[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කරපුද වඳින රැඳි මුනි සිරිපා තඹර  - සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙන හිර

කරපුද වඳින රැඳි මුනි සිරිපා             තඹර
සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙන හිර

සිරිපා වන්දනා සමය ආරම්භ වන්නේ උඳුවප් මස පුර පසළොස්වක පොහොය උදාවත් සමග යි. ඊළඟ වෙසක් පුර පසළොස්වක පොහොය දක්වා කාලය සිරිපා වන්දනා සමයට අයත් වෙයි.

 

මෙම කාලය අතරතුර මැදින් පුරපසළොස්වක පොහොය දිනයේ සාම්ප්‍රදායිකව සිරිපා මළුවේ සිදුකෙරෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය ඇතුළු චිත්තාකර්ෂණීය පුණ්‍යෝත්සව මාලාව විශේෂ වැදගත්කමකින් යුක්ත ය. සිරිපා වන්දනාව සඳහා වැඩිපුරම වන්දනාකරුවන් එක්රැස් වන්නේ ද මෙම මැදින් පොහෝ දා ය.

සමනොළ කන්ද රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට කෝරළයේ උතුරු උඩ පත්තුවට අයත් ය. පරිවාර කඳුවැටි සමූහයකින් වට වී කේතු රූපාකාරව දර්ශනය වන සමනොළ කන්ද ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයක් ලෙස සැලකිය හැකි ය. පුරාතනයේ සිට මෙම සමනොළ කන්ද ලෝකවාසීන් ගේ ආකර්ෂණයට හේතුවූයේ එය ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයක් වු නිසා ම නොව ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී පාද ලාංඡනය මෙම කඳු මුදුන මත පිහිටුවා තිබීම නිසා ය.

වන්දනා ගමන් යාම ශ්‍රී ලාංකේය බෞද්ධ ජන ජීවිතය හා සබැඳි සුවිශේෂී අංගයකි. අද මෙන් ප්‍රවාහන පහසුකම් නො තිබුණ එකල පා ගමනින්ම වන්දනාගමන් යාමට මෙ රට සැදැහැවත්හු හුරුපුරුදු වී සිටිය හ. ශ්‍රී පාද වන්දනා ගමනට අනෙකුත් වන්දනා ගමන්වලට වඩා විශේෂත්වයක් දුරාතීතයේ පටන්ම හිමි විය. පළමුවෙන්ම තෙරුවන් නැමද සමන් දෙවියන්ට භාරහාරවීම සාම්ප්‍රදායික චාරිත්‍රය යි. ඇතැම්විට තම ඉඩකඩම් පවා ඤාතීන්ට පවරා දී ශ්‍රීපාද වන්දනාවේ යෙදීම පුරාතනයේ සිදු කෙරිණි. මෙරට ජනතාව වන්දනාවේ යන සිද්ධස්ථාන අතුරෙන් වැඩිම දුරක් පයින් යා යුතු එකම සිද්ධස්ථානය වන්නේ ගෞතම ශ්‍රී පාදස්ථානය යි. එම දුෂ්කරතාව නිසාම වන්දනාගමන තුළින් ලැබෙන කුසලය සෙසු වන්දනා ගමන්වලින් ලැබෙන කුසලයට වඩා උසස් යැයි, වන්දනාකරුවෝ තදින්ම විශ්වාස කරති. එබැවින් ඔවුහු පිරිවර ජනයා ද සමඟ වන්දනා නඩ වශයෙන් සංවිධානය වී ඉමහත් බැති සිතින් සිරිපා තරණය කරති. ගමන් මාර්ගයේ දී ඇතිවන ගමන් විඩාව සංසිඳුවා ගැනීම පිණිස ඔවුහු මෙවැනි කවි ගායනා කරති.

ගමනේ වෙහෙසත් සිතට නොගල්ලා
ගමනට ඉනිමග කවි පවසල්ලා
බුදු ගුණ කියමින් ගමන යමල්ලා
දෙනෙතට වැඳ සිරිපා වැඳ ගල්ලා

මෙවන් කවි සේ ම සිරිපා වන්දනාවට ම ආවේණික වූ සැහැලි ස්වරූපයේ කියමන් රාශියක් ද පවතියි. මේවා නම් කළ හැකි වන්නේ ගැමි ජනතාව විසින් නිර්මාණය කරන ලද “වාගාලාප” ලෙසිනි. වන්දනා නඩය කොටස් දෙකක් වශයෙන් බෙදී මෙම වාගාලාප ගැයීම සිදු කෙරේ. මෙහි මුල් පේළිය වන්දනා පිරිසේ නායකයා හෝ ඒ පිළිබඳ දක්ෂතා ඇති වෙනත් කෙනෙකු හෝ හඬ නඟා කියයි. ඒ අනුව සෙසු වන්දනාකරුවෝ සාමූහිකව අනෙක් පේළිය හඬනගා කියති. එවැනි වාගාලාප කොටසක් මෙසේ දැක්විය හැකිය.

අපේ බුදුන් – අපි වඳින්ඩ
පෙරළි පෙරළි – අපි වඳින්ඩ
එරන් පතුල – අපි වඳින්ඩ
මැණික් පතුල – අපි වඳින්ඩ

හිමි සිරිපා – අපි වඳින්ඩ
දෙදණ නමා – අපි වඳින්ඩ
නළල තබා – අපි වඳින්ඩ
සිරස නමා – අපි වඳින්ඩ

තෙලුත් පුදා – අපි වඳින්ඩ
මලුත් පුදා – අපි වඳින්ඩ
බුදු සරණයි – අපි වඳින්ඩ
දම් සරණයි – අපි වඳින්ඩ

සඟ සරණයි – අපි වඳින්ඩ
තුන් සරණයි – අපි වඳින්ඩ
කෝඩු සමඟ – අපි වඳින්ඩ
දොහොත් නගා – අපි වඳින්ඩ

සමන් දෙවියො – වන්දවන්ඩ
කිරි කෝඩුට – කරුණාවයි
දඬු කෝඩුට – කරුණාවයි
සමන් දෙවිඳු – කරුණාවයි

වන්දනාකරුවන් ගේ මුවින් මෙම වාගාලාප කියවෙන්නේ සමන්ගිර නැග යන කල ය. සිරිපා වැඳගෙන පහළ බසින සැදැහැවත්හු ඉහළ නගින්නන් හමුවන කල මෙසේ කියති.

අපේ බුදුන් – අපි වැන්දා
නළල තබා – අපි වැන්දා
වඳින්න යන මේ නඩේට
සුමන සමන් දෙවි පිහිටයි

එවිට සමනොළ ගිර නගින පිරිස මෙසේ කියති.

වැඳල බහින මේ නඩේට
සුමන සමන් දෙවි පිහිටයි
කරුණාවයි – කරුණාවයි

සමනොළ ගිර නැගීමේදීත්, බැසීමේදීත් මෙම වාගාලාප කීමෙන් වන්දනාකරුවන් බලාපොරොත්තු වනුයේ වෙහෙස නිදිමත ආදිය දුරුකර ගැනීමත්, ආගමික ශ්‍රද්ධාව දියුණු කර ගැනීමත් ය. ‘තුන් සරණය’ නමැති ජන කාව්‍යයේ එන කවි ගායනා කිරීම් ද සිරිපා වන්දනාවේ දී කෙරෙන සාම්ප්‍රදායික සිරිතකි.

බුද්ධං සරණේ සිරස දරාගෙන
ධම්මං සරණේ සිත පහදා ගෙන
සංඝංසරණේ සිවුරු දරා ගෙන
ඉඤ්ඤයි තුන් සරණේ අදහා ගෙන

සිංහල ජන ජීවිතයේ අන් කවර හෝ අවස්ථාවකවත් භාවිත වන බවක් දැකිය නොහැකි සිරිපා වන්දනාව හා ආවේණික වූ විශේෂ වචන මාලාවක් ද තිබේ. හිමිදිරි පාන්දර පෙරදිගින් සූර්යයා උදාවීම සිරිපා පුදබිමේ දී හඳුන්වන්නේ “ඉර සේවය” නමිනි. වන්දනාකරුවන් ඔවුනොවුන් හමුවන අවස්ථාවන් හි දී ආශිර්වාද කරගන්නේ “කරුණාවයි” කියමිනි. එය වෙනත් අවස්ථාවක “ආයුබෝවන් යැයි, කීම හා සමාන ය. ජීවිතයේ ප්‍රථම වතාවට සිරිපා වන්දනාවේ යන තරුණයා “කෝඩුකාරයා’ ලෙසත්, වැඩිහිටියා දඬුකෝඩු” ලෙසත් ,කුඩා දරුවෙකු හෝ දැරියක “කිරිකෝඩු” ලෙසත් හැඳින්වේ. තද අඳුර සහිතව වළාකුළු පැතිරයාම “කෝඩේ” නමිනුත්, වැසි වසින බව හැඟවීම “ගඟුලබානවා” නමිනුත් භාවිතයට එක් වී තිබේ. සිරිපා තරණයේ දී “පරඬැල් පෑගෙනවා” යනුවෙන් කීමෙන් අදහස් කරනුයේ “කටු ඇනෙනවා” යන්නයි. ගමන් මාර්ගය අවහිර නම් ඉඩ ඉල්ලා සිටින්නේ “සංහිඳේ” යනුවෙන් පැවසීමෙනි. “ඉඩදෙන්න” යනු එහි අරුත යි. සිරිපා වන්දනාකරුවා ගෙන යන සියලුම ආම්පන්න බහාලන උරය හඳුන්වන්නේ “සැහැල්ලුව“ නමිනි. එය උරහිස දෙපසට වැටෙන සේ කරේ දමාගෙන යා හැකිවන පරිදි මැසූ ලොකු උරයකි. වර්තමානයේ දී නම් සැහැල්ලුව භාවිතයට නොගන්නා තරමටම අභාවයට ගොස් තිබෙන බව පෙනේ. එහෙත් දැනටත් මෙම වචනය භාවිතයේ පවතියි.

සමනොළ කන්දේ ඉහළ කොටසේ පවත්නේ තද සීතලකි. එම ප්‍රදේශයෙහි ගමන් කිරීම හඳුන්වන්නේ “හිමේ නගිනවා” යනුවෙනි. සිරිපතුල වැඳීමට පෙර වන්දනාකරුවන් පිරිසුදුවීම “පේවීම” නම් වේ. දෙහි කැබැල්ලක් ගා සීත ගඟුලෙන් නෑම මෙහි විශේෂ පේවීම ලෙස හැඳින්විය හැකි ය. සිරිපා වන්දනා කරන පිරිස “නඩය” නමින් හඳුන්වන අතර එම පිරිසේ නායකයා “නඩේ ගුරා” නම් වෙයි. සිරිපා වන්දනාවේදී ඉතා වැදගත් පිළිවෙතක් වන්නේ කට පරෙස්සම්රර ගැනීම යි. එනම් වචනය සංවර කර ගැනීම යි. කට පරෙස්සම්කර නො ගැනීම සිරිපා කරුණාවට බාධාවකි. සිරිපා වන්දනාව හා පමණක් ආවේණික වූ මෙම වචන මාලාව හඳුන්වාදිය හැක්කේ හුදෙක් ගැමි පාරිභාෂික වචන කෝෂයක් ලෙස යි.

සිරිපා වන්දනාවේ දී “ගෙත්තම් කිරීම” නමින් සිදු කෙරෙන අභිචාර විධියක් පවතියි. ඉදිකටු හා නූල් රැගෙන ඒවා ගසක අත්තක දවටා යාම මෙයින් අදහස් වේ. ජන වහරේ එන පරිදි බුදුරදුන් සිවුරු ඉරුණු තැන් එතැන දී මසාගත් බව සිහිපත් කරමින් ගෙත්තම් කර දෙවියන්ට පින්දීම සිදු කරයි. මෙම ජන කවිය එයට සාක්ෂි දරයි.

ගෙත්තම් පානට ගොසින් බසින්නේ
ගෙත්තම් කරලයි සමහරු යන්නේ
ඉදිකටු නූලත් සුරතට ගන්නේ
ගෙත්තම් කර දෙවිඳුට පින් දෙන්නේ

හැටන් නල්ලතන්නි, කුරුවිට එරත්න, පලාබද්දල යන මාර්ග තුන ඔස්සේ සැදැහැවත්හු සිරිපා කරුණා කරති. සිරිපා ගමන් මාර්ගය හා සබැඳි බොහෝ ස්ථාන නාම සිංහල ජන වහරට එක් වී ඇත. රත්නපුර කුරුවිට මාර්ගයේ ලිහිණි හෙල, ධර්මරාජගල, හැරමිටිපාන , ඇහැලකණුව මෙන්ම හැටන් මාර්ගයේ මකර තොරණ, ජපන් සාම චෛත්‍යය . රතු අම්බලම, භගවා ලෙන ඒ අතර ස්ථාන කිහිපයකි. මෙම ස්ථාන වටා බොහෝ ජනශ්‍රැති ද බිහි වී තිබේ.

රත්නපුර කුරුවිට පාරේ ඇහැළ කණුව අසලින් ඉහළට නැගීමට එදා තිබුණේ ඉතා අවදානම් සහගත යකඩ ඉනි මගක් ය. හැටන් පාරේ පැමිණීමේ දී හමුවන “භගවා ලෙන” දැකීමට බොහෝ වන්දනාකරුවන්ට අවස්ථාව නොලැබෙයි.

භගවා ලෙන වන්දනාකරුවන් නගින පඩි මගට මදක් එපිටින් පිහිටා තිබීම එයට එක් හේතුවකි. භගවා ලෙන මහගිරිදඹෙන් පසුව පිහිටා තිබීමත්, වන්දනාකරුවන් මහගිරිදඹ පසු කළ සැණින් මළුවට යාමට ඉක්මන්වීමත් එයට තවත් හේතුවකි. මෙම භගවා ලෙන වනාහි බුදුරදුන් සිරිපා පිහිටුවා දිවා විහරණය කළ “දිවා ගුහාව“ යයි ද ඇතැමුන් තුළ විශ්වාසයක් පවතියි. මහගිරිදඹ තද බෑවුම් සහිත, දැකීමටත් බිය උපදවන ප්‍රදේශයකි. මෙහි අහස්ගව්ව ද පිහිටා ඇත.

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 20 වන දා බදාදා පූර්ව භාග 10.44 ට ලබයි. 21 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.12 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 20 වන දා බදාදා ය.

 මීළඟ පෝය මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]