UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වචනය නිසා අකුසල් රැස් කිරීම

වචනය නිසා අකුසල් රැස් කිරීම

මෙම ලිපියේ තවත් කොටසක් දුරුතු අමාවක පෝදා (පෙබරවාරි 04වනදා) පත්‍රයේ පළවිය.

ප්‍රඥාව මැනීම සඳහා පුද්ගලයෙක් දීර්ඝ කාලීනව ඇසුරු කළ යුතු යි. නුවණින් මෙනෙහි කරන්නට ඕනේ. එමෙන්ම ඤාණවන්ත පුද්ගලයාට මෙය තේරුම් ගන්නට පුළුවන්. ඤාණවන්ත නැති පුද්ගලයාට මෙය තේරෙන්නේ නැහැ. මේ සමාජයේ ඇතැම් පුද්ගලයෝ මේ පාඨය පමණක් අරගෙන, අප අවබෝධ කරලා තිබෙන්නේ, අපත් සමඟ සාකච්ඡා කර කිසිවකුටත් දිනන්න බැරි’ බව පවසනවා.

මේ ආකාරයෙන් බුද්ධ වචනයෙන් කියවෙන්නේ නැති කරුණු ඉස්මතු කරමින්, ඉතාම වැරැදි විදියට මිනිසුන් නොමඟ යවමින්, පිළිගත් භික්ෂූන් වහන්සේලාටත් අභියෝග කරන පුද්ගලයෝ මේ සමාජයේ ඉන්නවා.

බුදුරජාණන් වහන්සේ ඨාන සූත්‍රයේ දී තවදුරටත් මෙසේ දේශනා කරනවා. සාකච්ඡා කිරීමෙන් යම් පුද්ගලයෙක් පිළිබඳව දැන ගැනීමට හැකි වෙනවා. මේ පුද්ගලයාගේ ප්‍රශ්න කිරීම පිළිබඳ යම්කිසි පිළිවෙලක් තියෙනවද? ප්‍රශ්න පෙරට ගන්නවාද? ප්‍රශ්න විමසීමක් කරනවාද? මේ ක්‍රමයට අනුව මේ පුද්ගලයා දුෂ්ප්‍රාඥ පුද්ගලයෙක්. ප්‍රඥාවන්ත කෙනෙක් නොවෙයි. ඒ මක්නිසාද යත් මේ පුද්ගලයා ගැඹුරු වූ අර්ථ පදයන් දක්වමින් කතා කරන්නේ නැහැ. ශාන්ත වූ, ප්‍රණීත වූ තර්කයෙන් ගත නොහැකි නිපුණ වූ ප්‍රඥාවන්තයන් දැනගත යුතු අර්ථපද කියන්නේ නැහැ. මේ පුද්ගලයා යම් ධර්මයක් පවසනවා නම්, එය හකුලුවා කියන්නට, විස්තර කරන්නට, අර්ථ පවසන්නට, දේශනා කරන්නට, පැනවීමට, පිහිටුවීමට, විවෘත කිරීමට, බෙදා දක්වන්නට, ඉස්මතු කරන්නට ප්‍රතිබල සම්පන්න වෙන්නේ නැහැ. මේ පුද්ගලයා දුෂ්ප්‍රාඥ කෙනෙක්. ප්‍රඥාවන්ත කෙනෙක් නොවේ කියල දීර්ඝ කාලීනව අධ්‍යයනයක යෙදී සිටින තැනැත්තා තේරුම් ගන්නවා.

පින්වත්නි, බුදුරජාණන් වහන්සේ එහි දී දේශනා කරනවා.

