UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසර තරණය 04 : රූපයේ ඇති යථාර්ථය

සසර තරණය 04 :

රූපයේ ඇති යථාර්ථය

අප කවුරුත් අම්මට බොහොම ආදරෙයි. අප ආදරය කරන, ‘අම්මා’ අපගේ ඇසට ගෙනාවේ ඇසට පෙනෙන වර්ණ සටහන් නොවෙයි. වර්ණ සටහන කියන්නේ අපගේ ඇසට පෙනෙන පාට ටික නෙවෙයි, අම්මා ගෙනාවේ. ඒ පාට ටික නම් අම්මා වුණේ, ඔය වර්ණ සටහන ඇහැට ගැටෙන හැමෝම කියන්න ඕන මේ ‘අම්මා’ කියලා. හැමෝටම ඒ ආදරය ඇති වෙන්නට ඕන. නමුත්, එහෙම වෙන්නේ නැහැ. ඒක කාටත් එක සමාන විදිහට ඇහැට ගේන්නේ. නමුත්, අපට විතරයි අම්මා වෙන්නේ. ඇයි? අපට විතරක් අම්මා වුණේ? ඒක වර්ණ සටහනේ තිබුණ දෙයක් නොවන නිසා.

ඇහැ කිව්වේ නෑ, මට අම්මා කෙනෙක් ආවා. ඇහැට වැටුණා කියලා කිව්වේ නැහැ. වර්ණ සටහන පාට ටික කිව්වේ නැහැ, ඇහැට අම්මා කෙනෙක් අරගෙන ආවා කිව්වෙත් නැහැ. එහෙනම් මේ අනාත්ම ධර්මය ඇති තැනක අප මනස තුළ දැනගත්තා, පුංචි කාලේ ඉඳලා අප හදාගත්ත, ආදරය කරන, ‘ආදරණීය අම්මා’ අප දැක්ක ද? දැනගත්තා ද? අප දැනගත්තා. ඒකට කියන්නේ දැක්කා කියලා නෙවෙයි, ඒක දැනගැනීමක්. හැබැයි, දැන ගැනීම කියන දැනගත්ත දේ බාහිර පෙනෙන රූපෙට ගැට ගැහුවට පස්සේ, අපට පුළුවන්කම ලැබෙනවා, මොනවා කරන්නද? එළියේ ඉන්න අම්ම දකින්න. එහෙනම්, දකින්න පුළුවන් වෙන කොට අප ඒ එළියේ ඉන්න , අම්මා කියන රූපය දිහා සැප- දුක් විඳින්න පුළුවන් මනසක් අප ඇති කරගෙන ඉවරයි.

අද දවසේ දී හැම දෙයක් තුළම අපේ ජීවිතය තැවරිලා තියෙන්නේ, අන්න ඔය අවිද්‍යාව හදාගත්ත මානසික මට්ටම. ඒ නිසා දැන් අපට යථාර්ථයක් විදිහට අවබෝධ කළොත් , කෙනෙක් හරියට මේ ධර්ම මාර්ගයේ යනවා නම්, ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවානම්, ඔහුට ප්‍රත්‍යක්ෂ වෙන්නට ඕන ධර්මතාවයක් ගැන අප මේ කථා කරන්නේ. මොකද? අද සමාජය තුළ බොහොම දැඩි ලෙස ධර්මය ගැන හොයන ප්‍රවණතාවයක් තියෙනවා. නමුත්, බොහෝ දෙනෙක් විසින් ඒ ධර්මය ගැන හරියට වැටහීමක් නැතිකම නිසා ම ධර්මය කියලා හිතාගෙන, බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේ කියලා හිතාගෙන, වෙනත් තැන්වල රැඳී සිටින බව බොහෝ වෙලාවට දකින්නට තියෙනවා. ඒ වගේම ‘නිවන’ කියලා හිතාගෙන නොයෙක් හුදු පුද්ගලික සංකල්පයන් පස්සේ දුවන, විදිහක් අපට දකින්නට තියෙනවා. ඒ නිසා අපට බොහොම වැදගත් වෙනවා. මේ වගේ සූත්‍ර ධර්මයක් තුළ අපට හරියට ධර්ම මාර්ගය වැඩෙනවා නම්, ධර්ම මාර්ගය තුළ අප ඉන්නවානම්, මොන විදිහේ අවබෝධයක් ද, අප තුළ වැඩිය යුත්තේ කියන එක පිළිබඳව අපට තේරෙන්නට ඕනේ. මොකද, සමහර වේලාවට ස්කන්ධයන්ගේ සහ පංච උපාදානස්ඛන්ධයන්ගේ වෙනස නොදන්න, ඇත්තෝ සෝතාපන්න ඵලයට පත්වුණැ’යි කියලා අද දවසේ හිතාගෙන ඉන්නවා. සමහර විට ස්කන්ධයන්ගේ උදය, වැය දන්නේ නැහැ. පංචඋපාදානස්ඛන්ධයත්, ස්කන්ධයත් දෙකක් කියන එක දන්නෙත් නැහැ. හැබැයි, ඔවුන්ට සෝවාන් කියලා සමාජය පැත්තෙන් කොහෙන් හෝ ‘සීල් එකක්’ වැදිලා තියෙනවා. මේ විදිහේ මට්ටම් ඇති වෙන්නේ යථාර්ථයක් විදිහට පවතින මේ ධර්ම ප්‍රතිපදාව පිළිබඳ අවබෝධයක් නැතිකම නිසා.

