ලේශ ධර්මයෙන් සිත මුදවා ගැනීමට උපකාරී වේ. ඒ අනුව අභිවාදනය හා වුද්ධපචායනය හුදෙක් චාරිත්‍රයක් පමණක් ම නොව අධ්‍යාත්මික පාරිශුද්ධත්වය පිණිස ඉවහල්වන, සසර සැපවත්වීමට හේතුවන කුසල ක්‍රියාවකි. යම් කෙනෙක් වෘද්ධාපචායනයෙහි නිරත වන්නේ නම් එම තැනැත්තා මෙලොව වශයෙන් ප්‍රසංසාවට පත්වන (දිට්ඨෙව ධම්මෙ පාසංසා) අතර පරලොව වශයෙන් සුගතියේ (සම්පරායෙච සුග්ගතිං) උපදින බව තිත්තිර ජාතකයේ සඳහන් වේ. මානය දුරුකොට, ගෞරවය උපදවාගෙන, ගුණ සලකා, කළ උපකාර සිහිකොට, පිදිය යුත්තන්ට පුදන්නාට, වැඳීය යුත්තන්ට වඳීන්නාට එහි අනුරූපී විපාක වශයෙන් හැම තන්හිම ගෞරව හා ප්‍රශංසාව හිමි වේ. මේ අනුව අභිවාදනය හා අපචායනය යන චාරිත්‍ර දෙකම සිතෙහි මානය දුරු කෙරෙන මානසික අභ්‍යාසයක් මෙන්ම උසස් ආනිසංස ලබාදෙන කුසල ක්‍රියාවක් ද වේ. එසේම එය කෙනෙකු සමාජ සම්භාවනාවට, ප්‍රශංසාවට ලක්වන සද්චාරිත්‍රයකි.

බෞද්ධ සංස්කෘතිය ගරු කරන සෑම අයෙක්ම වැඩිහිටියන්ට නැමදීම දෛනික ව සිදු කරන අතර විශේෂයෙන් ම සිංහල අවුරුදු සමයෙහි මව්පියන්ට, ගුරුවරුන්ට හා වැඩිහිටියන්ට බුලත් අතක් දී නැමදීමේ චාරිත්‍රය බහුල ව සිදු කරනු ලැබේ. එහෙත් එය නිසි අයුරින් සිදුකරනවා ද යන්න ගැටලුවකි. එය තම සිතෙහි පවතින මානය හා අහංකාරය දුරුකොට ගෞරව සම්පන්නව සිදුකරන්නේ නම් එයින් යට දක්වන ලද ආනිසංස අත්පත්කරගත හැකි ය. කුඩා කල මව්පියන්ගේ හා වැඩිහිටියන්ගේ බලපෑම මත එය සිදුකළත් වැඩිහිටි වියට එළඹී පසුව ඇතැම් අය එය අමතක කොට කටයුතු කරනු දක්නට ලැබේ. සෙසු ජීවීන්ට වඩා මිනිස් ජීවියා උපතේ දී ඉතාමත් දුර්වල ය. කිසිවක් කරකියාගත හැකි අයෙකු නොවේ. ඒ හෙයින් මිනිසාට ඉපදුන සැනින් අන්‍යයන්ගේ සහාය අවශ්‍ය වේ. ළදරුවෙකු වශයෙන් උපන් අයෙකුට අන්‍යයන්ගේ සහාය නොමැතිව ඉදිරිපැවත්මක් නොමැත. සෙසු ජීවින්ට මව්පියන්ගේ සහාය ලැබ ඉතා කෙටි කලකින් දෙපයින් නැගී සිට තම පැවැත්ම ට අවශ්‍ය දෑ තනිව ම කළ හැකි ය. එහෙත් මිනිසෙකුට ඉතා දිගු කලක් මව්පිය සෙනෙහස හා රැකවරණය අවශ්‍ය වේ. උපතේ සිට මරණය තෙක් ම තනිව ජීවත්විය නොහැකි ය. උපතේ සිට මරණය දක්වා ජීවත්වීමට විවිධ තරාතිරම්වල පුද්ගලයන්ගේ සහාය අත්‍යවශ්‍ය වේ. එසේම මිනිසා මෙලොවට එන විට කිසිවක් රැගෙන එන්නේ ද නැත. උපතින් පසු ඔහුගේ පැවැත්මට අවශ්‍ය සියල්ල ලැබෙන්නේ ස්වභාවික පරිසරයෙන් හා ඔහුට පෙර මෙලොවට පැමිණි සෙසු මිනිසුන් විසින් නිපදවනු ලැබූ දේවලින් ය. ඒ අනුව අප සෑම කෙනෙක්ම ස්වභාව ධර්මය ට මෙන්ම අපට පෙර මෙලොවට පැමිණි විශාල පිරිසකට ණය ගැති ය. මේ ණයගැති බවින් මිදීමට නම් පළමුව අප ඒ සියල්ල කෙරෙහි කෘතඥ විය යුතු ය. එම කෘතඥතාව පළකරන එක් ක්‍රමයක් නම් ඔවුන්ට නිසි ගරු බුහුමන් දැක්වීම යි. මව්පියන්ට, ගුරුවරුන්ට මෙන්ම වැඩිහිටියන්ට නමස්කාර කිරීම, ගරු කිරීම මෙන්ම ඔවුන්ට උපකාර කිරීම එම කෘතඥතාව පළකිරීමේ එක් ක්‍රමය කි. ඒ සියල්ල අමතකකොට මානයෙන් උමතු වී වැඩිහිටයන්ට, ගරු කළ යුත්තන්ට, පිදිය යුත්තන්ට ගරු කිරීම පිදීම හා අභිවාදනය කිරීම මදිකමක්ය, නොකළ යුත්ත ක් ය, අනවශ්‍ය දෙයක්ය යනුවෙන් කල්පනා කිරීම කළගුණ දත් සත් පුරුෂයෙකුගේ ලක්ෂණයක් නොවේ.

බටහිර සංස්කෘතිය මහත් උද්දාමයෙන් වැළඳ ගන්නා, එමෙන් ම නූතනත්වය වරදවා වටහාගත් ඇතැම් පුද්ගලයන් වැඳීම,නැමඳීම වැඩිහිටියන් දැක හුනස්නෙන් නැගිටීම නොකළයුතු දෙයකැයි සිතන අයුරු කොතෙකුත් දැකිය හැකි ය. එහෙත් පෙරදිග සංස්කෘතියට අනුව තම මව්පියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට මෙන්ම සිල්වතුන්ට තම ගෞරවය, කෘතඥතාව හා ප්‍රණාමය පළකරන්නේ, පෙන්වන්නේ වැඳීමෙන් හා දැක හුනස්නෙන් නැගිටීමෙන් ය. එම චාරිත්‍රය අනුගමනය කිරීමෙන් තමන් පහතට දමා ගැනීමක් අදහස් නොවේ. මානය දුරුකොට ඔවුන් වෙත තම නිහතමානී ගුණය ප්‍රකාශ කිරීම යි එයින් සිදුවන්නේ. අතීතයෙන් ලැබුණ දෑට කෘතඥවීමත්, අනාගතයට ආදර්ශයක් සැපයීමත් එයින් අපේක්‍ෂිත ය. එබැවින් මව්පියන්ට, වැඩිහිටියන්ට හා ගුරුවරන්ට මෙන්ම ගරු කළ යුතු, පිදිය යුතු උතුමන්ට ගෞරවාචාර දැක්වීමට පසුබට නොවිය යුතු ය. පෙරදිග සංස්කෘතිය අනුව යම් කෙනෙකු වැඩිහිටියෙකුට, දෙමාපියන්ට හෝ ගුරුවරුන්ට වඳීන විට ගෞරව සත්කාර දක්වන විට වැඳුම් ලබන තැනැත්තා විසින් ද පෙරළා ආශීර්වාද කිරීම සිදුවේ. පිරිසුදු සිතකින් කෙරෙන එම ආශීර්වාදය අර්ථපූරණ ය. ප්‍රතිඵල දායක ය. පෙරළා ආදරය හා දයාව පළකිරීමක් ද වේ. එසේ වන්දනීය පූජනීය පුද්ගලයන්ට ගරුසත්කාර දැක්වීමට අභිවාදනා කිරීමට, ඔවුන් තමාට කළ උපකාර සිහිකරමින් කෘතඥතාව පළකිරීමට ඔවුන්ගේ උපකාර ඇගයීමට සැම විටම සූදානම් නම් අන්තර් පුද්ගල සමාජ සම්බන්ධතා බෙහෙවින් යහපත් වනු ඇත. සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර අතර වැඩිහිටියන්ට සැලකීම ප්‍රධානම චාරිත්‍රය වේ. එසේ ගෞරව උපහාර දැක්වීමෙන් සිංහල අවුරුදු සිරිත් විරිත් තවදුරටත් අර්ථවත් කරගැනීමට උත්සුක වෙමු. අභිවාදනය හා ගෞරව උපහාර දැක්වීමේ චාරිත්‍රය මතුපිටින් බලනු වෙනුවට එහි ගැබ්ව පවතින මනෝවිද්‍යාත්ම, සමාජවිද්‍යාත්මක හා සංස්කෘතික අගය වටහාගැනීමෙන් එය හුදෙක් චාරිත්‍රයක් පමණක් ම නොවේ යන්න වටහා ගත හැකි වේ.

බක් අවඅටවක පෝය

බක් අවඅටවක පෝය අප්‍රේල් 26 වන දා සිකුරාදා අපර භාග 02.40 ට ලබයි. 27 වන දා සෙනසුරාදා අපර භාග 05.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 26 වන දා සිකුරාදාය.

මීළඟ පෝය මැයි 04 වනදා සෙනසුරාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]