විශාඛාවගෙන් ඔපවත් වන බෞද්ධ කාන්තාව
කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද
හිමි
බෞද්ධ ඉතිහාසයේ විශාඛාව සැලකෙනුයේ විශිෂ්ට කාන්තා රත්නයක් වශයෙනි. ඇයගේ ජීවිත කතාව
තෘප්තිමත් ජීවිතයක් අපේක්ෂා කරන සකලවිධ කාන්තාවන්ට මහඟු උපදේශ රාශියක් ලබා දෙන්නකි.
බෞද්ධ සාහිත්‍යයේ යශෝධරා, මහා ප්‍රජාපතී, කෝසල මල්ලිකා, බන්ධුල මල්ලිකා ආදී
ශ්‍රේෂ්ඨ ස්ත්‍රී චරිත රාශියක් දක්නට ලැබේ. යශෝධරාව වූ කලී සිද්ධාර්ථ කුමාරයාගේ
බිසව ය.
සිදුහත් කුමරු ඇය ද අතහැර අභිනිෂ්ක්‍රමණය කළ වග අපි දනිමු. මහා ප්‍රජාපතී දේවිය
ප්‍රකට වූයේ බුද්ධමාතාව ලෙසින් හා ගුණයෙන් පිරුණු ස්ත්‍රී රත්නයක් වශයෙනි. කොසොල්
රජුගේ බිරිඳ වූ මල්ලිකා දේවිය බුද්ධියෙන් පිරි ශ්‍රද්ධා සම්පන්න ස්ත්‍රියක ලෙසින්
අපගේ මනසෙහි රැඳී පවතී. බන්ධුල මල්ලිකාව වූකලී දරුවන් තිස්දෙනෙකු බිහි කළ
කාන්තාවකි. යුදයකදී ස්වාමියා ඇතුඵ දරුවන් සියල්ල මිය යාමේදී පවා කම්පා නොවූ ඇය ඒ වන
විටත් සෝවාන් ඵලයට පත්වී සිටීමට තරම් ධර්මයෙන් පෝෂණය වූ උසස් චිත්ත ශක්තියක් තිබූ
කාන්තාවකි. බුදුන් දවස විසූ මෙබඳු බොහෝ චරිතවත් කාන්තාවෝ පසුකලෙක පැවිදි දිවියට
පැමිණ අරහත් බව ලබා නිවන් දුටුවාහු ය. බුද්ධකාලීන කාන්තා චරිත අතර විශාඛාවගේ චරිතය
අනෙක් ස්ත්‍රී චරිතවලට වඩා සුවිශේෂී වන්නේ ඇය ධර්මානුකූලව මෙන් ම, සුඛෝපභෝගී හා
වාසනාවන්ත ලෞකික ගිහි ජීවිතයක් දිගු කාලයක් ගෙවූ කාන්තාවක ලෙසිනි.
බෞද්ධ මූලාශ්‍රයවල සඳහන් වන පරිදි විශාඛා දේවියට අනූපම හා පිරිපුන් රූප කාය
සම්පත්තියක් තිබුණි. එසේම හාව භාව ලීලා සම්පන්න උත්තුංග දේහයට සරිලන කායික ශක්තියක්
ද ඇය සතු විය. ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වන පරිදි එය ඇතුන් පස් දෙනෙකුගේ තරම් ප්‍රබල
කාය ශක්තියක් විය. වරක් එපමණ කාය ශක්තියක් මැය සතු වේ දැයි පිරික්සීම සඳහා කොසොල්
රජු විසින් ඇතෙකු යැවූ බවත් එහි දී ඇය එම ඇතුගේ, සොඬින් අල්වා වැළැක්වූ අතර ඇතුට මළ
මූත්‍ර පහවූ බවත් එහි සඳහන් වේ. තවද ‘මහලිය පලඳනාව‘ නම් මහඟු රන් ආභරණය පැළඳී
කාන්තාවක ලෙස ද ඇය ප්‍රකට ය. අසම වූ රූපය හා කාය ශක්තිය අතින් පරිපූර්ණ වූ විශාඛා
දේවියගේ ජීවිත කතාව වර්තමානයේ ජීවත්වන අපට ප්‍රබන්ධයක් මෙන් ද හැඟී යා හැකි වුවත්
එහි සත්‍යතාව ධර්මමය යථාර්ථය හා වර්තමාන ලෝකයේ ඇතැම් දුර්ලභ සංසිද්ධීන් සමඟ සසඳා
බලන කෙනෙකුට අවිශ්වාස කළහැකි කරුණක් නොවේ. බෞද්ධ ඉතිහාසයෙහි වඩාත් තෘප්තිමත් ලෞකික
ජීවිතයක් ගෙවූ අග්‍රගණ්‍ය කාන්තාවක වශයෙන් ඇය සනිටුහන් කරන ලද්දේ මෙබඳු කරුණු
රාශියක් නිසා ය.
