කළ කුසල් බලයයි
ලද දිව්‍ය සැපතයි
පූලියද්දේ සුධම්ම හිමි
“ස්වාමීන් වහන්ස, සිදුහත් බෝසතාණන් වහන්සේ සංසාරයෙන් එතෙර වෙන්නට ධර්මය සොයාගෙන යන
ගමනේ දී මම උන්වහන්සේ පිට මත හිඳුවාගෙන ගියා. මම එය සිදුකළේ ඉතා සතුටින්. නේරංජනා
ගඟෙන් එතෙරවෙලා කුමාරයා මා අතහැර ගිය මොහොතේ මම ඉතා දුකෙන් බලා සිටියා.
පින්වත් දරුවනේ, අද අමාවක පෝය දිනය. පසුගිය ලිපිවලින් දිව්‍ය ලෝක ගැන දැනගත්තානේ.
දිව්‍ය ලෝකයන්හි දිව්‍ය සැප සම්පත් විඳින දෙවිවරු, දිව්‍යාංගනාවන් ගැන දැනගත්විට
අපටත් දිව්‍ය ලෝකයට යන්නට හිතෙනවා. දිව්‍යලෝක ගැන බොහෝ විස්තර සඳහන් වන්නේ විමාන
වත්ථු කියන පාලි පොතේ සහ සූත්‍ර දේශනාවලයි.
ඔන්න, දිව්‍ය ලෝකයට යන්න හිතන අය මේ කාරණා ගැන හොඳින් දැන ගන්නට ඕනෑ. විමාන වත්ථු
පාලියේ සඳහන් වෙනවා දිව්‍ය විමානයන්හි සැප සම්පත් විඳින බොහෝ දෙවිවරු සිටින බව.
දරුවනේ එක අවස්ථාවක, අග්‍රශ්‍රාවක මුගලන් මහරහතන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයාත්,
අනෙකුත් දෙවිවරුත් සැප විඳින ආකාරය දැක ඒ ලෙස සැප විඳින්නට කළ කුසල් මොනවාදැයි
විමසා සිටියා. අන්න ඒ වෙලාවේ විමානයන්හි සැප විඳින දෙවිවරු මෙලෙස පවසා තිබෙනවා.
මිහිරි අඹඵල පිරුණු මහ වනය
එක්තරා දිව්‍යාංගනාවකට මිහිරි අඹඵල පිරුණු මහා වනයක් දිව්‍ය විමානය ලෙස පහළ වී
තිබුණා. එහි නම අම්බ විමානය. එහි ඉතා ම ලස්සන දිව්‍යාංගනාවන් සිටින දිව්‍ය මාලිගා
රාශියක් තිබෙනවා. ඒවාට කියනවා දිව්‍ය ප්‍රාසාද කියලා. ඒවායෙහි නිතරම රත්තරන් පහන්
දැල්වෙනවා. හැම දිව්‍යාංගනාවක් ම රන්වන් පැහැයෙන් බබළනවා.
ඉතින් මේ තරම් සැප සම්පත් ලබන්නට හේතුව කුමක්දැයි මුගලන් මහරහතන් වහන්සේ ඒ
දිව්‍යාංගනාවගෙන් ඇසුවා. මිනිස් ආත්මයක් ලබා සිටිය දී අඹවලින් පිරුණු උයනක විහාරයක්
කරවා සඟ සතු කොට පූජා කිරීමේ ආනිශංස නිසා මෙම අම්බවිමානය උරුම වූ බව දිව්‍යාංගනාව
පැවසුවා. ඒ විහාරය වටා පහන් ආලෝකය දැල් වීමේ අනුසස් නිසා දිව්‍ය ප්‍රාසාද වටා
රත්තරන් පහන් දැල්වෙන බව ද පැවසුවා.
වැටකොළු මල් පිදීමේ චේතනාව
දරුවනේ, රන්වන් සිරුරක් හිමි, අභරණින් සැරසුණු, රත්තරන් සඳුන් තවරන ලද, ලස්සන
ශරීරයක් ඇති දේවතාවියක් සිටියා. මුළු දිව්‍ය විමානය ම රත්තරනින් වැසිලා. රන්
අශ්වයන්, රත්තරන් ඇඳන්, රත්තරන් පුටු, රත්තරන් මාලිගා, රනින් කළ රිය මේ ආකාරයට
සියල්ල රනින් නිමැවී තිබුණා. මේ දිව්‍ය විමානය දුටු මුගලන් මහරහතන් වහන්සේ මෙසේ
සියලු දේ රනින් සෑදෙන්නට කළ පින කුමක්දැයි විමසා සිටියා.
දේවතාවිය මෙසේ ප්‍රකාශ කළා. ‘ස්වාමීන් වහන්ස, මම මිනිස් දුවක් ව ඉන්නා කාලයේ දී
කිසිදු බලාපොරොත්තුවක් රහිතව, පාරේ පිපී තිබුණු වැටකොළු මල් සතරක් බුදුරජාණන්
වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේ නිධන් කළ චෛත්‍යයකට පූජා කරන්නට ගෙන ගියා. ඒ යන අතරමග
දී මම මිය පරලොව ගියා. මල් පූජා කරගන්නට අවස්ථාව ලැබුණේ නෑ. ඒත් මල් පූජා කිරීමේ
සිතිවිල්ල ම සිත තිබූ නිසා මෙසේ දිව්‍ය විමානයක ඉපදුණා.”
අඹ වනයකදී පැන් පිදූ පින
දොළොස් යොදුනක් උස කුළුණක් ඇති, නෙළුම්මලින් පිරුණු විල්වලින් හාත්පස ගැවසීගත්
විශාල දිව්‍ය ප්‍රාසාදයක් තිබෙනවා. එහි වාසය කරන්නේ දේවතාවෙක්. මේ විමානයෙහි
මැණික්වලින් සරසන ලද සත් සියයක් දිව්‍ය මාලිගා තිබෙනවා. ඒවායේ තමන් කැමැති විදිහට
ආහාරපාන ගනිමින් වීණා නද අසමින්, රනින් සැරසුණු දිව්‍යාංගනාවන් පිරිවරාගෙන මේ
දේවතාවා දිව්‍ය සැප විඳිමින් ඉන්නවා. මෙපමණ සැප ලබන්නට කළ කුසලය කුමක්දැයි මුගලන්
මහ රහතන් වහන්සේ ඒ දේවතාවාගෙන් විමසනවා.
“ස්වාමීනි, මම මිනිස් ලෝකයේ වෙසෙන කාලයේ අඹ වනයක් බාරව සිටියා. මගේ කාර්ය වූයේ
අඹගස්වලට ජලය ඉසීමයි. ඉතින් දරුණු ලෙස හිරු රැස් වැටුණු දවසක බොහොම මහන්සියෙන් මඟ
වඩින සැරියුත් මහ රහතන් වහන්සේ දුටුවා. උන්වහන්සේට අඹ වනයට වඩින ලෙස ආරාධනා කරලා, ඒ
ජලයෙන් ස්නානය කිරීමේ අවස්ථාව සලසා දුන්නා. ඒ ආනිශංසයෙන් මෙසේ වටිනා ප්‍රාසාදයක්
සහිත දිව්‍ය විමානයක් ලැබුවා”. දේවතාවා පැවසුවා.
කැවුමක් පිදූ පින
දරුවනේ, අනෙක් විමානයන්ට වඩා උසින් පිහිටා තිබෙන දිව්‍ය විමානයක සඳ වගේ බබළන, විශේෂ
ආභරණවලින් සැරසුණු දිව්‍ය පුත්‍රයෙක් මුගලන් මහ රහතන් වහන්සේට හමුවුණා. මේ දිව්‍ය
විමානයේ සතුටින් ගයන, නටන නාටිකාංගනාවන් දාහතරදෙනෙක් සිටියා. ඒ අය නිතරම සතුටින් ගී
ගයනවා. රංගනය කරනවා.
“මේ තරම් සතුටින් ඉන්නට දිව්‍ය විමානයක් ලද හේතුව කුමක් ද?”යි මුගලන් මහ රහතන්
වහන්සේ ඒ දේවතාවාගෙන් විමසුවා. “ස්වාමීන් වහන්ස, මම මනුෂ්‍ය ආත්මයේ සිටින කාලයේ
අනුන්ගේ ගවයන් බැලූ ගොපල්ලෙක්. දවසක් ගවයන් දක්කාගෙන ගොස් විවේකීව සිටින විට මම
ස්වාමීන් වහන්සේ නමක් වඩිනවා දුටුවා. වහාම දිව ගොස් උන්වහන්සේට වැඳ නමස්කාර කළා. බණ
ඇසුවා. ඒත් මට උන්වහන්සේට පූජා කරන්නට දෙයක් තිබුණේ නෑ. රෙදි කැබැල්ලක එතූ කැවුමක්
පමණයි තිබුණේ. මම එය පූජා කළා. ආපසු ගවයන් බලන්නට ගියා. මහා කැලයේ දී මට සර්පයෙක්
දෂ්ඨ කළා. විස ශරීරගත වී මා මිය ගියා. මිය යන මොහොතේ කැවුම පූජා කළ ආකාරය සිහිවුණා.
ඒ පිනෙන් මට මේ තරම් වටිනා දිව්‍ය විමානයක් ලැබුණා. ඒ දේවතාවා තමන් සිදු කළ පුණ්‍ය
මහිමය ගැන මුගලන් මහරහතන් වහන්සේට විස්තර කළා.
කන්ථක අසු සිදු කළ පින
ශක්‍රදේවේන්ද්‍රයා වගේ රූප ශ්‍රීයෙන් යුතු, සඳවගේ බබළන දිව්‍ය විමානයක, උදෑසන හිරු
වගේ බබළන දිව්‍ය පුත්‍රයෙක් සිටිනවා, මුගලන් මහ රහතන් වහන්සේ දුටුවා. ඒ විමානයේ සෑම
ප්‍රාසාදයක් ම සෑදී තිබෙන්නේ රන්, රිදී, පළිඟු ආදී මාණික්‍යයන්ගෙන්. දිව්‍ය
මත්සයින් පිහිනා යන ජල තටාකවලින්, පොකුණුවලින් පිරිලා. සුගන්ධවත් නෙළුම් මලින්
නොනවත්වා ම සුවඳ හමනවා. රසවත් පලතුරු තිබෙන පලතුරු වතුවලින් පිරිලා. දිව්‍ය සළුවෙන්
සැරසීගත් දිව්‍යාංගනාවෝ බොහෝ ප්‍රමාණයක් ඒ දිව්‍ය විමානයේ වාසය කරනවා. ඒ සියලු දෙනා
මේ දිව්‍ය පුත්‍රයාට සේවය කරනවා. මෙසේ දිව්‍ය සම්පත් ලබන්නට කළ පින තමයි අප මහා
බෝසතාණන් වහන්සේගේ, සිද්ධාර්ථ කුමරුගේ කන්ථක අශ්වයා වී ඉපදීම.
“ස්වාමීන් වහන්ස, සිදුහත් බෝසතාණන් වහන්සේ සංසාරයෙන් එතෙර වෙන්න ධර්මය සොයාගෙන යන
ගමනේ දී මම උන්වහන්සේ පිට මත හිඳුවාගෙන ගියා. මම එය සිදුකළේ ඉතා සතුටින්. නේරංජනා
ගඟෙන් එතෙරවෙලා කුමාරයා මා අතහැර ගිය මොහොතේ මම ඉතා දුකෙන් බලා සිටියා. දරාගත
නොහැකි ශෝකය නිසා හෘදයාබාධයක් ඇති වී මම මිය ගොස් තව්තිසා දිව්‍ය ලෝකයේ උපත
ලැබුවා.” දිව්‍ය පුත්‍රයා මුගලන් මහ රහතන් වහන්සේට විස්තර කළා.
පින්වත් දරුවනේ, කළ පින, කුසලය සුළු වූවත් ලැබෙන භාග්‍ය අතිමහත් වෙනවා. ඒ වගේ ම
තමයි අකුසලය. අකුසලය පුංචි වුණත් විපාකය මහත්වෙන බව මතක තියාගන්නට ඕනෑ. දිව්‍ය
ලෝකයට යන්න නම් කුසල් කරන්න ඕනෑ.
ලබන 12 වනදා නවම් පුර අටවක පෝදා පුවත්පතින් අපි කතා කරන්නේත් දිව්‍ය ලෝකයේ සැප
විඳින දෙවිවරු ගැනයි.
රමණී සුබසිංහ |