[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙලොව සැප සදන සම්මා දිට්ඨිය

දෙලොව සැප සදන සම්මා දිට්ඨිය

ගුරු උපදේශ නොමැතිව සීල, සමාධි, ප්‍රඥා පරිපූර්ණත්වයට පත්කර ගත් අපගේ ශාස්තෘන් වහන්සේ, සම්මා දිට්ඨිය සියලු කුසල ධර්මයන්ට මුල් වන බව වදාළා. (සම්මා දිට්ඨි පුරේ ජවං) මජ්ක්‍ධිිම නිකායේ මහා චත්තාරිසක නම් සූත්‍ර දේශනාවේ දී ශාස්තෘන් වහන්සේ ලෞකික සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨිය යනුවෙන් සම්මා දිට්ඨිය දෙආකාරයකට විස්තර කොට වදාළා.

දිවි මඟ යහපත් කරන ජීවිත දැක්ම

එහිදී භාග්‍යවතුන් වහන්සේ කරුණු දහයකින් සමන්විත ලෞකික සම්මා දිට්ඨිය ගැන මෙසේ වදාළා. එනම් ලෞකික සම්මා දිට්ඨිය කෙලෙස් සහිතයි. (සාසවා) පින් උපද්දවා දෙනවා (පුඤ්ඤභාගියා) අනාගතයේ සැප විපාක උදාකර දෙනවා (උපධිවේපක්කා) කියායි. කර්ම–කර්මඵල විශ්වාසයෙන් යුක්ත නිසා කම්මස්සකතා සම්මා දිට්ඨිය කියාත් හඳුවන්වන එහි අංග දහය භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා දී වදාළා.

* අත්ථි දින්නං – දන් දීමෙන් යහපත් විපාක ලැබෙන බව පිළිගනී.

* අත්ථි යිට්ඨං – ඇප උපස්ථාන කිරීමේ සහ සේවා කටයුතුවල යහපත් ආනිශංස ඇතිබව පිළිගනී.

* අත්ථි හුතං – වන්දනාමාන කිරීමේ සහ පුද සත්කාරවල යහපත් විපාක ඇතිබව පිළිගනී.

* අත්ථි මාතා - මව කියා සතර බ්‍රහ්ම විහරණ ආදී විශේෂ ගුණයෙන් යුතු කෙනෙක් ඇතිබවත්, මවට සැලකීමේ ආනිශංස ඇති බවත් පිළිගනී.

* අත්ථි පිතා - පියා කියා විශේෂ ගුණ දරන කෙනෙක් ඇති බවත් , පියාට සැලකීමේ ආනිශංස ඇති බවත් පිළිගනී.

* අත්ථි අයං ලෝකෝ – කර්මානුරූපව මෙලොව උපතක් කරා ආ බව පිළිගනී.

* අත්ථි පරෝ ලෝකෝ – කර්මානුරූපව පරලොව උපතක් කරා යන බවත් පිළිගනී.

* අත්ථි සුකට දුක්කඨානං කම්මානං ඵලං විපාකෝ - යහපත් අයහපත් කර්මවල යහපත් අයහපත් ප්‍රතිවිපාක තිබෙන බව පිළිගනී.

* අත්ථි සත්තා ඕපපාතිකා - මව්කුසින්, බිත්තරයෙන් හෝ තෙත් පරිසරයෙන් තොරව කර්මානුරූපීව ඕපපාතිකව උපදින සත්ත්වයන් (දිව්‍ය, බ්‍රහ්ම, පේ‍්‍රත, අසුර, නිරිසතුන් ආදී) සිටින බව පිළිගනී.

* අත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාටිපන්නා යේ ඉමඤ්ච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්ජිකත්වා පවේදේති – යහපත් මගෙහි ගමන් කළ යහපත් මගට පිළිපන්, මෙලොව පරලොව තමන්ගේම අවබෝධයෙන් සාක්ෂාත් කොට පවසන ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලෝකයෙහි ඇතිබව (බුදු, පසේබුදු, මහරහත් ආදී උතුමන්) පිළිගනී.

