මහා පින් ඇති බක්කුල මහ රහතන් වහන්සේ
අතුරුගිරිය සදහම් පදනමේ
අනුශාසක
ගලිගමුවේ
ඤාණදීප හිමි
බක්කුල මහ රහතන් වහන්සේගේ පින්බර ජීවිතය ගැන සඳහන් කළොත්, උන්වහන්සේ පැවිදි වෙන්නේ
අවුරුදු අසූවේ දී ය. පැවිදි ජීවිතය තුළත් උන්වහන්සේ අවුරුදු අසූවක් ම නිරෝගීව ගත
කළා. අවුරුදු එකසිය හැටක් ආයු වින්දනය කළා.
මෙවැනි කතා කියවන විට ඔබට සිතෙන්න පුළුවන්, කොපමණ වුණත් අවුරුදු එකසිය හැටක් වනවිට
නම්, වයසට යන්න ඇති. බොහොම දුර්වල වෙලා, කවුරු වුණත් මිය යද්දී ලෙඩක් හැදෙනවානේ ,
කියලා හිතෙනවා. හැබැයි, බක්කුල මහ රහතන් වහන්සේ ගැන සඳහන් වෙන්නෙ උන්වහන්සේගේ
පැවිදි ජීවිතයේ අවුරුදු අසූවටම නිදාගෙන නැහැ කියනවා එක දවසක්වත්.
උන්වහන්සේට නින්දක් අවශ්‍ය වෙලා නැහැ. බක්කුල මහ රහතන් වහන්සේගේ ජීවිතයේ උන්වහන්සේ
ඉරියව් තුනයි පරිහරණය කළේ. හිටගෙන සිටින ඉරියව්ව, සක්මන් කරන ඉරියව්ව, වාඩි වී
සිටින ඉරියව්ව. උන් වහන්සේ ඍජුව වාඩි වෙන්නේ කිසිම තැනක හේත්තු නොවීම යි. නිදා ගෙන
සිටින ඉරියව්වට කය හරවන්නේ නැහැ’යි සඳහන් වෙනවා. එය බක්කුල මහ රහතන් වහන්සේගේ
අධිෂ්ඨානයක්.
පැවිදි ජීවිතයේ අවුරුදු අසූව තුළ ම උන්වහන්සේ කවම දාකවත් කිසිම භික්ෂුවකගෙන් මට
මෙන්න මේ දේ කර දෙන්න, මොහොතක් මා අල්ලා ගන්න, මට නැඟිට ගන්න අපහසු යි, මගේ හිස
රිදෙනවා, මට මේක ගෙනත් දෙන්න යනුවෙන් කිසිම කෙනෙකුගෙන් උදව්වක්, උපස්ථානයක් ලබලා
නැහැ කියනවා. බක්කුල හාමුදුරුවෝ, ගිහි හෝ පැවිදි කාලයේවත්, කුඩා වුවද මහත් වුව ද
රෝගයක් කියන වදනවත් උන්වහන්සේට අහන්නවත් ලැබී නැහැ කියනවා. ඇතැම් විට ඔබට හිතෙන්න
පුළුවන් බුදුරජාණන් වහන්සේටත් වැඩිය පින්වන්ත ද , කියා? පින්වතුනි එහි මෙවැනි දෙයක්
තියෙනවා.
එනම්, බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී පිරුවේ නිරෝගී
සම්පත්තියෙන් අග්‍රස්ථානය ලබන්න නොවෙයි. උන්වහන්සේගේ අරමුණ තිබුණේ, අසංඛ්‍යෙ
සත්ත්වයන් සංසාර දුකෙන් එතෙර කරවන්න. ලොවුතුරා සම්බුද්ධත්වය පිණිස රැස් කරගන්නා
පින, දාන, ශීල, නෛෂ්ක්‍රම්‍ය ආදී පාරමී ධර්මයන් බුද්ධත්වයටම උපකාර වේවා, යනුවෙන්
බුදු බව ප්‍රාර්ථනය කරගෙනමයි, උන්වහන්සේ පාරමී පිරුවේ. සාරිපුත්ත හාමුදුරුවෝ පාරමී
ධර්ම සම්පූර්ණ කරගෙන ආවේ, ඒකාසංඛ්‍යෙ කල්ප ලක්ෂයක් එනම් අසංඛ්‍යෙයකුත් තවත් කල්ප
ලක්ෂයක් පාරමී පිරුවේ අගසව් තනතුර ලබන්නයි. ප්‍රඥාවන්තයන් අතුරෙන් අගසව් තනතුර
ලබන්න යි. මුගලන් හාමුදුරුවෝ පාරමී ධර්ම සම්පූර්ණ කළේ, ඍද්ධිමතුන් අතුරෙන්
අග්‍රස්ථානය ලබන්න යි. ඒ භික්ෂූන් වහන්සේලා සසරේ ඒ, අධිෂ්ඨාන, පින්කම්, ප්‍රාර්ථනා
මත ඉලක්කය මුල් කරගෙන පාරමී ධර්ම සම්පූර්ණ වෙලා තමන්ගේ ඉලක්කය කරා යන්නේ.
අසූමහා ශ්‍රාවකයන්ට බක්කුල මහ රහතන් වහන්සේ අයත් වෙනවා. අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා
කල්ප ලක්ෂයක් පෙරුම් පුරන්න ඕනෑ. බක්කුල මහ රහතන් වහන්සේ නිරෝගී සම්පත්තිය අරමුණු
කරගෙන ම සසරේ පින්කරගෙන ඇවිත්, කල්ප ලක්ෂයකට පෙර , පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ
කාලයේ එනම් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ විවරණ ගත්තා. මේ මහා පින්වන්ත
උත්තමයා තව කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම බුද්ධ ශාසනයේ නිරෝගී භික්ෂූන් වහන්සේලා
අතුරෙන් අග්‍රස්ථානය ලබනවා යනුවෙන්. එදා සිටම සසරේ පාරමී පුරාගෙන , පින්කරගෙන
පැමිණියා. විපස්සී බුද්ධ ශාසනයේ විපස්සී බුදුරජාණන් වහන්සේ ඇතුළු ලක්ෂයක් සංඝයා
හිමාලය පර්වතය ආශ්‍රිතව වනාන්තරයක වස් කාලයක් ගත කරද්දී විපුෂ්පිත නමැති රෝගයෙන්
(විෂ සහිත පුෂ්පයන්ගේ ගන්ධය ආග්‍රහණය නිසා වැළදෙන රෝගයක්) විපස්සී බුදුරජාණන්
වහන්සේත්, අගසව් දෙනමත් හැර අනෙක් සියලුම සංඝයා බොහෝ ගිලන් වුණා. ඒ වෙද්දී පාරමී
පුරාගෙන පැමිණි බක්කුල මහ රහතන් වහන්සේ, එදා හිමාල පර්වතය ආශ්‍රිතව අෂ්ට සමාපත්ති
දක්වා සිත වඩපු තාපසයෙක්.මේ පින්වත් උත්තමයා අහසින් ගමන් ගනිද්දී මහා සඟ පිරිසක්
හිමාල වනාන්තරය ආශ්‍රිතව සිටිනවා. අහසින් බැස පැමිණ බලද්දී, විපස්සී බුදුරජාණන්
වහන්සේ සඟ පිරිසකුත් සමඟ. දකින ගමන් තේරුණා, කුමක් හෝ අසනීපයක්. උන්වහන්සේලාගේ
මුහුණ මැළ විලා, කය දුර්වලව ඇති දසුන නිසා, විමසා බලද්දී බුදුරජාණන් වහන්සේත් ,
අගසව් දෙනමත් පමණක් නිරෝගීව වැඩ සිටියා. ‘ස්වාමීනි, මා මේ සියලු සංඝයාට බෙහෙත්
කරනවා යනුවෙන් ඍද්ධියෙන් ගොස් ගස්වල පොතු, ගෙඩි, කොළ වර්ග, මුල් වර්ග බෙහෙත් වර්ග
සොයාගෙන ඇවිත්, තමන් ම බෙහෙත් සාදා, ලක්ෂයක් සංඝයාට ප්‍රතිකාර කළා. එසේනම් එය කුඩා
දෙයක් නෙවෙයි, තමන්ගේ චිත්ත බලය, ඍද්ධි බලය, යොදා ගෙන තාපසයා එදා මේ සියලුම ලක්ෂයක්
භික්ෂූන් වහන්සේට බෙහෙත් හේත් තනිවම සාදමින් පුදුම වෙහෙසක් දරා, උපස්ථාන කර
ප්‍රාර්ථනාවක් කළා. එනම් ‘ මට කුඩා වූ ද, මහත් වූ ද රෝගයක් කියන වචනෙවත් අසන්න
නොලැබේවා!, මට සසරේ නිවන් දකින තෙක් නිරෝගී සම්පත්තියම ලැබේවා යනුවෙන් ප්‍රාර්ථනය
කළා. මෙලෙස සසරේ පින්කරගෙන පැමිණ, ගෞතම බුද්ධ ශාසනයේ, බක්කුල මහ රහතන් වහන්සේ
නිරෝගී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබන්නේ.
පින්වතුනි, බක්කුල මහ රහතන් වහන්සේ අවුරුදු එකසිය හැටක් වැඩ සිටියත් , වයෝවෘද්ධ
පෙනුමක් උන්වහන්සේගේ කයේ පෙනෙන්නවත් තිබුණේ නැහැ’යි කියනවා.
බක්කුල මහ රහතන් වහන්සේ දිනක් භාවනා කරද්දී දකිනවා, උන් වහන්සේගේ ආයුෂ ගෙවී අවසන්.
ඒ මොහොතේ භාවනාවෙන් නැඟිට, ස්වාමීන් වහන්සේලා සැමගේම කුටිවලට ගිහින්
ඇමැතුවා.‘ආයුෂ්මතුනි, එළියට වඩින්න. අද මා පිරිනිවන් පානවා යනුවෙන් තම කුටියෙහි
යතුර සංඝයාට දී, භික්ෂූන් වහන්සේලාට අවවාද කර, ස්වාමීනි, මා පිරිනිවන් පානවා
යනුවෙන් අහසට පැන නඟින්න පෙර අධිෂ්ඨානයක් කළා. ‘මගේ පැවිදි ජීවිතය තුළ කිසිකෙනෙක්
ලවා මා උපස්ථානයක් කරවාගෙන නැහැ. කාටවත් මගේ කය කරදරයක් වෙලා නැහැ. මේ මොහොතේ
පිරිනිවන් පෑ පසුවවත්, මගේ දේහය තව කෙනෙකුට කරදරයක්, බාධාවක් නොවේවා’ යනුවෙන්
අධිෂ්ඨානයක් කළා. ඒ වගේම අනාගතයේ දෙව්, මිනිස් ලෝකයාට නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා
කරගෙන, වැඳුම් පිදුම් කරන සිව්වණක් ශ්‍රාවකයන්ට, මාගේ ශාරීරික ධාතූන් වහන්සේලා බොහෝ
කාලයක් වැඳුම් පිදුම් කරමින් මනුස්සයන්ට යහපත පිණිස පවතීවා යනුවෙන් අධිෂ්ඨානයක් කර,
අහසට පැන නැඟ, අහසේම ඵලක් බැඳගෙන පිරිනිවන් පෑවේ තේජෝ කසිණයට සම වැදිල යි. මෙලෙස
පිරිනිවන් පානවාත් සමඟ ම අහසෙම ගිනි ජාලාවක් හට ගත්තා. ඒ ශරීරයෙන් හටගත් ගිනි
ජාලාවෙන් අහසෙදිම දැවිලා, පිළිස්සිලා, අළුවත්, දැළිවත්, දූවිල්ලක්වත් ඉතිරි නොවී,
ධාතූන් වහන්සේලා පමණක් පහළට වැටෙනවා, ගිතෙල් ටිකක් දැවිලා ගියා වගේ මුළු ශරීරයේම
සියලුම කොටස් අහසෙම අතුරුදන් වුණා.
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා බොහෝ කාලයකට පසුවයි, බක්කුල මහ රහතන් වහන්සේ
පිරිනිවන් පාන්නේ. පින්වතුනි, බක්කුල මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවාට පසුව ධාතූන්
වහන්සේලා පමණයි දෙව් , මිනිස් ලෝකයාට වන්දනා කර ගන්න, අධිෂ්ඨානයෙන් පහළට වැටෙන්නේ.
අනෙක් සියලුම සිරුරේ තිබූ සම්, මස් , නහර ආදී සියලු කොටස් ගිතෙල් ටිකක් දැවෙනවා සේ
අහසේ දැවෙනවා. ඒ උන්වහන්සේගේ අධිෂ්ඨානය. එසේනම්, පින්වතුනි, ඒ මහා පින්ඇති බක්කුල
මහ රහතන් වහන්සේ මේ බුද්ධ ශාසනය තුළ වැඩ සිටියා. නමුත් වර්තමානයේ මිනිසුන් ආයුෂ
පිරිහිලා, පහළට ම පිරිහෙන කාලය එන විට, තමන්ට ලෙඩ රෝගයක් හැදුණහම කවදාකවත් බක්කුල
මහ රහතන් වහන්සේ සිහි වෙන්නේ නැහැ. ඇතැම්විට අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් , ඉගෙන
ගන්නා දරුවාට කිසිම වේලාවක ප්‍රඥාවන්තයන් අතුරෙන් අග තැන්පත් සාරිපුත්ත
හාමුදුරුවන්ව සිහි කරන්න මොළයක් පෑදෙන්නේ නැහැ. ආනන්ද හාමුදුරුවෝ මතක ශක්තියෙන්
අග්‍රයි. අසූහාරදහසක ධර්මස්ඛන්ධය කටපාඩමින් , යමක් එකපාර ඇසූ සැනෙන් මතක සිටිනවා.
උන්වහන්සේ සසරේ පෙරුම් පුරාගෙන ආවේ ධර්ම භාණ්ඩාගාරික වශයෙන්. එසේම සතිමන්තානං, සිහි
නුවණ තිබෙන භික්ෂූන් වහන්සේ අතුරෙන් අග්‍රයි. දුතිමන්තානං යමක් ක්ෂණයෙන් වටහා
ගන්නන් අතුරෙන් අග්‍රයි. ඒ නිසා බෞද්ධයන් ලෙස, තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් හැටියට
ඔබ ඔබේ දරුවන්ට වේවා, අධ්‍යාපනය ලබන දරුවන්ට තුනුරුවන් වන්දනා කරලා, ආශිර්වාදයක්
කරන්න. ආනන්ද හාමුදුරුවන්ට වගේ මතක ශක්තිය මේ දරුවන්ට පිහිටාවා, යනුවෙන්. ඒ වගේම
සාරිපුත්ත මහ රහතන් වහන්සේට වගේ නුවණ, ප්‍රඥාව ලැබේවා යනුවෙන් ආශිර්වාද කරන්න. එසේම
ලෙඩ දුක් නිතර වෙනවා නම්, තුනුරුවන් වන්දනා කර, බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහි
කර, බුද්ධ ශාසනය තුළ වැඩ සිටිය බක්කුල මහ රහතන් වහන්සේගේ පුණ්‍ය ශක්තියෙන් අපටත්
නිදුක් නිරෝගී භාවය, නිරෝගී සම්පත්තිය ලැබේවා යනුවෙන් ප්‍රාර්ථනය කරන්න. අද බොහෝ
දෙනෙක් දරුවන් ලැබෙන්න සිටින අම්මලාට අංගුලිමාල මහ රහතන් වහන්සේගේ සත්‍ය
ක්‍රිියාවෙන් පිහිට ලබනවා. ඒ වගේ ම චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස ආදී සිව්
පසයෙන් යුක්ත වූ ප්‍රත්‍යලාභීන් අතුරෙන් අග්‍ර වූ සීවලී මහ රහතන් වහන්සේගේ සත්‍ය
ක්‍රියාවෙන් පිහිට ලබනවා. බුද්ධ ශාසනය පවතින තාක් කල්, පින්වත් රහතන් වහන්සේලාගේ
පුණ්‍ය ශක්තිය ලෝකයාට ලැබෙනවා. එසේනම්, වර්තමානයේ බක්කුල මහ රහතන් වහන්සේ මේ රටට,
ලෝකයාට බොහෝ අමතක වෙලා. මෙතරම් මහා පින්වන්ත උත්තමයෙක් ශාසනයේ සිටි බවට බොහෝ
දෙනෙකුට අමතක වෙලා.
ඒ නිසා බක්කුල මහ රහතන් වහන්සේගේ නාමයෙන් , උන්වහන්සේගේ සියලු තොරතුරු එකතු කරමින්
බක්කුල මහා සෑය නමින් පූජනීය විශාල චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ගොඩ නඟන්න , කටයුතු
ආරම්භ කළේ. මේ වෙද්දී බක්කුල මහා සෑයේ ගර්භයේ වැඩ අවසන් වීගෙන යනවා. ඊළඟට අපට
හතරැස් කොටුව, දේවතා කොටුව , කොත් කැරැල්ල, ආදී වැඩකටයුතු අවසන් කරන්නට තිබෙනවා.
අඩි එකසිය දහයක පමණ උසකින් යුක්ත , විශාල චෛත්‍යරාජායාණන් වහන්සේ නමක් ලෙස, හොරණ
සීල සුව අරණ පුණ්‍ය භූමියේ බක්කුල මහා සෑය ඉදිවෙමින් පවතින්නේ. මේ වසරේ ඇසළ පුන්
පොහොය නිමිති කරගෙන හතරැස් කොටුවේ ධාතූන් වහන්සේලා තැන්පත් කරලා, කොත් පළන්දන්න
කටයුතු සූදානම් කරගෙන යනවා. රුවන්වැලි මහා සෑයේ පවා ධාතු නිධන් කරන්නේ ඇසළපුන්
පොහොයේ උත්‍රසල නැකතින්. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ වැදගත් ම පූජනීය චෛත්‍ය ඉදිවුණේ,
මුල්ගල තබා කටයුතු ආරම්භ කළේ, රුවන්වැලි සෑයට පවා වෙසක් පොහොය දවසේ විසා නැකතින්.
අපි බක්කුල මහා සෑයටත් මුල් ගල තැබුවේ වෙසක් පුන් පොහෝ දවසේ විසා නැකතින්ම යි. ඒ
නිසා මේ බුද්ධ ශාසනය තුළ දෙව්, බඹුන්ගේ ආශිර්වාදය ලැබෙන ශාසනික දේ, මහා සෑ අවුරුදු
දහස් ගණන් දෙව් බඹුන්ගේ ආශිර්වාදය ලබමින්, ආරක්ෂා වූ පූජනීය දේ ආරම්භ වුණේ, එවැනි
පුන් පොහෝ දවස්වල පූජනීය මොහොතකින්.
ඒ නිසා මහා පින් ඇති බක්කුල මහා සෑය ඉදිකරගෙන යනවා. එහි තැන්පත් වෙන උතුම් සර්වඥ
ධාතූන් වහන්සේලා , කේශ ධාතූන් වහන්සේලා, බක්කුල මහ රහතන් වහන්සේගේ මහ රහත් ධාතූන්
වහන්සේලා, තවත් බොහෝ රහතන් වහන්සේලාගේ මහ රහත් ධාතූන් වහන්සේලා සෑයේ තැන්පත් වන
නිධන් වස්තු, කොත් වහන්සේ සැදැහැවතුන්ට මේ පෙබරවාරි මාසයේ 21, 22, 23, 24 දින හතර
පුරාම හොරණ සීල සුව අරණ පුණ්‍ය භූමියේ දී චෛත්‍ය තුළ දැක බලා වන්දනා කරගන්න අවස්ථාව
සලසා තිබෙනවා.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල
|