බක් පුර පසළොස්වක 2019.04.19
සිතිවිලි යහපත් නම්...
තථාගතයන් වහන්සේගේ දෙවැනි ලංකාගමනයත් සමග මේ උතුම් පින්බිම සම්බුදු සිරිපා පහසින්
පාරිශුද්ධ වූ පින්බර බක් පුන් පොහෝ දිනය අදයි. මිණි පළඟක් මුල් කර ගනිමින් චූලෝදර,
මහෝදර නාරජුන් අතර ඇති වෙන්නට ගිය මහා යුද්ධය සංසිඳුවා, ජීවිත විනාශය වළක්වා
අසමගිකම් දුරලා, ජීවිතාවබෝධය ලබා දෙමින් එදා අපගේ ශාස්තෘන් වහන්සේ ලක් සමාජයට ගෙන
දුන් අසිරිමත් පණිවුඩය පිළිබඳ නිරන්තරයෙන් ආවර්ජනය කළ යුතුව තිබේ. මිනිසත් බව ලැබීම
ඉතා දුර්ලභ කරුණක් බව ‘දුල්ලභංච මනුස්සත්තං’ යනුවෙන් තථාගතයන් වහන්සේ දේශනා කොට
වදාළහ. මිනිසත් බවක් ලබන්නට නම් සසරේ බොහෝ පින් දහම් කළ යුතු ය. එසේ ලද භවය.
මානුෂීය ධර්මයන්ගෙන්, සාර ධර්මයන්ගෙන් පෝෂණය කර ගන්නවා වෙනුවට නොමිනිස්කම්වලින්
පුරවා ගන්නා මිනිසා නැවත මනුෂ්‍ය ලෝකයට නොපැමිණ අපාගත වන්නේ ය. කල්ප ගණන් කල් එහි
අපමණ වධ වේදනාවන් විඳින්නේ ය. මනසින් උසස් මිනිසාට කුමක් සිදුවූයේ ද? සිතා බලා
කටයුතු කරන්නට හැකි උසස් මනසක් ලැබුණ ද මනස නිසි ලෙස භාවිතයේ නොයෙදීම නිසා ය. මෙලොව
ද දුක උරුම, පරලොව ද දුක උරුම පාප කර්ම මිනිසා විසින් ම සිදුකරගනු ලබන්නේ. තමන්ගේ
ජීවිතයට තරම් වෙනත් කෙනෙකුට ආදරය කරන කෙනෙක් ලොව නැත. සියල්ල පදනම් වන්නේ, තීරණය
වන්නේ මමත්වය තුළ ය. මනුෂ්‍ය ස්වභාවය එය වුවද සැබැවින්ම තමන්, තමන්ට ආදරය කරනවා ද
යන්න ගැන නැවත සිතා බැලිය යුතුම ය. තමන්ට තමා පි‍්‍රයනම් තමන් පරිහානියට ඇද වැටෙන
කිසිදු දෙයක නිරත වන්නට මිනිසා පෙළඹෙන්නේ නැත.
වෛරී සිතිවිලිවල භයානක බව පිළිබඳව සදහම් ශ්‍රවණයෙන්, දහම් පොතපත කියවීමෙන් අප බොහෝ
විට ඉගෙන ඇත්තෙමු. එහෙත් කවරෙකුගෙන් හෝ තමන්ට යම් වරදක්, පාඩුවක්, අහිතක් වූයේ නම්
ඒ දැනගත් මොහොතේ සිටම සිත බුර බුරා නැගෙන වෛරී සිතිවිලි ඊළඟට සැලසුම් කරන්නේ
පළිගැනීමට ය. අප මොනතරම් වෛරී සිතිවිලි ඇති කර ගත්ත ද, අදාළ පුද්ගලයාට ඉන්වන
හානියක් නැත. ඒ ගින්නෙන් දැවෙන්නේ, තැවෙන්නේ තමාගේ ම සිත ය. අධ්‍යාත්මික පරිහානියට
පත් වන්නේ තමන්ම ය. වෛරයෙන් සිත ගිනිගෙන දැවෙන මොහොතක ශාරීරිකව මොන තරම් අපහසුවක්
දැනෙනවා ද? කිසිදු කාර්යයක් නිරවුල් මනසින් කරගත නොහැකි ය. සිත අවුල් ජාලාවක් වැනි
ය. ගැටලුව එය තේරුම්ගෙන සිතිවිලි පාලනය කරගන්නට තරම් ඉවසිලිවන්තබවක් නොවීම ය. තමන්
තමන්ට පි‍්‍රය නම් කළයුතු පළමුව තමන් තුළ පිරිසුදු සිතිවිලි ඇති කර ගැනීම ය. වෛරී
සිතට එරෙහිව මෛත්‍රී සිතිවිලි ඇති කර ගැනීම ය. සැබෑ ලෙසම තමන් වෙත මෛත්‍රිය කරන්නා
අනුන්ට ද මෙත් සිත පතුරුවන්නේ ය. එසේ නොමැතිව සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වායි,
සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා’යි ප්‍රාර්ථනා කළාට එයින් වන යහපතක් නොවන්නේ ය.
ඇතැම් පවුලක අම්මා තාත්තා විරසක ය. සහෝදර සහෝදරියන් විරසක ය. එසේත් නැතිනම් මව්පිය
දූ දරුවන් විරසක ය. අසල්වැසියන් විරසක ය. ජාතියක් තවත් ජාතියක් සමග විරසක ය.
බුද්ධියෙන් විමසා බැලුවේ නම් මේ විරසකකම්වල අවසානය ආවේගය, දුක, පශ්චත්තාපය,
පරිහානිය හා විනාශයම ය.
අප ඔවුනොවුන් වෙනුවෙන් මෙසේ විරසකකම්, අඬ දබර, කෝලාහල ඇතිකර ගන්නේ, පාපකාරී වන්නේ,
රාග, ද්වේශ, මෝහාදී සිතිවිලි නිසා ය. නොමේරූ බුද්ධිය ඇත්තාට, දුශ් ප්‍රාඥයාට එය
තේරුම් ගත නොහැකි ය. එම නිසා ඒ සිතිවිලි පාලනය කරගන්නට හෝ උත්සාහ දරන්නේ නැත. තමන්ට
හිත, අනුන්ට ද හිත අර්ථවත් දේ කිරීම හරියට උඩුගං බලා යාමක් සේ දුෂ්කර ය. එහෙත් පාප
කර්ම කිරීම බොහෝ පහසු ය. එහෙත් බුද්ධිමතා එය තේරුම් ගනී. ඒ සඳහා ඔහු නිරන්තරයෙන්
සදහම් මාර්ගයටම සමීප වේ. මේ උතුම් පොහෝදා අප ද මෝහන්ධකාරය දුරු කර ප්‍රඥාව ඇති කර
ගන්නට උත්සාහවත් විය යුතු ය. එවිට සාමයෙන්, සමගියෙන්, සංහිඳියාවෙන් යුතු සමාජයක
අරුණළු උදාවනු ඇත. |