UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දහම් දෙසුමක විපුල ඵල ලබන්ට...

දහම් දෙසුමක විපුල ඵල ලබන්ට...

ගිහියන්ගෙන් සිව්පසය ලබන භික්ෂුව විසින් ගිහියාට කළයුතු ප්‍රධානතම උපකාරය වන්නේ ධර්ම දානයෙන් ඔවුනට පිහිට වීම බව පෙන්වා දී ඇත.

මිනිස් ජීවිතයේ වටිනාකම රඳා පවතින්නේ ධර්මය මත ය. ලෝකයේ සියලු සත්ත්වයෝ ම ආහාර ගැනීම, නිදා ගැනීම , භය වීම , මෛථූන සේවනය යන ක්‍රියාවලින් අනුගමනය කරති. එම කරුණුවලට අනුව බැලූ විට මිනිසාත් අනෙක් සත්ත්වයෝත් අතර වෙනසක් දක්නට නො මැත. එහෙත් මිනිසා විශේෂ වන්නේ ඔවුන් තුළ පවතින ධර්මය නිසා ය.

ධර්මයෙන් හීන වූ මිනිසා තිරිසන් සත්ත්වයෙකුට සමාන වන බව (ධර්මේන හීනඞ පශුභිඞ සමානාඞ) යන පාඨයෙන් තහවුරු වේ. කවර ආගමක් ඇදහුව ද, කවර ජාතියකට අයත් වුව ද ධර්මය මිනිසා මිනිසෙකු කරන අතර අධර්මය මිනිසා තිරිසනෙකු බවට පත් කරයි.

ධර්මයෙහි වටිනාකම තේරුම් ගත් බොහෝ දෙනා ධර්මය අසා තේරුම් ගෙන ඒ අනුව, හැසිරෙති. ධර්මය ඇසිය යුතු ය. ( සුණාථ) ඇසූ ධර්මය ධාරණය කරගත යුතු ය. (ධාරේථ) එම ධර්මයට අනුව හැසිරිය යුතු ය ( චරාථ) එවිට මිනිස් සමාජය යහපත් වේ.

ධර්මය බොහෝ කොට දැන දේශනා කළත් , එයට අනුව ක්‍රියාත්මක නො වන්නේ නම්, අනුන්ගේ ගවයින් ගනිමින් බලාගන්නා වූ ගොපල්ලෙක් මෙන් ශ්‍රමණ භාවයෙහි ප්‍රතිඵල නො ලබන බව .

බහුම්පි චේ සහිතං භාසමානෝ
නතක්කරෝ හොති නරො පමත්තො
ගෝපෝව ගාවෝ ගණයං පරේසං
න භගවා සාමඤ්ඤස්ස හෝති

යන ගාථාවෙන් තහවුරු වේ. තමාගේ මවට පියාට කළ නො හැකි දෙයක් ධර්මයට කළ හැකි බව ‘ධම්මං විනා නත්ථි පිතාච මාතා’ යන පාඨයෙන් සනාථ වේ. මේ බව තේරුම් ගත් බෝසතාණෝ දහම් සොඬ රජව ඉපිද ධර්මය දැන ගනු පිණිස යක්ෂයෙකුගේ කටට පැන්න ආකාරය දහම් සොඬ ජාතකයෙන් පැහැදිලි වේ.

රාජ්‍ය පාලන ක්‍රමවේදයන් අතර දැහැමින් සෙමෙන් රට පාලනය කිරීම ප්‍රධාන කාරණාවක් ලෙස දක්වා ඇත. කෙතරම් රට සෞභාග්‍යමත් වුවද පාලකයා හා රටවැසියා ධාර්මික නො වේ නම්, රට විනාශයට පත් වීම නො වැළැක්විය හැකි ය.

ලෝකයේ බුදුවරු පහළ වන්නේ ද ධර්මය ලොවට කියා පෑම සඳහා ය. ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රථම රහත් සැට නම අමතා දේශනා කළේ ද ‘බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං’ යන ආකාරයට බොහෝ දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස ධර්මය දේශනා කරන ලෙස ය.

