[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිරිපා වන්දනාව

සිරිපා වන්දනාව

අධ්‍යාත්මික සුවය සඳහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්මය පිහිටි ශ්‍රී පාදස්ථානය වන්දනාවේ යෙදෙන වන්දනාකරුවන්, සැදැහැවතුන් ඉමහත් ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන් මහත් ඇපවීමෙන්, කැපවීමෙන්, පේවීමෙන් සමනලගිර සුමන සමන් දෙවිඳුගේ ආශීර්වාදයෙන් කරුණා කරයි.


බෙන්ගමුවේ ධම්මදින්න නාහිමි

ශ්‍රී පාදස්ථානය, පලාබත්ගල විහාරය, නල්ලතන්නිය, බෞද්ධාරාමය, ගල්පොත්තාවල ශ්‍රී පාද රාජ මහා විහාරය, රත්නපුර පොත්ගුල් රජ මහා විහාරය හා පැල්මඩුලු පුරාණ දාගැබ් රජමහා විහාරය යන විහාර ගණයේ අධිපති මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක ධර්මකීර්ති ශ්‍රී සුමංගල රතනපාල ශ්‍රී ධම්මරක්ඛිත බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආගමික, ශාසනික, සාමාජික නිහඬ මෙහෙවරක නිරත යතිවරයන් වහන්සේ නමක් වේ.

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සබරගමුවැසි ප්‍රාදේශීය නායක වූ සුමන සමන් දෙවියන්ගේ ගෞරවනීය ඇරැයුමෙන් රහතන් වහන්සේ පන්සිය නමක් සමඟ වැඩමවා සමනලගිරි මුදුනෙහි ශ්‍රී පාද පත්මය පිහිටුවා වදාළහ.

ලෝකවාසී මනුෂ්‍යයන්ගේ ගෞරවයට පත්ව ඇති උතුම් ශ්‍රී පාදස්ථානය සම්‍යග් දෘෂ්ටික මනුෂ්‍යයන්ගේ පමණක් නොව අන්‍ය දෘෂ්ඨික අය ද තම තමන්ගේ දෙවියන් ලෙස ගෞරව දැක්වීම ට පෙළඹෙති. අති දුෂ්කර ගමනක යෙදී වන්දනාවට පැමිණීම ම මහත් අසිරියකි. ඉතා අනුහසින් යුක්ත පූජනීය පුදබිමකි. මුහුදු ගමන්වල යෙදුනු විදේශිකයන්ට දර්ශනය වූයේ ද ශ්‍රී පාද පත්මය පිහිටි සමන්තකූට පර්වතය යි. මනුෂ්‍යයන්ගේ පමණක් නොව දෙවියන්ගෙන්ද පිදුම් ලබන ශ්‍රී පාදස්ථානය අසිරිමත් පුදබිමකි.

එම පුදබිමෙන් සිරිලක සරුසාර කොට පෝෂණය කිරීමට ජල ධාරා හතරක් ආරම්භවීමත් මහත් අසිරියකි. ගතට සිතට සුවය සලසන පරිසරයක් මෙන්ම ජල සම්පත හිමිකර දෙන වෙනත් ස්ථානයක් ලොව කොතැනක හෝ පවතීදැයි විමසා බැලිය යුතු ය. බුදුරජාණන් වහන්සේගේ වැඩමවීමෙන් දහම් අසා පැහැදී මගඵල ලැබූ එකම ශ්‍රී ලාංකිකයා වූයේ සමනල ගිරි වැසි සුමන සමන් දෙවියන් වේ. එකල අවබෝධ ඤාණය ඇති නුවණැතියන් මෙම ලක් දෙරණෙහි විසූ බව සත්‍යයකි. සිරිලක සුරකින ලක් දෙරණෙහි පහළ වූ ප්‍රථම දෙවියන් සුමන දෙවිඳුන් වේ. මහාවංශය, දීප වංශය, සමන්ත පාසාදිකාව, පූජාවලිය ග්‍රන්ථයන්හි විස්තර දැක්වේ. අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, ගම්පොළ, මහනුවර රාජධානී යුගවල රජකළ රජවරුන්ගේ ගෞරවයට, පූජාවට, වන්දනාවට ශ්‍රී පාදස්ථානය පාත්‍ර වූ බව පැහැදිලි වේ. විජයබා, පැරැකුම්බා, නිශ්ශංකමල්ල ආදී රජවරු විවිධ පුද පූජා සිදුකර ඇති බව ශිලා ලේඛන, සන්නස් තුඩපත් ආදියෙන් ගම්‍ය වේ. මහා මේඝවර්ණ රජුගේ පුත් රාජ්‍යත්වයට පත්ව අභිෂේක ලබා පළමුව ශ්‍රී පාද වන්දනාවට පැමිණීමෙන් සමන් දෙවියන් උදෙසා දෙවොලක් තැනූ බව

