නවම් අව අටවක 2019.02.26
පෙරට ගනිමු යහ ගුණ
මඩෙහි එරුණු තැනැත්තා ඉන් ගොඩ ගැනීමට එහිම එරුණු අන් පුද්ගලයකුට නොහැකි ය. මඩෙහි
එරුණු කෙනා ගොඩගත හැකි වන්නේ මඩෙහි නො එරුණු තැනැත්තෙකුටම ය” යි මජ්ක්‍ධිම නිකායේ
සල්ලේඛ සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ චුන්ද නම් තැනැත්තාට දේශනා කොට වදාළහ.
අකාලික වූ ශ්‍රී සද්ධර්මය තුළ තථාගතයන් වහන්සේගේ මෙම සද්ධර්මෝපදේශය වර්තමානයේ
වෙසෙසින් ම අවධානය යොමු කළ යුතු කරුණකැයි හැඟේ.
සදාචාරවත්,අධ්‍යාත්මික ගුණ ධර්මයන්ගෙන් සුපෝෂිත, මිනිසුන්ට ගහකොළවලට, සතා
සිවුපාවුනට සංවේදී මානව සමාජයක අවශ්‍යතාව අන් කවරදාටත් වඩා මෙකලට අවැසිබව දැනෙන
නිසා ය. වෙසෙසින් ඉතාම වේගයෙන් දියුණුවන, තාක්ෂණය සමඟ කුඩා දරුවාගේ සිට මහල්ලා
දක්වාම වැඩි ප්‍රතිශතයක් විපරිනාමයට ලක්වන බවක් පැහැදිලිව ම පෙනෙන්නට තිබේ. ලෝක
සංවර්ධනයට තාක්ෂණයේ දියුණුව අත්‍යවශ්‍ය ය. එහෙත් කෙනෙක් එය අවභාවිතයක් ලෙස යොදවනවා
නම් වන විපාකය ප්‍රමාණය කළ නො හැකි ය. තාක්ෂණය මතු නොව කවර දෙයක වුවද භාවිතය ,
අවභාවිතයක් වූයේ නම් ලැබෙන ඵල අමිහිරි ය. යහ භාවිතය අව භාවිතයක් වන්නේ පුද්ගලයාගේ
සිතිවිලි ක්‍රියාත්මකවන ආකාරයට අනුව ය. වෙනත් ලෙසකින් කියනවානම් අභ්‍යන්තර
පාරිශුද්ධිය ගිලිහී අපවිත්‍ර සිතිවිලිවලින් මිනිසා මඬන ලද නිසා ය. ධර්මයට අනුව නම්
එවැන්නෝ ද මඩෙහි එරුණු පුද්ගලයෝ වෙති.
පවුලක අම්මා, තාත්තා එසේ මඩෙහි එරී සිටිත් නම්, අධ්‍යාත්මික පරිහානියට ගොදුරුව
මඩෙහි එරුණු, දරුවන් ගොඩගත නොහැකි ය. සමාජයේ අනෙකුත් ආයතනයන් හි විවිධ නිලතල, චරිත
හා ආදේශ කළේ නම් ද, තත්ත්වය එලෙසම ය.
‘ඔවා දෙනු පරහට – තමා සම්මතෙහි පිහිටා සිට’
යන බෞද්ධ කාව්‍යෝපදේශය ලියැවී ඇත්තේ ද මෙම ධර්මතාවයට අනුව ය.
එහෙයින් තම තමන් පෞද්ගලිකවම පිරිසුදු විය යුතු ය. ඇඟ වැකුණු කුණු දුහුවිලි පිරිසුදු
ජලයෙන් සෝදා පිරිසුදු කර ගන්නා සේ සිතෙහි බැඳි ලෝභ, දෝෂ, මෝහා දී අකුසල සිතිවිලි
අලෝභ, අදෝෂ, අමෝහ යන කුසල මූලයන්ගෙන් පාරිශුද්ධත්වයට පත් කර ගන්නට වෙර වෑයම් කළ
යුතුම ය. එවැන්නෝ ප්‍රඥාවන්තයෝ ම ය. ප්‍රඥාවන්ත පුද්ගලයා අපිරිසුදු සිතිවිලි නිසා
තමන්ට වන හානිය දැන ඉන් වහා මිදේ. ඒ වෙනුවට සදාචාරයෙහි ම නියුතුවේ. ඒ පුද්ගලයා
ඉවසිලිමත් ය. අවිහිංසාවාදී ය. සාධු චේතනා ඇත්තේ ය. ඊර්ෂ්‍යා සිතිවිලි නොවන්නේ ය.
වෛරය, ක්‍රෝධය වෙනුවට මෛත්‍රී සිතිවිලිම වර්ධනය කරන්නේ ය. ඒ ගුණධර්ම වැඩීම තුළ හේ
කිසි විටෙකත් පස්පව් නො කරන්නේ ය. දස අකුසලයෙහි නොයෙදෙන්නේ ය. අනුන් යහපතෙහි
යොදවන්නට, අවවාද උපදෙස් දෙන්නට එවැනි පුද්ගලයාට කිසිදු බියක් නොවේ. පැකිලීමක්,
පසුබටවීමක් නොවේ.
අම්මා තාත්තා මේ සදහම් මග යමින් අධ්‍යාත්මිකව පිරිසුදු උතුම් මවක් පියෙක් බවට
පත්වෙනවා නම් ඒ ඇසුරෙහි හැදෙන වැඩෙන දරුවන් අදැහැමි වන්නට ඉඩක් නැත. යම් හෙයකින්
එවැනි අධර්මිෂ්ටකම් පෙන්වූයේ නම්, සමාජ විරෝධී ක්‍රියාවන්හි නියැළුණේ නම්, දරුවන්ට
ඔවදන් දෙන්නට මවුපිය දෙපළට නොබියව ඉදිරිපත් වීමට පුළුවන. ඒ තමන් වෙත සැඟවුණ පාපී
කම් නොවන නිසා ය. සියලු සමාජ කණ්ඩායම්හි, ආයතනයන්හි නායකත්වයට ද මෙය පොදු ය.
වර්තමාන සමාජය තුළ යහගුණ ප්‍රවර්ධනය කරවීම අත්‍යවශ්‍යවී තිබේ. ඒ පිරිසක් නරකට ඇදී
යන බවක් පෙනෙන්නට ඇති බැවිනි. එහි දී තරුණ, වැඩිහිටි පිරිස් වෙත අවධානය යොමු කළ
යුතු අතරම ළමයින් ගැන වෙසෙස් අවධානයක් යොමු කළ යුතුව තිබේ.
ළමයාට වඩා අත්දැකීම් වැඩිහිටියාට වේ. හිතන්නට ශක්තිය ද වේ. තම තමන් නිවැරැදි වී
,අපිරිසුදු සිතිවිලිවලින් මිදී, ඒවා ක්‍රියාවට නොනඟා , ගොහොරු මඩක එරී සිටිනවා නම්
තමන් ඉන් ගොඩවී අනෙක් පිරිස් ගොඩගන්නට වෙහෙසිය යුතුම ය. යහගුණවත් පුද්ගලයෝ ද එහි
පුරෝගාමී විය යුතු ය. එවිට කවර දෙයක වුව ද භාවිතය යහපත් වනු ඇත.
|