ඒ නිසා තමයි, බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ආගන්තුක සූත්‍රය වගේ සූත්‍ර දේශනාවක වැදගත්කම තියෙන්නේ. හරියට ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවානම්, ඒ කෙනා පිරිසිඳ දැකිය යුතු ධර්මය පිරිසිඳ දකිනවා. එතකොට, පංචඋපාදානස්ඛන්ධ ධර්මය පිරිසිඳ දකින කොට ඔහුට ස්කන්ධයත්, පංච උපාදානස්ඛන්ධයත් දෙක පිළිබඳව නුවණක් ඇතිවෙලා තියෙන්නට ඕනේ. ඇයි? අප විඳින තැන සහ පවතින තැන යථාර්ථය මොකක්ද? කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන නිසා.

ඒ නිසා රූපය කියන කොට, අද අප කවුරුත් රැවටෙන මට්ටම තමයි, අප මානසිකව ඇති කරගත්ත ධර්මතා ටිකක් තුළ අප රැවටිලා, ඒ දේම නැවත , නැවත ලෝකය කියලා ඇසුරු කරනකම. හැබැයි, රූපස්ඛන්ධය කියන යථාර්ථය තමයි, එක පාරක් දැකපු රූපය තව පාරක් දකින්නට බැරිකම. ඒකට කියනවා ‘අහුප්පා සම්බුද්ධං දුක්ඛානම් බහුස්සති’ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිවන ධර්මයක්. ඒක නැවත කිසිම දවසක නැවත දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒක තමයි, රූපයේ තිබුණු යථාර්ථය. හැබැයි, ඔය යථාර්ථය අවබෝධ කළේ නැති වුණොත්, අද දවසේ තියෙන අවිද්‍යා සහගත මානසික මට්ටම තුළ නම්, අපට ඕන තරම් රූපය ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා.

ඔබට , ගෙදර යන්න පුළුවන්කම තියෙනවා, හවස් වෙනකොට. ගෙදර යන්න පුළුවන්කම තියෙන්නේ ඇයි? එහෙ ගෙදරක් තියෙන නිසා. එහෙම නැත්නම්, බාහිරින් හිතන්නට පුළුවන් ගෙදරක් තියෙන නිසා, හිතන්න පුළුවන්, දැන් මතක් කර ගන්න පුළුවන්, ගෙදර බලාගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. ඇත්තටම ,ඔබට හිතෙන ගෙදර, බාහිර තියෙන ගෙදරද? එහෙම නැතිනම්, මේ වෙලාවේ මානසිකව හදාගත්ත දෙයක් ද? මේ වෙලාවේ දී අප ගෙදර කියලා හදාගත්ත, ධර්මයක් විඳිනවා,ඒක ගෙදර කියලා හිතලා, අපම රැවටෙනවා. ඒක තමයි මෙතන තියෙන ඇත්ත කථාව බවට පත් වෙන්නේ. නමුත් අප තේරුම් ගත යුතු කාරණාව තමයි, පවතින ධර්මතාවය කියන එක පිළිබඳව, බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේ, මීට වඩා හාත්පස වෙනස්. ඒකයි, මුලින් ම මතක් කළේ, මේක පටිසෝතගාමි යි. ලෝකයා යන දර්ශන පථයට මේක අයිති නැහැ. ලෝකයා යන්නේ අනුසෝතගාමීව. මේක පටිසෝතගාමීව යන දෙයක්. ලෝකයා රූපය තියෙනවා කියාගෙන යනකොට බුදුරජාණන් වහන්සේ රූපෙ තියෙන බවටත්, නැති බවටත්, හේතු ඇති කල්හි හටගත්ත දේත් , හේතු නැතිවෙනකොට නැති වෙලා යන ධර්මතාවයකුත් ගැන කතා කළා.

පහනක් පත්තු වෙන කොට, මේ මොහොතේ දැල්වෙන තෙල් ටිකත් , තිරයත්, දැල්ලත් නිසා අපට පේනවා, පහනක් පත්තු වෙනවා කියලා. මේ දැල්වෙන තෙල් ටිකත්, තිරයත්, දැල්ලත් ඊළඟ තත්පරයට යනකොට, මේ තත්පරයේ තිබුණ තෙල් ටිකද දැල්වෙන්නේ? අලුතෙන් ම. මේ තත්පරයේ දැල්වුණු තිරයද, ඊළඟ තත්පරයේ දැල්වෙන්නේ? අලුතෙන් ම ටිකක්, මේ තත්පරයේ තිබුණු දැල්ල නෙවෙයි, ඊළඟ තත්පරයේ පවතින්නේ. එතකොට අලුතෙන් ටිකක්. මේ විදිහට තුන්වෙනි තත්පරයට යනකොට අලුතෙන් ම තෙල් ටිකක්, අලුතෙන් ම දැල්ලක්, අලුතෙන් ම තිරයත්. ඒවුණාට අප කියනවා, පහන නිවුණා කියලා. මට කියන්න, කොයි තත්පරයේ තිබුණු පහන ද නිවුණේ? අපට නිවුණු පහනක් ගැන කථා කරන්න කලින්, පත්තු වෙලා තිබුණ පහනක් තිබුණ ද කියලා ප්‍රශ්නය අහන්න වෙනවා. ඇයි? අප පහන තියෙනවා කියලා කතා කළේ, මේ හේතු ටිකක් වැයවන තැනකට. ඒ හේතු ටික ඒ මොහොතේම වැය වුණා. ඒ මොහොතේම නැති වෙලා ගියා. ඊළඟ තත්පරයේ අලුතෙන් හේතු ටික ඇති වුණා. අලුතෙන් ඉතිරි නැතිව නැති වුණා. එක දිගට පහනක් තිබුණේ නැති බවක්, අප දැනගත්තොත්, අපට නිවෙන්න පහනක්, පත්තු වුණ පහනකුත් නැති වෙයි. එහෙම වුණොත්, නිවුණු පහන අරභයා යම් දුකක්, යම් වේදනාවක්, විඳින මානසික මට්ටමක් තිබුණා නම්, ඒ මානසික මට්ටමත් අපට දුරු වෙයි. මේ කියන්නේ බොහොම ගැඹුරු ධර්ම කාරණාවක් පිළිබඳව යි.

රූපය තුළ අප අද දවසේ දී දුක් විඳින්නෙත්, සැප විඳින්නෙත් අප නොදන්න මානසික මට්ටමක් තුළ. අපේ මුළු පැවැත්ම ම අප හදාගෙන තියෙන්නේ, ඔය ඇත්ත යථාර්ථය නොදන්නකම නිසා. ලෝකයා සැප කියා හිතාගෙන, දුක පැත්තට ම නැවත, නැවතත් නැඹුරු වෙන්නේ , ඒ වගේ ම දුකේ ම සැප යැ'යි විපල්යාසය පෙරමුණු සංඥාව පටන් ගන්නේ අන්න ඔය කාරණාව නිස යි.

 

නවම් පුර අටවක පෝය


නවම් පුර අටවක පෝය පෙබරවාරි 12 වන දා අඟහරුවාදා අපර භාග 03.54 ට ලබයි. 13 වන දා බදාදා අපර භාග 03.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 12 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 19 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 12

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 06


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk