UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අපේකම රැකගත් ඉපැරැණි ගැමි සුවඳ

අපේකම රැකගත් ඉපැරැණි ගැමි සුවඳ

අපේ ආදී මුතුන් මිත්තන් ගතකළ ජීවිතවල පැවැති හරවත් බව අපට මිල කරන්නට බෑ. ඒ හැම ජීවිතයක්ම ආදර්ශයෙන් පිරිලා. හැබැයි, ඒ අයට වර්තමානයේ ජීවත් වන අයට වාගේ සම්ප්‍රදායික මට්ටමේ විභාග සුසුකම් ආදිය තිබුණේ ම නෑ.

එහෙත් ඒ අය හරිම බුද්ධිමත්, ආචාර සමාචාර ධර්මවලින් යුක්තයි. ආගමික හැදියාව ජීවිතය පුරාවටම විහිදිලා. තවත් කෙනෙකුට ඇඟිල්ලක් උස්සන්න බැරි තරමට නිවැරැදියි. සමාජයෙන් ලබාගත් දැනුම් සම්භාරයත්, අත්දැකීම් සමුදායත් නිසාම ඔවුන් සමාජගත නියමුවන් බවට පත් වුණා. සමාජයට ණය නෑ. ජීවිත පැවැත්ම පොදි බැඳගත් අසීමිත බලාපොරොත්තු නොතිබූ නිසා ගොරෝසු වුණේ නෑ.

දෑතේ වීර්යයෙන් යමක් කමක් හරි හම්බකරගත් ඒ අපේ වැඩිහිටියන් වඩාත් හොඳින් පරලොව ගැන කල්පනා කළා. පරපුරේ ලාබාල ඇත්තන්ට ඒ ගැන කියා දුන්නා. ඒ නිසාම ආගම දහමට ලැදිකමින් නිතර කටයුතු කළා. ගොවිතැනක් බතක් කරන කොට වුණත් දෙලොව ගැනම කල්පනා කරලයි යහපත්ව කටයුතු කළේ. ඒ හින්දා. අසාධාරණකම්, අයුක්තිසහගතකම්වලට නැඹුරුවුණේම නැති තරම්.

එදා මිනිස්සුන්ට සාමූහිකත්වය ගැන හැඟීම් තිබුණා. නෑදෑකම, ගමේකම, අපේකම මුල් කරගෙන එක පොකුරටම බැඳුණා. දරාගැනීමේ හැකියාව ඇති වුණේ ඒ නිසාම යි. මතුවන දුක් කරදර, කම්කටොළු සියල්ලම එකමුතුව විඳ දරාගත්තා. දුක සතුට දෙකේ දී ම මිනිසුන් තනි වුණේ නෑ. මේ නිසාම ජීවිතවලට ලැබුණේ හරිම පන්නරයක්. සතා සිවුපාවුන් සමඟ වුණත් නිර්භයව මූණට මූණ දුන්නේ ඒ නිසාමයි. අපේ පෞරාණික ගම්මාන කැලෑ රොදකින් වටවී තිබුණා. ගම හරියට රාජ්‍යයක් වගේ. ගමේ මිනිසුන්ගෙන් සතුන්ගේ නිජබිම්වලට බාධා ඇති වුණේ නෑ. කෙසේ නමුත් සතා සීපාවුන් හැඩහුරුකම් හා ගති ලක්ෂණ මැනවින් දැන හඳුනා ගැනීමේ හැකියාව අපේ වැඩිහිටියන්ට තිබුණා. එසේම මිනිසාගේ ක්‍රියාකාරකම් පිළිබඳ දැනුමක් ලබා ගැනීමටත් කිසියම් ශක්තියක් ලැබුණ අතර විශේෂ වශයෙන් මිනිසා හා තිරිසන් සතා අතර පවත්නා වෙනස දැන හඳුනා ගැනීමටත් අවස්ථාව සැලසුණා.

මිනිස්කමේ අරුමය වටහා ගත් පැරැණි මිනිසා එය වඩාත් ලස්සන කර ගැනීමට අවශ්‍ය වූ ක්‍රමෝපායන් ගැන මෙනෙහි කරමින් කටයුතු කළා. ආගම දහම ගැන ලැදියාවෙන් කටයුතු කරන්නට නිතර පෙළඹුණා. මේ නිසා ගමත් පන්සලත් අතර තියෙන බැඳීම වැඩිවුණා. කටුක ජීවිත පැවැත්මෙහි කොටස්කරුවන් වූ ඔවුන්ට මානසික සහනයක් අවශ්‍ය වූවා කියන එක පුදුමයක් නොවේ. සාක්ෂරතාවෙන් ඉතා අඩු මට්ටමක ජීවත් වූ ඔවුන්ට ගමේ පන්සලෙන් ලැබුණ අවවාද අනුශාසනා හරිම වැදගත්. ඒ මඟ දැක්ම නිසාම ජීවිතයට අවශ්‍ය බලය හා ශක්තිය ලැබුණා. අපේ පැරැන්නන් කුසලය, කුසල කර්ම විපාක ජීවිතය ජය ගැනීමේ මඟ හැටියට තීරණය කළා.

අපේ පැරැණි ඇත්තන්ගේ පරමාර්ථය වුණේ අයිතිවාසිකම් ගැන පෙළ ගැහෙනවාට වඩා කටුක අත්දැකීම් විඳදරා ගනිමින් පීඩාකාරීව ජීවත් වූ ඔවුන්ට මානසික විවේකය අවශ්‍ය වුණා. වර්තමානයෙහි මෙන් වැරැදි දේ පසුපස යමින් ජීවිතය තවත් පීඩාවට පත්කර ගැනීම නොවෙයි, ඔවුන්ගේ අරමුණ වුණේ. ආගමික ගුණ සුවඳ තුළින් ජීවිත සුවපත් කර ගැනීමයි. එකම බලාපොරොත්තුව වූයේ, වන්දනා මාන විධිවලට මුල්තැන දීමට සිත් පෙළඹුණේ ද ඒ හින්දාම යි. වර්තමානයෙහි මෙන් ගමනා ගමන පහසුකම් එකල තිබුණේ නෑ. ඈත දුර බැහැර සාමාන්‍ය ගමන්වල යෙදුණේ ද බොහෝ විට බරකරත්ත වලිනි. රුදුරු වන සතුන් ගැවසී ගත් වනපෙත් මං තුළින් වන්දනා චාරිකාවල යෙදුණු ඔවුහු විශ්වාසයෙන් හා ගෞරවයෙන් යුතුව සංවරශීලී පැවැත්මෙන් වන්දනා ගමන්වල නිරත වුණා. තුන්දොර සංවර කර ගැනීමයි වැදගත් වුණේ. නියමුවාගේ බහට වන්දනා නඩේ හැම කෙනාම අවනත වුණා.

ඇතැම්විට සැතපුම් ගණනාවක් පා ගමනින් ද වන්දනා චාරිකාවල යෙදුණා. ජනාකීර්ණ ප්‍රදේශ තුළින් මෙන්ම බිහිසුණු සතා සිව්පාවන් ගැවසීගත් වනපෙත් මං තුළිනුත් ඔවුන් පා ගමනින් ගමන් කළා. තමන්ටවත්, අනුන්ටවත් එසේම පරිසරයටවත් හානියක් නොවන ලෙසටයි. වන්දනා චාරිකා සිදුවුණේ. එම චාරිකාවල මූලිකත්වය ගත් වැඩිහිටියන් ආදර්ශ සම්පන්න වුණා. ආදර්ශයෙන් යුක්තවයි ඔවුන් ලාබාල දූ දරුවන්ට අනුබලය ලබා දුන්නේ. “පුතේ කාරා කෙළ ගහන්ඩ එපා. කුණු රොඩු බිමට දාන්න එපා. මහී කාන්තාව කෝප වෙනවා. ගස්වල අතු රිකිලි, කොළ, දළු කඩන්න එපා. දෙවි, දේවතාවරු තරහා වෙනවා.” වැඩිහිටියන් ලාබාල දරුවන්ට උපදෙස් ලබා දෙමින් මඟ පෙන්වූ හැටි කෙතරම් වැදගත් ද?

ඒ කාලයේ වන්දනා නඩ පුරාවට තිබුණේ සංවරශීලී බව හා උපශාන්ත ගතිය. තෙරුවන් පිළිබඳව මෙන්ම දෙවියන් ගැනත් ඔවුන්ට තිබුණේ අව්‍යාජ ගෞරවයක් හා විශ්වාසයක්. ඔවුන් දකින හැම කෙනෙකුටම ඇති වූයේ සතුටක්. දියුණු යැයි සිතන වර්තමානයේ සිදුකෙරෙන බොහෝ වන්දනා චාරිකා දෙස බලන විට එවැනි සතුටක් සිතට දැනෙන්නේ නෑ. එකම අරමුණක පිහිටා කටයුතු කිරීමේ හැකියාව පැරැණි ඇත්තන්ට තිබුණා. එහෙත් වර්තමානයේ කෙරෙන වන්දනා චාරිකා දෙස බලන විට ඔවුන්ගේ අරමුණුවල පවත්නා විකෘති බව මැනවින් දැනගත හැකි යි. පැරැණි කාලයේ වන්දනා චාරිකා තුළින් නිරාමිස සතුට හදවත් පුරාවට මතු වූ අතර වර්තමානයෙහි සරාගී චේතනා කරණ කොටගෙන ඇවතුම් පැවතුම් සියල්ල විකෘති තත්ත්වයට පත්ව ඇත. විශේෂයෙන් අරමුණුවල නොපිහිටා ක්‍රියා කිරීමෙහි වරදයි ඒ. යශෝදරාවත, තුන්සරණය වැනි සැදැහි ගුණ වඩනා ජනකවි ලයාන්විතව ගායනා කරමින් එසේම තෙරුවන් ගුණ සජ්ඣායනා කරමින් සිදු කෙරුණු පැරැණි වන්දනා චාරිකාවලින් ඉස්මතු වූ ගුණාත්මකභාවයත්, උසුළු විසුළු ඇඳුම් ආයිත්තම්වලින් සැරැසී හරසුන් ගී රස විඳිමින් ගෞරවයකින් තොරව ඝෝෂාකාරීව කෙරෙන වර්තමානයේ බොහෝ වන්දනා නමින් සිදු කෙරෙන චාරිකාවලින් ගොනුවනු අසංයතභාවයත් අතර පවත්නා පරතරය කෙතරම් විශාල ද? අධිෂ්ඨානශීලීව කටයුතු කිරීමටයි බුදුදහම තුළින් අපට ශක්තිය ලබා දෙන්නේ. අපි විධිමත් වෙමු. විධිමත්ව කටයුතු කිරීමට උනන්දු වෙමු. වර්තමානයේ අප කරන කටයුතු අනාගතයේ බිහිවන අයට ශක්තියක් වේවි.

 

නවම් පුර අටවක පෝය


නවම් පුර අටවක පෝය පෙබරවාරි 12 වන දා අඟහරුවාදා අපර භාග 03.54 ට ලබයි. 13 වන දා බදාදා අපර භාග 03.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 12 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 19 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 12

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 06


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk