ආහාර අනුභවයෙහි පරමාර්ථය
අස්ගිරි මහා සංඝසභාවේ මහෝපාධ්‍යාය
ශාස්ත්‍රවේදී
රාජකීය පණ්ඩිත
අමුණුපුර පියරතන හිමි
නමෝතස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
ජිගච්ඡා පරමා රොගා
සංඛාර පරමා දුඛා
එතං ඤත්වා යථා භූතං
නිබ්බාණං පරමං සුඛං
සුපින්වත්නි,
සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ අලව් නුවර අග්ගාලව වෙහෙර වැඩවසන සමයෙක
එක්තරා උවසුවෙක් අරබයා මෙම ගාථා ධර්මය දේශනා කළ සේක.
අලව් නුවර ඉසුරෙන් සපිරුණු තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධා භක්තියෙන් හා අවබෝධයෙන් යුත්
ජනයාගෙන් ගහණ නගරයකි. අප බුදුරදුන් දෙව්රම් වෙහෙර වැඩ සිට අලුයම් වේලෙහි ලොව බලා
වදාරණ සේක්, දුකසේ දිවි රැක ගන්නා, එහෙත් සදහම් අවබෝධයට වාසනා මහිමය ඇති මිනිසෙකු
දුටුසේක.
දුගී දුප්පත් වුව ද, දැහැමි දිවිපැවැත්මෙන් උදාර වූ මෙම තැනැත්තාගේ වාසනා මහිමය
මෙන්ම සෙසු ජනතාවගේ හිතසුව පිණිස ද අප බුදුරජාණන් වහන්සේ පන්සියයක් ශ්‍රාවකයන්
වහන්සේලා පිරිවර කොට අලව් නුවරට වැඩම වා වදාළ සේක. අලව් නුවර ජනතාව බුදු පාමොක් මහ
සඟනට පෙරහර පුද පූජාවන්ට සූදානම් වූහ. මේ අතර දුප්පත් ගොවියෙකුගේ ගවයෙකු පලාගොස්
ඇති බැව් දැනගෙන එම ගවයා සොයා ගොස් ගෙනවුත් ගාලේ බැඳ තබා දවල් වීමෙන් බුදු පුදයට
කල්ගත වූ බැවින් සා පිපාසාවෙන් හා මහන්සියෙන් පීඩිතව එහෙත් බලවත් ශ්‍රද්ධාවෙන් වහා
වෙහෙරට ගොස් බුදුරදුන් වැඳ එකත් පස්ව හුන්නේ ය. බුදුරජාණන් වහන්සේ ද ඔහුගේ තත්වය
දැනගෙන මහාසංඝයා වහන්සේ වළඳා ඉතිරි ආහාර ඔහුට දෙන්නට නියම කළ සේක. ගොවියා ද
අවස්ථාවේ හැටියට එම ආහාර ගෙන සා පිපාසා නිවා ගත්තේය.
සත්වයාගේ ප්‍රධාන ආශාව ජීවත් වීමයි. එයට අත්‍යවශ්‍ය ආහාරපාන ගැනීමට විශාල වෙහෙසක්
දරන වග අප සැමට ප්‍රත්‍යක්ෂ වන්නේ ය.
‘සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා’
යනුවෙන් අප බුදුරජාණන් වහන්සේද මෙම කාරණය දක්වා වදාළ සේක. මෙම උපාසකයා ද ආහාරපාන
ගෙන බුදුරදුන් දෙසූ දහම් අසා සෝවාන් මාර්ගයට පිවිසියේ ය.
බුදුරජාණන් වහන්සේගේ ම නියමයෙන් වළඳා ඉතිරි ආහාර ගිහියෙකුට දෙන ලද වෙනත් සිද්ධියක්
නොවූ බැවින් මෙම සිද්ධිය ගිහි පැවිදි බොහෝ දෙනාගේ විමතියට හා කතාබහට ප්‍රධාන
මාතෘකාවක් විය. එහෙත් තුන්කල් දත් බුදුහු මෙහි දැක්වූ ගාථා ධර්මය දේශනා කළ සේක.
බඩගින්න ප්‍රධාන රෝගය යි. පංචස්කන්ධය පරම දුකට හේතුව යි. මෙය යථා පරිදි දැනීම නම්
වූ නිවන උතුම්ම සැපත යි.
ආහාරය සියලු සත්වයන්ගේ පැවැත්මට මූලාධාර වන බැවින් කායික මානසික වර්ධනයට හේතුකාරක
වන්නේ ය. සම්මුති වශයෙන් රාගාදී කෙලෙසුන්ගෙන් තැවෙන හෙයින් සත්ව නම් වන අතර පරමාර්ථ
වශයෙන් පංචස්ඛන්ධය නම් වන්නේ ය.
මනුෂ්‍යයන් හා සතුන් අනුභව කරන ආහාර හා දෙවියන් විසින් ගන්නා ශුධාභෝජනාදිය
කබලිංකාහාර නම් වන්නේය. ඇස්, කන්, නාසාදිය රූපාදී අරමුණු ගැටීමෙන් ස්පර්ශය ආහාරය
වශයෙන් ඵස්සාහාර නම් වන්නේ ය. කාමාවචර කුසල් සිත් අට ද, දොළොස් අකුසල් සිත් ද,
රූපාවචර හා අරූපාවචර කුසල් සිත් ද තුන් භවයෙහි ඉපදීමට හේතුවන බැවින් මනෝසංචේතනා
ආහාර නම් වන්නේ ය. සත්වයන්ගේ උපතේ දී නාමරූප ධර්මයන්ට ආහාර වන්නේ මනෝවිඤ්ඤාන
ආහාරයි.
මනෝ විඤ්ඤානය නාම ධර්මයක් වුව ද සත්වයන්ගේ කර්ම ශක්තිය අනුව නාම රූප දෙකම සංයුක්ත
කොට වර්ධනය කිරීමේ ශක්තියක් එයට ඇත.
සත්වයෙකුගේ උපතේ පටන් මරණය දක්වා කරන ප්‍රධාන කාර්යය වන්නේ ආහාර ගැනීම යි. යම් දවසක
ආහාරය පිළිබඳ ස්වල්ප වශයෙන් හෝ අවබෝධයක් ඇතිකරගන්නේ නම්, එදවස පටන් පංචස්ඛන්ධය
පිළිබඳව ද දැනීමක් ඇතිවන්නේ ය.
රූප,වේදනා, සංඥා , සංඛාර ,විඤ්ඤාණ යන ස්ඛන්ධ පහ එකිනෙකට වෙනස්ව ක්‍රියාකාරීවන්නේ ද
එයින් වෙන් වෙන් වශයෙන් ගුණා ගුණ ලැබෙන්නේ ද, කබලිංකාහාරය හා ඵස්සාහාරය නිසා ය.
මෙම ආහාර වර්ග වශයෙන් ඕදනාදිය අසිතය. කැඳ ආදිය පීතය, මස් ආදි කැබලි ඛායිතය, මී පැණි
ආදිය ඛජ්ජය අනුභව කරන ආහාර භොජ්ජය ,වෙනස් වුවද ඒ සියලු ආහාර මෙම පංචස්ඛන්ධයේ යැපීම
සඳහා පවතින්නේ ය.
මෙම සියලු ආහාර වර්ග අතින් හෝ හැඳිවලින් හෝ ගෙන අනුභව කරන කල යට දත් වනක් මෙන් ද,
උඩදත් මොහොලක් මෙන්ද, දිව අතක් මෙන් ද ක්‍රියා කරන්නේ ය. එම ආහාර අභිමුඛයෙහි
සුනඛයන්ට බත් දෙන ඔරුවෙහි බත් පිඩක් මෙන් දත් නමැති මොහොලින් කොටා දිව නමැති
හස්තයෙන් පෙරලා, දිව අග පටන් මුල දක්වා කෙළෙන් තෙමී, උගුරෙන් උදරයට යන්නේ ය. මෙම
ආහාර කෙළ, සොටු සමඟ ඇඹරී, සුණු වී, වර්ණ, ගන්ධ, සංස්කාර විශේෂ ඇත්තේ සුනඛ වමනයක්
මෙන් අතිශයින් පිළිකුල් බවට පත්වේ.
මෙම අහර ඇතුළු කුස ආමාශයට වදනේ, අතිශයින් පිළිකුල් නිසා විවිධ රෝගාබාධවලට හේතු
වන්නේ ය. බුදු, පසේබුදු, සක්විති යන උත්තමයන්ට පිත්තාසය, සෙම්හාසය, පුබ්බාසය,
ලෝභිතාසය යන තර ආසයන් අතුරෙන් එක්තරා ආසයක් වන්නේ ය. පින් මද වූවන්ට මෙම සතර ආසයෝ ම
වෙති. මේ නිසා ආහාර ගත්විට පිත, සෙම, සැරව, ලේ අධික අයට විවිධ ආබාධ ඇතිවී මරණයට පවා
පත්වන්නේ ය.
ධර්ම විනයානුකූලව ම ආහාර සපයා ගැනීම, වැළඳීම සිදු කරන්නට අප බුදුරජාණන් වහන්සේ
භික්ෂූන් වහන්සේලාට අනුදැන වදාළ සේක.
ආහාර කෙතරම් රසවත්ව සම්පාදනය කළත් භාජනයෙන්, අතින් , මුඛයෙන් උගුරෙන් උදරයට යන විට
ඇතිවන පිළිකුල් ස්වභාවය සිතීම පවා අප්‍රසන්න ය.
මේ නිසා දහසක් දෙනා එක්වන්ව ආහාර ගත්තත්, යළි එම අපද්‍රව්‍ය පිටකරන්නේ එකලාව
රහසිගතව ය. මේ නිසා හැකිතරම් දුරට ආහාර ගන්නා විට ප්‍රත්‍යවේක්ෂා කළ යුතු වන්නේ ය.
ධර්ම විනයානුකූලව ආහාර ගැනීමේ පරමාර්ථ හතරක් දක්වා ඇත.
ශරීරයේ පැවැත්මට, බ්‍රහ්මචරියාවට අනුග්‍රහ පිණිස, වේදනාව නැතිකර ගැනීමට හා පහසු
විහරණයට ය.
ආහාර සෙවීමත්, වැළඳීමත්, පංචස්ඛන්ධය පෝෂණය කිරීමත් කායික වශයෙන් මහා පීඩාවකි. එය
එක් ආත්මයකදී දිනකට තෙවර බැගින් වසර සියයක් ජීවත් වන්නෙකු ලක්ෂවාර ගණන් ආහාරගෙන
ශරීරය පෝෂණය කොට යම් දිනෙක කය තබා සංසාරගත වන්නේ ය. එමෙන්ම සත්වයා භවයෙන් භවයට
කෙතරම් වාරයක් ආහාර ගන්නට ඇද්ද? එසේ ආත්මයෙන් ආත්මයට ආහාර ගනිමින්, පෝෂණය කරමින්,
වේදනා විඳිමින් යන ගමනේ අවසානයක් නැත.
ආහාර ගනිමින්, ආත්මය පෝෂණය කරමින් දුක් වේදනා විඳීමට වඩා ආහාර ගැනත්, පංචස්ඛන්ධ දුක
ගැනත් නුවණින්, ආර්ය ඤාණයෙන් යථාපරිදි දන්නා, තැනැත්තා පරම සැපත වු නිවනින් සදා
කාලිකවම සැනසෙන්නේ ය. ආහාරය ප්‍රධාන කරගෙන භෞතික සැප සම්පත් අපේක්ෂා නොකර එහි ආදීනව
මෙනෙහි කිරීමෙන් උත්තමතම නිවන් සම්පත් ලබා ගැනීමට උනන්දුවන්න.
තෙරුවන් සරණයි |