ඉධ භික්ඛවේ පුග්ගලො පුග්ගලේන සද්ධිං සාකච්ඡායමානො එවං ජානාතී. යථා ඛො ඉමස්ස ආයස්මතො උම්මග්ගො, යථාච අභිනීහාරො, යථා පඤ්හසමුදාවාරො, දුප්පඤ්ඤො අයමායස්මා නාය මායස්මා පඤ්ඤවා තං කිස්ස හෝතු, තථා හි අයමායස්මාන වෙව ගම්භීරං අත්ථපදං උදාහරති සන්තං පණීතං අතක්කාවචරං නිපුණං පණ්ඩිතවෙදනීයං යඤ්ච අයමායස්මා ධම්මං භාසති තස්ස ව න පටිබලො සංඛිත්තේන වා විත්ථාරෙන වා අත්ථං ආචික්ඛිතුං දෙසෙතුං පඤ්ඤපෙතුං පට්ඨපෙතුං විවරිතුං විභජිතුං උත්තානී කාතුං දුප්පඤ්ඤො අයමායස්මා නායමායස්මා පඤ්ඤවා.

ධර්ම ඥානයක් නැති මේ සමාජයේ ඇතැම් පුද්ගලයන්, යම් කිසිවෙක් යම් දෙයක් පැවසූ පමණින් එයට වශී වෙනවා. එය උන්වහන්සේ උදාහරණයකින් මෙසේ පෙන්වනවා.

ඇස් ඇති පුද්ගලයෙක් දිය පිරුණු විලක් අසලට යනවා. එහි දී ඔහු උඩට එන කුඩා මාළුවෙක් දකිනවා. එහි දී ඔහුට මෙසේ සිතෙනවා. යම් විදියකින් මේ මාළුවාගේ ගමන් මාර්ගයක් තියෙනව ද? රළ බිඳී යන්නෙත් ඒ විදියට දිය වේගයත් ඒ විදියට. තියෙන්නේ. මේ ඉතා කුඩා මත්ස්‍යයෙක්. විශාල මත්සයෙක් නොවේ. ඒ ආකාරයට පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් සමඟ සාකච්ඡා කරන විට ඔහු පිළිබඳ අවබෝධයක් ලබා ගන්නවා. මේ පුද්ගලයාගේ ප්‍රශ්න කිරීම පිළිබඳ යම් පිළිවෙලක් තියෙනවාද? යම් ආකාරයක ප්‍රශ්න ඉදිරියට අරගන්නවාද? යම් ආකාරයක ප්‍රශ්න විමසනවාද? එහෙම නැතිනම් පුද්ගලයා දුෂ්ප්‍රාඥ කෙනෙක්. ප්‍රඥාවන්ත කෙනෙක් නොවෙයි. ගැඹුරු වූ අර්ථ පදයන් දක්වමින් කතා කරන්නේ නැහැ. සාන්ත ප්‍රණීත තර්කයෙන් දත නොහැකි නිපුණ ඥානවන්ත අය දත යුතු වූ අර්ථ පද පවසන්නේ නැහැ. මේ පුද්ගලයා යම් ධර්මයක් පවසනවා නම්, එය හකුළුවා කියන්නට විස්තර කරන්නට අර්ථ පවසන්නට, දේශනා කරන්නට, පනවන්නට, පිහිටුවන්නට, විවෘත කරන්නට, බෙදා දක්වන්නට ඉස්මතු කරන්නට ප්‍රතිබල සම්පන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ පුද්ගලයා දුෂ්ප්‍රාඥ කෙනෙක් බව දැනගන්නවා.

ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවත් පුද්ගලයෙක් සමඟ සාකච්ඡා කරනවිට දැනගන්නවා මේ පුද්ගලයා නම් ප්‍රශ්න කිරීම පිළිබඳ යම් පිළිවෙලක් තියෙනවා. යම් ආකාරයක ප්‍රශ්න ඉදිරියට ගන්නවා. යම් ආකාරයක ප්‍රශ්න විමසීමක් මොහුට තියෙනවා. මේ පුද්ගලයා ප්‍රඥාවන්ත කෙනෙක්. දුෂ්ප්‍රාඥ කෙනෙක් නොවෙන බව දැන ගන්නවා. ඒ මක්නිසාද යත් ගැඹුරු වූ, අර්ථ පදයන් දක්වමින් කතා කරනවා. සාන්ත වූ ප්‍රණීත වූ තර්කයෙන් දැනගත නොහැකි නිපුණ වූ ඥානවන්තයන් දත යුතු වූ අර්ථ පද කියනවා. මේ පුද්ගලයා ධර්මය කියනවා නම්, හකුළුවා කියන්නට, විස්තර කරන්නට, අර්ථ පවසන්නට, දේශනා කරන්නට, පනවන්නට, පිහිටුවන්නට, විවෘත කරන්නට, බෙදා දක්වන්නට, ඉස්මතු කරන්නට ඔහු ප්‍රතිබල සම්පන්න වෙනවා. ඒ නිසා මේ පුද්ගලයා ප්‍රඥාවන්තයෙක් බවත් දුෂ්ප්‍රාඥයෙක් නොවන බවත් සාකච්ඡා කරන තැනැත්තා තේරුම් ගන්නවා. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ උදාහරණයක් දේශනා කරනවා.

සෙය්‍යථාපි භික්ඛවේ පුරිසො උදකරහදස්ස තීරෙ ඨිතො පස්සෙය්‍ය මහන්තං මච්ඡං උම්මුජ්ජමානං, තස්ස එවමස්ස, යථා ඛො ඉමස්ස මච්ඡස්ස උම්මග්ගො යථා ච ඌම්සාතො යථා ච වෙගායිතත්තං, මහන්තො අයං මච්ඡො, නායං මච්ඡො පරිත්තොති, එවමෙ ඛො භික්ඛවෙ පුග්ගලෝ පුග්ගලේන සද්ධිං සාකච්ඡායමානො එවං ජානාති යථා ඛො ඉමස්ස ආයස්මතො උම්මග්ගො යථා ච අභිනීහාරො යථා ච පඤ්හසමුදා චාරො පඤ්ඤවා අයමායස්මා, නායමායස්මා දුප්පඤ්ඥේ තං කිස්ස හෙතු, තථා හි අයමායස්මා ගම්භීරං චෙව අත්ථපදං උදාහරති සන්තං පණීතං අතක්කාවවරං නිපුණං පණ්ඩිත වෙදනියං, යං ව අයමායස්මා ධම්මං භාසති, තස්ස ච පටිබලො සංඛිත්තේ න වා විත්ථාරෙන වා අත්ථං ආචික්ඛිතුං දෙසෙතුං පඤ්ඤපෙතුං පට්ඨපෙතුං විවරිතුං විභජිතුං උත්තානීකාතුං පඤ්ඤාවා අයමායස්මා නායමායස්මා. දුප්පඤ්ඥේති සාකච්ඡාය භික්ඛවෙ පඤ්ඤා වෙදිතබ්බා සාවඛො දීසෙන අද්ධුනා න ඉත්තරං මනසිකරොතා නො අමනසිකාරා පඤ්ඤවතා නො දුප්පඤ්ඥේනාති ඉති යත්තං වුත්තං ඉදවෙතං පටිච්ච වුත්තං

ඇස් ඇති පුරුෂයෙක් විශාල මත්ස්‍යයෙක් එනවා දකිනවා. ඒ අවස්ථාවේ ඔහුට මෙහෙම හිතෙනවා. යම්කිසි ආකාරයකින් මේ මාළුවාගේ ගමන් මාර්ගයක් තියෙනවා නම් ඒ ආකාරයෙන් ම රළ බිඳී යනවා.ජලයේ වේගයත් ඒ ආකාරයෙන් ම තියෙන්නේ. මේ ඉතා විශාල මාළුවෙක්. කුඩා මාළුවෙක් නොවෙයි. අන්න ඒ ආකාරයෙන් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් සමඟ සාකච්ඡා කරන විටදී දැනගන්නවා මේ තැනැත්තාගේ ප්‍රශ්න කිරීම පිළිබඳව යම් පිළිවෙලක් තියෙනවා. යම් ආකාරයක ප්‍රශ්න ඉදිරියට අරගෙන කතා කරනවා. ප්‍රශ්න විමසනවා. මේ පුද්ගලයා නම් ප්‍රඥාවන්ත කෙනෙක්.දුෂ්ප්‍රාඥ කෙනෙක් නොවෙයි.

ඔහු අර්ථ පදයන් දක්වමින් කතා කරනවා. සාන්ත වූ, ප්‍රණිත වූ තර්කයෙන් දැනගන්න බැරි නිපුණ වූ ඥානවන්ත අය දැන ගත යුතු අර්ථ පද පවසනවා. මේ පුද්ගලයා යම් ධර්මයක් කියනවා නම් එය හකුළුවා කියන්නට, විස්තර කරන්නට, අර්ථ පවසන්නට, දේශනා කරන්නට, පනවන්නට, පිහිටුවන්නට, විවෘත කරන්නට, බෙදා දක්වන්නට, ඉස්මතු කරන්නට, ප්‍රතිබල සම්පන්න වෙනවා. මේ පුද්ගලයා ප්‍රඥාවන්ත බවත් දුෂ්ප්‍රාඥ කෙනෙකු නොවන බවත් දැනගන්නවා.

යම්කිසි පුද්ගලයෙක් සමඟ සාකච්ඡා කිරීමෙන්, ඔහුගේ ප්‍රඥාව දැන ගත්නේ ඒ ආකාරයටයි. ඒ සඳහා බොහෝ කාලයක් ඇසුරු කළ යුතු යි. සුළු කාලයක් නොවේ. එය දැනගැනීමට නම්, නුවණින් මෙනෙහි කළ යුතුයි. නුවණින් මෙනෙහි නොකිරීමෙන් නොවේ. ඤාණවන්තයාට පමණයි දැන ගැනීමට හැකි වෙන්නේ. නුවණ නැති තැනැත්තාට නොවේ.

එක වාක්‍යයක් අරගෙන යම්කිසි කෙනෙක් තමන්ට අවශ්‍ය ආකාරයට ඒවා හදාගෙන තමා ඉස්මතු කිරීමට උත්සාහ කරනවා නම්, එය කෙතරම් වැරදිද? යන්න මේ විග්‍රහය තුළින් තේරුම් ගන්න පුළුවන්. මෙහි ඉතා වැදගත් කරුණු 4 ක් තියෙනවා. ඒවා නම් සීලය, පිරිසුදු බව, බලය හා ප්‍රඥාව යන කරුණු පිළිබඳ දැන ගැනීමයි.

මේ දේශනාව තුළින් ඔබට වැදගත් කරුණු රාශියක් ඉගෙන ගැනීමට හැකිවූවා. අපි හිතූමනාපයේ කොතරම් වචන පිට කරනවාද? ප්‍රකාශ නිකුත් කරනවා ද? තීන්දු තීරණ ගන්නවා ද? එවැනි දේ කිරීමෙන් අප කොපමණ අකුසල් රැස් කරගන්නවා ද? එවැනි දේ කරන්න එපා කියල මේ දේශනාව තුළින් පැහැදිලි කරනවා. ඔබ සියලු දෙනාටම මේ ඨාන සූත්‍ර දේශනාව තුළින් ඉගැන්වෙන උදාර කරුණු උපයෝගී කරගෙන තමන්ගේ ජීවිත ගොඩනගා ගන්නට වාසනාව ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට උපකාර වේවා.

 

නවම් පුර අටවක පෝය


නවම් පුර අටවක පෝය පෙබරවාරි 12 වන දා අඟහරුවාදා අපර භාග 03.54 ට ලබයි. 13 වන දා බදාදා අපර භාග 03.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 12 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 19 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 12

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 06


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]