[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසරේ පිනට පන්සල වෙත යැව්වේ මගේ අම්මා

සසරේ පිනට පන්සල වෙත යැව්වේ මගේ අම්මා

" ඔලගන්වත්තේ චන්දසිරි නා හිමියන් මාතලේ විහාර පාරේ විද්‍යානන්ද මහ පිරිවෙන් විහාරාධිපති හිමියන්ය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, ශාස්ත්‍රපති උපාධියත් ලබාගත් උන්වහන්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත්හ. රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යයන අංශයේ හා භාෂා අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපතින් වහන්සේ වූ උන්වහන්සේ වර්තමානයේ රජරට විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යන් වහන්සේ නමක් වෙති. ආචාර්ය ඔලගන්වත්තේ චන්දසිරි හිමියන් තමන් වහන්සේගේ මෑණියන් ගැන කී කතාවයි මේ."

මා ඉපදුණේ මාතලේ අකුරම්බඩ ඔලගන්වත්ත කියන කුඩා ගම්මානයේ. ඒ කාලේ අපේ ගමේ හැම කෙනෙක් ම ජීවත් වුණේ ගොවිතැනින්. මා දන්නා විදිහට සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගත් අය හිටියාද කියලා මගේ මතකයේ නෑ. මගේ තාත්තාත් ගොවියෙක්. අම්මා තාත්තාට උදව් වුණ හොඳ ගෙවිලියක්. සකසුරුවමින් ජීවත් වුණ ගෘහණියක්. දරුවන් ආදරයෙන් රැක බලාගත් කරුණා බර මවක්.

මගේ අම්මාගේ නම පොඩිනෝනා. දැන් අම්මාට වයස අවුරුදු 78 ක් වෙනවා. අම්මා ඉස්කෝලේ ගිහින් තිබුණත්, ඒ දෙකේ පන්තියට විතරයි. ඉහළට ඉගෙනීම නොලැබුවත් මගේ අම්මාට ජීවිතය ගැන හොඳ අවබෝධයක් තිබුණා.

අපේ පවුලේ දරුවන් හත් දෙනෙක්. මම පස්වෙනියා. සහෝදර සහෝදරියන් අතර මගේ ගතිගුණ ටිකක් වෙනස්. ඒත් අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන් අතර හොඳ බැඳීමක් තිබුණා. අම්මා අප ඇති දැඩි කළේ හරිම කරුණාවෙන්. වරදක් වුණත් ඈ එය ඉවසීමෙන් පෙන්වා දුන්නා. ඒ නිසා අප වඩාත් සමීප වුණේ අම්මාට. තාත්තා ටිකක් තද ගති පෙන්වූවා. ඒ අපි ගැන තරහකින් නොවෙයි. දරුවන් හත් දෙනෙක් හොඳ මිනිසුන් කරන්න තාත්තාට ලොකු වුවමනාවක් තිබුණා. අපි ගමේ ගොඩේ ඇවිදිනවට, යහළුවෝ ඇසුරු කරනවාට තාත්තා කැමැති වුණේ නෑ. ඒ නිසා අප නිරන්තරයෙන් ම ගෙදර රැඳුණා.

අව්ව, වැස්ස මහ පොළොව සමඟ පොර බදමින් අප බඩගින්නේ නොතියන්න තාත්තා පුදුම වෙර වීරියක් දැරුවා. වතුර ටික නැතිව ගොවිතැන් පාළුවට ගිය කන්න අනන්තයි. ඒ කාලෙට ආර්ථිකව ලොකු පීඩනයක් ඇතිවුණා.

“කටවල් හතක් පුරවන්න මම විතරයි ඉන්නේ.” කියලා තාත්තා නිතර කී කතාවක් තිබුණා. අප ජීවත් කරවන්න තාත්තා දැරූ වෙහෙස මහන්සිය, වේලක් වරදියි කියලා හිතේ තිබුණ බිය මේ සියල්ල ඒ වචනවල රැඳිලා තිබුණා කියලා අද මට හිතෙනවා. පුංචි වුණත් අපි හැම වෙලාවෙම තාත්තගේ ගොවිතැන් වැඩවලට උදව්වට ගියා. කාෂ්ඨක අව්වේ තාත්තා මහපොළොව එක්ක පොර බදන හැටි අප අත්වින්ඳා. ඒ නිසා තාත්තා ටිකක් සැර පරුෂ වුණත් තාත්තා ගැන අපේ හිත්වල තිබුණු ආදරය, ගෞරවය අඩුවක් නම් වුණේ නෑ. මොන තරම් බාධක, කරදර මැද්දේ වුණත් අප පාසලට යවන්න අම්මා නිතරම මහන්සි ගත්තා.

පුංචි කාලෙ මම ඉගෙන ගත්තේ අකුරම්බඩ කණිෂ්ට විද්‍යාලයේ. පහේ පන්තිය පාස්වෙලා වීරකැප්පෙටිපොළ මධ්‍ය මහා විද්‍යාලයට ගියා. කණිෂ්ටෙ ඉගෙන ගන්න කාලෙ දෙකේ පන්තියේ දී මා පේල් වුණා. ඒ කාලේ පන්තිභාර ගුරුතුමියගෙන් මට ආදරයක්, කරුණාවක් ලැබුණේ නෑ. ඇය කීවේ මට ඉගෙන ගන්න බැහැ කියලයි. ඒ කාලේ ගොවිතැන් කටයුතුවලට උදව්වට ගන්න තාත්තා ගවයන් ඇති කළා. දෙකේ පන්තියේ හිටියත් මේ සතුන් බලා ගන්න මමත් උදව් කළා. වෙල් එළි ගානෙ ඇවිදලා, ගවයන් ගැටගහලා, ඔයෙන් මූණ සෝදාගෙනයි ඉස්කෝලෙට ගියේ. මගේ ළඟ ගස් ගඳ එනවා කියලා සමහර ගුරුවරු මා ප්‍රතික්ෂේප කළා. පිළිකුල් කළා. පන්තියේ අන්තිම පේළියේ පුටුවක් මිස ඉදිරිපේළියේ පුටුවක් නම් කවදාවත් ලැබුණේ නෑ. පන්තියේ අනෙක් හැම ළමයෙක් ම ඉහළ පන්තියට දැම්මා. මම දෙකේ පන්තියේ ම හිටියා.

අපේ අම්මා නිතර බණ අහන කෙනෙක්. ඇය ජීවිතාවබෝධය ලබන්නට ඇත්තේ ඒ තුළින් වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ. ඉස්කෝලේ සමහර ගුරුවරු මට කළ වෙනස්කම් ගැන, ගැරහිලි ගැන කියනකොට අම්මා ඒ ගැන කම්පා වූ බවක් පෙන්වූවේ නෑ. මගේ හිතේ ඒ ගුරුවරු ගැන තරහක් කෝපයක් ඇතිවෙන විදිහට කටයුතු කළේත් නෑ. ඇය මා අස්වැසු අතර ම ගුරුවරු ගැන මගේ හිතේ අහිතක් ඇති නොවන තැනට මා පත් කළා. අම්මාගේ ඒ ගතිගුණ, හැසිරීම මා සිතුම් පැතුම්වලින් වෙනස් දරුවෙක් බවට පත්කළා. කවුරු මොනවා කීවත් මගේ අම්මා මා ළඟ ඉන්නා බව මට දැනුණා. ඉතින් මා අහිමි දේ ගැන දුක්වන්නේ කුමට ද?

මගේ අම්මාගේ තාත්තා, කිරි අත්තා හොඳින් බණ අහන, බණ කියන කෙනෙක්. කිරි අත්තා අපේ හිතට වැදෙන විදිහට නිතර බණ කතා කියා දුන්නා. රිදෙන හිත හදා ගන්න, ජීවිතේ ගැන, මිනිස්සු ගැන යම් වැටහීමක් ඇති කර ගන්න ඒ අවස්ථා බොහෝ ප්‍රයෝජනවත් වූ බව අද මට හිතෙනවා.

ඉස්සර, අපේ තාත්තා තරුණ කාලෙදී ‘කඩවුණු පොරොන්දුව‘ වගේ බොහෝ සිනමාපට බලා තිබෙනවා. අප වටකරගෙන තාත්තා මේ කතා කියන්න හරිම කැමැතියි. ඒ වායේ තිබෙන ප්‍රේම ජවනිකා බොහොම රසවත්ව කියනවා මට අද වගේ මතකයි. චිත්‍රපට ගීතයක එන ‘පෙම් කැකුළ පිපී එන විට ම හදේ’ කියන ගීතය තාත්තා බොහෝ ලස්සනට ගායනා කරනවා. අපත් ආශාවෙන් අහගෙන ඉන්නවා.

අම්මා නම් මේ කතාවලට බොහොම විරුද්ධයි. ඇය තාත්තාට දොස් කීවේ ළමයි නරක් කරනවා කියලා. විශ්වවිද්‍යාල ජීවිතයේ ත්‍රිපිටක ධර්මයට, පාලි භාෂාවට, ශාසන ඉතිහාසයට මුල් තැන දුන්නත් මගේ ප්‍රධාන විෂයය වුණේ සාහිත්‍යය. ඒ සාහිත්‍ය රසය මුල ඉඳලම අපේ හිත්වල තැන්පත් කළේ මගේ තාත්තා කියලා මට හිතෙනවා.

ඒකාලේ අපේ අම්මා පන්සලේ පේරු දානය වැරැදුවේ නෑ. දානය ගෙනයන හැම දවසකම මාත් අම්මාගේ පසුපසින් ගියා. ඒ ඔලගන්වත්තේ වල්මෝරුව පන්සලට. විහාරස්ථානයට ගොඩවෙනවාත් එක්කම මගේ හිතට පුදුමාකාර සැනසීමක් දැනුණා. පින්බර හැඟීම් ඇතිවුණා. ගෙදර තිබුණු ආර්ථික පීඩනය පුංචි වුණත් මගේ හිතට තදින් දැනී තිබුණා. මේ සියලු දේ සමග මගේ හිත පන්සලටම ඇදී ගියා.

ඒ කාලේ අප අවදි වුණේ පාන්දර හතරට විතර. බිම් කරුවලේ ම අම්මත් එක්ක මී ඇට ඇහිඳින්න ගියා. මී ගස් තිබුණේ කුඹුරු යායේ ඈත කෙළවරේ. ගමේ අය මී ඇට ඇහින්දේ තරගෙට වගේ. මී ගස්යට හුළු එළි කැරකෙනවා දකිනකොට අපේ ගමන ඉක්මන් වුණා. බොහෝ අය මී ඇට ඇහින්දේ හුළු අතු එළියෙන්. මී තෙල් හුඟක් ප්‍රයෝජනවත් වූ නිසා අපේ අම්මා ඒ අවස්ථාව මඟ හැර ගත්තේ නෑ. වෙලාවකට සතුටක් දැනුණත් මේ ජීවිතය ඇතැම්විටෙක මට කරදරකාරී වුණා.

මම නිතර පන්සලට ගියා. මට හිතෙන්නේ ඒ ගමන්වලදී සංසාරයේ මා කළ පින් මතු වෙන්න ඇති කියලයි. මට මහණ වෙන්නට ලොකු ආශාවක් ඇති වුණා. අම්මා මගේ පසුපසින් ඉඳගෙන මට උදව් කළා. ගමේ හාමුදුරුනමක් පාරේ වඩිනවා දැක්කොත් පසුපසින් දුවගෙන ගිහින් මා මහණ කරගන්න කියනවා. ඇතැම් දවස්වලට මම ගෙදරින් ගිහින් පන්සලේ නවතිනවා. මගේ අම්මා දවසක් මා කන්දෙවත්ත සුදස්සනාරාමයට එක්කගෙන ගියා. මහණ කරන්න බාර කළා. මම පන්සල් ජීවිතයට හුරුවුණා. සසරේ කළ පින සමඟ සියලු දේ එක් වුණා. මේ ඝෝර සසර ගමන කෙටිකර ගන්නට මගේ අම්මා මට අත දුන්නා. මම මහණ දිවියට ඇතුළත් වුණා. ඒ මොහොතේ අම්මගේ ඇස්වල කඳුළක් දිළිසුණා. සතුටට ද, දුකට ද කියලා එදා මට තේරුණේ නෑ. අදත් තේරෙන්නේ නෑ. ඒත් තමන්ගේ ම දරුවෙක් සම්බුද්ධ ශාසනයට පූජා කරන්නට ලැබීම ගැන අම්මාගේ හිතේ පුදුමාකාර සතුටක්, සැනසීමක් තිබෙන බව නම් මා දන්නවා.

වැඩිදුර ඉගෙන නොගත්තත් අම්මා බණ දහම් අනුව ධාර්මික ජීවිතයක් ගත කරනවා. මීට අවුරුදු හයකට පෙර තාත්තා මිය ගිය වෙලාවේ මගේ සහෝදර සහෝදරියන් දුකෙන් වැළපුණා. මගේ අම්මා තාත්තාට හරිම ආදරෙයි. ඒ දෙන්නා අතර පුදුමාකාර බැඳීමක් තිබුණා. පුංචි හිත් අමනාපකම් ඇති වුණත් ඒවා අඬ දබර බවට පත් වුණේ නෑ. මොන අඩුපාඩුකම් ආවත් සමගියෙන් ජීවත් වුණා. තාත්තා අසනීප වූ වෙලාවේ අම්මා ඉතා ඕනෑකමින් තාත්තා රැක බලා ගත්තා. තාත්තාගේ දේහය මිහිදන් කරන වෙලාවේ මම අම්මගේ මුහුණ බලාගෙන හිටියා. අම්මා හැඬුවේ නෑ. අනිච්චාවත සංඛාරා ගාථාව කියමින් ඇය මරණය ගැන සිහිපත් කළා. ඒ තරමට ඇයට ජීවිතයේ යථාර්ථය ගැන අවබෝධයක් තිබෙනවා.

ගුවන් විදුලියේ, රූපවාහිනියේ මගේ ධර්ම දේශනාවක් ප්‍රචාරය වුණත් මගේ අම්මා කියන්නේ ‘ඒ පින් බලයෙන් හාමුදුරුවන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වරම් ලැබේවා’ කියලයි. අපි අම්මා ආදරයෙන් රැක බලා ගන්නවා. මොන අඩුපාඩුවක් තිබුණත් අම්මා කවදාවත් අපෙන් යමක් ඉල්ලන්නේ නෑ. පසුගිය දවසක මම අම්මාට පුංචි මුදලක් දුන්නා බෙහෙත් ගන්න කියලා. රුපියල් පන්දාහක්. ඒත් එය ගත්තේ නෑ. ඒ වෙලාවේ අම්මා රුපියල් පනස් දහසක් මා අත තිබ්බා. “හාමුදුරුවනේ, මම මිය ගියාට පස්සේ මගේ අවසන් කටයුතු මේ මුදලින් කරන්න.” ඇය කීවා.

අම්වා කවදාවත් රැස් කරන්නේ නෑ. දරුවන්ට වුණත් කරදර කරන්නේ නෑ. අම්මාගේ අවසන් කටයුතු පවා කාටවත් බරක් වෙනවාට කැමැති නෑ. තිබුණු සියල්ල දරුවන් හත් දෙනාට බෙදා දුන්නා. ඇයට අත්හැරීම හොඳින් හුරු පුරුදුයි.

අපේ අම්මාට හොඳට උයන්න පුළුවන්. පුංචි කාලේ ඇය මට සාදාදෙන අබ කොළ සම්බෝලයේ සුවඳ, ඉඹුල් කිරිබතේ සුවඳ සිහිනයක් වගේ අදත් දැනෙනවා.

පුංචි දවස්වල සිටම අම්මා මගේ ජීවිතය ගොඩ නඟා ගන්න ශක්තියක් වුණා. නිතර දෙවේලේ නොදුටුවත් මගේ අම්මා මට නිතර සෙත් පතන බව මා දන්නවා. මගේ අම්මාට ධර්මඥානය ලැබී උතුම් නිර්වාණාවබෝධය ලබා ගන්නට ලැබේවා යන්න මගේ ප්‍රාර්ථනයයි. මතු සසරේ මගේ අම්මා මට මුණ ගැසේවායි මම ප්‍රාර්ථනා කරන්නේ නෑ. ඒ අම්මා ගැන ඇති ආදරයේ අඩුවක් නිසා නොවෙයි. එය සසර ගමන දිගු කිරීමක් වන නිසයි.

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 18 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 07.26 ට ලබයි. 19 වන දා සිකුරාදා අපරභාග 04.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 19 වන දා සිකුරාදා ය.

 මීළඟ පෝය අප්‍රේල් 26 වන සිකුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]