නවම් පුර පසළොස්වක 2019.02.19
අර්ථ සම්පන්න ජීවිතයක්...
තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයට අනුව දුර්ලභව ලද මිනිස් භවය
අර්ථවත් වන්නට නම් මිනිසා මානුෂීය ගුණ ධර්මයන්ගෙන් පරිපූර්ණ විය යුතු ය. සම්බුදු
දහමින් සුපෝෂිත ලාංකේය ජන සමාජයෙහි බහුතරයක් දෙනා මනුෂ්‍යත්වයෙන් යුතු වූවෝ වෙති.
එහෙත් තැනක ‘අද මිනිසුන්ගේ මනුස්සකමක් නෑ’ ‘මිනිස්කම් පිරිහිලා’ ‘මිනිස්සු
අමනුෂ්‍යයෝ වෙලා’ යැයි චෝදනා නැගෙනු ඇසේ. ඒ සනාථ කරමින් තැනෙක මිනිසා මිනිසාටම
එරෙහිව අවි ආයුධ හසුරවනු පෙනේ. මිනිසා සතර අගතියෙන් අගතියට යාම ඊට ප්‍රධාන ය.
අර්ථ සම්පන්නව ජීවිතය හසුරුවා ගත හැකි මෙතරම් වටිනා උතුම් ශ්‍රී සද්ධර්ම මාර්ගයක්
තිබිය දී වැරැදි මග යාම නම්, පියවි දෑස හොඳින් පෙනෙන්නට තිබිය දී, යා යුතු පැහැදිලි
මග ද තිබිය දී, කටු කොහොල් පිරි වන ලැහැබක ගමන් කරනවා වැනි ය.
බුදු දහමේ සඳහන් පරිදි නම් එවැන්නෝ නුවණ මඳ අඳ බාලයෝ ය. ඔවුහු මොන තරම් දහම්
ඇසුවත්, පණ්ඩිතයන් ඇසුරු කළත්, ධර්මය අවබෝධ කර නොගනිති. හරියට රස ඇති මාළු පිනි
හැඳි ගෑවත් හැන්ද ඒවායේ රස නොදන්නා සේ ය. බාලයා මොන තරම් ධර්මය ශ්‍රවණය කළත් එහි රස
අවබෝධ කර නොගන්නා සේ ය. අදැහැමි මග ම තෝරා ගන්නේ ඒ අනවබෝධය නිසා ය.
මේ නිසා අප අවබෝධයෙන් යුතුවම තෙරුවන් ගුණ හැඳින තෙරුවන් සරණ යා යුතු ය. ඒ සඳහා තමන්
තුළ නුවණ වර්ධනය කරගත යුතු ය. ඒ සඳහා නිරන්තරයෙන් මනා කොට දහම් ශ්‍රවණය කිරීම,
නොදන්නා දහම් කරුණු පිළිබඳව ව්‍යක්ත ධර්ම දේශකයාණන් වහන්සේ නමකගෙන් කරුණු අසා දැන
ගැනීම, දහම් පොත පත අවබෝධයෙන් ම පරිශීලනය කිරීම කළයුතු ය. ඒ උත්සාහය ඉක්මවා සිත
බලවත්වන ඊර්ෂ්‍යා, මද, මාන සිතිවිලි, තරහව, කෝපය, රාගයට පෙරට එන්න දෙන්නේ නම්
මොනතරම් ධර්මය දැන ගත්තත් ඵලක් නැත. මේ නිසා තමන් තුළ නැණවත් බවක් ඇති කර ගන්නට
තමන් විසින්ම බලවත් උත්සාහයක් දැරිය යුතු ය. එවිට සිරි සදහම් මගෙහි සුවය නිසැකව ම
මේ ජීවිතය තුළ ද, පරලොවදී ද, අත් විඳින්නට ලැබෙනු ඇත.
බුදුරජාණන් වහන්සේ විසින් සංඝයා වහන්සේ උදෙසා ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කොට වදාළේ
අදවන් නවම් පුන් පොහෝ දිනෙක ය. ඒ ශ්‍රාවකයන් වහන්සේ හික්මවීම පිණිස ය. භික්ෂූන්
වහන්සේ උදෙසා දේශනා කළ ද ඕවාද ප්‍රාතිමෝක්ෂය තුළ වන බොහෝ, ධර්මෝපදේශ බෞද්ධ ගිහියාට
ද ජීවිතය අර්ථවත් කර ගැන්මට මා හැඟි සදුප දේශයන් ය.
බෞද්ධයන් සියලු දෙනාම පාහේ නිරන්තරයෙන් සජ්ඣායනය කරන ‘සබ්බ පාපස්ස අකරණං’ ගාථාර්ථයම
ජීවිතය තුළ ප්‍රගුණ කරන්නේ නම් මොන තරම් අධ්‍යාත්මික සුවයක් ලබා ගන්නට හැකිවේද?
සියලු පව් නොකිරීමත්, කුසල් දහම් උපදවා ගැනීමත්, තමන්ගේ සිත පිරිසුදු කිරීමත් යන මේ
ධර්මෝපදේශයන් සියලු බුදුවරුන්ගේ අනුශාසනාව ය.
වෙසෙසින් බෞද්ධ ගිහි සමාජයට අනුදැන වදාළ පංචශීල ප්‍රතිපදාව හෙවත් පස් පවින් වැළැකීම
තුළම තමන්ට ද සමාජයට ද මොන තරම් සහනයක්, සුවදායක බවක් දැනෙවා ද? තමන් කෙතරම්
පිරිසුදු බවට පත්වෙනවා ද? එසේ පව් නොකිරීමේ ප්‍රතිපදාව තුළම රාග, ද්වේෂ, මෝහයන්ගෙන්
කිලිටිවන සිත පිරිසුදු කිරීමට අවශ්‍ය මූලික පදනම යම්තාක් දුරකට හෝ නිර්මාණය කරගත
හැකි ය. කෙලෙස් බර අපිරිසුදු චින්තනය, අපිරිසුදු කාය වාග් කර්මයන්ට මුල ය. බෞද්ධයා
පිරිසුදු කාය වාග් කර්ම ඇත්තෙක් විය යුතුම ය. කෙලෙස් දුරු කර චෛතසිකයන් පිරිසුදුකර
ගත හැක්කේ භාවනාවෙනි. පස් පවින් දූෂිත වූවෙකුට එකඟ සිතක් පැවතිය නොහැකි ය. සිත එකඟ
කරගන්නට නොහැකි වූ විට භාවනාව අසීරු ය. මේ නිසා සියලු පවින් මිදී, කුසල් සිත් උපදවා
තමන්ගේ සිත පිරිසුදු කර ගැන්මේ ඒකායන අරමුණක්, අධිෂ්ඨානයක් බෞද්ධයා සතුවිය යුතුම ය.
ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාවට අනුව ඉවසීම, අන් අයට නින්දා අපහාස නොකිරීම, පීඩා
නොකිරීම, ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයෙන් යුතුවීම, භෝජනයේ පමණ දැන වැළඳීම, සමථ විදර්ශනා
භාවනාවේ යෙදීම දෙලොව වැඩ සලසන අර්ථ සම්පන්න ජීවිතයක් ලබා දෙයි. රාගය, ද්වේශය, මෝහය
මිනිස් සිත දවන තවන ගිනි ජාලාවක් වැනි ය. මේ ගින්නෙහි දැවෙනවාට වඩා, එම කෙලෙස් දුරු
කර ජීවිතය සාර්ථක කර ගන්නට අධිටන් කරගනිමු.
|