සඳහන් වේ. එදා සිට සමන්තකූට මස්තකයේ පිහිටි ශ්‍රී පාද පත්මය ආරක්ෂා කරන සමන් දේවාලය අදත් සැදැහැවතුන්ගේ ගෞරවයට හා පූජාවට පත්ව තිබේ. බුදුපියාණන් වහන්සේගේ අසමසම වූ මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්ත වූ ශ්‍රී පාද පත්මය මගුල් ලකුණු එකසිය අටකින් යුක්ත ය. සමන් සුරිඳුන්ගේ ඇරැයුමෙන් ඉන්ද්‍රනීල මාණික්‍යය මත බුදුරජාණන් වහන්සේ සිරිපා සටහන පිහිටුවා වදාළ සේක. මිසදිටුවන්ගෙන් වන හානි වළක්වාලීම පිණිස පසුව ආවරණය කරවිය.

වෙහෙර වහන්සේගේ කොත් කැරැල්ලේ හැඩය ගත් පර්වත මස්තකයක් මුදුනට නැග වන්දනා කරන ස්ථානයක් ලොව වෙනත් ස්ථානයක පවතීද? එවන් ඓතිහාසික අසිරිමත් පුදබිමට පැමිණ වන්දනාමාන සිදු කරනුයේ වාම ශ්‍රී පාද පත්මය ට ය. ශ්‍රී පාද වන්දනාවෙහි පැමිණෙන බැතිමතුන්ට ලොව අන් කිසි තැනකට නොදෙවැනි සංකේත දෙකක් දක්නට ලැබේ. ඉන් එකක් නම් මොහඳුර දුරු කරන දොළොස් මහේ පහන යි. අනෙක නම් සිරිපා කරුණා කරන වන්දනාමාන කරන වාර ගණන සනිටුහන් කරන ඝන්ඨාරය නාද කිරීම යි. එසේ පැමිණි වන්දනා වාර ගණන සනිටුහන් කරන ඝන්ඨාරයක් ලොව තිබේද? දොළොස් මහේ පහනෙහි තෙල් ලෙඩ දුක්වලට සුව දෙන්නේ යැයි බැතිමතුන්ගේ විශ්වාසයේ පවතී.

කිසිවකුගෙන් හෝ ඉල්ලීමක්, මෙහෙයවීමක් නොමැතිව නිදහසේ වන්දනා කරන ස්ථානයකි ශ්‍රී පාදස්ථානය. ශ්‍රී පාදස්ථානය වන්දනා කරන සැදැහැවතුන් එසේ සිරිපා කරුණා කිරීමට පැමිණෙන්නේ දෙවියන් උදෙසා ද මහත් පුදසත්කාර පවත්වමිනි.

ඉතා ඈත අතීතයේ දී අති දුෂ්කර වන්දනා ගමනක පැමිණ ශ්‍රී පාද පත්මය වන්දනා කළහ. එහෙත් පසුකාලීනව දියුණුවත් සමග ගල් එකතු කර ශෛලමය පියගැට පෙළ නිර්මාණය කෙරිණි. යකඩ සහ දම්වැල් යොදා ගනිමින් පහසුව සලසා ගත්හ. හැටන් මාර්ගයේ පාලම් ඉදි කරමින් පියගැටපෙළ නිර්මාණය කරමින් මෑත ඉතිහාසයේ ඊට මුල් වූයේ මොරොන්තුඩුවේ ශ්‍රී ධම්මානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. පොල් මටොලු, කොලපු යොදා එකවර නොදැල්වෙන අරටු සහිත ලී යොදා ගනිමින් ඒවායෙන් පන්දම් තනා ඒවා දැල්වීමෙන් කලක් ආලෝකය ලබාගෙන තිබුණි. මී ඉටි, නා ඉටි, කැකුණ ඉටි, යකහලුව ඉටි ආදී කරුවල මූකලානේ පැවැති වනයේ ගස්වල ඉටිවලින් එසේ දල්වන ඉටි පන්දම නිර්මාණය කර තිබේ.

