UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුත්ත නිපාතයෙන් ...: ලොවේ වැඩ සිටින ශ්‍රමණවරු කෙබඳු ද?

සුත්ත නිපාතයෙන් ...:

ලොවේ වැඩ සිටින ශ්‍රමණවරු කෙබඳු ද?

චුන්ද සූත්‍රය

අද අපි ඉගෙන ගන්නේ උතුම් සුත්ත නිපාත ග්‍රන්ථ රත්නයේ උරග වර්ගයේ චුන්ද සූත්‍ර දේශනාව යි.

අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑමට පෙර වැළඳූ අන්තිම දානය පිළිගත්තේ රන්කරුවෙකුගේ පුතෙක් වූ චුන්ද නම් කෙනෙකුගෙන් බව ඔබට මතක ද? මෙම සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේත් ඔහු ගැනම ය. මල්ල ජනපදයේ පාවා නුවර වැසියෙක් වූ මොහු සතුව රමණීය අඹ උයනක් තිබුණි. ඒ උයන භාග්‍යවතුන් වහන්සේට පූජා කිරීමෙන් පසුව උන්වහන්සේ මේ දෙසුම වදාළ දිනවල වැඩ සිටියේ එම අඹ උයනේ ය.

එක් දිනක් චුන්ද තෙමේ තම නිවසට භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ සංඝ රත්නය වැඩමවා දානයක් පිරිනැමී ය. එදා ව්‍යාංජන දැමීම සඳහා රන් බඳුන් පිළියෙළ කොට තිබුණි. එහිදී කෙළවරේ වාඩි වී සිටි එක් පාපී භික්ෂුවක් රන් බඳුනට ලෝභ සිත් උපදවාගෙන රහසේ ම තම ඔලොගුවට එය දමා ගත්තේ ය. මෙය දුටු චුන්ද තෙමේ නො දුටුවාක් මෙන් සිට, හවස් යාමයේ භාග්‍යවතුන් වහන්සේ බැහැ දැකීමට ගියේ ය. එහි භික්ෂු පිරිස මැද අර පාපී භික්ෂුවද සිටිනු දැක, කරුණාව උපදවාගෙන, ‘ලොවේ ශ්‍රමණවරු කො පමණ සිටිත්දැයි” භාග්‍යවතුන් වහන්සේගෙන් විමසී ය. එහිදී ශාස්තෘන් වහන්සේ කාගේත් නුවණ පෑදෙන පරිදි ශ්‍රමණයන් ගැන මෙම මියුරු ගාථාවන් වදාරමින්, චුන්ද සූත්‍ර දේශනාව වදාළ සේක.

එහිදී චුන්දකර්මාර පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේගෙන් කරුණු විමසා සිටියේ මෙම ගාථාවෙනි.

පුච්ඡාමි මුනිං පහුතපඤ්ඤං
බුද්ධං ධම්මස්සාමිං වීතතණ්හං
දිපදුත්තමං සාරථිනං පවරං
කති ලෝකේ සාමණා තාදිංඝ බ්‍රෑහී

මහා ප්‍රඥා ඇති, සම්මා සම්බුද්ධ වූ, ධර්මස්වාමි වූ, දුරුකළ තෘෂ්ණා ඇති, දෙපා ඇති සත්ත්වයන් අතර උතුම් වූ, මග පෙන්වන්නවුන් අතර ශ්‍රේෂ්ඨ වූ, මහා මුනීන්ද්‍රයන් වහන්සේගෙන් මම මෙය අසමි. ලෝකයෙහි ශ්‍රමණයෝ කොතෙක් ද යැයි මට පවසනු මැනව.

භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු ගාථාවක් දේශනා කිරීම මෙසේ ආරම්භ කළ සේක.

චතුරෝ සමණා න පඤ්චමත්ථි
තේ තේ ආවිකරෝමි සක්ඛිපුට්ඨෝ
මග්ගජිනෝ මග්ගදේසකෝ ච
මග්ගේ ජීවති යෝ ච මග්ගදූසී

ශ්‍රමණයෝ සතර දෙනෙකි. පස්වැන්නෙක් නැත. ඔවුන් ගැන විමසන ඔබහට කරුණු සහිතව පහදා දෙමි. 1) මග ජය ගත් කෙනා, 2)මග පවසන කෙනා, 3) මාර්ගයෙහි ජීවත්වන කෙනා, 4) මග වනසන කෙනා යනු එම ශ්‍රමණයෝ සතර දෙනා ය.

ඉන්පසු චුන්ද මෙසේ අසා සිටියේ ය.

බුදුවරු මග ජයගත් කෙනා යැයි පවසන්නේ කාට ද? මග පවසන කෙනා කෙසේ අන් අය හා සම නොවෙයි ද? මාර්ගයෙහි ජීවත්වන කෙනා ගැන විමසන මට එය පවසනු මැන. එමෙන් ම මග වනසන කෙනා ගැනද පහදා දෙනු මැනව.

භාග්‍යවතුන් වහන්සේ ඊළඟ ගාථා රත්නයෙන් මග ජයගත් උත්තම රහතන් වහන්සේ පිළිබඳව මෙසේ පහදා වදාළ සේක.

යම් කෙනෙක් කෙසේ ද? කෙසේ ද? යන සැකය තරණය කළේද, රාගාදී කෙලෙස් හුල්වලින් මිදුනේ ද, නිවණෙහි ඇලුනේ ද, කිසිවකට ගිජු නොවෙයි ද, දෙවියන් සහිත ලෝකයාට නායක වෙයිද, බුදුවරු ඔහු හට "මග දිනූ කෙනා" යැයි පවසත්.

අග්ගප්පසාද නම් සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ වදාළේ, පින්වත් මහණෙනි, යම්තාක් සත්ත්වයන්ගේ වාසස්ථාන ඇද්ද, යම්තාක් භවංග්‍ර ඇද්ද, ඒ සියල්ලෙහි ම අග්‍ර වන්නේ ශ්‍රේෂ්ඨ වන්නේ රහතන් වහන්සේ යනුවෙනි. එම උත්තම මහරහතන් වහන්සේගේ විරාගී චරණය ගැන උතුම් ධම්ම පදයේ අරහන්ත වර්ගයේ දී ද භාග්‍යවතුන් වහන්සේ මෙලෙසින් වදාළ සේක.

උය්‍යුඤ්ජන්ති සතිමන්තෝ
න නිකේතේ රමන්ති තේ
හංසා’ව ච පල්ලලං හිත්වා
ඔකමෝක ජහින්ති තේ

සිහි නුවණින් යුතු රහතුන් හැමවිට ඇලී වසන්නේ දහමටම යි
පන්සල් දායකයින් සිව්පසයට රහතුන් නොඇලී සිටිනවම යි
විලේ සිටින හංසයාද එලෙසට විල අත්හරිම්න යනවාම යි
එලෙසින් රහතුන් ලොව ඇති කෙලෙසුන් සියල්ල අත්හැර යනවාම යි.

ඒ අයුරින් මග ජයගත්, නිකෙලෙස් හද මඬලක් දරාගත් පළමු ශ්‍රමණයන් වහන්සේ ගැන පෙන්වා දුන් භාග්‍යවතුන් වහන්සේ, ඒ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරමින්, තමන් ද දහමින් සෙත සලසා ගන්නා දෙවැනි ශ්‍රමණයන් වහන්සේ ගැන මෙලෙසින් වදාළ සේක.

මේ සසුනෙහි යම් කෙනෙක් උතුම් බුදුවදන උතුම් යැයි දැන එම ධර්මය ම පවසයි ද, විස්තර වශයෙන් පවසයි ද, සැක දුරු කරන, තෘෂ්ණා රහිත වූ හෙයින් මුනි බවට පත්වූ එම දෙවන භික්ෂුවට “මග දෙසන්නා” යැයි පවසමි

භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි යුගයේ දී අරහත්වයට පත් වූ අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරණුවෝ, ඛදිරවනීය රේවත තෙරණුවෝ, බක්කුල තෙරණුවෝ වැනි රහතන් වහන්සේලා විමුක්ති සුව විඳිමින්, සමාධි සමාපත්තීන්ට සම වදිමින්, දෙව්, මිනිස් ලෝකයාට ම උතුම් පින් කෙතක්ව වැඩ සිටියහ. එනමුත් ධර්ම ප්‍රචාරයට හෝ ශිෂ්‍යයන් තනමින් පිරිස් පරිහරණයට හෝ උනන්දුවක් නො දැක්වූහ. එනමුත් සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා, ආනන්ද මහරහතන් වහන්සේ, මිහිඳු මරහතන් වහන්සේ වැනි මහෝත්තමයන් වහන්සේලා තමන්ද ධර්මයෙන් පිහිට පිළිසරණ ලබා, ඒ තථාගත ශ්‍රී සද්ධර්මය පතුරුවා හළ සේක. සිසු පිරිස් බිහි කරමින්, ශාසනික වගකීම් ඉටුකරලමින්, සිව්වනක් ශ්‍රාවක පිරිසට ම මහත් වූ අනුග්‍රහයන් සිදු කළ සේක. ඉහත ගාථාවේ සඳහන් වන්නේ එවැනි උතුමන් සදිසි දෙවන ශ්‍රමණයා ගැනයි.

ඊළඟ ගාථා රත්නයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිවෙත් පුරන හෙවත් සේඛ භික්ෂූන් ගැන භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරණ සේක.

"යම් කෙනෙක් මනාකොට දෙසන ලද දහම් පදයන්ට අනුව සංවරව, සිහියෙන් යුතුව, දහම් මගෙහි දිවි ගෙවයිද, සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නමැති දොස් රහිත ධර්මයන් සේවනය කරයිද, එම තුන්වෙනි භික්ෂුවහට “මාර්ගයෙහි දිවි ගෙවන්නා” යැයි පවසමි."

සෝතාපන්න මාර්ගයේ සිට අරහත් මාර්ගය දක්වා ම සේඛ භික්ෂූන් මෙයින් අදහස් කෙරේ. තිසරණය කෙරෙහි බලවත් ප්‍රසාදයෙන් යුක්තව, මනා කොට සිල්පද සුරකිමින්, අරි අටගි මගේ සීල, සමාධි, ප්‍රඥා වශයෙන් පිළිවෙත් සපුරන ආර්ය ශ්‍රාවක පැවිදි පිරිස මෙයට අයත් වේ.

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ, චුන්දගේ රන් බඳුන සොරාගත් භික්ෂුව වැනි පාපී පුද්ගලයින් ‘මග නසනා’ යැයි ඉස්මතු කරමින් මෙසේ වදාළ සේක.

"රහතන් වහන්සේ ගේ වෙස් ගෙන පිරිස් අතට යන, සැදැහැවතුන්ගේ ශ්‍රද්ධාව කිළුටු කරමින් ධර්ම මාර්ගයෙන් බැහැරට ඇද දමන, ළාමක ගති ඇති නැති ගුණ පෙන්වමින් මායා දක්වන, සීලයෙන් සංවර නො වූ, හිස් දෙඩවිලි දොඩවන ව්‍යාජ ප්‍ර‍්‍රතිරූපයකින් හැසිරෙන මොහු “මග වනසනන්නා” වේ. "

දේවදත්ත, කෝකාලික, සුනක්ඛන්ත වැනි පාපී භික්ෂූන් ද, ජබ්බග්ගිය භික්ෂූන් ද අයත් වන්නේ මේ ගණයට ය. ඉන්පසු අවසාන ගාථා ද්විත්වයෙන් භාග්‍යවතුන් වහන්සේ සැබෑ ශ්‍රමණයන් සහ ශ්‍රමණ ප්‍රතිරූපකයන් හොඳින් හඳුනාගෙන, සැදැහැ සිත ආරක්ෂා කර ගන්නා ලෙසත්, කිසි දිනක පිරිසුදු හා අපිරිසුදු ශ්‍රමණයින් සමාන නො වන බවත්, වදාළේ මෙලෙසිනි.

ඒතේ ච පටිවිජ්ක්‍ධි යෝ ගහට්ඨෝ
සුතවා අරියසාවකෝ සපඤ්ඤෝ
සබ්බේ තේ තාදිසාති ඤත්වා
ඉති දිස්වා න හාපේති තස්ස සද්ධා
කථං හි දුට්ඨේන අසම්පදුට්ඨං
සුද්ධං අසුද්ධේන සමං කරෙය්‍යාති

ආර්ය ශ්‍රාවක වූ, ප්‍රඥාවන්ත වූ යම් ගිහි කෙනෙක් මම ශ්‍රමණයන් සතර දෙනා ම පිළිබඳ සැබෑ තතු සියල්ල දැන ගත්තේ ද, ඔහු (පළමු ශ්‍රමණයන් තිදෙනා ගැන දන්නා හෙයින් සිව්වෙනියා දැක) තම ශ්‍රද්ධාව නො නසා ගන්නේ ය. දුෂ්ටයා අදුෂ්ටයෙකු සමග ද, ගුණයෙන් තොර අපිරිසුදු කෙනා පිරිසුදු ගුණ ඇති අයෙකු සමග ද කෙසේ නම් සම කරන්න ද?

එනිසා අපිත් පාපමිත්‍ර ඇසුරෙන් දුරුවී කල්‍යාණ මිත්‍ර ඇසුරේ ම සදහම් අසමින්, මනාකොට පිළිවෙත් සපුරා, ගෞතම බුදුසසුනේ දී ම සනාතන රැකවරණය ලබන්නට අදිටන් කර ගනිමු.

 

දුරුතු අමාවක පෝය


දුරුතු අමාවක පෝය පෙබරවාරි 03 වන දා ඉරිදා අපර භාග 11.52 ට ලබයි. 05 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 04 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 12 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 04

First Quarterපුර අටවක

පෙබරවාරි 12

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

මාර්තු 06


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]