[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුක් වේදනා විඳින අයට සහනයක් වන්න

දුක් වේදනා විඳින අයට සහනයක් වන්න

සිදුවූ දෙයින් ලස්සන දෙයක් නිර්මාණය කිරීමට අපට ඇති ඉඩ ප්‍රස්ථා අප්‍රමාණයි. ඔබ ආදරය කරන කිසිවකු දුක්වේදනාවන්ට ගොදුරු වූ අවස්ථාවක ඒ පිළිබඳව සුභවාදී ආකල්පවලින් යුක්තව අප දැන් කළ යුත්තේ කුමක්දැයි විමසා බැලීම අවශ්‍යයයි.

බුද්ධාගමට අනුව ඕනෑම කෙනෙක් දුක්පීඩාවන්ට ගොදුරු වූ විට මට මෙහෙම වුණේ මොක ද කියා සිතනවා වෙනුවට, ඔවුන්ට මෙහෙම වුණේ මොකද කියා සිතනවා වෙනුවට අපි දැන් කළ යුත්තේ කුමක්ද කියා සිතා බැලීම වඩා වැදගත්. මේ පිළිබඳ පුරාණ බෞද්ධ කතාවක් මම දැන් ඔබට සිහිපත් කරන්නම්.

වනාන්තරයක දී ඊතල පහරකට ගොදුරු වූ රජෙක් සම්බන්ධ මේ කතාව බුදුරජාණන් වහන්සේ විසූ කාලයේ සිදුවූවක්. මේ රජතුමාට ඊතලයක් වැදී තුවාල වුණාම කළ යුතුව තිබුණු හොඳම දෙය වෙදෙක් ළඟට ගෙනයාමයි. නොඑසේ නම් වෙදෙක් කැඳවාගෙන ඇවිත් ඊතලය ගලවා බෙහෙත් කිරීමයි. එසේ කරනවා වෙනුවට ඊතලය සිරුර පාසා කරමින් වැදී තිබියදී මේ රජතුමා නොයෙකුත් ප්‍රශ්න අසන්න පටන් ගත්තා. “මේ ඊතලය ආවේ කොයි පැත්තක සිට ද? මේ ඊතලය සාදා තිබෙන්නේ මොන ලෝහයකින් ද ? මේ ප්‍රශ්න හරිම මෝඩ ප්‍රශ්න. කිසිවකු ඊතල පහරකට ගොදුරු වුණා නම් කළ යුතුව තිබුණේ වෙදෙකු කැඳවා ඊතලය ගලවා දැමීමයි. ඒ වෙනුවට ඇයි? කොහෙන් ද? මොක ද? කියා නොයෙකුත් ප්‍රශ්න අසන්න වුණා.

මේ විදිහට කෙනෙකු දුක්වේදනාවන්ට ගොදුරු වූ විට ඔබ කළ යුත්තේ “එහෙම වුණේ ඇයි? “ කියා කාටහරි දොස් පැවරීමට වෑයම් කිරීම නොවෙයි. කළ යුත්තේ “අප දැන් සිටින්නේ මෙතනයි. මේකෙ සිට ඉස්සරහට යෑමක් කළ යුත්තේ” කෙසේ ද කියා විමසා බැලීමයි. දෝෂාරෝපණය කිරීම, කෝපවීම, සිදුවු දෙය පිළිබඳ යම් කිසිවකුට හෝ යම් දෙයකට වැරැද්ද පැටවීම, මේක වුණේ මා කළ වැරැද්දෙන් , නැත්නම් වෙනත් කෙනෙක් කළ වරදක් කියා දොස් පැවරීමෙන් සිදුවන්නේ කාලය නැති නාස්ති කිරීමයි.

සිදුවූ දෙයින් ලස්සන දෙයක් නිර්මාණය කිරීමට අපට ඇති ඉඩ ප්‍රස්ථා අප්‍රමාණයි. ඔබ ආදරය කරන කිසිවකු දුක්වේදනාවන්ට ගොදුරු වූ අවස්ථාවක ඒ පිළිබඳව සුභවාදී ආකල්පවලින් යුක්තව අප දැන් කළ යුත්තේ කුමක්දැයි විමසා බැලීම අවශ්‍යයයි. එය අපට යමක් කරන්නට ඉඩ ප්‍රස්ථා විවෘත වීමක්, කායික වේදනාවන්ගෙන් මෙන්ම මානසික වේදනාවන්ගෙන් කෙනෙක් පෙලෙන විට දැන් නම් කරන්න දෙයක් නැතැයි සමහරු සිතුවත් සැමවිටම කරන්න දෙයක් ඉතුරු වී තිබෙන බව මතක තියාගන්න. සිදුවුණේ කුමක් වුණත් ඒ සිදුවු දෙයින් හරිම ලස්සන අත්දැකීමක් විඳගන්න පුළුවන් වෙනවා.

මරණය අබියස සිනාසුණු කාන්තාවක්

බෞද්ධ ආකල්ප අනුව අප අප්‍රමාණ දුක් පීඩා වින්දත් අප අවුලෙන් අවුලට පත් නොවී අපට යමක් කරන්නට පුළුවන්. මෙහිදී බොහෝ ඉස්සර මෙහි නිතර ආ ගිය මගේ දායක කාන්තාවක් පිළිබඳ සිද්ධිය මට මතක් වෙනවා.

ඇය මේ පන්සල ආරම්භ කළ අවස්ථාවේ මෙහි පැමිණ අපට උදව් පදව් කළ කාන්තාවක්. පසුකලෙක ඇය පෙණහැල්ලෙ පිළිකාවකට ගොදුරු වුණා. ඇය හිත දැඩි කාන්තාවක්. රෝහලේ නතරව සිටිද්දි අප දැක බලා ගන්නට රෝහලට එන්න යැයි මට ආරාධනා කර තිබුණා.

“දොස්තර මහත්වරු මගේ පෙණහැල්ලේ පිළිකාවක් තිබෙන විත්තිය කිව්වා. දැන් කරන්න කිසිම දෙයක් නැතිලු. මාරාන්තිකයි.” ඇය මට දන්වා තිබුණා. ඇය දැක බලාගන්නට රෝහලට ගිය මොහොත මට තවම හොඳට මතකයි. ඇය හතියෙන් පෙළුණත්, හොඳට හිනාවෙමින් මා සමඟ විහිළු තහළු කළා. අපි ඇගේ අවසාන කටයුතු කරන විදිහ ගැන සාකච්ඡා කළා. ඇයට ලස්සන දරුවන් හතර දෙනෙක් හිටියා. බාලම දියණියට වයස අවුරුදු 9 ක් විතර ඇති. ඇය එතරම් බරපතළ රෝගයකට ගොදුරු වී සිටියත් ඉතා සැනසිල්ලේ හිතේ සාමයෙන් යුතුව කතාබහ කළ හැකි වීම හරි පුදුමයි. තව මාසයකින් දෙකකින් ඇගේ මරණය කරා ගමන් කරමින් සිටින බව ඇය හොඳාකාරව දැන සිටියා.

ඇය හැසිරුණු ආකාරය සිත් ඇදගන්නා සුළුයි. මක්නිසාදයත් ඇය සැබෑ බෞද්ධයෙක්. ඇය කායික වේදනාවෙන් මෙන්ම මානසික වේදනාවන්ගෙන් ද දුක් පීඩාවන්ට ගොදුරු වී සිටියා ඇති. ඒත් ඇයට ඒ ගැන කිසිවක් කරන්නට බැරි බව දැන සිටියා. එසේ කිසිවක් කරන්නට බැරි බව දැනසිටින්නේ නම් කළ යුත්තේ කුමක් ද? කිසිවක් නොකර තේ කෝප්පයක් බීමයි අප කළ යුත්තේ මගේ සිත් ඇදගත් තවත් කාරණයක් තිබෙනවා. ඇගේ අවසාන කටයුතු පිළිබඳ සියලු දේ සූදානම් කර, ඈ මළපසු දරු මල්ලන් රැක බලා ගැනීම පිළිබඳ කටයුතු ද සූදානම් කර, මා රෝහලේ ඇගේ කාමරයෙන් පිටතට ඇවිත් ඇවිදගෙන එමින් සිටිය දී රෝහලේ ජ්‍යෙෂ්ඨ හෙදියක් මා හමුවට ඇවිත් මෙසේ ඇසුවා.

“ඔබ දැන් අර ලෙඩා දැක බලාගෙන එන ගමන් නේද? කරුණාකර ඇය පිළිබඳ අපට ඉතා වැදගත් කාරණයක් පිළිබඳ උදව් වෙන්න” මේ හෙදිය කීවා. ඇය ප්‍රධාන හෙදිය වගේම රෝහලේ ප්‍රධාන මේට්‍රන්වරියයි.

“මොකක්ද වෙලා තියෙන්නේ?” මම ඇගෙන් ඇසුවා.

“ඇය මරණය කරා ගමන් කරමින් සිටින බව බාර ගන්නේ නැහැ” මැරෙන්නෙ කිට්ටු බව දන්නේ නැහැ” ඇය කීවා.

“ඇය පසුගිය පැයේදී ඇගේ අවසන් කටයුතු කරන විදිහ ගැන මා එක්ක සැලසුම් කළා”. මම කිව්වා. ඉන්පසු අර හෙදිය හඬා වැළපෙන්න පටන් ගත්තා.

“හිත අවුල්කර ගන්න එපා.” තරහ ගන්න එපා. ඇය එහෙම හැසිරෙන්නේ ඇය බෞද්ධ කාන්තාවක් නිසයි” කියලා මම කිව්වා.

මේ සිද්ධිය මගේ සිත ඇදගත් කාරණයක්. මක්නිසාදයත් ලස්සන බෞද්ධයන් මිය යන්නේ කෙසේ ද යන්න පිළිබඳ මගේ මුල්ම අත්දැකීම ඒකයි. එමෙන්ම එය අසාමාන්‍ය දෙයක්. මේ හෙදිය බොහෝ දීර්ඝ කාලයක් සේවය කර තිබුණත් ඇය කිසිවිටක මේ වගේ දෙයක් දැක තිබුණේ නැහැ. මම මේ කතාව නැවත නැවත කියන්නට හරිම කැමැතියි. මක්නිසාදයත් ඔබ වුණත් අනෙක් අයට විශිෂ්ට ආදර්ශයක් විය හැකියි. එසේ වන්නේ කෙනෙකු වද වේදනාවන් විඳිනවිට ඇය ද වද වේදනා විඳිය යුතු ද? එසේ කළ විට සිදුවන්නේ දෙපාර්ශ්වයම වදවේදනාවන්ට පාත්‍රවීමයි. මරණය කරා ගමන් කරමින් සිටියත් විශිෂ්ට ලෙස මරණයට මුහුණ දුන් අය පිළිබඳ මගේ අත්දැකීම් තිබෙනවා.

මරණය දැක දැක සිනාසුණු තවත් කෙනෙක්

මා නිතර නිතර කියන එවැනි කතාවක් මා දැන් ඔබට සැකෙවින් කියන්නම්. මා දන්නා හඳුනන මෙහෙණින් වහන්සේ කෙනෙක් පිළිකා රෝගයෙන් පෙළෙමින් රෝහල්ගතව සිටියා. ඇය මරණය කරා ළඟාවෙමින් සිටින අතරවාරේ මට දුරකතනයෙන් කතාකර ඈ දකින්නට රෝහලට එන්න යැයි ඉල්ලා සිටියා. බොහෝ කාර්යබහුලව සිටියත්, ඒ සියලු වැඩ පසෙකට දමා මා වහාම ඈ බලන්නට රෝහලට ගියා. නමුත් රෝහලට ගිය විට රෝහලේ ප්‍රධාන හෙදිය රෝගියාගේ කාමරයට ඇතුළුවීමට මට අවසර දිය නොහැකි බව කිව්වා. කිසිම අමුත්තෙකුට අවසර නැත යන දැන්වීම් පුවරුවක් රෝගියාගේ කාමරයේ දොරේ අලවා ඇති බව හෙදිය මට කිව්වා.

“අප දැක යන්න එන්න යැයි ඇය මට දුරකතනයෙන් කතා කළා. බොහෝ දුර බැහැරක සිටියි. මා ඇය දකින්න ආවේ” යි මා කී විට හෙදිය මා රෝගියාගේ කාමරයේ දොර ළඟට කැටුව ගියා.

“මේ බලන්න. කිසිම අමුත්තෙකුට අවසර නැත’ කියා මේ දැන්වීමේ ලොකුම අකුරෙන් ලියා තිබෙන හැටි බලන්න” ඇය මට දැන්වීම පෙන්වමින් කිව්වා.

මා දැන්වීමට එබී බැලූවිට , අර ලොකු අකුරු යටින් ‘අජාන් බ්‍රහ්ම හැර’ කියා සටහන් කර තිබෙන හැටි මා දුටුවා.

“මේ බලන්න” මම දැන්වීමේ පුංචි අකුරුවලින් තිබුණු සටහන හෙදියට පෙන්වූවාම ඇය මට රෝගියාගේ කාමරයට යන්න අවසර දුන්නා.

රෝගියා බලන්නට ඇගේ කාමරයට ගිය විගස මා ඇගෙන් මෙසේ ඇසුවා.

“ඇයි අනෙක් අයට අවසර නොදී මට විතරක් කාමරයට එන්න අවසර දුන්නෙ?

ඇය මෙසේ උත්තර දුන්නා.

“මේ බලන්න. මා මරණය කරා ගමන් කරමින් සිටිනවා. මම දුක් වේදනා විඳිනවා. මෙසේ දුක් විඳින මා දකින්නට එන අය අතුරින් මගේ වේදනාව ගැන කතා නොකරන එකම එක්කෙනා ඔබයි. දුක් වේදනා ගැන කතා කරනවා වෙනුවට ඔබ සිනාසෙනවා. විහිළු තහළු කරනවා. අපි මරණය ගැන කතා කරන්නේ නැහැ. ඒත් මෙහාට එන අනිත් සෑම කෙනෙක්ම හඬා වැළපෙන්න පටන් ගන්නවා. දුකට පත් වෙනවා. මම දුක් වේදනාවන්ගෙන් පීඩා විඳින අතර ඔවුන්ද හඬා වැළපෙන විට එය මට දැනෙන විදිහ සිතේ මවා ගන්නවා. මට මගේ දුක් වේදානා දරාගන්න සිදුවී තිබෙනවා. ඔබ හැර අනෙක් අය මෙහි ඇවිත් හඬා වැළපෙන විට මගේ දුක් වේදනා තවත් වැඩි වෙනවා.”

කෙනෙක් දුක් වේදනා විඳිනවිට අප හඬා වැළපීමෙන් සිදුවෙන්නේ දුක වැඩිවීමයි’.

ඇය මට කිව්වේ විශිෂ්ට කතාවක්. එය ඔබටත් පාඩමක්. කෙනෙක් මරණය කරා ළඟාවෙමින් දුක් පීඩාවන්ට ගොදුරු වී වදවේදනා විඳින හැටි සිතේ මවා ගන්න. ඔබත් භාවාත්මකව හැසිරෙන්න පටන් ගත්තාම අර තැනැත්තන්ගේ දුක් වේදනා වැඩි වෙනවා. ඇගේ හෝ ඔහුගේ දුක් වේදනා තුරන් වෙන්නේ නැහැ. ඒ වෙනුවට දුක් වේදනා වැඩිවෙනවා. මේ නිසා කිසිවෙකු දුක්වේදනාවන්ට පාත්‍රවී සිටින විට ඔබ නිවීසැනසිල්ලේ සිතේ සාමයෙන් වැඩ කටයුතු කර දුක් වේදනා විඳින අයටත් සහනයක් ලබාදෙන්න ඔබට පුළුවන් වේවි. එසේ කළ විට ඔහුගේ හෝ ඇයගේ දුක්වේදනා අඩුවේවි.

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 20 වන දා බදාදා පූර්ව භාග 10.44 ට ලබයි. 21 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.12 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 20 වන දා බදාදා ය.

 මීළඟ පෝය මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]