[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු දනට කරුණාවෙනි: මල් ගුණ පරදන සිල් ගුණ

මල් ගුණ පරදන සිල් ගුණ

භාග්‍යවතුන් වහන්සේ නැවත මෙසේ මේ ආර්යය උපෝසථය පිළිබඳව දේශනා කරන සේක.

විශාඛාවෙනි, එම ආර්ය ශ්‍රාවකයා මෙසේ නුවණින් සලකනවා. රහතන් වහන්සේලා දිවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් බැහැරව වාසය කරනවා. එනම් දඬු මුගුරු දරන්නේ නැහැ. අවි ආයුධ දරන්නේ නැහැ. අකුසල් කිරීමට අවබෝධයෙන් යුක්තව ලජ්ජාවක් ඇති කර ගන්නවා. සියලු ප්‍රාණීන්, භූතයන් කෙරෙහි දයාවෙන් හා හිතානුකම්පීව කටයුතු කරමින් වාසය කරනවා.

“පාණාතිපාතා පටිවිරතා නිහීතදණ්ඩා, නිහිත සත්ථා ලජ්ජී දයාපන්නා සබ්බපාණභූතහිතානුකම්පී විහරන්ති” ආදී වශයෙන්, ඒ ශ්‍රාවකයා මෙසේ සිහිපත් කරනවා. “මම ද අද, මේ රෑ, මේ දවස, ප්‍රාණඝාතයෙන් වැළකී වාසය කරනවා. බහා තැබූ දඬු ඇතිව, බහා තැබූ අවි ඇතිව, අවබෝධයෙන් පාපයට ලජ්ජා ඇතිව දයාවට පැමිණ, සියලු ප්‍රාණීන්, භූතයන් කෙරෙහි හිතානුකම්පී වූයේ වනවා. ඒ අනුව වාසය කරනවා. මේ ගුණයෙනුත් රහතන් වහන්සේලා අනුගමනය කරනවා. රහතන් වහන්සේලා අනුකරණය කරනවා. මා විසින් පෙහෙවස විසුවා. අවබෝධයෙන් ම උපෝසථ දිනය මේ ලෙසින් මම වාසය කළේ යැයි සුවයක්, සැනසිල්ලක් ලබනවා.

රහත් වූ, දිවි හිමියෙන් සොරකමින් වැළකුණාහු, දුන් දේ පමණක් ගන්නා සුළු වූයේ, දුන් දෙයට පමණක් කැමැති වන්නේ, සොරසිතින් බැහැරව පිරිසුදු සිතින් ම යුතුව වාසය කරනවා. මම ද අද, මේ රෑ හා මේ දවස සොරකමින් හෙවත් නොදුන් දෙය ගැනීමෙන් වැළකී වාසය කරනවා. දුන් දෙය පමණක් ම ගන්නා කෙනෙක් බවට පත්වෙනවා. දුන් දෙයට පමණක් ම කැමැති වන අයෙක් බවට පත්වෙනවා. සොර නොවූ පිවිතුරු ආත්මභාවයකින් වාසය කරනවා. “මා මේ ආකාරයෙනුත් රහතන් වහන්සේලා අනුකරණය කරනවා. අනුගමනය කරනවා. මා විසින් පොහෝ දවස උපෝසථ සීලය සමාදන් වී වාසය කරන්නෙක් වෙනවා”.

රහත් හූ දිවි හිමියෙන් අබ්‍රහ්මචරියාව හැර දමා බඹසර ඇත්තාහු, අබ්‍රහ්මචාරයෙන් දුරුව වාසය කරන්නාහු ය. ග්‍රාමීය දහමක් වූ, එනම් ලාමක වූ මෛථුනදමින් එනම් කාම සේවනයෙන් වැළකුණෝ ය. “ මම ද අද, මේ රැය හා මේ දවාල අබ්‍රහ්මචාරය හැර දමා බ්‍රහ්මචාරයෙන් යුක්තව ලාමක වූ මෛථුන ධර්මයෙන් වැළකුනේ වෙනවා. මා මේ ගුණයෙනුත් රහතන් වහන්සේලා අනුගමනය කරනවා. අනුකරණය කරනවා. මා විසින් පිරිසුදු වූ පෙහෙවස හෙවත් උපෝසථය සමාදන් වූයේ එහි ම වාසය කරන්නේ වනවා” යනුවෙනුයි.

රහත් හූ දිවි හිමියෙන් බොරුකීම හැර දමා, බොරුකීමෙන් වැළකුණා වූ, සත්‍යවාදී වූවා හු, සත්‍යයෙන් සත්‍ය ගටනා හු, ස්ථිර කතා ඇත්තා හු, ඇදහිය යුතු කතා ඇත්තා හු බවට පත්වෙනවා. මුසාවාද නිසා ලෝකයා කම්පා කරවන්නේ නැහැ. මා ද අද මේ රෑ හා දවාල බොරුකීම හැර දමා මුසාවාදයෙන් වැළකුණේ වෙනවා. සත්‍යවාදී වූයේ වෙනවා. සත්‍යයෙන් සත්‍ය ම පවසමින් ස්ථිර කතා ඇතිව ඇදහිය හැකි කතා ඇතිව, ලෝකයා සමඟ සන්සුන්ව වාසය කරනවා. බොරුවෙන් ලෝකයා සමඟ ගැටෙමින් වාසය නොකරනවා. මා මේ ගුණයෙනුත් රහතන් වහන්සේලා අනුකරණය කරනවා. අනුගමනය කරනවා. මා විසින් මෙසේ පිරිසුදු වූ පෙහෙවස හෙවත් උපෝසථය වාසය කරනු ලබනවා.

ජීවිතය දෙවැනි කොට රහමෙර පානය කරන්නා වූ අවස්ථාවකට මගේ සිත පත්කරගන්නේ නැහැ. මේ නිසා පාපී චේතනා ඇතිවන ප්‍රමාදයට හේතුවන රහමෙර හැර දමා ප්‍රමාද කරුණුවලින් වැළකුනේ වෙනවා. මා අද, මේ රෑ හා මේ දවාල ප්‍රමාද කරනු පිණිස හේතුවන රහමෙර හැර දමා ප්‍රමාදවන කරුණුවලින් බැහැරවෙන රහමෙර පානයෙනුත් වැළකී වාසය කරනවා. මේ ගුණාංගයෙනුත් මම රහතන් වහන්සේලා අනුකරණය කරනවා. අනුගමනය කරනවා. මෙය මාගේ පිරිසුදු වූ උපෝසථයෙන් යුතු වාසයයි.

රහත් හූ දිවිහිමියෙන් ම දවසකට එක වතාවක් වළඳන්නේ වූයේ, රාත්‍රි භෝජනයෙන් වැළකුණේ වූයේ, විකාල භෝජනයෙන් වැළකුණේ වෙයි. මා ද අද, ඒ වගේ ම මේ රැය මේ දවාල එක වේලක් පමණක් ආහාර ගනිමින් වාසය කරනවා. රාත්‍රී භෝජනයෙන් වැළකුණේ වෙනවා. විකාල භෝජනයෙන් දුරු වෙනවා. මේ ගුණාංගයෙනුත් රහතන් වහන්සේලා අනුකරණය කරනවා. අනුගමනය කරනවා. මේ මාගේ පිරිසුදු වූ ආර්ය උපෝසථයයි.

රහතන් වහන්සේලා දිවිහිමියෙන් නැටුම්, ගැයුම්, වැයුම්, විසූකදස්සනයන්ගෙන් මල් ගඳ, සුවඳ ධාරනය කරමින් ශරීරය සරසන දැයින් බැහැර ව කාලය ගත කරනවා. මම ද අද හා මේ රැය, මේ දවාල නැටුම්, ගැයුම්, වැයුම්, විසූක දැක්මෙන් මල් ගඳ, සුවඳ විලවුන් දැරීමෙන් ශරීරය සැරසීමෙන් යන කරුණුවලින් වැළකුණේ වෙමි. මම මේ ගුණයනුත් රහතන් වහන්සේලා අනුගමනය කරනවා. අනුකරණය කරනවා. මෙය මාගේ පෙහෙවස් වාසය කිරීම නම් වෙනවා.

රහතන් වහන්සේලා දිවි හිමියෙන් උස් ආසන, මහ ආසන පරිහරණය කිරීමෙන් වැළකී කුඩා ඇඳක හෝ තෘණ ඇතිරියක හෝ වැතිරී සැතපෙනවා. මම ද අද මේ රැය හා මේ දවාල ද උස් ආසන, මහ ආසන වැළකී, ඇඳක හෝ තෘණ ඇතිරියක වැටී වාසය කරනවා. මේ ගුණයෙන් ද මම රහතන් වහන්සේලා අනුකරණය කරනවා. අනුගමනය කරනවා. පෙහෙවස ද විසූවා. එනම්, මා විසින් මනා කොට පොහොය දවස ගත කරනු ලැබුවා.

විශාඛාවෙනි, මෙසේ ආර්ය උපෝසථය තේරුම් ගත යුතුවෙනවා. විශාඛාවෙනි මෙසේ විසූ ආර්ය උපෝසථය මහත්ඵල යි. මහානිසංස යි. මහා ජූතික ද වෙයි. මහා විප්පහාර ද වෙයි. කොපමණ මහත්ඵල වේ ද? කොපමණ මහානිසංස වේ ද? කුමන ආකාරයකින් මහා ජූතික වේද? කුමන ආකාරයකින් මහා විප්පහාර වේද? විශාඛාවෙනි, යම් පරිදි අංග මගධ, කාසි, කෝසල, වජ්ජි, මල්ල, ෙචිති, වංග, කුරු පංචාල,වච්ච, සූරසේන, අස්සක, අවන්ති,ගංධාර කාම්භෝජ බඳු නොමද සත්රුවනින් පිරි, සොළොස් මහා ජනපදයන්ගේ ආශ්චර්ය, ආදිපත්‍යය ඇති රාජ්‍යය යමක් කරන්නේ නම්, එය අට ආකාරයකින් සමන්නාගත මේ උපෝසථය දහසය කොටසකට බෙදා එයින් එක කොටසක් තරම්වත් අර අංග මගධ,යන සොළොස් මහා ජනපද සත්රුවනින් පුරවා අයිතිය ලැබූවත් එය මේ සීලය දහසය කොටසකට බෙදා එයින් එක කොටසක් තරම්වත් වටින්නේ නැහැ. ඒ කවර හෙයින් ද?

විශාඛාවෙනි, දිව්‍ය සුඛය පිණිස, ඒවා හේතුවෙනවා. එය ජාති, ජරා, ව්‍යාධි, මරණ, සෝක, පරිදේව, දුක්ඛදෝමනස්ස, උපායාස, පරිලාහ බැහැර කොට සදාකාලික අපායෙන් නිදහස් කොට නිවන අරමුණු නොකරනවා. විශාඛාවෙනි, මිනිසුන් සතු යම් පනස් වසක් වේ ද? එය චාතුම්මහාරාජික දෙවියන්ට එක දවසකි. මසක් ඒ රැයෙන් තිස් රැයක් වේ. අවුරුද්දක් දොළොස් මාස වේ. එය අවුරුදු පන්සියයක් වශයෙන් චාතුම්මහාරාජික දෙවියන්ගේ ආයු ප්‍රමාණය වේ. විශාඛාවෙනි, යම් හෙයකින් මෙලොව ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වේවා අට ආකාරයකින් සමන්නාගත වූ පෙහෙවස මේ කය බිඳී ගිය පසු එනම් ධාතු විසිරී ගිය පසු මතු චාතුම්මහාරාජික වැසි දෙවියන්ගේ වාසයට පැමිණේ ය යන කරුණ විද්‍යමාන වෙනවා.

විශාඛාවෙනි, මේ කරුණ සඳහා දිව්‍ය සැප පිණිස, මිනිස් සැප පිණිස ඇලුනේ වෙනවා, යන අදහස මෙහි සඳහන් කරනවා. මින් සඳහන් කරන්නේ කුමක් ද? ලෞකික ලෝකයේ අපි පනවා ගත් ආකාරයෙන් කුමන වටිනාකම් පුද්ගලයන්ට හෝ වස්තූන්ට දුන්න ද?, ඒ සියල්ල රාග, ද්වේෂ, මෝහ, සකස් කරනවා. සසර දීර්ඝ කරනවා. සතර අපාය නිර්මාණය කරනවා. නමුත් සමාදන් වූ උපෝසථ අෂ්ඨාංග සීලය ඉහත සඳහන් කළ අයුරින් සමාධිය චතුරාර්ය සත්‍ය ධර්මය නිවන අරමුණු කොටගෙන ම පවත්වන්නට පුළුවනි නම් අර ඉහත සඳහන් කළ ලෞකික සියලු වස්තූන්ට වඩා එය ඉතා ම උතුම් බව ධර්ම කතාවෙහි සඳහන් කරනවා.

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 18 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 07.26 ට ලබයි. 19 වන දා සිකුරාදා අපරභාග 04.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 19 වන දා සිකුරාදා ය.

 මීළඟ පෝය අප්‍රේල් 26 වන සිකුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]