UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කළ හොඳ දේ සතුට ගෙන දේ

කළ හොඳ දේ සතුට ගෙන දේ

අප කරන හැම කටයුත්තකින් ම අපට සතුටක් ලැබිය නොහැකි ය. ලැබෙන්නේ නම්, එය ඒ වෙලාවට පමණක් වූවකි. නමුදු සමහර ක්‍රියා අසීරු වුව ද, ඒ තුළ ඇත්තේ නිරාමිස පී‍්‍රතියකි.

ඒවානම් කුසල කර්මයි. පින් කටයුතු යහපත් කටයුතු වශයෙන් ද, ඒවා ජීවිතයට සම්බන්ධ වේ. ජීවිතයකට අවශ්‍ය වන්නේ වංචා සහගත සතුටක් නොව සැබෑ සතුටකි. “සන්තුට්ඨි පරමං ධනං” කෙනෙකුට උතුම්ම ධනය වන්නේ සතුටයි. කුමන සැප සම්පත් තිබුණ ද, සතුට නොමැතිනම් එම ජීවිතය අරටුවක් නැති ගසක් සේ, සුවඳවත් නැති මලක් සේ නිෂ්ඵල වන්නේ ය.

එසේ නම්, එම සතුට ජීවිතය ජීවත් කරවන්නක් සේ සිතා යහපත් කටයුතු කිරීමට කෙනෙකුට අවකාශය සැලසෙනු ඇත. ධම්ම පදයේ යමක වග්ගයේ දෙවැනි ගාථාව තුළින් දේශනා කොට ඇත්තේ කුසල් කටයුත්තක් හඳුනා ගන්නා මනෝ භාවයන් ක්‍රියාත්මක වන ආකාරයයි.

මනෝ පුබ්බංගමා ධම්මා -මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන - භාසතී වා කරෝති වා
තතෝ නං සුඛමන්වේති - ඡායාව අනපායිනී

සියලු සිතිවිලි (ධර්ම) වලට මනස ( සිත) ම ප්‍රධාන වේ. ශ්‍රේෂ්ඨ වේ. එසේම සියලු සිතිවිලි සිතින් ම උපදී. සිතම ශ්‍රේෂ්ඨ කොට ගෙන පවතී. එම නිසා යම් කෙනෙකු හොඳ යහපත් දෙයක් පහන් සිතින් කරයි නම් සිරුර හැර නොයන සෙවනැල්ල සේ සැපය ඔහු පසුපස ලුහුබඳියි.

යහපත් සිතනම් පිරිසුදු සිතයි. එනම් අලෝභ, අදෝෂ, අමෝහ යන ත්‍රිවිධ කුසල් සිත් පෙරටු කොටගෙන. “කියන වචන” සුබ පිණිස පවතින බවත්, “කරන ක්‍රියා” සුබ පිණිස පවතින බවත් ය. යමක් කිරීමේ දී එය තමාටත්,අනුන්ටත්, මෙලොවටත්– පරලොවටත් සුබ පිණිස පවතීනම් එවැනි කර්ම නැවත නැවත කිරීම ඉතා වැදගත් වනු ඇත. එතුළින් මුළු විශ්වයටම ශාන්තියක් සැනසීමක් සිදු වේ. අදෘශ්‍යමාන දෙවි දේවතාවුන්ටද එය පි‍්‍රය උපදවන්නක් ම වේ. බුදුරජාණන් වහන්සේ එවැනි කර්ම අගය කොට ඇති අතර ඒවා අනුමත කොට ද ඇත. ඒ බව ධම්ම පදයේ කතා පුවතක් ඇසුරින් වටහා ගැනීම ධර්මඥානය වැඩිවීමට තවත් රුකුලක් වනු ඇත.

බුදුරඳුන් ජීවමාන කල සුමන කියා මල් වෙළෙඳාම් කොට ජීවත් වූ අසරණ මිනිසෙක් සිටියා. ඔහුගේ රැකියාව වූයේ මල් වෙළඳාමයි. ඔහු බිම්බිසාර රජුගේ මාලිගාවට රාජාඥාව මත දෑසමන් මල් මාලා අටක් දීම දෛනිකව සිදු කළා. ඒ සඳහා ඔහුට අටකලඳක් පමණ වැටුපක් ද ලැබුණි. දිනක් මල් රැගෙන යන අතරේදී මහ පාරේ දි බුදුරඳුන් ප්‍රමුඛ මහා සංඝයා ඉදිරියට වඩිනවා හමු වුණා. බුදුරඳුන් වඩින නමුදු බුදුන්ට පූජා කිරීමට කිසිවක් නොමැති හෙයින් ඒ ගැන සිතමින් සිටියදී මල් පූජා කිරීමට සිත ශක්තිමත් කොට ගත්තා. රජුගෙන් නොයෙක් දඩුවම් හෝ මරණ දණ්ඩනය හෝ රටින් නෙරපීම හෝ ලැබෙන්නට පුළුවන්. නමුදු ජීවිතය ගියත් මේ මල් බුදුන්ට පූජා කරනවා කියා සිතේ අධිෂ්ඨානය ඇතිකොට ගෙන අපමණ ශ්‍රද්ධාවෙන් බුදුන් දෙසට මල් විසි කළා. පසුව ඒවා මල් යහනාවක් බවට පත් වී බුදුරඳුන් එම මල් යහනාව තුළ වඩින අයුරු සැකසුණා. මෙම අසිරිය නගරයේ සිසාරා රැව්දෙන්නට වුණා. බොහෝ දෙනෙක් එම ආශ්චර්ය දැක සෝමනස්ස සහගත සිතින් පින්සිදු කරගත්තා. පසුව බිම්බිසාර රජුට ද මෙම ආරංචිය ලැබී සුමන මල්කරු ගෙන්වා ඔහු කළ උතුම් ක්‍රියාව අගය කොට ඇතුන් හා ගොව්වන් අටක් ද, අසුන් අටක් ද, ස්වර්ණාභරණයෙන් සැරසුණු ස්ත්‍රීන් අටක් ද, අට දහසක් පමණ රන් ද, ගම්වර අටක් ද, ප්‍රදානය කොට සතුටින් කල් යවන ලෙස දැනුම් දුන්නා.

මෙම කතා පුවත පුංචි කතාවක් සේ දැනුන ද මේ තුළ ගත හැකි අර්ථය සේ ම, ආදර්ශය ඉතා විශාල ය. ගැඹුරු ය. සුමන මල්කරු පූජා කළේ මල් පමණක් නො වේ. ඔහුගේ ජීවිතය ද පූජා කළේ ය. රාජ ආඥාවක් කඩ කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. නමුදු සුමන මල්කරු තුනුරුවන් උදෙසා තම ජීවිතය ද පූජා කරමින් මල් පීදීය.බිම්බිසාර රජු සෝවාන් වූ සැදැහැති රජකෙනෙක් වූ නිසාදෝ සුමන මල්කරුගේ ක්‍රියාව අගය කොට විශාල ධන සම්පතක් ද ලබා දුන්හ. සුමන මල්කරු සැදැහැ සිතින් කළ ක්‍රියාවේ ප්‍රතිඵලය සාංදෘෂ්ඨික (මෙලොවදීම) වශයෙන් විපාක ලැබුණි. එබැවින් හොඳ දේ කිරීමට පසුබට නොවිය යුතු ය.

තමන් ට ලැබෙන දුර්ලභ අවස්ථා බොහෝ දෙනෙක් මඟහරවා ගනිති. හොඳ දෙයක් කිරීමට අවස්ථාව ලැබීමේ දී බොහෝ දේ ගැන සිතීමට ගියහොත් තමන්ට පින්කර ගැනීමට ලැබුණ එම අවස්ථාව මඟ හැරී යාමට පුළුවන. එබැවින් ‘අද අද එයි මරු පින් කර ගන්නේ” කී ආකාරයට අද අදම පින් කිරීමට යුහුසුළු විය යුතු ය.

තංච කම්මං කතං සාධූ - යං කත්වා නානුතප්පති
යස්ස පතීතො සුමනො - විපාකං පටිසේවති

සිහිවන හැමවිටම පසුතැවිලි ඇති නොවන, පී‍්‍රතියෙන් පිනාගිය සිත් ඇති වන, පී‍්‍රතියෙන් හා සොම්නසින් යුක්තව සැප විපාක විඳීමට හේතුවන පින්කම් කිරීම යහපත් ය.

පින් කිරීමේ දී කිසිම අවස්ථාවක ඒ සඳහා පසුබට නොවිය යුතු ය. දාන, ශීල, භාවනා, පත්තිදාන, පත්තානුමෝදනා, වෙය්‍යාවච්ච,අපචායන ,ධම්මසවන, දිට්ටිජුකම්ම නම් වූ දස පුණ්‍යක්‍රියා අඩු වැඩි වශයෙන් බොහෝ දෙනෙක් සිදු කරති. ඒවා බොහෝ නිවෙස් තුළ නිරන්තරයෙන් කර ගත හැකි පින්කම් ය. දස පුණ්‍ය ක්‍රියා නමින් බුදු සසුන තුළ සුලභව සිදුවන පින්කම් මාලාවක් ලෙස ඒවා ඉතා ප්‍රකට ය. වරක් දෙකක් සිදුකොට, පින්කම් ඇති කියා කවදාවත් නොසිතිය යුතු ය. පින සත්වයාට නිරන්තරයෙන් අවශ්‍ය බැවින් මෙලොවටත්, පරලොවටත්, එය දියකින් එගොඩ වීමට ඇති පාරුවක් සේ අවශ්‍ය වනු ඇත. එය දැන හඳුනාගත් ඇත්තෝ නැවත නැවත පින් දහම් සිදු කර ගන්නාහ.

පුනප්පුනං යාචකා යාචයන්ති - පුනප්පුනං දානපති දදන්ති
පුනප්පුනං දානපතී දදිත්වා - පුනප්පුනං සග්ගමුපෙති ඨානං

යාචකයෝ නැවත නැවත ඉල්වති. දානපතියෝ නැවත නැවත දෙති. දානපතියෝ නැවත නැවත දී නැවත නැවත ස්වර්ග සම්පත්තිය ලබා ගන්නාහ. මේ අනුව නැවත නැවත දන්දීම ඇතුළු පින්කම් උපන් සත්වයෝ කර ගත යුතුව ඇත. ජීවිතයක් දෙස ආපසු හැරී තමන් කළ අකුසල් කුසල් පිළිබඳ තුලනය කර ගත හැකි ය. ඒ අනුව අකුසල් දුරලා කුසල් පක්ෂය වැඩිකර ගත යුතු ය. එහි දී සතර සම්‍යග් ප්‍රධාන පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වනු ඇත. එනම්

නූපන් අකුසල් නොඉපදවීම, උපන් අකුසල් ප්‍රහාණය, නූපන් කුසල් ඉපදවීම හා උපන් කුසල් වැඩි දියුණු කිරීම ය, යන කරුණු පිළිබඳ සිතීමෙන් ජීවිතයේ යම් වෙනසක් ඇති කර ගැනීමට පුළුවන. ආපසු හැරී ජීවිතය දෙස බැලීමේ දී සොම්නස් සහගත සිතිවිලිම ඇතිවන, වර්ධනය වන ක්‍රියා සිදු කර ගැනීම, අවසානයේ දී මරණ මංචකයේ සිටින කල චුති චිත්තයට පවා ඍජුවම බලපානු ඇත.

පුඤ්ඤං තෙ පුරිසො කයිරා - කයිරාථෙතං පුනප්පුනං
තම්භි ඡන්දං කයිරාථ - සුඛෝ පුඤ්ඤස්ස උච්චයො

පින් කැමැත්තා එය නැවත නැවතත් කළ යුතු ය. පින් කිරීමෙහි ආසා කළ යුතු ය. පින් රැස්වීම ලොව්තුරා සැපතට හේතුවන හෙයිනි. ඒ අනුව දුර්ලභව ලැබූ මිනිසත් බව ප්‍රයෝජනයට ගෙන යහපත්, හොඳ, කුසල් කටයුතු සිදු කර ගත යුතු ය. ඒවා කිරීම තුළින් තම තමා දෙසම බලන කල්හි සිතට සතුටක් , පී‍්‍රතියක්, සොම්නසක් ගෙන දෙනු ඇත. යහපත් ක්‍රියා සිදු කර ඇති බව සිතා තව තවත් ඒ ගැන සතුටක් ලැබෙනු ඇත. ඒ මනෝභාවයන් තුළින් මෙලොව යහපත් කොටගෙන, පරලොව දුක් නැති කොට ගෙන, ජාත්‍යාදී දුක් වලින් අතමිදී, උතුම් නිවනින් සැනසීමට සිතට ගනිමු.

 

නවම් පුර අටවක පෝය


නවම් පුර අටවක පෝය පෙබරවාරි 12 වන දා අඟහරුවාදා අපර භාග 03.54 ට ලබයි. 13 වන දා බදාදා අපර භාග 03.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 12 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 19 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 12

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 06


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk