වරදක් කළොත් අපායෙම තමයි
මහනුවර හන්තාන
සිරි ධම්මරතන
ත්‍රිපිටක ධර්මායතනාධිපති
රාජකීය පණ්ඩිත
පූලියද්දේ සුධම්ම හිමි
පින්වත් දරුවනේ, අද බක් පුර පසළොස්වක පොහෝ දිනය. පෝය දවසට කවුරුවත් පව් කරන්නේ නෑ.
සමහර වෙලාවට වෙනත් දිනවල පව් කරන අය පවා පෝය දවසේ පව් නොකර ඉන්නවා. ඉතින් එක දිනක්
හෝ පව් නොකර සිටීම මොන තරම් හොඳ දෙයක් ද? ඒත් ඉතින් අනෙක් දවස්වලටත් පව් කරනවා නම්
ඒවාට විපාක අනිවාර්ය බවත් මතක තබා ගන්න ඕනෑ.
මේ දිනවල අප කතා කරන්නේ නිමි රජතුමා මාතලී දිව්‍ය පුත්‍රයා සමඟ ඒ ඒ නරකයන් වෙත
ගිහින්,ඒවායේ අනේක විධ දුක් විඳින නිරි සතුන් දැකලා, බියට පත්වෙලා ඒ විදිහට දුක්
විඳින්නට ඔවුන් කළ විපාක පිළිබඳව අසා දැන ගන්නා ආකාරය පිළිබඳවයි.
දරුවනේ, මාතලී දිව්‍ය පුත්‍රයා දිව්‍ය රථයේ නැඟී නිමි මහ රජතුමා තවත් අපායක් වෙත
ගෙන ගියා. ඒ අපායේ දුනු “ඊතල රැගත් මහා රෞද්‍ර යමපල්ලන් විසින් නිරි සතුන්ට අපමණ වධ
වේදනා දෙනවා. හරියට වනාන්තරයේ ඉන්න මුව වැද්දන් වගේ. නිරි සතුන්ගේ ශරීරයේ එක්
පැත්තකින් ඊතලයෙන් විද්දාම අනෙක් පැත්තෙන් මතු වෙනවා. ඊතල විදලා, විදලා මේ නිරි
සතුන්ගේ ශරීර මොනවගේ ද දන්නවා ද? පණුවන් විසින් ආහාරයට ගන්නා ලද කොළයක් වගේ. (ශාක
පත්‍රයක්) හැම තැනම සිදුරු. ඉතින් මේ දැක බියට පත් වූ නිමි රජතුමා මේ තරම් දුක්
කන්දරාවක් විඳින්නට මොවුන් කළ අකුසලය කුමක් ද කියලා. මාතලී දිව්‍ය පුත්‍රයාගෙන්
ඇසුවා.
යේ ජීවලොකස්මිං අසාධු කම්මිනො
අදින්නනමාදාය කරොන්ති ජීවිකං
ධඤ්ඤං ධනං රජතං ජාතරූපං
අපේළකං වාපි පසුං මහීසං
තෙ ලුද්ද කම්මා පසවෙත්වා පාපං
තෙ මේ ජනා සත්තිහතා සයන්ති
රජතුමනි, යම් කෙනෙක් ධන, ධාන්‍ය, රන් රිදී මුතු-මැණික්, ගව-බැටළු ආදී ධන සම්පත් ඇති
හිමි කරුවෙකුගෙන් පණ ඇති හෝ පණ නැති යමක් සොර සිතින් අරගෙන තමන්ගේ ප්‍රයෝජනයට
ගන්නවා නම්, නිවාස, වෙළෙඳ ව්‍යාපාර, බැංකු මංකොල්ලකමින්, සඟවා තිබෙන ධනය කවර හෝ
වංචනික ප්‍රයෝගවලින් පැහැර ගන්නවා නම්, අන් සතු දේ, නොදුන් දේ සොර සිතින් ගන්නවා
නම්, එහෙම අරගෙන තමන්ගේ ජීවිතය ගෙවනවා නම් ඒ අය උපදින්නේ මේ අපායේ තමයි’ මාතලී
දිව්‍ය පුත්‍රයා පැහැදිලි කළා. දුටුවා නේ ද දරුවනේ, අපට අයිති නැති දේ, මොනතරම්
වටිනා දේ වුණත්, දුන්නේ නැති දෙයක් නම් ගන්න හොඳ නෑ. කාගේ හරි දෙයක් තමන්ට ලැබුණොත්
සොයා බලා අදාළ කෙනාට දෙන්න ඕනෑ. කුඩා කාලයේ සිටම ඒ හොඳ පුරුදු ඇති කර ගන්නට ඕනෑ.
පුංචි සොරකම්, ලොකු සොරකම් කියලා වර්ග කරන්න නොහැකියි. සොරකම සොරකම ම යි. ඒත්
ප්‍රමාණයන්ගේ හැටියට විපාකය මහත් වෙන්න පුළුවන්.
මාතලී දිව්‍ය පුත්‍රයා තවත් නිරයකට රථය පදවාගෙන ගියා. දරුවන් දන්නවා ද ඒ අපායේ
ස්වභාවය මොනවගේ ද කියලා? යම පල්ලන් ඇවිත් එහි සිටින නිරි සතුන් කපා දමනවා. මාංශ
ගොඩක් බවට පත් කරනවා. සමහර නිරි සතුන්ගේ ගෙලට රත් කරන ලද යකඩ කඹ දමා රත්වුණු මහ
පොළොවේ හෙළනවා. විවිධ ආයුධවලින් කපා කොටා කැබැලිවලට වෙන් කරනවා. මේ දුටු නිමි
රජතුමා මහත් පුදුමයට පත් වුණා.
“මාතලී, මේ සා දස වධ දෙන්න මේ අය කළ දරුණු අකුසල් මොනවා ද?” කියලා ඇසුවා.
ඕරබ්භිකා සුකරිකාච මච්ජිරිකා
පසුං මහිසඤ්ච අජේළකඤ්ච
භත්වාන සුනෙසු පසාරයිංසු
තේ ලුද්ද කම්මා පසවෙත්වා පාපං
තෙ මෙ ජනා බිලකතා සයන්තීති
මනුෂ්‍ය ලෝකයේ දී ගවයන්,මීයන්, එළුවන්, බැටළුවන්, ඌරන් ආදී සතුන් ඝාතනය කොට ඒ මාංශ
විකුණා ජීවත්වන අය, මාළු අල්ලන, මත්ස්‍යයන්ට බිලී කොකු තබන මසුන් මරන්නන් ද, ඒවා
විකිණීමට ලෑලිවල තබා කොටස් කර තැබූ අය ද මේ අපායේ උපදිනවා. ඒ විතරක් නොවෙයි. විවිධ
සතුන් මරා මාංශ විකුණා ජීවත්වන අය ද මේ අපායේ උපදිනවා. අල්ලාගත් සතුන් කැබැලිවලට
කපා දැමුවා වගේ මේ අපායේ ද නිරි සතුන් කොටස් කළ මස් කැබලි ගොඩක් බවට පත්වෙනවා”යැයි
මාතලී දිව්‍ය පුත්‍රයා විස්තර කළා.
පෙනෙනවා නේද දරුවනේ සතුන් මැරීමේ විපාකයන් ගේ තරම, ඒ සතා මරණයට පත් කරන ආකාරයට ම
තමයි අපටත් ප්‍රතිඵල ලැබෙන්නේ. විවිධ උපක්‍රමවලින් මැසි මදුරුවන් මරාදාන අය,
කැටපෝලවලින් විද කුරුල්ලන් වගේ සතුන් මරන අය, තුඹසට ඇතුළු වෙනතුරු සිට එහි සිරකර
සතුන් මරණ අය, රතිඤ්ඤා දමා සතුන් මරණ අය මේ හැමෝට ම යන්නට වෙන්නේ මේ අපායටයි. ඒවගේ
ම මිනිස් ඝාතන කරන, මිනිසුන්ගේ අත් පා සිඳින, අපරාධ ලෝකයේ ඉන්නවා යැයි කියාගන්නා
පිරිස් උපදින්නෙත් මේ අපායේමයි.
දරුවනේ, පුංචි කාලේ සිටම සතුන්ට ආදරය කරන ඕනෑ. සතුන් හරිම අහිංසකයි. සතුන්ට නිදහසේ
ජීවත් වෙන්නට ඉඩ දෙන්න ඕනෑ. දැන් නම් ඉතින් බොහෝ දෙනෙක් ඒ අයිතිය නැති කරලා. සත්තු
ජීවත්වන තැන්වල නිවාස හදලා. ඉතින් සතුන්ට යන්න තැනක් නෑ. දුටුතැන මරා දානවා.
දරුවනේ, අපට වගේම පංචස්කන්ධයක් ඒ සතුන්ටත් තිබෙනවා. අපි වගේ ම ඒ සතුන් හිංසාවට,
පීඩාවට බයයි. මරණයට බයයි. තමන් උපමාවටගෙන සතුන්ට හිංසා පීඩා කිරීමෙන් වළකින්නට ඕනෑ.
- රමණී සුබසිංහ |