UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිම්නැති ගුණ ඇති අම්මා -05: මගේ අම්මා උතුම් මව් පදවියට

මගේ අම්මා උතුම් මව් පදවියට අරුතක් එක් කළා


ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමි


මා කුඩා කාලේ හැම පසළොස්වක පෝයදාකටම ගමේ පන්සලේ සිල් සමාදන් වුණා. ඒ පුරුද්ද ඇති කළේ මගේ ආත්තම්මා.ඇය හැම පසළොස්වක පෝයකටම, නොවරදවාම සිල් සමාදන් වුණා. මමත් ඇය සමඟ පන්සලට ගියේ හරිම සතුටින්.

ඒ කාලේ පුංචි අපට අපූරු පුරුද්දක් තිබුණා. ඒ හැම මාසයකම පෝයදාට කලින් දවසේ ගම පුරා ඇවිදලා බලු කපුටු දානයක් දී ම. අම්මලා තාත්තලාගෙන්, වැඩිහිටියන්ගෙන් එයට හොඳ අනුබලයක් ලැබුණා. මේ දානය දුන්නේ ගමේ හැමෝගෙම දායකත්වයෙන්. ගමේ ගෙයක් පාසා ඇවිදිමින් හාල් මිට මිට ගණනේ, ශත පහ දහය එකතු කළේ පුංචි අපි. හාල් සේරු හත අටක් එකතු වෙනවා. ලැබෙන මුදලින් කරවල මිලදී ගන්නවා. කඩේට ගිහින් ඒවා ගෙනත් දුන්නේ අපේ තාත්තා. අම්මා උයලා දෙනවා. ඒ කාලේ අපේ ගෙදර අත් කරත්තයක් තිබුණා. උයපු දානය හට්ටිවල අහුරගෙන, කෙසෙල් කොළත් කපාගෙන ගම පුරා හැම පාරකම ඇවිදලා අපි ඒ කෑම සතුන්ට බෙදලා දුන්නා. එයින් අපි අපූරු සතුටක් ලැබුවා.

පහුවදා උදේම පන්සලට යන මගේ සිත් ගත්තේ පුංචි හාමුදුරුවෝ. උන්වහන්සේ රටාවකට බෝමළුව අමදිනවා. සිල් ඇත්තන්ට සිල් දෙනවා . පුංචි බණ කතා කියලා දෙනවා. හරිම කරුණාවන්තයි. සංවරයි. මේ දකින මටත් මහණ වෙන්න ආශාවක් ඇති වුණා. ඒ අදහස මුලින්ම කීවේ මගේ ආතාට. ඒ වේලාවේ ආත්තම්මා මගේ හිස ආදරයෙන් අතගාලා බොහොම හොඳයි කීවා.

ඒ කාලේ මුල්ගිරිගල පන්සලේ ලොකු හාමුදුරුවෝ මහණ කරගන්න ළමයෙක් සොයලා තිබුණා. ගල් උඩ නැඟලා අතුරු අන්තරාවක් කරගනියි කියලා මා මුල්ගිරිගල යවන්න අත්තම්මා කැමැති වුණේ නෑ. මේ කාලෙම ගමේ පන්සලේ ලොකු හාමුරදුවෝ, කොළඹ ඤාණිස්සර පිරිවෙනේ පරිවේණාධිපති අපේ විතාරන්දෙණියේ චන්දජෝති හාමුදුරුවොත් මහණ කර ගන්න ළමයෙක් සෙවූවා.ගමේ පන්සලට මා භාර දෙන්නට අත්තම්මා බොහොම කැමැති වුණා.අම්ම තාත්තාත් වැඩි අකැමැත්තක් පෙන්නුවේ නැ. ඉතින්, මා ළමයෙක් හැටියට පන්සලට භාර දුන්නා. ටික කාලයකට පස්සේ පැවිදි කිරීමේ උත්සවය පැවැත්වුණා. මගේ අම්මා ඊ.ඒ.බබාහාමි මාතාව. අම්මා කැමැති වුණේ මා ගෙදර දී ම මහණ කරවනවා දකින්නයි. ඉතින් තිස් පැයේ පිරිතක් කියලා, පසුවදාට දානමය පින්කමක් කරලා මා මහණ කළා.

ඊට පස්සේ ලොකු හාමුදුරුවන් සමඟ කොළඹට වැඩියා. ඉඳලා හිටලා අම්මා, තාත්තා බලන්න ගෙදර ගියේ දවල් කාලයේ පමණයි. රාත්‍රියේ ගෙදර නවතිනවට අම්මා කැමැති වුණේ නෑ. අම්මා කිව්වේ මහණ වුණාම ගිහි ගෙදර ඉන්න හොඳ නෑ කියලයි. ලොකු හාමුදුරුවොත් ඒ අදහසේ ම සිටියා.

මම පැවිදි වුණාට පස්සේ මගේ අම්මා වැඩි වැඩියෙන් පන්සලට සමීප වුණා. පුංචි හාමුදුරුවරුන්ට උන්වහන්සේලා ආශා කරන කෑම බීම නිතර හදාගෙන ආවා.

මගේ අම්මා හරිම අහිංසකයි. අව්‍යාජයි. ඇය කවදාවත් බොරුවක් කියනවා මම අහලා නෑ. අම්මා හරිම නිහතමානියි. ජීවිතය හරිම සැහැල්ලුවෙන් ගත කළේ. නිතරම අහිංසක සිනාවක් මුහුණේ ඇඳිලා තිබුණා.

ඒ කාලයේ මට ලැබෙන පිරිකරවලින් මොනවා හරි දෙයක් මගේ අම්මට ගෙනත් දෙන්න මට ආශාවක් තිබුණා. ඒත් අම්මා කිසිමදාක ඒවා භාරගත්තේ නෑ. සාංඝික දේ කියලා ගෙදරට කිසිම දෙයක් ගෙනෙන්නට දුන්නේ නෑ.

මගේ අත්තම්මා, අම්මා, තාත්තා බලාපොරොත්තු වුණේ මම හොඳින් ඉගෙන ගෙන පණ්ඩිත හාමුදුරු කෙනෙක් වෙනවා දැකීමයි. මට පැවිදි ජීවිතේ කටයුතු කරගන්න සම්පූර්ණ නිදහස තිබුණා. ඉගෙන ගන්න අවුරුදු ගණන් විදේශ ගත වී සිටියත් අම්මා කනගාටු වුණේ නෑ. නිතර බලන්න ආවේ නෑ කියලා ඇය දුක් වුණේ නෑ. මගේ අම්මා දරු සෙනෙහස දැක්වූවේ බොහොම උපේක්ෂා සිතින්. අම්මා නිතරම කීවේ හොඳ ධර්ම දේශකයෙක් වෙන්න කියලයි. එය මට විශාල ශක්තියක් වුණා.

අත්තම්මා මිය ගියේ මගේ මතකයේ හැටියට 1974 අවුරුද්දේ. ඊට අවුරුදු විස්සකට පස්සේ තාත්තා මිය ගියා. ඊට පස්සේ මම මගේ අම්මට සැලකුවා. ඇයගේ තනි නොතනියට හිටියේ නැඟණියයි. මම ඒ කාලේ ගුරුවරයෙක් හැටියට වැඩ කළා. මටත් ආර්ථික ශක්තියක් තිබුණා. අම්මා වෙනුවෙන් එයින් වැඩි කොටසක් වෙන් කළා. අම්මා අකැමැති වුණත් මම අම්මට තේරුම් කර දුන්නා. මේවා පන්සලට ලැබෙන දේ නොවන බව, මගේ මහන්සියෙන් උපයා ගත් දේ කියලා.

අම්මා ටිකෙක් ටික වයෝවෘද්ධ වුණා. ඒත් මගේ අම්මා කවදාවත් අසනීප වී ඉන්නවා මම දැකලා නෑ.

මට මේ සම්බුද්ධ ශාසනයේ උතුම් පැවිදි ජීවිතයක් ගත කරන්නට වරම් ලැබුණේ මගේ අම්මා මා මෙලොවට බිහිකළ නිසයි. අත පය නොකඩා, අඩුපාඩුවක් නැතව, හොඳ නරක කියා දී, පින් පව් කියා දී මා හැදූ වැඩූ නිසයි. හදවත පුරවාගත් දරු සෙනෙහස දරාගෙන, මා ශාසනයට බාර කරන්නට නිර්ලෝභී වූ නිසයි. පැවිදි ජීවිතයේ අරමුණු හැරුණු කොට මගේ මෑණියන් සතුටින් සිටිනවා දැකීම මගේ ප්‍රධාන බලාපොරොත්තුවක් වුණා. ඒ වෙනුවෙන් මා මට කළ හැකි බොහෝ දේ කළා. අම්මා ගේ සිත සතුටින් තබන්නට මා අම්මාගේ අතින් යම් යම් දේ කරවූවා.

මා ඉගෙන ගත් ඉත්තදෙමළියේ පාසලට ගොඩනැඟිල්ලක් සාදවා මෑණියන්ගේ දෑතින් පරිත්‍යාග කරවූවා. ගමේ පන්සලේ වස් පින්කම සිදු කළා. තාත්තාට පින් පිණිස ගමේ පන්සලට ඇතුල්වන තැන කුඩා විශ්‍රාම ශාලාවක් වගේ ගොඩනැගිල්ලක් ඉදි කරලා අම්මාගේ අතින් පූජා කළා. පන්සලට ළදරු පාසලක් සාදා දුන්නා. අම්මා මේ දේවලින් බොහොම තෘප්තිමත් වුණා. ඇයට කෑම බීම, අඳුම්, පැළඳුම් ලැබෙනවාට වඩා මෙවැනි දේ හිතට ශක්තියක් වුණා.

අම්මා වෙනුවෙන් මම තවත් විශේෂ කටයුත්තක් ආරම්භ කළා. අපේ ඉත්තදෙමළියේ ගමේ මිය යන ඕනෑම කෙනෙකුගේ මල්ශාලාවේ කටයුතු අපේ පවුලේ වියදමින් කරදීමයි. ගමේ මරණයක් වුණාම මුලින්ම දැනුම් දෙන්නේ අම්මට. අම්මා බොහොම සතුටින් ඒ වගකීම් බාර අරගෙන අවශ්‍ය කටයුතු කරවනවා.

ගමේ අවුරුදු 70 ට වැඩි අයට බෙහෙත් ගන්න මාස්පතා රුපියල් දෙදහස් පන්සියයක් දෙනවා. හැම මාසයේම 23 දාට, ඒ අය අපේ ගෙදරට එනවා. මුදල් ගෙන යන්න. රසකැවිල්ලක්, තේ කෝප්පයක් දීලයි ඒ එන හැමෝම ආපසු පිටත් කරන්නේ. ඒ සියල්ල සිදු කරන්නේ අම්මගේ දෑතින්. අම්මට වැඳලා පින් දීලා ඒ අය ආපසු යන විට අම්මගේ සිතට දැනෙන සතුට මොන තරම් ද කියලා වචනයෙන් නොකීවත් මුහුණෙන් කියැවෙනවා.

විවේක පාඩුවෙලාවට ගමේ වැඩිහිටියන්ට රැස්වෙලා විනෝදෙන් ඉන්න මම තරමක් විශාල ශාලාවක් අම්මාගේ ගෙදර වත්තේ සෑදුවා. ඒත් ඒ අය කීවේ අපි මෙතැන සිල් සමාදන් වෙන්නම් කියලයි. ගමේ පන්සලටත් බාධාවක් නොවෙන්න මාසෙ පෝය දාට අපේ ගෙදර සිල් සමාදන් වෙන්න අවශ්‍ය අවස්ථාව සලසා දුන්න. 70-80 ක් පමණ සිල් සමාදන් වුණා. හීල් දානය, දවල් දානය, ධර්ම දේශනාවන්ට සහභාගි වන ස්වාමීන් වහන්සේලාට පිරිකර පූජා කිරීම ආදි මේ සියල්ලේ දී ම අම්මා තමයි පෙරමුණ ගත්තේ. ඇය එයින් නිහතමානී ආඩම්බරයක් වින්ඳා.

ගෙදරදී අම්මට කවදාවත් පාළුවක්, තනිකමක් දැනුණේ නෑ. ගමේ හිටිය වැඩිහිටිම කෙනා මගේ අම්මා. ගමේ කවුරු හෝ කෙනෙක් ගෙදර නැති වෙලාවක් නෑ. ගමේ මිනිස්සු පුදුම විදියට අම්මාට ළෙන්ගතුයි. ඒ වගේම ගරු කළා.

මගේ අම්මා මිය ගිහින් තවම මාසයක්වත් ගෙවුණේ නෑ. ඇය මිය යන විට අවුරුදු අනූ හතක්. දවස් දෙක තුනක් පමණයි රෝහල් ගත වුණේ. ඒත් තදබල අසනීපයක් තිබුණේ නෑ. කාට හෝ යමක් දෙන්නමයි ඇයගේ දෑත් දිගු වුණේ.

රෝහලේ ඇඳ මත සිටිද්දී අම්මාට අනුරාධපුරයට යන්න ආශාවක් ඇති වුණා. නැගණියට ඒ බව කී වෙලාවේ, මේ ගෙවල් දොරවල් බලාගන්නේ කවුද කියා ඇය පවසා තිබුණා. ඒ වෙලාවේ අම්මා කියා තිබුණේ “එනකොට ඒවා තිබුණොත් එහෙමයි, නැතිවුණොත් එහෙමයි” කියලයි. ඇය කිසිම භෞතික වස්තුවක් පොදි බැන්දේ නෑ. ඇය ජීවිතය හැර ගියෙත් ඉතාම හොඳ සිහියෙන්.

“අම්මා” යන වචනයට මොන තරම් ගරුත්වයක්, බරක් තිබෙනවාද? මගේ අම්මා ඒ ගරුත්වය සැබෑවක් කළ උතුම් අම්මා කෙනෙක්. තමන්ගේ මෑණියන්ට ගරු කරන අයට මමත් ගරු කරනවා. උදව් කරනවා. ‘අම්මා’ කියන නාමය කෙසේ නම් අගයන්න ද? දස එකඩ මාසයක් කුසේ දරාගෙන, මේ ලෝකයට බිහි කරලා උස් මහත් කරන කාර්යයේ දී ඒ කරන කැප කිරීම කොහොමද වචනයෙන් අගයන්නේ. අප ලබා තිබෙන සියලුම ශක්තීන්ගේ මූල බීජය අම්මා. මම මගේ අම්මා ජීවතුන් අතර සිටියදී මට හැකි ලෙස උපරිම සැලකිලි දැක්වූවා. මිය ගිය පසු ගෙදර වත්තේම අලංකාර සෑයක් කරවා ගෞරවණිය ලෙස අම්මාගේ දේහය ආදාහනය කළා. මට ඒ ගැන සතුටුයි. අම්මා නමින් කළ සියලු සමාජ සේවාවන් මින් ඉදිරියටත් ඒ ලෙසම ඉටු කරනවා. ඒ මගේ අම්මාගේ අපිරිමිත දරු සෙනෙහස වෙනුවෙන්. උතුම් මානුෂිය බව වෙනුවෙන්.

 

නවම් පුර පසළොස්වක පෝය


නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 19 වන දා අඟහරුවාදා පූර්වභාග 01.11 ට ලබයි. එමදා අපරභාග 09.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 19 වන දා අඟහරුවාදා.

 

 මීළඟ පෝය
පෙබරවාරි 26 වනදා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

පෙබරවාරි 26

Full Moonඅමාවක

මාර්තු 06

First Quarterපුර අටවක

මාර්තු 14


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]