මිගාර නම් සිටුවරයාගේ පුතු වූ පුර්ණවර්ධන නම් සිටු කුමරු සමඟ විවාහප්‍රාප්තව සිටි
විශාඛා දේවිය දරුවන් විසි දෙනෙකු මෙලොවට බිහි කිරීමට සමත් වූවා ය. ඒ අතර පුත්‍රයෝ
දස දෙනෙක් ද, දියණියෝ දස දෙනෙක් ද වූහ. වර්ෂ අවුරුදු එකසිය විස්සක් ජීවත්වීමත්,
ඒතාක් කාලයක් ඉතා නිරෝගීමත්ව සිටීමත්, එම වයසේ දී ත් ඇය සොළොස් හැවිරිදි කාන්තාවක
මෙන් නිරෝගී හා සුරූපී ස්ත්‍රී ලාලිත්‍යයකින් හෙබි වීමත් ඇයගේ පුණ්‍යවන්ත භාවයේ
සලකුණු ය. ඇයගේ ජීවිත කාලය තුළදී අට දහස් හාරසිය විස්සක් තරම් සුවිශාල වන දරු
මුනුබුරු පරම්පරාවක් ද ඇයට දක්නට ලැබීම ද සුවිශේෂී කරුණක් වේ.
අනූපම රූප සම්පත්තියට අතිරේකව ඇය විසින් රුවට සරිලන ලෙස පළඳීන ලද අබරණ නිසා ඇය
කාගේත් සිත් ගන්නා ලද කාන්තාවක් වූවා ය. එසේම විශාඛාවගේ දරු මුනුපුරු පරපුරට අයත්
කිසිදු කෙනෙක් අකාලයේ මිය ගියේ නැත. එහෙයින් ජනතාව විශාඛාව සැලකූයේ අභිමංගල සම්මත
වස්තුවක් වශයෙනි. එහෙයින් ම උත්සව, සම්භාෂණ ආදියෙහි දී මුලින්ම විශාඛාවට ආහාර
පානවලින් සංග්‍රහ කිරීමට එවක ජනයා අභිරුචියක් දැක්වූ බව ද සඳහන් වේ. අනෙක් අතින් ඇය
කාන්තාවන් නියෝජනය කළ, ඔවුන්ට මග පෙන් වූ, ප්‍රමුඛ පෙළේ කෙනෙකු වූ බවත් සෙසු
කාන්තාවන්ගේ විශේෂ ගෞරවාදරයට පාත්‍ර වූ කෙනෙකු බවත් පෙනේ. වරක් සුරා මතින් උයනෙක්හි
නන් දොඩමින් සිට කාන්තාවන් පන්සීයක් රැගෙන බුදුරජාණන් වහන්සේ හමුවට ගෙන ගොස් ඔවුන්
යහමගට පැමිණ වීමෙන් ඒ බැව් තහවුරු වේ. මෙසේ විශාඛා දේවිය සියලු වරප්‍රසාද සහිතව
තෘප්තිමත් ගිහි ජීවිතයක් ගෙවූ කාන්තාවක් වශයෙන් ද දැක්වීමට හැකි ය.
විශාඛා දේවියට තෘප්තිමත් ගිහි ජීවිතයක් ගෙවීමට බලපෑ ආගමික පසුබිම සකස් වන්නේ
බුදුදහම නිසා ය. ධර්මය හා ලෞකික ගිහි ජීවිතය මැනවින් කළමනාකරණය කර ගැනීමේ පාරදෘශ්‍ය
හැකියාවක් තිබූ ඇයට නිකැලැල් ජීවිතයක් ද තිබුණි. ඇය නිබඳ දන් පහන් දුන්නා ය. කිසිදු
හේතුවක් නිසා සසුන ගැන නො කළකිරුණා ය. බුද්ධිමත්ව කල්පනා කොට තමා තීන්දු තීරණවලට
පැමිණි අතර අනවශ්‍ය මැදිහත් වීම් නො කළාය.
එසේම යමෙක් යහමගට හැරවිය හැකි නම්, ඒ සඳහා තම වගකීම ඉටු කළා ය. පතිකුලයට ගිය ඇයට
වර්තමාන සමාජයේ බොහෝ කාන්තාවන් මුහුණ දෙන ආකාරයේ ගැටළුවකට වරක් මුහුණ දීමට සිදුවිය.
තම ස්වාමිපුරුෂයාගේ පියා වන මිගාර සිටුතුමා නිගණ්ඨ ලබ්ධිකයෙකි. ඔහු දිනක් දනකට
ඇරයුම් කොට නිවසට පැමිණි නිවටුන්ට වඳීන ලෙස විශාඛාවට කී ය. එහි දී හිරි ඔතප් නැති
නිවටුනට වඳිනුයේ කුමකට දැයි කී විශාඛාව එය ප්‍රතික්ෂේප කළා ය. එතැන් සිට
අනුක්‍රමයෙන් ඇති වූ අර්බුද ඉතා බුද්ධිමත් ලෙස කළමනාකරණය කළ ආකාරය වර්තමාන ස්ත්‍රී
සංහතියටම ආදර්ශයක් වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් මුලින් කිසිදු ආගමික භක්තියක් නොතිබූ
ඇයගේ මාමා වන මිගාර සිටුතුමා පසුකාලීනව පින් දහම් කිරීමට යොමු කළ හැකි විය. තව ද,
මිගාර සිටුතුමා ඇය මව් තනතුරෙහි තබා සැලකූ හෙයින් මිගාරමාතා (මිගාරගේ මව) යනුවෙන් ද
ඇය හඳුන්වනු ලැබුවා ය.
තවද දිනක් විහාරයට ගිය විශාඛාව තම ආබරණ ගලවා දාසියට දුන්නා ය. දාසිය එය විහාරයේ
අමතක කොට දමා ආවා ය. භික්ෂූන් එය දැක භාග්‍යවතුන් වහන්සේට දැන්වූ කල්හී එය ආරක්ෂා
කොට තබන ලෙස බුදුහු භික්ෂූන්ට දැන්වූහ. දාසිය නැවත ගොස් එය යළි ගෙනවුත් දේවියට දුන්
විට ඇය එය විකුණා ප්‍රාසාදයක් සාදවා සසුනට පූජා කළා ය. එය මිගාරමාතු පාසාදය නමින්
ප්‍රකට විය. අනේපිඬු සිටුවරයා ශාසනය වෙනුවෙන් සියලු දෑ පරිත්‍යාග කරමින් කරන ලද
මහඟු මෙහෙවර යම්සේ සනිටුහන් වන්නේ ද, එසේම කාන්තාවන් අතුරෙන් විශාඛාව ශාසනය
වෙනුවෙන් තම ශ්‍රමය, ධනය, කාලය ආදී සියල්ල පරිත්‍යාග කළා ය. ඇයගේ පරිත්‍යාගශීලී
දායකත්වය “දායිකාවන් අතර විශාඛාව අග්‍ර වන්නී” යැයි පවසා අගතනතුරු පැවරීමෙන්
බුදුරජාණන් වහන්සේ ඇගයූහ.
ශාසනයේ ප්‍රධාන උපාසිකාවක් මෙන් ම දායිකාවක් වන විශාඛාව බුදුසසුන වෙනුවෙන් කී කළ දෑ
බොහෝ ය. නිබඳ බුදුන් වහන්සේ දැකීමට එළඹීම හේතුවෙන් ඇයට බුදුරජාණන් වහන්සේගෙන් බොහෝ
ධර්මෝපදේශ ලබා ගැනීමට හැකිවිය. වරක් බුදුරජාණන් වහන්සේ ඇයට මෙසේ වදාළහ. එනම් උපොසථ
(පෙහොය) ක්‍රම තුනක් ඇත. එයින් වඩාත් උසස්ම උපෝසථය නම් ආර්ය උපෝසථයයි. යමෙකුට ආර්යය
උපෝසථය සමාදන්වීමට අවශ්‍ය නම්, ඔහු බුදුන් දහම් සඟුන් මෙනෙහි කරමින් භාවනා කළ යුතු
ය.
දේවතානුස්සතිය වැඩිය යුතු ය. එසේම මනාව සීලය සමාදන්ව, එය නොකඩා ආරක්ෂා කළ යුතු ය.
දිවිය පුරා සිල් ගුණ රකින රහතුන් අනුව යා යුතු ය. කෙනෙකුට ආර්ය උපෝෂථ ශීලය ආරක්ෂා
කිරීමෙන් උසස් සතුටක් ලැබිය හැකි අතර චාතුම්මහාරාජිකයේ සිට පරනිම්මිත වසවත්ති නම්
දිව්‍යලෝකය දක්වා වූ සදිව්‍ය ලෝකයන්හි ඉපිද දිව්‍යමය සතුටක් ද විඳීය හැකිය යනුවෙනි.
උදාන පාළියේ විසාඛා සූත්‍රයේ සඳහන් පරිදි අනුන් මත යැපීම වූකලී දුකකි. නිදහස් වීම
සුව පමුණුවයි. බුදුරදුන්ගෙන් ලැබුණු මෙබඳු උපදේශ නිසා ඇයට ආගමික ජීවිතයක් ලැබීමටත්
එය සතුටින් ගෙවීමටත් හැකිවි ය.
මෙම ලිපියේ ඉතිරි කොටස පෙබරවාරි 26 වෙනිදා ( නවම් අව අටවක) පෝදා පත්‍රයේ පළවේ |