UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

බම්බලපිටියේ ආනන්දතිස්ස නා හිමි

අම්බලන්ගොඩ ,මාදම්පේ චේතියගිරි පුරාණ මහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක බම්බලපිටියේ ආනන්දතිස්ස නාහිමියෝ පෙබරවාරි 17 දින 63 වන ජන්ම දිනය සමරති.

1956 පෙබරවාරි 17 දින කේ.ඒ.හෙන්ද්‍රික් සිල්වා හා ඩබ්.ලුසිනෝනා දම්පතීන්ගේ පුත් ව බම්බලපිටියේ දී උපත ලැබ, කොළඹ ලුම්බිණි මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා 1967 අප්‍රේල් 28 දින රාජකීය පණ්ඩිත මාදම්පේ සෝමාරාමතිස්ස මහා නාහිමියන්ගේ ආචාර්යත්වයෙන්, රාජකීය පණ්ඩිත වලගෙදර සෝමාලෝකතිස්ස මහා නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් ආනන්දතිස්ස නමින් පැවිදි බිමට පිළිපන්හ. රන්දොඹේ මහා චේතිය හා අම්බලන්ගොඩ ශාස්ත්‍රෝදය පිරිවෙන් ඇසුරෙන් වැඩිදුර අධ්‍යාපනය ලදහ. 1975 ජූලි 06 දින රාජකීය පණ්ඩිත මාදම්පේ සෝමාරාමතිස්ස නාහිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් උපසම්පදාව ලදහ.

ගරු හිමියනට මහත් උවැටන් කළ ආනන්ද තිස්ස හිමි විහාරාධිපති සිය ගුරුහිමියන්ගේ අපවත්වීමෙන් 1978 සැප්තැම්බර් 06 දී චේතියගිරි පුරාණ මහා විහාරාධිපතිත්වය භාර ගනිමින් දායක කාරකාදින්ට විහාරස්ථානයෙන් ඉටුවිය යුතු සියලු යුතුකම්, වගකීම් නොපිරිහෙළා ඉටුකරන්නට වූහ.

ඉපැරැ6ණි විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කළ උන්වහන්සේගේ අප්‍රතිහත උත්සාහයෙන් චේතියගිරි මහා සෑය ගොඩනැගිණි. සැදැහැ වඩන බුදුමැදුර ,රන්වැට සහිත බෝරදුන්, සමාධී ප්‍රතිමාව, අවුකන අනුරු බුදුරුව, පියගැටපෙළ, සාංචි අනුරූ තොරණ, ආදිය මෙන්ම ඓතිහාසික කොස්වඩුවේ දේවාලය සප්ත මහා දේවාල උන්වහන්සේගේ නාමය හා බැදී ඇත්තේය. විහාරස්ථානය පිළිබඳ ශත වර්ෂ පූර්ණය මහ ඉහළින් පැවැත්වූ “සියවස් විහාර වර්ණනා” කෘතිය උන්වහන්සේ ලේඛකත්වය පෙන්වයි.

වසරකට දෙවතාවක් දඹදිව වන්දනාවේ යෙදෙනුයේ අතිවිශාල පිරිසකට ඉඩකඩ ලබා දෙමිනි. තායිලන්ත වන්දනාව වසරක වරක් කරති. ශ්‍රී ලංකා විදේශ බෞද්ධ ගමන් සංවිධානය සංගමයේ උපසභාපති විය.

හික්කඩුව උතුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උපසභාපති භාරතාභිනන්ද, සාසන කීර්ති ශ්‍රී අසරණ සරණ, සාම විනිසුරු දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක බම්බලපිටියේ ආනන්ද තිස්ස නාහිමියෝ පෙබරවාරි 17,18 දෙදින ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් 30 වන වරටත් දළදා මන්දිරයේදී පැවැත්වීමට නියමිත මහා පින්කම් තුළින් සිය ජන්ම දිනය පවත්වති.

තව තවත් ලෝසසුන් වැඩුමට උන්වහන්සේට නිදුක් නිරෝගි චිර ජීවනය ප්‍රාර්ථනා කරමු.

****

මුද්දුවේ ශ්‍රී ප්‍රඥාශේඛර නා හිමි

පැල්මඩුලු රාජමහා විහාරාධිපති, ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝ නායක මුද්දුවේ ශ්‍රී ප්‍රඥාශේඛරාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙයට දහ අට වසරකට පෙර අපවත් වී වදාළහ.

රත්නපුර දිස්ත්‍රික්කයේ, නවදුන් කෝරළේ මුද්දුව නම් ග්‍රාමවරයෙහි බටගොඩ නාහල්ලගේ අමාරිස් අප්පුහාමි, කරන්ගොඩ ඉඳුරුව ගමඇතිගේ පුංචි මැණිකේ යන දම්පතීන් මව්පිය කොටගෙන ජන්ම ලාභය ලැබූ සුපින්වත් කුමරුවා මූලික අධ්‍යාපනය ලැබීය. එවකට කරන්ගොඩ පොත්ගුල් රාජමහා විහාරාධිපති කරන්ගොඩ රතනපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ ශිෂ්‍යවරයෙකු වශයෙන් මුද්දුවේ ප්‍රඥාශේඛර නමින් පැවිදි භූමියට පත්විය.

අනතුරුව කරන්ගොඩ ශ්‍රී රතනපාල මාහිමි, පැල්මඩුලු රාජමහා විහාරාධිපති සාහිත්‍යශූරි හාල්දඬුවන ශ්‍රී ධර්මරක්ෂිතාභිධාන සබරගමු පළාතේ ප්‍රධාන සංඝ නායක, මල්වතු මහා විහාරයීය කාරක සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ගඩලාදෙනිය සද්ධර්මතිලක රාජමහා විහාරාධිපති බරම්මනේ ශ්‍රී විපස්සි මාහිමි යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ දී උතුම් උපසම්පදාව ලැබූහ.

හාල්දඬුවන ශ්‍රී ධර්මරක්ෂිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙතින් මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය මහා පිරිවෙනට ඇතුළත්ව වැඩිදුර අධ්‍යාපනය ලැබූහ.

පසුව පැල්මඩුලු රාජමහා විහාරස්ථානයේ නිත්‍ය නේවාසිකව වැඩ සිටිමින් විහාරාධිපති නාහිමිපාණන් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය, ජාතික හා ආගමික සේවාවන්ට සහාය වෙමින් මනා පරිචයක් හා ආභාසයක් ලබාගත් අතර, සිය ගුරු දේවයාණන් වහන්සේගේ අපවත්වීමෙන් 1981 දී පැල්මඩුලු රාජමහා විහාරාධිපති පදවියට පත්වූහ.

විහාරස්ථානයේ අභිවෘද්ධිය හා චිරස්ථිතිය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකරමින් පැල්මඩුලු රාජමහා විහාරස්ථානයෙහි වසර සිය ගණනක් පැරැණි මහා පිරිවෙන ‘රූප අරුණ’ පිරිවෙන නමින් නව මුහුණුවරක් දෙමින් රජයේ ලියාපදිංචි පිරිවෙනක් බවට පත්කරමින් දහස් සංඛ්‍යාත පැවිදි ගිහි ශිෂ්‍ය පිරිසක් තැනීම අගනා සේවාවකි. ශ්‍රී සුමංගල දහම් පාසල ඉතා උසස් තත්ත්වයට පත්කළ අතර ප්‍රදේශයේ අනිකුත් දහම් පාසල් නඟා සිටුවීමට ද උනන්දු වූහ. ප්‍රදේශයේ සමිති සමාගම්වල අනුශාසකත්වය දරමින් සමාජ මෙහෙවරක් සැලසීමට ද කටයුතු කළහ.

ජාතික, ආගමික හා ශාසනික වශයෙන් සුවිශාල මෙහෙවරක් ඉටුකොට වදාළ මහෝපාධ්‍යාය කීර්ති ශ්‍රී ධර්ම රක්ෂිත මුද්දුවේ ශ්‍රී ප්‍රඥාශේඛරාභිධාන රත්නපුර මහා දිසාවේ ප්‍රධාන සංඝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අනුස්මරණය කරනු වස් දානමය පින්කමක් පෙබරවාරි මස 12 වන දින සිදුකිරීමට පැල්මඩුලු රාජමහා විහාරාධිපති, කරන්ගොඩ පොත්ගුල් රාජමහා විහාරාධිපති, ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, කර්ම වාගාචාර්ය ධර්ම කීර්ති ශ්‍රී සුමංගල රතනපාල බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්නාභිධාන සබරගමු, රත්නපුර මහා දිසාවේ ප්‍රධාන සංඝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් කටයුතු යොදා ඇති අතර, එදින ප.ව. 5.00 ට ශ්‍රී සුමංගල දහම් පාසල මඟින් විශේෂ බෝධි පූජා පින්කමක් ද සිදු කිරීමට සූදානම් කර ඇත. නාහිමිපාණන් වහන්සේට උතුම් වූ නිවන් සුව ලැබේවා.

