UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

නවම් පුර අටවක 2019.02.12

පරම ධනය

මිනිස් ජීවිතයේ ‘සතුට’ පරම ධනය වන බව ‘සන්තුට්ඨි පරමං ධනං’ අපගේ ශාස්තෘන් වහන්සේ දේශනාකොට ඇත. පරම ධනයක් වන්නේ ධාර්මිකව ජීවත්වීමෙන් ලබන සතුට ය. එහෙත් බොහෝ දෙනා සතුට අර්ථ ගන්වන්නේ විවිධාකාරයට ය. ඒ අතර, උතුම් සම්බුද්ධ දේශිතය අනුව යමින් ධම්මානු ධම්ම පටිපන්නව ජීවිතය හැඩ ගස්වා ගනිමින් ලබන සතුට ධනයක් කර ගන්නෝ බොහෝ වෙති. බුද්ධ කාලීන සමාජයේ සේ ම අද ද එවන් පුණ්‍යවන්තයෝ ජීවත් වෙති. තමන්ටත් කරදරයක් නොවී, අනුන්ට ද කරදරයක් නොවී දිවි මඟ සරු කරගත් එවැන්නෝ මුළු සමාජයටම ආදර්ශ සම්පන්න වෙති. අර්ථ සම්පන්න වෙති.

එසේ අධ්‍යාත්මිකව ලබන සුවයට නොව භෞතිකත්වයට මුල් තැන දෙන ඇතැම්හු සතුට සොයන්නේ අධ්‍යාත්මික ගුණ ධර්මයන් තුළ නොව කෙසේ හෝ ගොඩ ගසා ගත හැකි මිල මුදල් ඇතුළු භෞතික වස්තූන් තුළ ය. එසේත් නැතිනම් වැරැදි චර්යාවන් තුළින් ලබන්නා වූ පහත් පටු ආශාවන්ගෙන් ය. මිනිස්කම් නොමිනිස්කම් බවට පරිවර්තනය වන්නේ එතැන දී ය. එය ව්‍යසනයකි. ඒ තුළ අපහසුතාවට, කරදරයට, පීඩාවට පත්වන්නෝ බොහෝ වෙති. අධර්මයෙන් සතුට සොයන සෑම තැනකම තවත් කෙනෙක් පීඩිත වීම නොවැළැක්විය හැකි ය. කනගාටුවට කරුණ නම් දහමට පටහැනිව එසේ කටයුතු කරන්නෝ තෙරුවන් සරණ ගිය බෞද්ධයන් සේ පෙනී සිටිමින් සම්බුද්ධ දේශනාවටද අගෞරව කිරීම ය. මිනිස්කම් දන්නා අය අතර එවැන්නෝ අල්ප වුව කිරි කළයට ගොම බිංඳුවක් මුසු වූ කළ වන හානිය සේ එවැන්නෝ සමාජයම දුර්ගන්ධවත් කරති. අප උත්සාහ කළ යුතු අනුකම්පා සහගතව යහපත අයහපත පෙන්වා දී ඒ පිරිස් ද යහමඟට ගැනීමට ය. එවිට වළාකුළෙන් මිදුණු සඳසේ, වරදින් මිදුණු ඔවුන්ගේ ජීවිත ද ඒකාලෝක වනු ඇත.

සම්බුද්ධ දේශිතයට අනුව මිනිසත් බව ලැබීම නම් ඉතාමත් ම අසීරු ය. එක් අවස්ථාවක තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ නිය පිටට ගත් පස් පිඬක් දක්වා භික්ෂූන් වහන්සේලාගෙන් විමසා සිටියේ වඩාත් වැඩි මහ පොළොවේ පස් ප්‍රමාණය ද, තමන් වහන්සේගේ නිය පිට වන් පස් ප්‍රමාණය ද යන බව ය. මහ පොළොවේ පස් ප්‍රමාණය වැඩි බව භික්ෂූන් වහන්සේ පැවසූහ. මිනිස් ලොව සිටින මිනිසුන්ගෙන් නැවත මිනිස් ආත්මභවයක් ලබන්නේ ඒ නිය පිටවන් පස් ප්‍රමාණයක තරම් සුළු ප්‍රමාණයක් වන බව උන්වහන්සේ පෙන්වා දුන්හ. ඉතිරි බොහෝ ප්‍රමාණයක් අපාගාමී වෙති.

බොදු ජනතාව ලෙස අප මේ යථාර්ථය තේරුම් ගත යුතුම ය. කතාවෙන් අප බෞද්ධයන් යැයි තවත් කෙනෙක් ඉදිරියේ පෙනී සිටියාට ඵලක් නැත. බෞද්ධකම චර්යාවතුළින් ම ඉස්මතු විය යුතු ය.

පිනි බිඳුවක් හා සම මේ ජීවිතය කවර මොහොතක ගිලිහී යා දැයි කෙසේ නම් කිව හැකි ද? ගෙවෙන හැම මොහොතකම අප ළඟා වන්නේ මරණයට ය. ඇසුරු සැණෙකින් වුව මරණය සිදු විය හැකි ය. රැස්කරගත් භෞතික සැප සම්පත් කිසිවක් ඒ ගමනට උපකාරී වන්නේ නැත. ගෙන යන්නේ කළ පින් හා පව් ය. ඉදිරි භව ගමන තීරණය වන්නේ ඒ අනුව ය.

බුදු දහම ගිහියාට සැපවත් ජීවිතයක් ගත නොකළ යුතු යැයි කිසිවිටෙක දේශනා කරන්නේ නැත. මව්පියන්ට සලකමින්, අඹු දරුවන් පෝෂණය කරමින්, පින් දහම් කරමින් සතුටින් ජීවත් වන්නට ධනය ඇවැසිම ය. බුදු දහම අනුමත කරන්නේ ඒ ධනය සාර්ථකව ඉපයීම ය. අවබෝධයෙන් යුතුව ඒ ධනය පරිහරණය කරමින් අධ්‍යාත්මික ගුණ ධර්මයන්ගෙන් පෝෂණය වීම ය.

ප්‍රාණඝාතයෙන්, සොරකමින්, වංචාවෙන්, කූඨ උපක්‍රමයන්ගෙන් බලහත්කාරයෙන් උපයන ධනය තුළ භෞතික සම්පත් ගොඩ ගැසුණ ද, අදැහැමි ක්‍රියාකාරකම්තුළ ලබන අධාර්මික සතුට ද මොනයම් හෝ මොහොතක වධ වේදනා දෙමින් තමන්ගේ ම සිත දවනු තවනු ඇත. ඉදින්, කවර නම් සතුටක් ද?

ආයතනයක් තුළ වුව තමන් ලබන්නා වූ වැටුපට සාධාරණ සේවයක් කරන්නට

තරම් යුක්ති සහගත නොවන්නේ නම්, ඒ උපයන වැටුප ද අධාර්මික ය. සතුටු විය නොහැකි ය. මහජන සේවයේ දී බොහෝ පිරිස් කරන සේවයට වඩා ජනතාව පීඩාවට පත් කරන අවස්ථා බොහෝ ය. සරලම උදාහරණයකට ගියේ නම් ගමනා ගමන සේවා සපයන දුම්රිය, බස් රථ ප්‍රමාද වීම නිසා මහජනතාවගේ කාලය මොනතරම් අපතේ යනවාද? ඇතැම් විට මේ ප්‍රමාදවීම් පසුපස ඇත්තේ අදාළ නිලධාරීන්ගේ උදාසීනකම ය. නොසැලකිල්ලය.

ආයතන තුළ පවා ඕපා දූප දොඩවමින්, නිකරුණේ කාලය කා දමන්නෝ කොපමණ වෙත්ද? ඉදින් තමන් ලබන වැටුප ගැන සතුටක් ලැබෙනවා ද? මේ තම තමන් ගැන නැවත සිතන්නට කාලයයි.

 

නවම් පුර අටවක පෝය


නවම් පුර අටවක පෝය පෙබරවාරි 12 වන දා අඟහරුවාදා අපර භාග 03.54 ට ලබයි. 13 වන දා බදාදා අපර භාග 03.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 12 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 19 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 12

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 06


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]