විදුලිය නොමැති එකල එබඳු පන්දමක් දල්වා ආලෝකය ලබාදීමේ රාජකාරී පුරාණයේ පැවතිණි. එබඳු දුෂ්කර ගමනක යෙදෙන විට මොරොන්තුඩුවේ ධම්මානන්ද නාහිමි යුගයේ දී විදුලි ආලෝකය ද ලැබිණි.

ජල විදුලිය සැපයීමට විදේශීය සමාගමක් පැමිණුන ද, විවිධ දුෂ්කරතාවයන්ට මුහුණදීම නිසා එය ඉටු නොවිණි. අනතුරුව එවකට අමාත්‍යවරයෙකුව සිටි සර් ජෝන් කොතලාවල මහතා එම කර්තව්‍යය භාරගෙන ඇත. එසේ බාර ගෙන විදුලි බලාගාරය ආරම්භ කිරීමට සූදානම් විය. විවිධ කරදර බාධක පැමිණි විට සමන් දෙවියන්ට බාරයක් විය. සමන් දෙවියන්ගේ පිහිටෙන් විදුලි බලාගාරය සාර්ථක වුවහොත් එහි ආලෝකය සියලු මාර්ගවලට ශ්‍රී පාද පත්මය පවතිනතුරු එමගින් ලබාදීම එම බාරය යි. කිසිදු බාධකවලින් තොරව විමලසුරේන්ද්‍ර මහතාගේ මූලිකත්වයෙන් එය නිම කරන්නට හැකිවිය. එම බාරය ඔප්පු කිරීමෙන් අදටත් ශ්‍රී පාදස්ථානයට විදුලි ආලෝකය පවතින්නේ සර් ජෝන් කොතලාවල මහතාගේ එම ක්‍රියාව නිසයි.

ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ යුගයේ දී ශ්‍රී පාදස්ථානයේ ඉහළ සිට පහළ දක්වා ජලනල පද්ධතියක් ලබා දුන්හ. ජලනල පද්ධතිය දුර්වලව ඇති හෙයින් ප්‍රතිසංස්කරණය කිරීමට කාලය එළඹ ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ කාරුණිකව පෙන්වා දෙති. ධම්මානන්ද නාහිමි යුගයේ දී තේවා කටයුතු සංඝෝපස්ථාන ආදිය ආරම්භ කළේ ය. විහාරය, දේවාලය නව නිර්මාණ ලෙස බිහිවිය. ඒ යුගය දීප්තිමත් විය. අනතුරුව බටුගෙදර යසස්සි නාහිමියෝ ශ්‍රීපාදස්ථානාධිපති පදවියට පත්වූහ. අනතුරුව පත් වූ හඳපාන්ගොඩ විමල නා හිමියෝ නව ගොඩනැගිලි ඉදි කරවූහ.

උන්වහන්සේගේ යුගයේ දී පැල්මඩුළු රජමහා විහාරයේ දායක මහත්මයකු වන තිලක් මාරපන අමාත්‍යතුමා අමාත්‍ය ධූරයට පත්ව තමාගෙන් ඉටු විය යුත්තේ කුමක්දැයි විමසූ විට ශ්‍රී පාදස්ථානයට පැමිණෙන මාර්ගයක් ලෙස තිබෙන පලාබත්ගල මාර්ගය දුර්වල හා අපිළිවෙල බැවින් ඒ ගැන අවධානය යොමුකරන්නැයි කී ය. එකල ලයනල් බලගල්ල හමුදාපතිතුමන්ගේ මාර්ගයෙන් පලාබත්ගල මාර්ගය ප්‍රතිසංස්කරණය කර එය පහසු ගමන් මාර්ගයක් කරවීය.