මෙම පිළිගැනීම් නොමැති පුද්ගලයා ලෞකික සම්මා දිට්ඨියවත් නොමැති අන්ධබාල පෘථග්ජන, මිථ්‍යා දෘෂ්ඨීකයෙක් බව භාග්‍යවතුන් වහන්සේ වදාළා. එමෙන්ම සම්මා දිට්ඨිය තිබෙන පුද්ගලයා මිථ්‍යා දෘෂ්ඨිය, මිථ්‍යා දෘෂ්ඨිය වශයෙනුත්, සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය වශයෙනුත් වෙන් කොට හඳුනා ගන්න බව බුදුරජාණන් වහන්සේ වදාළා. ඔවුන් තමයි දන් පැන් පූජා කරන්නේ. අන් අය කෙරෙහි පරිත්‍යාගශීලි වන්නේ. සිල්් රකින්න, ධර්මය ශ්‍රවණය කරන්න. බණ භාවනා කරන්න උනන්දු වෙන්නේ. මෛත්‍රී කරුණාදී ගුණයන්ගෙන් යුක්ත වන්නේ. ඒ පුද්ගලයා සම්මා දිට්ඨියෙන් යුක්ත නිසා මානුෂික ගුණ ධර්මයන්ගෙන් යුක්තව, යහපත් ආකාරයට ජීවිතය ගොඩනගා ගන්නවා. ඒ තුළින් රැස්වෙන පින ජීවිතයට යහපත, සැපත උදාකර දෙනවා. මතු ජීවිතය සුගතිගාමි වෙනවා. ඒ වගේ ම ධර්මාවබෝධයට උදව් කරන මූලික පදනම කෙනෙකු තුළ ගොඩ නැගෙන්නේ ලෞකික සම්මා දිට්ඨිය තුළිනු යි. ලෞකික සම්මා දිට්ඨියෙන් තොරව, ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇතිකර ගැනීම සිදුවිය නොහැකි දෙයක්.

සෘජුවම නිවන වෙත යන ලෝකෝත්තර සම්මා දිට්ඨිය

බුදුරජාණන් වහන්සේ වදාළා තව සම්මා දිට්ඨියක් තිබෙනවා. එය සෘජුවම නිවන කරාම ගෙනයනවා. එනම් ලෝකෝත්තර සම්මා දිට්ඨිය යි. ඒ පිළිබඳව විග්‍රහ කොට තිබෙන්නේ ආර්ය වූ (අරියා) ආශ්‍රව රහිත වූ (අනාසවා) ලෝකෝත්තර වූ (ලෝකුත්තරා) මාර්ග අංගයක් ලෙස (මග්ගංගා) දියුණුවන සම්මා දිට්ඨිය වශයෙනුයි. එනම් ආර්ය ශ්‍රාවකයාගේ ආර්ය චින්තනයයි. ආර්ය මාර්ගය වඩන විට ඇතිකර ගන්නා ආර්ය ප්‍රඥාව හෙවත් චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඤාණය යි. භාග්‍යවතුන් වහන්සේ එය හඳුන්වන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥාා බලය කියායි. ඒ ශ්‍රාවකයා චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසමයි චින්තනය මෙහෙයවන්නේ. ඒ අවබෝධය තමන්ගේ ජීවිතයේ කොටසක් වගේ වෙන් කරන්න බැරි නිසා ඒක ඉන්ද්‍රියයක්. එය වඩාත් බලවත් වූ විට බලයක්. ආර්ය සත්‍යය අවබෝධය පිණිස වීමංසන බුද්ධිය යොදවන විටයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇතිවන්නේ. භාග්‍යවතුන් වහන්සේ ඒ පිළිබඳව විස්තර වශයෙන් මෙසේ වදාරා තිබෙනවා. “ ආර්ය වූ සිත් ඇති, අනාශ්‍රව සිත් ඇති , ආර්ය මාර්ගයෙන් යුක්ත වූ ආර්ය මාර්ගය ප්‍රගුණ කරන කෙනෙකුගේ යම් ප්‍රඥාවක් ඇද්ද, ප්‍රඥා ඉන්ද්‍රියක් ඇද්ද, ප්‍රඥා බලයක් ඇද්ද, ධම්මවිචය සම්බොජ්ඣංගයක් ඇද්ද, සම්මා දිට්ඨි මාර්ගාංගයක් ඇද්ද, මහණෙනි, මෙයට කියන්නේ ආර්ය වූ , ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා දිට්ඨිය කියායි.

මාර්ග අංග තුªනක් ඇත්වැල් බැඳගනී

භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ ලොකෝත්තර සම්මා දිට්ඨිය තුළින් තමයි මිථ්‍යා දෘෂ්ඨිය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන්නේ කියා. ලෝකෝත්තර සම්මා දිට්ඨියේ පිහිටා මිථ්‍යා දෘෂ්ඨිය ප්‍රහාණය කරන්න නම් අකුසල් ප්‍රහාණය කරන කුසල් උපද්දවන වීර්යය අවශ්‍යයි. එම වීර්යය සම්මා වායාම මාර්ග අංගය යි. ඒ වගේම මිථ්‍යා දෘෂ්ඨිය ප්‍රහාණය කර සම්මා දිට්ඨියට පැමිණීම පිණිස පවත්වන සිහිය සම්මා සතිය යි. මේ ආකාරයට ධර්ම මාර්ගයේ දී සම්මා දිට්ඨිය, සම්මා වායාම, සම්මා සති යන අංග තුන එකට අත්වැල් බැඳගෙන පවතින බව, එකට දියුණු වන බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළා. එලෙස චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඤාණය ඇතිකරගත් ශ්‍රාවකයා ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණෙනවා. එලෙස මාර්ගයට සපැමිණි පුද්ගලයා සෝතාපන්න ශ්‍රාවකයෙක් වෙනවා. එසේ සෝවාන් වුණා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඤාණය ඇතිවීමයි. වෙනත් ආකාරයට කිව්වොත් ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇතිකරගත් ශ්‍රාවකයා සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් බවට පත්වෙනවා. ඒ වගේම සම්මා දිට්ඨිය ඇතිවීම පිණිස කරුණු දෙකක් උපකාරි වන බව භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඒ සද්ධර්ම ශ්‍රවණය සහ යෝනිසෝමනසිකාරය යි.

සද්ධර්ම ශ්‍රවණය

සම්මා දිට්ඨියෙහි පිහිටන්නට නම්, බුදුරජාණන් වහන්සේ වදාළ ශී‍්‍ර සද්ධර්මය ශ්‍රවණය කළ යුතුයි. තර්ක විතර්ක පුද්ගල මතවාද, ධර්මය මෙන් පෙනෙන අධර්මය ශ්‍රවණය කළාට සම්මා දිට්ඨීය ඇතිවන්නේ නැහැ. අප ශ්‍රවණය කළ යුත්තෙත්, කියවිය යුත්තේත් චතුරාර්ය සත්‍යය අවබෝධ ඇතිවන තථාගත ශ්‍රී සද්ධර්මය යි. එම තථාගත ශ්‍රී සද්ධර්මය ඇසෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන සිත පහදවාගත් කල්‍යාණ මිත්‍රයන් වෙතිනුයි. එනිසා බාහිරින් ලැබෙන අංග අතර කල්‍යාණ මිත්‍ර ආශ්‍රයත්, සද්ධර්ම ශ්‍රවණයත් තරම් වටිනා වෙනත් දෙයක් බුදු ඇසින් නො දකින බව භාග්‍යවතුන් වහන්සේ වදාළා. ප්‍රඥාවෙන් අග්‍ර වූ සාරිපුත්තයන් වහන්සේ පවා ලෝකෝත්තර සම්මා දිට්ඨිය ලබා ගත්තේ අස්සජි මහරහතන් වහන්සේ වෙතින් ධර්මය ශ්‍රවණය කිරීම තුළිනුයි.

යෝනිසෝ මනසිකාරය

පැහැදිලි ලෙස පිරිසුදු , ලෙස පරිපූර්ණ නිවන්මඟ පෙන්වා දෙන ඒ ශ්‍රී සද්ධර්මය අසා කියවා සිතෙහි පිහිටුවාගෙන එය තේරුම් ගැනීම පිණිස නුවණ මෙහෙයවීම යෝනිසෝ මනසිකාරය යි. එසේ ධර්මයට අනුව නුවණින් විමසීම සම්මා දිට්ඨිය ඇතිකර ගන්න අතිශ්‍යයින්ම උපකාරි වෙනවා. යම් කෙනෙකුට නුවණින් විමසීමේ හැකියාව කොතරම් තිබුණත් ධර්මය ශ්‍රවණය කරන්නට නො ලැබුණොත් සම්මා දිට්ඨිය ඇතිකර ගන්න ලැබෙන්නේ නැහැ. එමෙන්ම ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළත් ඒ අනුව නුවණ මෙහෙයවන්න බැරිනම් එවිටත් සම්මා දිට්ඨිය ඇතිවන්නේ නැහැ. එනිසා අභ්‍යන්තර අංග වශයෙන් යෝනිසෝ මනසිකාරයත්, ධර්මානුධර්ම ප්‍රතිපදාවත් තරම් වටිනා දෙයක් බුදු ඇසින් වෙන නො දකින බව භාග්‍යවතුන් වහන්සේ වදාළා. එමනිසා සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය යන අංග දෙකම තිබෙනවා නම් පමණක් ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇතිකර ගත හැකි බව හොඳින් පැහැදිලි වෙයි.

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 20 වන දා බදාදා පූර්ව භාග 10.44 ට ලබයි. 21 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.12 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 20 වන දා බදාදා ය.

 මීළඟ පෝය මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]