[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වනපෙත හා බුදු සිරිත

වනපෙත හා බුදු සිරිත

වනගත පරිසරය වූ කලී කවර දේශයෙක වුව ද ප්‍රජාවගේ යහ පැවැත්මට අත්‍යවශ්‍ය වූ විවිධ විචිත්‍ර වූ, සුන්දර වූ සොබාදහමෙහි අපූරු නිමැවුමකි. මානව ජීවිතය හා සංස්කෘතිය ද වනගහණය විසින් නන් අයුරින් පෝෂණය කරනු ලැබේ. හැඩ ගස්වනු ලැබේ. අප විසින් එය අවශ්‍යයෙන් ම රැකගත යුතු ය. ඒ කෙරෙහි මිත්‍රශීලී සුහද ආකල්පයක් දැරිය යුතු ය.

බුදුරජාණන් වහන්සේ වූ කලී නිසැකව ම මේ සියල්ල පිළිබඳ ගැඹුරු අවබෝධයකින් ක්‍රියා කළ ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයෙකි. උන්වහන්සේ වනගත පරිසරය දෙස නිකෙලෙස් ඇසින් බැලූ, එහි ඇලුම් කළ, එය රැක ගැන්මට මඟ පෙන්වූ උතුමෙකැයි කිව යුතු ය.

සැපතක් වූ බුදු උපත සිදුවූයේ පියකරු මල් පලු පල සහිත තුරුලතාවෙන් සුසැදි ස්වභාවික පරිසරයෙහි ආශීර්වාදය තුළයි. වායු දූෂණයෙන්, ජල දූෂණයෙන්, ශබ්ද දූෂණයෙන් හෝ පාංශු දූෂණයෙන් තොර සොඳුරු පරිසරයක උපත ලද බුදුරජාණන් වහන්සේ එතැන් පටන් අසූහැවිරිදි ව පිරිනිවන් පානා තුරුම එවන් නිකැලැල් පරිසරයම පි‍්‍රය කළහ. බෝසත් උපත සිදු වූ තැන් පටන්ම එතුමෝ තුරුලතා සහිත සොබාදහම හා බැඳී සිටිති. දරුගැබට දසමස පිරෙන්නට ළංවන විට බෝසත් මව් මහාමායාවෝ කිඹුල්වත් නුවර සිට දෙව්දහ නුවරට යාමට සිතූහ. ඒ දෙමාපියන් හමුවටයි. රෝහිණී නදියෙන් එතෙරව දෙව්දහ නුවරට යන මග සොබාදහමෙහි අසිරියක් වන් ලුම්බිණී සල් උයන පිහිටියේ ය. කැත් කුල කතුන් පිරිවරා ගත් මායා දේවී තොමෝ ඒ අසිරිමත් උයන දුටුවා ය.

ලුම්බිනිය මඟුල් සල් වනයෙකි. එදින එහි අතුපතර විහිදගත් ගස්වැල් මුල පටන් අග දක්වාම සුපිපි සුවඳැති මනහර මලින් ගැවසී තිබිණ. මත් මොණරුන්, කොවුලන්, කෙවිලියන් ආදී විවිධාකර වූ සියගණන් සුන්දර පක්ෂීන්ගෙන් උයන අතිශය ශෝභමාන විය. ඒ සොඳුරු සියොතුන්ගේ ඉමිහිරි සිහින් ගී හඬ ගස් වැල් අතරින් පෙදෙස සිසාරා පැතිර ගියේ ය. මල් ගොමු පිස හමා ගිය සුවඳවත් සිහින් මඳ සුළඟ සිත් සතුටු කළේ ය. මල් රොන් ගනිමින් ඔබමොබ පියාඹන නිල්වන් බඹරු ගුමු ගුමු නද පැතිර වූහ. ඒ අසිරිමත් පරිසරය දුටු මායා දේවී තොමෝ ලුම්බිනි වන උයනට පිවිසුනා ය.

සියවස් පහකටත් අධික කාලයක් තිස්සේ මානව චින්තනය හරවත් කෙරෙමින් විවිධ අතුපතර විහිදුවා වැඩුණු ඒ ශ්‍රේෂ්ඨතම ධර්ම මාර්ගය ලොවට බිහි කළ පරම පූජනීය අසමසම මහෝත්තමයෙකු එදා උපන්නේ සොබාදහමෙහි අසිරිමත් බවින් ඔකඳ වූ ඒ පරම පවිත්‍ර ලුම්බිනි වන උයනෙහි ය. ඒ සොඳුරු තුරුලතාවන් අතර ය. සල්ගසක් යට ය. මඟුල් සල්රුක් සෙවනෙහි ය. අදූෂිත වූ වටපිටාවෙක ය.

සත්‍යය සොයා ගිය සිදුහත් බෝසතුන් දුෂ්කර ක්‍රියාවෙන් හා ගුරුන් හමුවීමෙන් ද අනතුරුව මාර පරාජය කොට සම්මා සම්බුදු බවට පත් වූයේ ද මෙලෙසින්ම අදූෂිත සුන්දර සොබාදහම ඇසුරු කොටගෙන ය. පසුව සිය අතීතය සිහිපත් කළ බුදුරජාණන් වහන්සේගේ ම වදනින් ඒ සොඳුරු වනගත පරිසරය මෙසේ සටහන් කරමු.

“මහණෙනි, ඒ මම කුසලය කුමක්දැයි සොයනසුලු වූයෙමි. අනුත්තර වූ උතුම් වූ නිවන් පදයම සොයමින් පිළිවෙළින් සැරිසරන්නෙම්, උරුවේලායෙහි සේනානි ග්‍රාමය කරා පැමිණියෙමි. එහි සිත්කලු භූමිභාගය ද, සිත් පහදවන වන ලැහැබ ද, වැලිතලා සහිත මනාකොට ඇති ගලා බස්නා නදිය ද හාත්පස ගොදුරු ගම ද දිටිමි. මහණෙනි, ඒ මට මේ අදහස විය. මේ භූමිභාගය රමණීය ය. වන ලැහැබ ප්‍රසාදජනක ය. සුදු වැලිතලා ඇති මනා තොට ඇති සිත්කලු නදිය ද ගලා බස්නී ය. හාත්පස ගොදුරුගම ද වෙයි. ප්‍රධන් කරනු කැමති කුල පුත්‍රයෙකුට ප්‍රධාන වීර්යය සඳහා මෙය සුදුසුම ය. මහණෙනි, මම ප්‍රධන් වීර්යය පිණිස එහි (බෝමැඬ) ම හුන්නෙමි.” (අරිය පරියේසන සූත්‍රය)

බෝසතාණන් වහන්සේ සේනානි නියම්ගමෙහි සුපිපි අජපල් නුගරුක් සෙවණ වැඩ සිටියදී සුජාතාවගේ කිරිපිඬු දානය පිළිගත් සේක් නේරංජරා නදී තීරයට වැඩම කළහ. එහි රිදී කඳක් සේ දිලෙමින් ගලාගිය පැහැබර සුපිරිසුදු දියට බැස්සෝ ය. පැන් සැනසූහ. නැවත ගඟෙන් ගොඩට පැමිණි සේක් කිරිපිඬු වැළඳූහ. ඒකාන්තයෙන් අදම බුදුවගත හෙම් නම් මේ තලිය උඩුගං බලා යේවායි දන් වැළඳූ රන් තලිය (පාත්‍රය) ගඟදියට දැමූහ. සිතූ පරිදිම තලිය උඩුගං බලා ගියේ ය. ඒ උඩුගං බලා යන (පටිසෝතගාමී) දහමක් ලොව උපදනා බවට පෙරනිමිත්තක් වැන්න. ඉක්බිති උන්වහන්සේ නේරංජනා ගංතෙර පිහිටි භද්‍ර වනයට දිවා විහරණය පිණිස වැඩම කළහ. ඒ වූ කලී සල් වනයෙකි. ශෝභමාන සුවඳවත් කුසුමින් ද, නිල්වන් පත්‍රයෙන්ද සැදුම් ලද උස් වූ අතුපතර විහිද ගිය සල්ගස් සෙවණ උන්වහන්සේට පිහිට විය. එදිනම සවස භද්‍ර වනයෙන් බැහැර වූ බෝධිසත්වයන් වහන්සේ බෝධි වෘක්ෂය වෙත ළඟා වූහ. අපරාජිත පර්යංකයෙන් එහි වැඩ සිටියහ. මේ සුන්දර වූ පරිසරයෙහිම ලෝකයේ අසමසම කරුණා නිධාන වූ ප්‍රඥා සාගර වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ පහළ වූහ. මාර පරාජය කොට බුද්ධත්වය ලදහ.

තුරුලතාවන් සහිත සුන්දර වනගත පරිසරයෙක ඉපිද, එබඳුම අති සුන්දර වූ පරිසරයෙක බුදුබව ලත් සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනීන්ද්‍රයාණන් වහන්සේ වූ කලී සොබාදහමට පූජනීයත්වයක් දීමට සමත් වූ ශාස්තෘවරයෙකි. ඒ ඇසතු වෘක්ෂය අදත් බොදුනුවන්ගේ පූජා ලබයි. බුදුරදුන් විසිනුදු අනිමිස ලෝචනයෙන් ඒ ඇසතු ගස පුදන ලද්දේ යැයි සැලකෙයි. ඒ දෙවන සතියෙහි ය.

පන්සාළිස් වසක් වූ ගෞතම බුදුරදුන්ගේ ජීවිතය ද නිරතුරුවම සොබාදහම ඇසුරෙහි ගෙවී ගියේ වෙයි. උන්වහන්සේ බොහෝ විට දහම් දෙසා ඇත්තේ ද, දිවා රාත්‍රී දෙක ගත කොට ඇත්තේ ද නිසල සුන්දර වනපියෙසිවල ය. විවේකී සොඳුරු ගංගා තීරවල ය. එසේ නැත්නම් පර්වත, මිටියාවත්වල ය. කෙත්යාවල ය. පාලි නිකාය ග්‍රන්ථවල නිබඳවම මීට නිදසුන් ලැබෙයි. ඉන් අවස්ථා කිහිපයක් පමණක් මෙසේ දැක්විය හැකි ය.

ඉච්ඡානංගල නම් බමුණුගම අසල නිසල සුන්දර වන ලැහැබක වැඩ සිටිමින් අම්බට්ඨ නම් තරුණයෙකුට අම්බට්ඨ සූත්‍රය දේශනා කරන ලදී. කොසොල් රට මනසාටක නම් බමුණු ගමට උතුරුදිගින් අචිරවතී නදීතෙර අඹවනයෙක දී තේවිජ්ජ සූත්‍රය දේශනා කරන ලදී. සැරියුත් මහතෙරුන් අමතා මහාසීහනාද සූත්‍රය වදාළේ විශාලා නුවර අසල වනපියසකදී ය. මංගල ධර්ම දේශනා සංඛ්‍යාත දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන ලද්දේ බරණැස ඉසිපතන මිගදායේදී ය. එය මුවන්ට අභය දානය දුන් වනපියසෙකි. ලෙහෙණුන්ට අභය දානය දුන් බැවින් කලන්දකනිවාප නම් වූ සොඳුරු වනයකදී මහාමොග්ගල්ලාන සූත්‍රය දේශනා කර තිබේ. ආයුෂ්මත් අනුරුද්ධ, කිම්බිල, නන්දිය යන සුවච ශ්‍රාවක භික්ෂූන් දක්නා පිණිස ගෝසිංග නම් සාලවනයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ එහිදී ඔවුන්ගේ සුවදුක් විමසා සතුටුව දහම් දෙසූහ. ඒ චූලගෝසිංග සූත්‍රය යි. සිංසපා සූත්‍රය වදාළ සේක් ඇට්ටේරියා වනයෙක ය.

සොබාදහමෙහි අසිරිමත්බව ප්‍රකට කෙරෙන එබඳු වන රජදහන් මෙන්ම පොකුණු තීර හා ගංගා තීරයන් ද උන්වහන්සේට දම් සභාවක් වූයේ ය. සෝණදණ්ඩ සූත්‍රය දේශනා කරන ලද්දේ චම්පා නුවර අසල ගග්ගරා පොකුණු තෙර ය. ධනියගෝපාල නම් පොහොසත් බමුණාට දහම් දෙසන ලද්දේ එක්තරා සුන්දර සන්ධ්‍යාවක මහී ගංගා තීරයේ දී ය. ඒ ධනිය සූත්‍රයයි. ගොවි බමුණෙකු වූ කසීභාරද්වාජට දහම් දෙසා ඇත්තේ ඔහුගේම කෙත්යායට වැඩම කරමිනි. කසීභාරද්වාජ සූත්‍රය එයට නිදසුන් ය. මෙසේ බොහෝ අවස්ථාවලදී ගං, හෝ, වැව්, පොකුණු ගිරිශිඛර, වනපෙත් බුදුරජාණන් වහන්සේට වාසස්ථානය ද දම්සභාව ද වූයේ ය. උන්වහන්සේගේ අවසන් වස්සාන සමයත්, අවසන් චාරිකාවත් කියැවෙන මහාපරිනිබ්බාන සූත්‍රය රජගහනුවර ගිජුකුළුපව්වෙහි වැඩ සිටි තැනින් ඇරඹෙයි.

විටෙක මහවනයෙහි එකලාව හුන් බුදුරදුන් වෙත පැමිණි දේවතාවෙක් උන්වහන්සේට පැවසූ වදනක මෙසේ දැක්වෙයි.

සිටි මද්දහනෙහි පක්ෂීහු ඉසුඹුලති.

වනය මහත්සේ හඬ නඟන්නාක් මෙනි.

එය මට බියක්ව වැටහෙයි. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. සිටි මද්දහනෙහි පක්ෂීහු ඉසුඹුලති. වනය මහත් සේ හඬ නඟන්නාක් මෙනි. එය මට සිත් පිනවන්නක්ව වැටහේ.

ඒ වනගත සොබාවික පරිසරය දෙවියනට බිය ඉපිදවූ නමුදු බුදුරදුනට සතුටක්ම විය. පූර්වෝක්ත පරිදි එදා බුදුරදුන් දුන් ආදර්ශය උන්වහන්සේගේ ශ්‍රාවක ප්‍රජාව ද වනගත පරිසරයට ඇලුම් කිරීමට යොමු කළ බව පෙනේ.

අරණ්‍යය, වෘක්ෂමූලය, පර්වතය, (පර්වත පාර්ශ්වයෙහි ගුහාවක් සේ පිහිටි) කඳුර, ගිරි ගුහාව, වනපොත, ග්‍රාමවාසයෙන් බැහැර වූ දුර පිහිටි ආශ්‍රමය ඇසුරුකොට අල්ප වූ ශබ්ද ඇති අල්ප වූ ඝෝෂා ඇති, (පීඩාජනක) සුළඟින් තොර වූ මිනිසුන්ට රහස් කතා කිරීමට, පිළිසඳරෙහි යෙදීමට සුදුසු වූ වනගහණයන්හි පළක් බැඳ කය සෘජුව තබා සිහිය පෙරටුකොට විසූ තෙරවරු එදා අපූර්ව වූ අධ්‍යාත්මික සුවයක් ලදහ. ධ්‍යාන, අභිඤ්ඤාදිය ඉපිද වූහ.

“රමණීය වූ ආරණ්‍යය කාම ගවේසී ජනයා පි‍්‍රය නොකරන නමුදු වීතරාගීහු එහි ඇලෙතැ”යි බුදුරජාණන් වහන්සේ වදාළහ.

ථෙරගාථාවෙහි එසේ වනගතව විසූ තෙරුන් දෙසිය හැටහතර දෙනෙකු විසින් ගයන ලද ගීත ඇතුළත් ය. ඒ යතිවරුන්ගෙන් සමහරු තම තමන් පසක් කළ මගඵල සිහි කරමින් එයින් උපන් නිරාමිස පී‍්‍රතියෙන් ගී ගයති. සමහරු තමන් ලද සමවත් සුවයම දක්වනු පිණිස ද, සමහරු අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ද, ගී ගයති. ඇතැම් යතිවරුන්ගේ ගීතිකා සම්බුදු සසුනෙහි උතුම් බව කියයි. ඒ සෑම පද්‍යයක්ම පාහේ අපූරු රසවත් රූපක මුසුකොට ගනිමින් සිය අත්දැකීම් පවසනු පිණිස නිමවන ලද්දේ ය. වෙසෙසින්ම වනගත පරිසරයෙහි, සොබාදහමෙහි අසිරිය මතු කරන්නේ ය.

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 18 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 07.26 ට ලබයි. 19 වන දා සිකුරාදා අපරභාග 04.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 19 වන දා සිකුරාදා ය.

 මීළඟ පෝය අප්‍රේල් 26 වන සිකුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]