ශ්‍රී පාදස්ථානයේ ඝන්ඨාරය ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන වාර ගණන සනිටුහන් කරමින් නාද කෙරේ. වත්මන්හි ඒ සඳහා සුදුසු ඝන්ඨාරයක් තිබිය යුතු ය. උඩට ඇතුන් දෙදෙනෙකුගේ රුව යොදා පේකඩ ලීස්තර ආදිය ද නිර්මාණය කර ඝන්ටාරය නිර්මාණය කිරීමට වත්මන් ශ්‍රීපාද ස්ථානාධිපති නාහිමියන්ට හැකි විය. කවුරුන් චෝදනා කළ ද ලේඛන ගත දේ වෙනස් කළ නොහැකි ය. පැරැණි දේ එසේ තිබියදී අලුතෙන් යමක් නිර්මාණය කළ හැකි ය. අතීතයේ ශ්‍රී පාදස්ථානයේ දොළොස් මහේ පහනෙන් තෙල් ටිකක් ගා සුවපත් වූවා යැයි ලොකු විශ්වාසයක් පවතී. මෙරට තෙල් බෙහෙත් නිපද වූ අය එහි ආනුභාවය වර්ධනයට ඒ පහනට තෙල් පූජා කළේ ය. එසේ තෙල් කැකෑරීමෙන් විශේෂ තෙලක් බවට පත් වේ. ඊට ඉඩකඩ මදිකම නිසා පැල්මඩුලු රජමහා විහාරයේ තිබෙන මැටි කොරහේ ආකෘතියට අනුව දොළොස්මහේ ශෛලමය පහන, නිර්මාණය කළේ ය. ඒ 1938 දී පූජා කළ පහන එසේ තිබිය දී ය. එය වන්දනාවේ යෙදෙන බැතිමතුන්ගේ වැඩි පහසුව සඳහා ය. ගල් අතුරා සලපතල මළුව ද සකස් කළේ ය. පෙරවරු 6 පෙරවරු 10, සවස 6 සහ රාත්‍රී 10 ට යන සතර වේලාවකට තේවාවන් පැවැත්වීම ආදිය ද පිළියෙල කරවී ය. බදාදා සහ සෙනසුරාදා දිනවල කෙම්මුර පූජාව ද පැවැත්වේ. ඉතා පිරිසුදුව චාරිත්‍රානුකූලව එම වතාවත් සිදු වනුයේ වත්මන් ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි වේ. දානය වේලාවට වඩින සියලු ස්වාමීන් වහන්සේලාට ප්‍රත්‍ය පහසුකම් සලසනු ලැබේ. පලාබත්ගල මාර්ගයේ අම්බලම් සියල්ල ඉදිකර වීය. ඉදිකටුපානේ අම්බලම සහ පරිත්‍යාගශීලීන්ගේ සහායෙන් ජල ටැංකි තබා පානීය ජලය බෙදා දෙනු ලැබේ. සනීපාරක්ෂක පහසුකම් ද සලසා තිබේ. ලැබෙන පිරිකර විහාරස්ථානවලට බෙදා දෙනු ලැබේ. නල්ලතන්නිය ප්‍රදේශයේ සිංහල දෙමළ දහම් පාසල්වලට පන්සල් සහ කෝවිල් වෙත ආධාර සපයා ඇත. චාරිත්‍ර අගයමින් සුබ සාධක මෙහෙවරෙහි ද නිරතවනු ලැබේ.

වන්දනා වාරයේ දී දිනපතා පැවැත්වෙන දන්සල මෙවර වන්දනාවාරයේ දී පැවැත්වෙන අතර නල්ලතන්නි මාර්ගයේ පියගැට පෙළ ප්‍රතිසංස්කරණය ද මෙවර සිදු කර ඇත. මැදින් පෝදා පින්කම් මුනිසිරිපා වන්දනා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් සජීවීව ශ්‍රී පාදස්ථානයේ සිට විකාශය කෙරේ.

මොරොන්තුඩුවේ ශ්‍රී ධම්මානන්ද නාහිමියුගයෙන් පසු දීප්තිමත් යුගය උදාවූයේ වත්මන් ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් යටතේ බව සඳහන් කළ යුතු වේ.

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 20 වන දා බදාදා පූර්ව භාග 10.44 ට ලබයි. 21 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.12 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 20 වන දා බදාදා ය.

 මීළඟ පෝය මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]