බුදුරජාණන් වහන්සේ ධර්මයෙහි වටිනාකම තේරුම්ගත් ශාස්තෘවරයෙක් ලෙස එය ලෝකයට සන්නිවේදනය කිරීමට සමත් ප්‍රතිබල සම්පන්න ව්‍යක්ත විනීත විශාරද, බහුශ්‍රැත, ධර්මධර, විනයධර ශ්‍රාවකයන් පිරිසක් බිහි කළ අතර එම ශ්‍රාවකයන් වහන්සේලා තුළ පැවැතිය යුතු චරිත ලක්ෂණ නොයෙක් වර පෙන්වා දී ඇත.

ධර්ම සන්නිවේදකයෙකු සතු විය යුතු චරිත ලක්ෂණ ලෙස.

පි‍්‍රයශීලි අයෙකු වීම, ගරු සම්භාවනාවට සුදුස්සෙකු වීම, ව්‍යක්ත අයෙකු වීම, නො ඉක්ම විය යුතු වදන් ඇත්තෙකු වීම, ගැඹුරු කථා ඇත්තෙකු වීම,භාෂා, ව්‍යවහාර ජනකාන්ත වීම, ශ්‍රාවකයා වෙත අනුකම්පා සහගත වීම, ස්ව මතය නොව බුද්ධ මතය ප්‍රකාශ කිරීම, ප්‍රත්‍ය ලාභය පිණිස නොව ධර්ම ඥානය පිණිස ධර්මය දේශනා කිරීම සහ හාස්‍ය උපදවන චරිතයක් නොවීම හඳුන්වා ඇත.

ගිහියන්ගෙන් සිව්පසය ලබන භික්ෂුව විසින් ගිහියාට කළයුතු ප්‍රධානතම උපකාරය වන්නේ ධර්ම දානයෙන් ඔවුනට පිහිට වීම බව පෙන්වා දී ඇත.

‘ගිහීනමුපකරොන්තානං
නිච්චමාමිස දානතො
කරොථ ධම්ම දානෙන
තෙසං පච්චූපකාරකං’

මෙයින් පැහැදිලි වන්නේ ධර්මය නො දැන, සාර අසාර දේ නො දැන, හොඳ නරක නො දැන, අතරමංව සිටින ගිහියාට සසරින් එතෙර වීම පිණිස ධර්මයෙන් ඔවුන්ට උපකාර කිරීම පැවිද්දාගේ පරම යුතුකම බව යි. එහි දී ධර්ම කථිකයා මුල, මැද, අග යහපත් වූ ධර්ම දේශනයක් කළ යුතු ය. මෙහි දී ධර්ම දේශනයේ දී මුල, මැද, අග යහපත් වීම , අත්‍යවශ්‍ය කරුණක් ලෙස සැලකිය යුතු ය. ආරම්භයේ සිට අවසානය දක්වා ශ්‍රාවකයාගේ සිත යොමු වීම, ධර්මය අවබෝධය පිණිස හේතු වන්නකි. මෙලෙස ආනුපුබ්බී කථාව පමණක් නොව තවත් ප්‍රධාන කාරණා 4 කින් සමන්විත විය යුතු බව ධර්මයෙහි සඳහන්ව ඇත.

පර්යාය කථාවෙහි දක්ෂ වීම, අනුකම්පා සහගත වීම, ලාභාපේක්ෂාවෙන් තොරව දහම් දෙසීම හා තමා උසස් කොට අනුන් පහත්කොට දහම් නො දෙසීම ය. මෙවැනි චරිත ලක්ෂණයන්ගෙන් හෙබි ධර්ම දේශකයාට සාර්ථක ධර්ම සන්නිවේදකයෙකු බවට පත්වීමට හැකියාව උදා වේ. බුදුරජාණන් වහන්සේ තුළ පැවැති මෙම චරිත ලක්ෂණ නිසා ම ශ්‍රාවකයන් තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වසනීය බව හා ගෞරවණීය බව ඇති වූ අතර, එම විශ්වාසනීය බව හා ගෞරවණීය බව පෙරදැරිව ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ශ්‍රාවකයන් සියලු දෙනාම ‘භාසිතං අභිනන්දුන්නි’ යන ආකාරයට භාෂිතයෙහි ප්‍රමෝදයට පත් වූහ. එ පමණක් නොව ඔවුන් උදාන වාක්‍යය ප්‍රකාශ කළ ආකාරය ද සූත්‍ර ධර්ම මගින් තහවුරු වේ.

“යටිකුරු කළ භාජනයක් උඩුකුරු කළා සේ ද, වසා තිබූ භාජනයක් විවර කළා සේ ද, අඳුරට පහනක් දැල් වූවා සේ ද, මුලා වූවෙකුට මඟ කියා දුන්නා සේ ද ධර්මය තමනට වැටහුණු බව ප්‍රකාශ කළහ.

මෙහිදී ධර්ම කථිකයන් වහන්සේ ශ්‍රාවකයා තුළ ශ්‍රද්ධාව ජනිත වන ආකාරයේ චරිත ලක්ෂණයන්ගෙන් සමන්විත විය යුතු ය. බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ ද ‘අප්පසන්නානංවා පසාදාය පසන්නානං වා භිය්‍යො භාවාය’ පැහැදුනන්ගේ පැහැදීම වර්ධනය සඳහා ද, භික්ෂුව කටයුතු කළ යුතු බවයි. සීලාදි ගුණ ධර්මයෙන් හා යථාවාදී තථාකාරි ගුණය ද දේශකයා සතු විය යුතු ය. එසේ වන විට ශ්‍රාවකයා දේශකයා පිළිබඳව අචල ශ්‍රද්ධාව ජනිත කොට ගෙන ධර්ම ශ්‍රවණයට සිත යොමු වන අතර, එය ශ්‍රාවකයාගේ කෙලෙස් ප්‍රහාණයටද බලපාන ආකාරය මජ්ක්‍ධිම නිකායේ චංකී සූත්‍රයෙන් පැහැදිලි වේ.

සැදැහැ ඇතියේ එළැඹෙයි . එළඹෙනුයේ පයිරුපාසනය කරයි. පයිරුපාසනය කරන්නේ කන් යොමු කරයි. කන් යොමු කළේ දහම් අසයි. අසා දහම් දරයි. දැරූ දහම් හි අරුත් පිරික්ස යි. අරුත් පිරික්සන්නේ ධර්මය වටහා ගනියි. ධර්මය වැටහුණු කල්හි කැමැත්ත ඇති වෙයි. හටගත් කැමැත්ත ඇත්තේ උත්සාහ කරයි. උත්සාහ කොට තුළනය කරයි. තුළනය කොට පධන් වීර්යය වඩයි. නිවනට යොමු වූ සිත් ඇත්තේ නිවන ප්‍රත්‍යක්ෂ කරයි. ප්‍රඥාවෙන් කෙලෙස් විනිවිද දකියි.

ධර්ම දේශකයන් වහන්සේ හට ශ්‍රාවකයා පිළිබඳ අවබෝධයක් තිබීම ද දේශනයෙහි සාඵල්‍යයට ප්‍රධාන වශයෙන් බලපායි. රාග චරිත, ද්වේශ චරිත, මෝහ චරිත , විතක්ක චරිත, සද්ධා චරිත, බුද්ධී ආදි විවිධාකර වූ චරිත ලක්ෂණ දරන ශ්‍රාවකයා මනාව වටහාගෙන ඔහුගේ චරිත ලක්ෂණයන්ට ගැළපෙන ධර්ම දේශනයක් සිදු කිරීම ඉතා වැදගත් ය.

එමෙන් ම ලාබාල, තරුණ, මහලු ආදි වයස භේදයන් පිළිබඳව ද ඔවුන්ගේ සිතුම් පැතුම් හා ආකල්ප වටහා ගෙන කටයුතු කිරීමට දේශකයාට හැකියාව තිබිය යුතු ය. එය ධර්ම සන්නිවේදකයෙකු සතු විය යුතු ප්‍රමුඛ ගුණාංගයකි. විශේෂයෙන් සමාජය තුළ

වහා ධර්මය වැටහෙන, මදක් ධර්මය වැටහෙන ,දැඩි ආයාසයකින් ධර්මය වැටහෙන හා ,කිසිසේත් ධර්මය නො වැටහෙන පිරිස් සිටිති.

මෙම සමාජ විවිධත්වය පිළිබඳව මනා අවබෝධයක් දේශකයා සතු විය යුතු ය. සාර්ථක ධර්ම සන්නිවේදකයෙකු මගින් ධර්මය ශ්‍රවණය කිරීම තුළ ශ්‍රාවකයාට ලැබි හැකි ආනිසංස ධර්මයෙහි සඳහන්ව ඇත.

අස්සුතං සුණාති
සුතං පරියෝදපේති
කංඩ්ඛං විතරති
දිට්ඨිං උජුං කරෝති
චිත්තමස්ස පසීදති

නො ඇසූ ධර්මය ඇසීමට ද, ඇසූ ධර්මය දියුණු කර ගැනීමට ද, ධර්මය කෙරෙහි පවත්නා සැකය දුරුකර ගැනීමට ද තමන්ගේ දෘෂ්ටිය ඍජු කර ගැනීමට ද, සිත පිරිසුදු කර ගැනීමට ද, ශ්‍රාවකයාට අවස්ථාව උදා වේ. වත්මන් සමාජය තුළ ද විවිධ අරමුණු සඳහා ධර්ම දේශනා පවත්වනු ලබයි.

මංගල ධර්ම දේශනා, මතක බණ, යුගාසන බණ, ජාතක බණ, අරියවංස දේශනා හා ,කාව්‍යමය ධර්ම දේශනා වශයෙනි.

මෙම කරුණු දේශනා හා බැඳුණු ආචාර ධර්ම පද්ධතියක් ද වේ.

ධර්ම දේශනය සඳහා විශේෂ හේතුවක් පාදක කර ගැනීම,

සැදැහැතියන්ගේ ආරාධනාවකින් මිස අනාරාධනාවට වැඩම නො කිරීම,

ධර්මදේශනය සඳහා වැඩම කර වීමේ දී ගරු බුහුමන් ඇතිව වැඩම කර වීම,

ධර්මාසනය පිළියෙල කිරීමේ දී ඉතා සැලකිල්ලෙන් හා ගරුත්වයෙන් සිදු කිරීම,

දේශක භික්ෂුවට පරික්ඛාර පූජාවක් සිදු කිරීම,

දේශනාරාම්භයේ දී දේවතාරාධනාව සහ කාල ඝෝෂාව පැවැත්වීම

ධර්මය දේශනා කිරීමේ දී අරමුණු පැහැදිලි කිරීම හා

එක විටම මාතෘකා කළ ගාථාවට යොමු නො වී ධර්මාවවාදයක් සිදු කිරීම ය.

මෙහිදී බුදුරජාණන් වහන්සේ විසින් දහම් නො දෙසිය යුතු පුද්ගලයන් පිළිබඳව ද විනය පිටකයෙහි සඳහන් කර ඇත.

කුඩයක් දරාගෙන සිටින්නා, දණ්ඩක් දරාගෙන සිටින්නා, ආයුධ දරාගෙන සිටින්නා, දුනු ඊතල දරාගෙන සිටින්නා,පාවහන් දරාගෙන සිටින්නා, හිස වෙලාගෙන සිටින්නා.

දේශක භික්ෂුව ධර්ම දේශනයේ දී විජිනිපත භාවිත කිරීම ද සම්ප්‍රදායකි. හස්ත විකාර, මුඛ විකාර ඇති නො වීමටත් දේශකයාගේ සිතෙහි එකඟතාව සඳහා ද විජිනිපත භාවිත කරනු ලබයි. මෙවැනි විශේෂිත වූ ආචාර ධර්මයන් එදා සිට අද දක්වාම සමාජය තුළ නොයෙක් වෙනස්කම්වලට ලක් වෙමින් නො නැසී පැවතීම සුවිශේෂී සිද්ධියකි. කෙසේ වෙතත් ධර්ම දේශකයා ධර්මදේශකයෙකු සතුවිය යුතු චරිත ලක්ෂණ වලින් සමන්විත වීම ශ්‍රාවකයා තුළ අචල ශ්‍රද්ධාව පැවතීම, ධර්ම දේශනය හා බැඳුණු ආචාර ධර්ම පද්ධතියෙන් දෙ පක්ෂයම සමුපේත වීම ආදී කරුණු වලින් ධර්ම දේශනයක දී ලැබිය හැකි ඉහළම ප්‍රතිඵල බුද්ධ දේශනයට අනුව ලැබිය හැකි බව අවධාරණය කළ හැකි ය.

 

නවම් පුර අටවක පෝය


නවම් පුර අටවක පෝය පෙබරවාරි 12 වන දා අඟහරුවාදා අපර භාග 03.54 ට ලබයි. 13 වන දා බදාදා අපර භාග 03.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 12 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 19 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 12

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 06


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]