[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී දළදා පුරාණය - 26 : ශ්‍රී දළදා මාලිගාවේ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර

ශ්‍රී දළදා මාලිගාවේ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද කේන්ද්‍රකරගනිමින් මහත් උත්කර්ෂවත් අන්දමින් පවත්වන උත්සවයක් ලෙස අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර පෙන්වා දිය හැකි අතර එකී කාර්යයෙහි දී මුල්තැනක් ගන්නා ස්ථානයක් ලෙස ඓතිහාසික සෙංකඩගල පුරවරයේ ශ්‍රී දළදා මන්දිරය හා උභය මහා විහාරය හැඳින්විය හැකි ය.

අතිපූජනීය ශ්‍රී දළදා මාලිගාවේ හා උභය මහා විහාරයේ වාර්ෂිකව පැවැත්වෙන මංගල්‍යයන් අතර අලුත් අවුරුදු චාරිත්‍ර සඳහා විශේෂිත ස්ථානයක් හිමි වේ . ඊට සමගාමීව පවත්වනු ලබන පොදු සිරිත් විරිත් රාශියක් ද , ශ්‍රී දළදා මාලිගාවට ආවේණික වූ චාරිත්‍ර වාරිත්‍ර කිහිපයක් ද දක්නට ලැබේ. දැහැත් පිළිගැන්වීම, කණ්ඨස්නානය, නානු බෙදාදිම, හිසතෙල් ගෑම, කිරි ආහාර පූජාව යන මෙකී චාරිත්‍ර වාරිත්‍ර සියල්ලම ශ්‍රී දළදා මාළිගාවත් , උභය මහා විහාරයත් කේන්ද්‍රකරගනිමින් පවත්වනු ලබයි.

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන නොනගතයට පෙර මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ සියලුම මහා සංඝරත්නය අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ මෙන්ම, අනුනායක මාහිමිපාණන් වහන්සේලා හා නේවාසික අනෙකුත් මහා සංඝරත්නය සඳහා චාරිත්‍රානුකූලව දැහැත් හා පුද පඬුරු සපයාගෙන ඒ ඒ අදාළ ස්ථානයට ගොස් පිළිවෙළින් පූජා කරයි.

එහිදී මහා නායක මාහිමිපාණන් වහන්සේත් , අනුනායක මා හිමි පාණන්වහන්සේලාත් ගෞරවයෙන් වැඳීමෙන් පසුව අනෙකුත් ස්වාමීන් වහන්සේලා විසින් පිළිවෙළින් එකී චාරිත්‍ර සිදු කරනු ලබයි. මාලිගාවේ සිටින දියවඩන නිලමේතුමන් හා සෙසු නිලයන් දරණ නිලධාරීන් ද, සෙසු සේවක පිරිස් ද නොනගතයට පෙර උභය මහා විහාරීය මහානායක ස්වාමීන් වහන්සේලා මෙන්ම අනුනායක ස්වාමීන් වහන්සේලා හා නේවාසික ස්වාමීන්වහන්සේලා බැහැදැකීම චාරිත්‍රයක් ලෙස සිදුකරනු ලබයි. අතිපූජනීය ශ්‍රී දළදා මාලිගාවේ පුද පූජා චාරිත්‍ර අතර කණ්ඨස්නානය ද අලුත් අවුරුදු පූජා චාරිත්‍රයක් ලෙස දැක්වීමට හැකිය. මාලිගාවේ සකසාගන්නා ලද සුවිශේෂිත වූ තෙල් පිරිමැදීමෙන් එම කටයුතු සිදුකරනු ලබයි.

දියවඩන නිලමේතුමාගේ අනුදැනුම ඇතිව, අනෙකුත් නිලධාරීන් රාජකාරී කරන සියලු දෙනාගේ ම සහයෝගය ඇතිව තේවාබාර මහානායක මාහිමිපාණන් වහන්සේලා ඇතුලු මහා සංඝරත්නයෙහි අනුදැනුම ඇතිව සුබ මුහුර්තිය බලා ඉතාම පවිත්‍රව ශ්‍රද්ධාවෙන් සිදුකරන පූජා චාරිත්‍රයක් ලෙස කණ්ඨස්නානය , නානු බෙදාදීම සඳහන් කළහැකි ය. විශේෂයෙන් ම ශ්‍රී දළදා මාලිගාවේ නානු බෙදාදීම සිදුකර එය, උභය මහාවිහාරීය මහා සංඝරත්නයට මෙන්ම දායක පින්වතුනට ද නිරෝගී සම්පත්තිය අපේක්ෂා කරමින් නියමිත වේලාවට හිසතෙල් ගෑම සිදුකරයි.

උභය මහා විහාරීය ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන කොට කාරක මහා සංඝ සභාවට අයත් ස්වාමීන් වහන්සේලා, නේවාසික ස්වාමීන් වහන්සේලා අවසානයේ දී කිරි ආහාර පූජාව සිදුකරනු ලබයි. ශ්‍රී දළදා මාලිගාව තුළදී ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකාගෙන උන්වහන්සේට කරන ගෞරවයක් ලෙස මහත් ශ්‍රද්ධාවෙන් යුක්තව සිදුකරයි.