****

ඊරියගොල්ලේ අභයතිස්ස නා හිමි

විසි වසරකට පෙර අපවත් වී වදාළ කටුගම්පළ හත්පත්තුවේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍ර විශාරද ප්‍රවචන කීර්ති ශ්‍රී පණ්ඩිත ඊරියගොල්ලේ අභයතිස්ස නාහිමියන් සත්කෝරළ ප්‍රදේශයේ ජාතික ආගමික හා ශාස්ත්‍රීය සේවාවන් රැසක මූලිකත්වය ගෙන ක්‍රියා කළ මහ පඬිරුවනකි.

කුලියාපිටියට නුදුරු ඊරියගොල්ල ග්‍රාමයේ විසූ ඩී.එස්. අබේසිංහ හා ඩී.එම්. රන්මැණිකේ දම්පතීන්ට පුත්ව 1913 පෙබරවාරි 02 වැනි දින ජන්ම ලාභය ලත් මේ පින්වත් දරුවා 1929 ඔක්තෝබර් 18 දින ප්‍රවෘජ්‍යා භූමියට පත් විය. නාහිමියෝ සඳලංකාව ශාස්ත්‍රෝදය පිරිවනේ ආදි කර්තෘ ප්‍රවචන කීර්ති ශ්‍රී වරාදල රතනපාලාභිධාන වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක හිමි, හීන්බෝවිටියාවේ සෝමරතන ලොකු හාමුදුරුවන් වහන්සේ හා උපාධ්‍යාය වැලිහිඳ වනරතන යන සුපේශල ශික්ෂාකාමී යතිවරුන් යටතේ හා ඇසුරේ මූලික බණ දහම් වදාළහ.

1936 ජූනි 26 වැනි දින මල්වතු මහා විහාරයේ දී උපසම්පදා සීලයෙහි පිහිටි උන්වහන්සේ කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවනට ඇතුළුව සිංහල, පාලි, සංස්කෘත හා ප්‍රාකෘත මෙන්ම බෞද්ධ දර්ශනය හා ඉතිහාසය විෂයයන් කෙරෙහි ද විශේෂ අවධානයකින් යුතුව හදාළහ.

අනතුරුව උගත් හා බුද්ධිමත් යතිවරයෙකු ලෙස සිය ආරාමයට වැඩමවා සඳලංකාව ශාස්ත්‍රෝදය පිරුවනේ උප ප්‍රධාන ධූරයට පත් වුයේ 1949 ජූලි 21 දා ය. 1965 ජනවාරි 06 වැනි දින ශාස්ත්‍රෝදය පිරිවනේ පරිවේණාධිපති ලෙස වැඩ භාරගෙන, එම අධ්‍යාපන ආයතන සත් කෝරළ ප්‍රදේශයේ කීර්තිමත් විද්‍යාස්ථානයක් ලෙස දියුණු කරමින් ප්‍රදේශයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට මෙන්ම ගිහි දරුවන්ට ද උසස් අධ්‍යාපනයේ දොරටුව විවර කර දීමට උන්වහන්සේ මහා කාර්යය භාරයක් ඉටු කළහ.

ඊරියගොල්ල නාහිමියන්ගේ ජාතික ආගමික හා ශාස්ත්‍රීය සේවාව අගය කළ මල්වතු මහා විහාරය 1964 දෙසැම්බර් 04 වැනි දින උන්වහන්සේ වෙත දකුණු පිටිගල් කෝරළයේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනමා අනතුරුව 1971 මාර්තු 31 වැනි දින ශාස්ත්‍ර විශාරද ප්‍රවචන කීර්ති ශ්‍රී ගෞරව නාමයද සමඟ කටුගම්පළ හත්පත්තුවේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනැමීය. ආණ්ඩුකාර විලියම් ගොපල්ලව උතුමාණන් සඳලංකාවට පැමිණ විජිනිතපත පිළිගන්වා උපහාර දැක්වීය. නාහිමියෝ, එංගලන්තය, රුසියාව, අමෙරිකාව, ජපානය, තායිලන්තය, මැලේසියාව හා සිංග්ප්පූරුව යන රටවල කලක් ධර්මදූත සේවාවේ ද නියැළී සිටියහ. කීර්තිමත් ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙස ද රටේ බෞද්ධ ජනතාව අතර ප්‍රචලිත විය.

****

ලේල්වල සමිත හිමි

දෙහිවල සුදර්ශන ධර්ම නිකේතනාධිපති, කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු ධර්මාචාර්ය, ශාස්ත්‍රපති ලේල්වල සමිත හිමියන්ගේ ජන්ම දිනය ජනවාරි මස 20 වන දිනට යෙදී තිබිණි.

දක්ෂිණ ලංකාවේ ගාලු දිසාවේ නෙළුවට නුදුරු ලේල්වල ග්‍රාමවරයෙහි ඉඩම් හිමි වැවිලිකරු, සාමවිනිසුරු ඩී.සී.ආර්. ගුණවර්ධන සහ කරුණාවතී ලියනපතිරණ දම්පතීන් දෙගුරුන් කොට ගනිමින් දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැන්නා ලෙස උපත ලද සමිත හිමිපාණෝ පැවිද්දට පෙර ලේල්වල කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ගන්නා ලදී. 1977 දී ඓතිහාසික යටගල, සිතුල්පව් රාජමහා විහාරය ප්‍රමුඛ අෂ්ට මහා විහාරාධිපති වත්තේහේනේ ශ්‍රී රතනසාරාභිධාන ගාලු තල්පේ පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යවරයෙකු වශයෙන් පැවිද්ද ලබා යටගල රාජමහා විහාරස්ථ හෙට්ඨාචල පිරුවනින් අපවත් වී වදාළ බටදූවේ ධම්මදස්සි නාහිමි, හේනේගම සෝරත නාහිමි, වර්තමාන සිතුල්පව්ව රාජමහා විහාරාධිපති මැටරඹ හේමරතන නාහිමි ආදී ආචාර්ය හිමිවරුන් පා සෙවණෙහි සිට වර්ග පටිපාටියෙන් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණ කටයුතු සිදු කරන ලදී. විසිවයස් සපිරුණු කල්හි මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ දී උපසම්පදාවට පත් වූහ. 1986 වර්ෂයෙහි අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස්පෙළ විභාග ප්‍රතිඵල මත රුහුණු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සඳහා වරම් ලැබුණද, ඉනික්බිතිව රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයට සම්බන්ධ වී එවකට එහි ආයතනාධිපති, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, අග්ගමහා පණ්ඩිත පල්ලත්තර සුමනජෝති නාහිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලය වෙතින් අධ්‍යයන කටයුතු සිදු කළහ. 1987 වර්ෂයෙහි පැවැති තරඟ විභාග ප්‍රතිඵල මත පිරිවෙන් ගුරු පුහුණුවෙන් පසු 1989 සැප්තැම්බර් මස 01 වන දින පටන් යටගල මැල්කම් මහා විද්‍යාලයේ ගුරු පදවියකට පත් වූහ. ඒ කාල වකවානුවෙහි සන්ධ්‍යා භාගයේ දී ස්වකීය නේතෘ විද්‍යාස්ථානය වූ යටගල රාජමහා විහාර හෙට්ඨාචල පිරිවනේ ආචාර්ය පදවියකට පත්ව ස්වේච්ඡාවෙන් එම කටයුතු සිදු කළහ. මේ අතරවාරයේ යටගල රාජමහා විහාර දහම් පාසලේ ප්‍රධානාචාර්ය පදවිය ද සමිත හිමියන් වෙත පැවරුණි. 1994 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ද, 1998 දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද දිනා ගත් සමිත හිමියෝ 2000 දී කොළඹ අශෝක විද්‍යාලයේ ආචාර්ය පදවියක් ලබා කොළඹට වැඩම කළහ. දශක කිහිපයක් පුරා භික්ෂූන් වහන්සේ නමකගේ වාසයෙන් තොරව පැවති දෙහිවල හිල් වීදියේ සුදර්ශනාරාමයට වැඩම කර එම පින් බිම ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනය ලෙසින් නම් කොට සකලාංග පරිපූර්ණ විහාරස්ථානයක් බවට පත් කළහ. 2005 දී කොළඹ නාලන්දා විද්‍යාලයේ ධර්මාචාර්ය පදවියකට පත් වූ සමිත හිමියෝ 2018 වසර තෙක් එහි උප ප්‍රධාන ධර්මාචාර්යයන් වහන්සේ ලෙසින් කටයුතු කළහ. ජපානය ඇතුළු රටවල් රැසක ධර්ම ප්‍රචාරක කටයුතුවල යෙදී ඇති ලේල්වල සමිත හිමිපාණන් වහන්සේ අතින් ලියැවුණු ධර්ම ග්‍රන්ථ හා ශාස්ත්‍රීය ලිපි ප්‍රමාණය ද රාශියකි. ලේල්වල සමිත හිමිපාණන් වහන්සේට ලෝක ශාසනික අර්ථ චර්යාවෙහි යෙදීම පිණිස ආයු ආරෝග්‍ය සම්පත් ලැබේවා.

 

නවම් පුර අටවක පෝය


නවම් පුර අටවක පෝය පෙබරවාරි 12 වන දා අඟහරුවාදා අපර භාග 03.54 ට ලබයි. 13 වන දා බදාදා අපර භාග 03.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 12 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 19 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 12

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 06


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk