කාල කළමනාකරණය
බෞද්ධ ඉගැන්වීමක්
මහනුවර අස්ගිරි මහා විහාරයේ
කාරක සංඝසභික උපාධ්‍යාය ධුරන්ධර
වාරියපොල රාජමහා විහාරාධිපති මහාචාර්ය
තුඹුල්ලේ
ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි
කාල කළමනාකරණය කියන එක ඉතාමත් වැදගත් සංකල්පයක්.
අද පිළිගෙන තිබෙන ඉතා වැදගත් මූලධර්මයක් තමා ඕනෑම ආයතනයක, සංස්ථාවක සාර්ථකව
ප්‍රතිඵල ලබා ගැනිමට නම් ඊට දිගුකාලීන ව සකස් කර ගන්නා ඉලක්ක ගත සංයුක්ත සැලැස්මක්
යොදා ගැනීම. එය අවුරුදු පහකට, සමහරවිට දහයකට හෝ ඊටත් වැඩි කලකට වෙන්නටත් පුළුවන්.
ඉතින් මේ දිගුකාලීන සැලැස්ම සඳහා ඉලක්ක ගත අරමුණු පවතිනවා වගේ ම ඒ දිගුකාලය වසර
බැගින් වෙන් කරලා ඊට කෙටිකාලීන වශයෙන් සමස්ත අරමුණ සඳහා කෙටිකාලීන ඉලක්ක පවත්වා
ගන්නවා. දිගු කාලය අවසන් වනවිට ප්‍රධාන සැලැස්මේ අරමුණු සියල්ල ඉටු කර ගැනීමේ වැඩ
පිළිවෙල සඵල වෙනවා. මෙය අලුත් සංකල්පයක් ලෙස අපට බැලූ බැල්මට පෙනෙනවා. එහෙත් මේ
සංකල්පය මුලින් අපට පෙන්වා දී තිබෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ යි. ඒ පිළිබඳ හොඳම
උදාහරණය තමා බුදුරජාණන් වහන්සේගේ දින චරියාව. උන්වහන්සේ එහි දී දවසේ කාල කළමනාකරණය
පිළිබඳ අපට පෙන්වා දෙන ආදර්ශය අතිශයින් වැදගත් වෙනවා. උන්වහන්සේ දවසේ පැය විසිහතර
කොටස් පහකට බෙදා වෙන් කරනවා. පෙරබත් කිස, පසුබත් කිස, පෙරයම් කිස, මැදියම් කිස හා
පැසුළුයම් කිස වශයෙන්, ඉතින් මේ කාල කළමනාකරණය තුළ බුදුරජාණන් වහන්සේ විසින් අරමුණු
කරගත් ඉලක්ක සියල්ල සපුරා ගත්තේ කිසිදු අපහසුවකින් තොරව යි. මේ දිනචරියාවේ දී
උන්වහන්සේ වැඩිපුරම කාලය වෙන් කර තිබුණේ ශාස්තෘවරයෙකු වශයෙන් උන්වහන්සේ වෙතින්
ජනතාව අපේක්ෂා කරන අරමුණු සපල කර දීමට යි. එහි දී උන්වහන්සේ පක්ෂ, පාට, වර්ග, කුලමල
දෙස අවධානය යොමු කළේ ම නැහැ. උන්වහන්සේට අවශ්‍ය වුණේ තමන් වහන්සේ හමුවට පැමිණෙන
අහිංසක පුද්ගලයා වෙහෙසකට පත් නොකර ඔහු අපේකෂා කරන අරමුණ ඉටු කර දීම යි. මේ නිසා
තමා, උන්වහන්සේ හමුවට පැමිණි බඩගින්නේ පෙළෙන ගොවියාට ආහර දී සතප්පවා අනතුරුව තමන්
වහන්සේ අවබෝධ කර ගත් උතුම් දහම බෙදා දීමේ අරමුණ ඉටු කර ගත්තේ. මේ කාරණය පිළිබඳව
මොහොතකට කල්පනා කළොත් එයින් උන්වහන්සේ දී ඇති ආදර්ශය අද දවසේ ජිවත් වන අපට කෙතරම්
වැදගත් වෙනවා ද? යන්න ය අප සිතිය යුත්තේ ය .අහිංසක ගොවියාගේ මූලික අවශ්‍යතාව හඳුනා
ගෙන ඔහුගේ බඩගින්නට විසඳුමක් නොදුන්නා නම් උන්වහන්සේගේ අරමුණ වූ ඒ උතුම් දහම ජනගත
කරන්නට උන්වහන්සේට හැකි වන්නේ නැහැ.
අනිත් කරුණ නම් කාලකළමනාකරණයේ දී යම් අරමුණක් ඉටු කර ගැනීමට වෙන් කර දී කාල රාමුව ඒ
සඳහා ම යොදා ගැනීමට විමසිලිමත් වීම. බොහෝ විට අද සාමාන්‍යයෙන් සිදු වන්නේ වෙන් කර
දී ඇති කාල සීමාවෙන් වැඩි කාලයක් අපතේ යැවිම, නැතිනම් ඉලක්කගත අරමුණට පරිබාහිර
වෙනත් කටයුතුවලට යෙදවීම. මේ නිසා කිසියම් ආයතනයක හෝ සංස්ථාවක මූලික ඉලක්ක සාධනයට
යෙදෙන කාලය සීමා වෙනවා. ඒ සීමාව නිසා අරමුණ ඉටුකර ගැනීම හුදෙක් සිහිනයක් බවට පත්
වෙනවා. සාමාන්‍යයෙන් කල්පනා කරලා බැලුවොත් කාර්යාලයක හෝ කිසියම් ආයතනයක, පාසලක හෝ
වෙනත් රැකියා ස්ථානයක දෛනිකව එම ආයතනයේ රාජකාරි පවත්වා ගෙන යන වේලාව තුළ නිවැරැදි
කාල කළමනාකරණයක් පවතිනවා ද කියා එයට ලැබෙන පිළිතුර වන්නේ එක්වරම නැහැ යන්නයි. එයට
එක ම හේතුව කුමක් ද? ආයතන ප්‍රධානියාගේ සිට එහි සුළු සේවකයා දක්වා පැහැදිලිව අරමුණු
කරගත් දෛනික ඉලක්කයක් යෝ වැඩ පැවරුමක් කර නොමැති විම යි.
බුදුරජාණන් වහන්සේ තමන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හැට නමක් දක්වා වර්ධනය වූ
සැණින් ඒ සෑම භික්ෂූන් වහන්සේ නමකට ම අරමුණක් හඳුන්වා දුන්නා. එය තමා වහ වහා ගම්
නියම්ගම්වලට වැඩම කරලා ධර්මප්‍රචාරය කරලා මේ පැහැදිලි දහම අවබෝධ කර දිමට ක්‍රියා
කිරීම. එහි දී උන්වහන්සේ භික්ෂූන් වහන්සේට ප්‍රකාශ කළා මහණෙනි, ගම්දනව්වල චාරිකාවේ
හැසිරෙන්න. ඒ කුමක් පිණිස ද? බොහෝ දෙනාගේ හිතසුව පිණිස යි. අර්ථය පිණිස යි.
අභිවෘද්ධිය පිණිස යි. එය ඉටු කිරීමේ දී නුඹලා දෙන්න බැගින් එක මගක ගියොත් කාලය යනවා
වැඩි යි. දෙන්නා මාර්ග දෙකකින් ගියොත් ධර්මය ප්‍රචාරය කෙරෙන වේගය දෙගුණ වෙනවා. එසේ
එක් මාර්ගයකින් එක්කෙනා බැගින් පිටත් ව ගියොත් පාරවල් හැටකින් ගියා වෙනවා. ඒ පාරවල්
හැටක් දෙපස වාසය කරන බොහෝ ජනතාවට මේ නවතම දහම අවබෝධ කර ගැනීමේ වේගය දෙගුණ වෙනවා. ඒ
නිසා ම ඒ දහම ශිඝ්‍රයෙන්ම ව්‍යාප්ත වෙන්නට පටන් ගත්තා. බුද්ධශ්‍රාවක පිරිස භික්ෂු,
භික්ෂුණී, උපාසක, උපාසිකා වශයෙන් සිව් වර්ගයක් ව ව්‍යාප්ත වන්ට වූවා. ඒ පිරිස් මුල
මැද හා අග යන ස්ථාන තුනේ ම පිරිසුදු වූ උතුම් අර්ථයක් ම ජනතාවට පහදා දුන්නා. ඒ නිසා
බුදුරජාණන් වහන්සේ එදා සුමේධ තාපසව දිපංකර පාද මූලයේ දී නියත විවරණ ලැබීමෙන්
අනතුරුව ඉලක්ක කර ගත් පරිදි,
බුද්ධොහං බොධයිස්සාමි
මුත්තොහං මොචයෙ පරෙ
තිණ්ණොහං තාරයිස්සාමි සංසාරොගාමහබ්භයා
යන අධිෂ්ඨානයෙන් සඵත කළ පරිදි උන්වහන්සේ බුදුබවට පත් වී ඉන් අනතුරුව සසරගත සත්වයාට
ද ඒ දහම අබෝධ කරන්නෙමැයි කියා ද, තමන් සසරින් මිදී අනෙකුත් දුක් විඳීන සත්වයා ද
සසරින් මුදවන්නෙමැයි කියා ද තමන් වහන්සේ මහත් බිය ගෙන දෙන සසරින් එතර වී එසේ එතෙර
වීමට නො හැකිව, එතෙරවීමට උත්සාහවත් වෙන සත්වයා ද එතෙර කරවන්නෙමැයි ද යන ඉලක්ක සපුරා
ගැනීමට උන්වහන්සේ එක් භවයක පමණක් නොව දිර්ඝකාලීන සසර ගමනේ දී ඉලක්ක සඵල කර ගැනීමේ
බලවත් උත්සාහයක නිරත වුණා. එහි යටි අදහස කුමක් ද? නිවැරැදි සැලැස්ම යි. මෙලෙස
නිවැරැදි සැලැස්මක් අප කාටත් තිබිය යුතු වෙනවා. එසේ වුවහොත් අප අදහස් කරන අරමුණ කරා
යාමේ හැකියාව අප සතුව ම පවතිනවා. එය වෙනත් බලගතු අදෘෂ්‍යමාන හස්තයකින් ක්‍රියාත්මක
කරන්නක් නොවෙයි. බුදුරජාණන් වහන්සේ සුමේධ තාපසව සිටි අවස්ථාවේ එදා දීපංකර පාද මූලයේ
දී එම බුදුරජාණන් වහන්සේගෙන් අනාගතයේ මෙයින් සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයකින් ඔබ්බෙහි
ගෞතම වංශිකයෙක්ව ඉපිද බුද්ධත්වයට පත්වන බවට නියත විවරණ ලද තැන් පටන් උන්වහන්සේ
හිතන්නට බැරි තරම් දීර්ඝ කාලයකින් සඵල කර ගත යුතු ඉලක්කයක් සඳහා අවශ්‍ය
ක්‍රියාකාරකම්වල යෙදුණු ආකාරය කෙතරම් විශ්මය ජනක ද? අප වැන්නෙකුට ඒ ගැන සිතීම පවා
අතිශයින් දුෂ්කර වන්නේ ය. එහෙත් උන්වහන්සේ ඒ ඉලක්කය සපුරා ගැනීමට අවශ්‍ය සුදුසුකම්
සපුරා ගත්තේ පාරමී දහම් පිරීමෙන් ය. ඒ පාරමී ධර්ම හැම එකක් ම පාරමී, උපපාරමී,
පරමත්ථ පාරමී වශයෙන් දානා දී ඒ සියලු පාරමිතා එකින් එක සපුරා ගැනීමේ ක්‍රියාවලිය
විවිධ බෝසත් අත් භවයන් තුළ සාර්ථකව පුරුදු පුහුණු කළා.
ඊ ළඟට වැදගත් කාරණය වන්නේ උන්වහන්සේ පළමුවෙන් ම ආත්මාර්ථය සඵල කර ගත්තේ එයින්
සැහීමකට පත්වීමට නොවේ ප්‍රධාන සැලසුමේ ප්‍රධාන ඉලක්ක ගත අරමුණු බවට පත් කර ගත්තේ.
උන්වහන්සේ තමන් වහන්සේ ඒ දහම අවබෝධ කර ගැනීමේ අරමුණ සඵල කර ගත් පසු ‘බොධයිස්සාමි’
යන ක්‍රියාවලියෙහි යෙදුණා. එමෙන්ම සසරින් මිදෙනවා කියන මේ අරමුණ ඉටු කර ගත්
උන්වහන්සේ ‘මොචයෙ පරෙ’ යනුවෙන් තැබූ ඉලක්කය පරිදි දුක් වි¼දින සත්වයා එයින් මුදවා
ලීමේ බරපතල ක්‍රියාවලියක යෙදුණා. සසරින් එතෙර වීමේ අරමුණ සපල කර ගත්තා වගේ ම
අනාදිමත් කාලයක සිට මේ සසරෙහි ඉපදී ඉපදි මැරී මැරී නොයෙක් වදවේදනා විඳීන සත්වයා
‘තාරයිස්සාමි සංසාරොගා මහබ්භයා’ ඒ මහත් සසර බිය ගෙන දෙන සසරින් එතෙර කරවීමට ද
ක්‍රියා කිරීමේ ඉලක්කය අමතක කළේ නැහැ. මෙය තමා කාලකළමනාකරණයේ වටිනාකම. එසේ නැතිනම්
සැලසුමක අගය කියා පාන සාධකය. කුමක්ද? ජිවත් වන මේ සමාජයේ අපි හැමවිටම ආත්මාර්ථය
තුළින් සෑහීමකට පත් වීම සැබෑ මිනිස් ගතියක් නොවන බව. එය සිව්පා සතුන් විසින් වුවද
අනුගමනය කරන ක්‍රියාවලියකි. එහෙත් මිනිස් සත්වයාගේ වැදගත්කම වන්නේ තමන් විසින්
යහපත් ලෙස සාධනය කර ගත් අරමුණ සපල වීමෙන් අනතුරුව එය බොහෝ දෙනෙකුට ඵලදායක ලෙස
භුක්ති විඳීමට අවස්ථාව සලසා දීම යි, ශ්‍රේෂ්ඨ මානව ගුණ ධර්මය වන්නේ. බුදුරජාණන්
වහන්සේ මේ මනුලොව ප්‍රථම සාර්ථක සැලසුම්කාර උත්තමයා බවට පත් වූයේ හැමවිට ම තමන්
වහන්සේගෙන් පරිබාහිර අනෙකුත් මිනිස් සත්වයාගේ පමණක් නොව සිව්පා සත්වයාට ද ගහකොළ
වනලැහැබ් වැනි ස්වභාවික පරිසරයට ද හානියක් නොවන ආකාරයෙන් ක්‍රියා කරලයි. ඒ හැම
දෙයකට ම යහපතක් වන ආකාරයෙන් උන්වහන්සේ අරමුණු කර ගත් ඉලක්ක සපුරා ගෙන පොදු අහිංසක
ජනතාව සුඛිත මුදිත කිරීමේ අරමුණෙන් මුලින් සඳහන් වූ ආකාරයෙන් තමන් වහන්සේ දෛනික
චරියාව පවා කාල පැය වශයෙන් කොටස් කර ගෙන මුලින් කී පරිදි පෙරබත් කිස, පසුබත් කිස,
පෙරයම් කිස ආදි වශයෙන් කොටස් පහකට බෙදා වෙන් කර තමන්වහන්සේගේ පාර්ශ්වයට වඩා අන්‍ය
සත්වයා ගැන විමසිලිමත්ව කාල කළමනා කරණයට යොමු වූයේ හැම විටම පරාර්ථය අරමුණු කරගෙන
යි. මෙහි දී උන්වහන්සේ කෙතෙක් දුරට අහිංසක දුක් විඳීන මානවයා ගැන විමසිලිමත් වූවාද
යන්න පැහැදිලි වෙනවා. මෙහි කී පැසුළුයම් කිස හෙවත් අලුයම් කාලය උන්වහන්සේ වෙන් කර
තිබුණේ දුගී දුප්පත් කුලයෙන් පවා පහත් පීඩනයට පත් වූ ජනකොටස් හඳුනාගෙන ඒ අය සොයා පා
ගමනින් ම වැඩම කොට ඔවුන්ට ධර්මාවබෝධය ලබා දීමෙන්. මේ අතර උන්වහන්සේගේ ජනපද චාරිකාව
ද තුරිත හා අතුරිත වශයෙන් බෙදා වඩාත් ඵලදායි චාරිකාවක් වන සේ යොදා ගත්තා. එහි දී
තුරිත චාරිකාව ලෙස වෙන් කර ගත්තේ එක් එක් ජනකොටස් හෝ පුද්ගලයන් අරමුණු කොට ඔවුන්ට
දහම් අවබෝධය පිණිස චාරිකාවේ යෙදීම යි. සෝපාක වැනි උදවිය හමුවෙන්නට වැඩියේ මේ
පිළිවෙළට යි, අතුරිත චාරිකාව ලෙස යොදා ගත්තේ සාමාන්‍යයෙන් පිඬු පිණිස හැසිරීම,
පොදුවේ හමුවන පිරිස් උදෙසා දම්දෙසීම වැනි සාමාන්‍ය චරිකා ලෙසට යි. නකු මාතාව,
නකුපියා වැනි උදවිය හමු වුණේ මේ ක්‍රමයට වැඩම කිරීමෛනු යි. මේ සියල්ලෙන් ම
උන්වහන්සේ අපේක්ෂා නළේ තමන්වහන්සේගේ බුද්ධත්වයේ අරමුණු සඵල කර ගැනීමට සැලසුම් සහගත
ව ක්‍රියා කිරීම යි. මේ නිසා බෞද්ධයන් වශයෙන් අප හැම දෙනාම මේ ආදර්ශය අනුව කටයුතු
කරන්නේ නම් අපේ දිවා කාලය, රාත්‍රි කාලය කෙසේ ගත වී දැයි සිතන සැම විටම අපේ මහත්
අස්වැසිල්ලට හේතු වන අයුරු පෙන්වා දීමට පුළුවන. කිසි විටෙක පසුතැවිමක් ඇති වන්නේ
නැහැ. |