උදෑසන හිරු පෑයීමට පෙර ශ්‍රී දළදා මාලිගාවේ තේවාව ආරම්භ කරන මොහොතේ දී සියලුම භික්ෂූන් වහන්සේලා ශ්‍රී දළදා මාලිගාවට වැඩම කර රන් රිදී පාත්‍ර තුළ සකස්කරගන්නා ලද කිරි ආහාර පුජා කරනු ලබයි. අප මහා බෝසතාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත්වීමට පෙර සුජාතා දේවිය ලක්ෂයක් වටිනා රන්තලියක කිරි ආහාර පූජාව සිදුකළ බවත්, එය බෝසතාණන් වහන්සේගේ උතුම් අර්ථසාධනයට හේතු වූ වගත් බුද්ධ චරිතයෙහි දක්නට ලැබෙයි. එම අසහාය පූජාව මෙන්ම, මෙම කිරි ආහාර පූජාව සිදුකරනු ලබන්නේ බුදුරජාණන් වහන්සේට ගෞරවයක් ලෙස ය. උභය මහා විහාරයේ අතිපූජනීය මහා සංඝරත්නය පළමුව ශ්‍රී දළදා මාලිගාවට වැඩම කර උදෑසන රන් රිදී පාත්‍රවලට සකස් කරගන්නා ලද කිරි ආහාර, මල්වට්ටි, මල් බන්දේසි ආදිය රැගෙන විහාරස්ථානය තුළ පිරිස සමඟ සංවරව පාගමනින්ම වැඩම කරමින් අලුත් අවුරුදු කිරි ආහාර පූජාව සිදු කරයි. දළදා වහන්සේ වැඩ සිටින ගන්ධ කුටියට ගොස් රන් ආසන මත කිරි ආහාර පිළිවෙලින් තබා පින්වත් මහානායක ස්වාමීන් වහන්සේලා තේවාබාර මහා නායක මාහිමිපාණන් වහන්සේලා අනෙකුත් මහා සංඝරත්නය සිවුරු පොරවාගෙන පටි බැඳගෙන අවශ්‍ය පරිදි ඉතා ශ්‍රද්ධාවෙන් යුක්තව එම කිරි ආහාර පූජාව සිදුකරනු ලබයි.

අලුත් අවුරුදු සිරිත් අතර ඉතා ජනපි‍්‍රය කිරි ඉතිරීම හා සංක්‍රාන්ති කාල සීමා අනුව ශ්‍රී දළදා මාලිගාව ඇතුලු ප්‍රධාන විහාරස්ථාන හා දේවාල යන සෑම පූජනීය ස්ථානයකම කිරි ඉතිරිමේ කටයුතු සිදුකරනු ලබයි. කිරි ඉතිරවීමෙන් ඉදිරි වර්ෂය පුරා වාසනා මහිමය පිරී ඉතිරී යන බවට සියලු දෙනා තුළ තදබල විශ්වාසයක් පවතී. එකී විශ්වාසය පදනම් කරගෙන ශ්‍රී දළදා මාලිගාව උභය මහා විහාරය කේන්ද්‍රකරගනිමින් පරණ අවුරුද්දට ගොම මැටි ගා සකස් කරගත් අලුත් ලිපක, අලුත් මුට්ටියක් තබා , අලුත් දර දමා සුබ මුහුර්තියට ගිනි දල්වා කිරි ඉතිරවීමේ මංගල්‍යය පවත්වයි.

ජීවමාන බුදුරජාණන් වහන්සේගේ අතිපූජනීය වාම ශ්‍රී දළදා වහන්සේ උදෙසා මෙවැනි පුද පූජාවන් පැවැත්වීමේ ප්‍රධාන අරමුණ සියලු දෙනාට ම නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කිරීමයි. පිදිය යුත්තන් පිදීම මංගල සුබ කටයුත්තක් ලෙස බුදුරජාණන් වහන්සේ ද දේශනා කර ඇත. පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං යන ගාථා පාඨයට අනුවත්, පූජකෝ ලාභතෝ පූජං වන්දකෝ පඨි වන්දනං යන මෙත්තානිසංස සූත්‍ර දේශනාවට අනුවත් ඒ බව සඳහන් කළ හැකි ය.

අලුත් අවුරුදු චාරිත්‍ර දළදා හාමුදුරුවන් වහන්සේ කේන්ද්‍ර කරගනිමින් මහානායක ස්වාමීන් වහන්සේලා හා අනුනායක ස්වාමීන් වහන්සේලාගේ ගෞරවනීය වැඩමවිමෙන් ශ්‍රී දළදා මාලිගාව හා උභය මහා විහාරීය භික්ෂූන් වහන්සේලා විසින් සිදුකරනු ලබන උතුම් සද් චාරිත්‍රයක් ලෙස සඳහන් කළ හැකි ය.


බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 18 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 07.26 ට ලබයි. 19 වන දා සිකුරාදා අපරභාග 04.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 19 වන දා සිකුරාදා ය.

 මීළඟ පෝය අප්‍රේල් 26 වන සිකුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]