UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පැරැණි බණකතා: කුසල අකුසල විපාකය

කුසල අකුසල විපාකය

එක් සමයක අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොධන නම් නුවර කුණ්ඩාධාන වනයෙහි වැඩ වෙසෙන සේක. කෝලිය රජුගේ දියණිය වූ සුප්පවාසා නම් උපාසිකාව අරබයා මේ ජාතක කතාව දේශනාකොට වදාළ සේක.

ඒ සුප්පාවාසා නම් උපාසිකාව එසමයෙහි සත් අවුරුද්දක් මුළුල්ලේහි කුසින් දරු ගැබ දරාගෙන සහ සතියක් මුළුල්ලෙහි ගර්භයේ දරු ගැබ හරස්වීම නිසා ප්‍රසූත කළ නො හැකිව ඉතා මහත් වූ වේදනා වින්ඳා ය. ඒ උපාසිකාව මෙසේ අධික අප්‍රමාණ වූ වේදනාවෙන් පීඩිතව සිටිත්දීත් බුදු ගුණම කියන්නී ය. සර්වඥයන් වහන්සේ ගේ ගුණ ද, ධර්මයේ ගුණ ද, සංඝ රත්නයේ ගුණ ද කියන්නී ය.

දිනක් ඒ සුප්පවාසා උපාසිකාව තමාගේ ස්වාමි පුරුෂයාට කියා සිටින්නී බුදුරජාණන් වහන්සේ වෙත ගොස් තමන්ගේ දුක පවසන ලෙස යි. ඒ උපාසකතුමා බුදුරජාණන් වහන්සේ වෙත ගොස් සුප්පවාසාවගේ දරුගැබ සිරවී අධිකව දුක් පීඩා විඳින බව කී කල්හි සර්වඥයන් වහන්සේ ඒ වචන අසා “සුප්පවාසා නම් කෝලිය රජු දූ සුවපත් වේවා! නිිරෝගි වේවා!“ යි කී සේක. බුදුරදුන්ගේ ඒ වචනය සමග ම සුප්පාවාසා සුවපත්ව නිරෝගිව පුතකු බිහි කළා ය. බුද්ධානුභාවයෙහි ආශ්චර්යයට පැහැදුනු ඇය සතියක් මුළුල්ලෙහි බුදුන් ප්‍ර‍්‍රමුඛ භික්ෂු සංඝයා වහන්සේට දන් දුන්නා ය. සත්වෙනි දවසේ සුප්පවාසා සීවලි කුමාරයා සරසා භික්ෂු සංඝයා වහන්සේ වන්දනා කරවී ය.

ඒ කුමාරයා පිළිවෙළින් සැරියුත් තෙරුන් වහන්සේ සමීපයට ගෙන ගිය කල්හි තෙරුන් වහන්සේ ඒ කුමාරයන් සමග “සීවලී, ඔබගේ සැප සනීප කෙසේදැයි විචාළ සේක. එවිට කුමාරයෝ “ස්වාමිනි, මට සැපයක් නම් කොයින් ද? මම සත් අවුරුද්දක් මුළුල්ලෙහි ලොහොකුඹු නිරයක් වැනි වූ මව්කුස විසුවෙමී යි කී ය. ඒ දසුන දුටු සුප්පවාසාවෝ උපන් සතියෙන් ම මාගේ පුතණුවෝ දම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ හා කතා කරති”යි සොම්නසට පත්වී ය.

සීවලි කුමරු සත් හැවිරිදි වියේ දී ම පැවිදි වී උපසම්පදාව ලැබ අරහත් ඵලයට පැමිණ පින් ඇත්තන් අතරේ ප්‍රධාන තනතුරට පැමිණියේ ය.

එක් දවසක් භික්ෂුන් වහන්සේ පිරිසක් දම්සභා මණ්ඩපයට රැස්ව ”ඇවැත්නි, සීවලි තෙරුන් වහන්සේ සත් අවුරුද්දක් මුළුල්ලෙහි මව් කුසෙහි සිට සත් දවසක් ගර්භයේ සිරවී සිටියේ ය. ඒ මව මහත් වූ දුකක් වින්ඳා ය. එයට හේතුව කුමක් විය හැකි ද? කර්මය කුමක් විය හැකිදැයි” සාකච්ඡා කෙරිණි. එවේලෙහි බුදුරජාණන් වහන්සේ එතැනට වැඩම කොට, “මහණෙනි, දැන් කවර නම් කතාවකින් යුක්තව සිටියේදැයි” විමසූහ. ”ස්වාමිනි, සීවලි තෙරුන් ගැන අපි කතිකා කොට සිටියෙමු, කී හ.

”මහණෙනි, මහා පිනැති සීවිලි ස්ථවිරයන්ට සත් අවුරුද්දක් මුළුල්ලෙහි මව්කුසක වාසය ද, සතියක් මුළුල්ලෙහි ගර්භයේ සිර වී සිටින්නට වූයේ ද, ඔහු විසින් ම කළ කර්මය මුල්කොට ය. සුප්පවාසා දේවිය සත් අවුරුදද්ක් මුළුල්ලේ ගර්භයේ දරුවා සිර වූ දුකෙන් පීඩා වින්ඳේ ද, ඇය විසින් කළ කර්මය මුල් කොට ගෙන යැයි අතීත සිදුවීමක් විස්තර කරමින් මෙසේ වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජු රාජ්‍ය කරන සමයේ අප මහ බෝසතාණෝ ඒ රටේ අගමෙහෙසියගේ කුස පිළිසිඳ ගෙන ඉපිද වැඩිවිය පැමිණ පියාණන් ඇවෑමෙන් රජ වී දැහැමින් රට පාලනය කළේ ය.

එ සමයෙහි කොසොල් රජු මහ පිරිවරින් බරණැස් නුවර රාජ්‍යය ආක්‍රමණය කොට ඒ රජු ජීවිතක්ෂයට පමුණුවා රජුගේ අග බිසව ද බලයෙන් තමන්ගේ අග මෙහෙසිය කර ගත්තේ ය. බරණැස් නුවර රජුගේ පුතු පියා මියගිය පසු රහස් මාර්ගයෙන් පලා ගොස් අප්‍රකටව ජීවත් වූයේ ය. පසු කලෙක ඔවුන් සේනාව රැස් කරවා බරණැස් නුවරට පැමිණ නුවරට නුදුරු තැනෙක දී රජුට “රාජ්‍ය දුන මැනව. නැතිනම් යුද්ධ කළ මැනැව යි” හසුන් පත් යැවූහ. එවිට කෝසල රජු “යුද්ධ කරමි” දැන්වී ය.

රාජ කුමරුගේ මෑණියෝ ඒ අසුන්පත දැක “යුද්ධයෙන් කම් නැත. ඊට පෙර හැම දොරටුවක් ම වසා දමනු. දර, පැන්, බත් ආදිය අවසන් වුව ද ඒවා කිසිවක් ලබා නො දෙනු, ඔවුන් කුසගින්නේ තබනු, කිසිවෙකුට රටට ඇතුල්වීමට හෝ පිටවීමට ඉඩ ලබා නො දෙනුයැයි” පුතුට හසුන් පතක් යැවී ය.

ඒ රාජ කුමාරයා මෑණියන්ගේ හසුන දැක සත් දවසක් මුළුල්ලේ නුවර වටකර සිටියේ ය. හත්වැනි දිනයේ දී කොසොල් රජු මරා ඒ රාජ්‍යය ගෙන රාජ්‍ය කොට කෙළවර මිය පරලොව ගියේය.

ඒ කුමරු සතුරු රජුන්ගේ පිරිවර සිරකර කළා වූ අකුසල කර්මයේ විපාකයෙන් සත් අවුරුද්දක් මුළුල්ලෙහි මව්කුසක සිරවී ද, සතියක් මුළුල්ලේ ගැබ තුළ හරස් අතට සිර වී ද අපමණ දුක් වින්ඳේ ය. නමුත් ඒ කුමාරයා පෙර සසරේ දී පියුමතුරා නම් බුදුරජාණන් වහන්සේගේ ශී‍්‍ර පාද මූලයෙහි දී “ලාභීන් අතරින් අග්‍ර වෙම්” කියා දන් දී යම් ප්‍රාර්ථනාවක් කළේ ද, විපස්සී බුදුරජාණන් වහන්සේ සමයෙහි නුවරවාසීන් සමග දහසක් වස්තු ද, අගනා වූ වෙනත් දේ ද, උක් සකුරු, ගිතෙල් ආදිය දන් දී යම් ප්‍රාර්ථනාවක් කළේ ද එහි ආනුභාවයෙන් ලාභීන් අතර අග්‍ර වූ හ. සුප්පවාසාවෝ නුවර වටලාගෙන ඔවුුන් සිර කරන්නයැයි පුතුට කී හෙයින් සත් අවුරුද්දක් මුළුල්ලේහි කුසින් දරු ගැබ බිහි කිරීමට නො හැකිව ද, සතියක් දරු ගැබ හරස් අතට සිරවීමෙන් ද දුක් ඉසිලී ය.

“ මහණෙනි, පුතු සහ මව් මෙසේ අනන්ත වූ දුක් වින්දේ පෙර තමන් විසින් නුවර වටලා මහජනයාට අධික දුක් දීමෙන්, ඔවුන් සිර කර තැබීමෙන් කළ අකුසල කර්ම නිසා යැයි වදාරමින් මෙම ජාතක කතාව වදාළ සේක.

එසමයෙහි නුවර වටලා රාජ්‍යයට පැමිණි කුමාරයෝ නම් මේ සීවලි ස්ථවිරයෝ ය. මෑණියෝ නම් සුප්පවාසාවෝ ය. පියා නම් බරණැස් රජු වූ තමන් වහන්සේ යැයි වදාළ සේක

 

නවම් පුර අටවක පෝය


නවම් පුර අටවක පෝය පෙබරවාරි 12 වන දා අඟහරුවාදා අපර භාග 03.54 ට ලබයි. 13 වන දා බදාදා අපර භාග 03.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 12 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 19 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 12

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 06


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk