UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 13: පැරැණි තාක්ෂණය හා කලාත්මකභාවය එක්කළ කුට්ටම් පොකුණ

පැරැණි තාක්ෂණය හා කලාත්මකභාවය එක්කළ කුට්ටම් පොකුණ

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා MSC පර්යේෂණ

මුරගලෙහි පළමුව සටහන් කරන ලද මූර්ති කැටයම පුන්කලස හෙවත් පූර්ණ ඝටය යි. මේ පිළිබඳ අදහස් දක්වන උගතුන් පවසන්නේ මෙම කැටයම් නැති මුරගල ඉදිරිපිට පළමුව පුන්කලසක් තබන්නට ඇති බව ය.” මුරගල් දෙක ඉදිරිපිට ඒ අනුව පුන්කලස් දෙකක් තබන්නට ඇත. පුන්කලසෙන් සංකේතවත් වන්නේ සෞභාග්‍යය හා සශ්‍රීකත්වය යි.

පසු කාලයේ දී මුරගල ඉදිරිපිට පුන්කලස තැබීම වෙනුවට මුරගලෙහි රේඛා සටහනකින් මුලින් නිර්මාණය කරන්නට ඇත. එසේ මුරගලෙහි මුල්ම කැටයම බවට පත් වූයේ ය. ඉතා සියුම් ලෙස පුන්කලස සටහන් කළ මුරගල් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුරාණ පුදබිමක් වන වෙල්ගම් වෙහෙරෙහි දැකිය හැකි ය. එවැනි මුරගල් රුහුණේ මඟුල් මහ විහාරයෙහි ද, වව්නියාවේ මඩුකන්ද විහාරයෙන් ද හමුවී ඇත. රූපය මතු වන සේ මුරගල් රැසක්ම අනුරාධපුරයේ දක්නට ලැබේ. මුරගලෙහි මුල්ම සංකේතය පුන්කලස වූ බව විද්වතුන්ගේ මතයයි. (හෙළ කලා විස්කම් – සිරිසමන් විජේතුංග පි. 28-29 -2010)

සෞභාග්‍යය සංකේතවත් කරන පුන්කලස මුල්කාලීනව ගොඩනැගිලි දොරටු දෙපස තබන්නට ඇත. වර්තමාන කාලයේ ද මෙය යම් යම් සුවිශේෂ අවස්ථා වලදි සෞභාග්‍යයේ සංකේතයක් ලෙස විසිතුරුව යොදාගනී. මුල්ම අවස්ථාවේ රේඛාවෙන් සරලව ගලේ අඳින එය ගලින් මතු කොට පෙන්වීමට කලාකරුවා උත්සාහ ගෙන ඇත. මෙයට ඉතාම හොඳ නිදසුන කතරගම කිරිවෙහෙරෙන් දක්නට ලැබේ. ගලින් මතු කොට, පුන්කලස නෙළා ඉස්මතුකොට පෙන්වීමට උත්සාහයක් කිරිවෙහෙරෙන් දක්නට ලැබුණත්, මෙහි දියුණු වූ අවස්ථාවක් අනුරාධපුරයේ දී දැක ගත හැකි ය. මුල්කාලීනව ඉතා සරල කැටයමින් අලංකාරවත් වූ පුන්කලස පසුකාලීනව නොයෙක් අලංකාර අංගයන්ගෙන් සංකීර්ණත්වයට පත් විය. මිහින්තලේ සිංහ නාන පොකුණ අසල ඇති මුරගලේ පුන්කලස් පරික්ෂාවට ලක් කරන විට එහි එක් මල් පොහොට්ටුවක් දක්නට ඇත. මෙය ඉතා සරල අවස්ථාවකි. පුන්කලස සහිත මුරගලේ සත්ව රූප දක්නට නැත.

ශ්‍රී ලංකාවේ ඉතාමත් අලංකාර වූ වාස්තු විද්‍යාත්මකව ද, මූර්ති ශිල්පය අනුව ද, වාරි තාක්ෂණය ද උපයෝගී කරගෙන සාදන ලද කුට්ටම් පොකුණ ආශි‍්‍රතව ඉතා අලංකාරවූ පුන්කලස් මූර්ති දැකිය හැකි ය. අනුරාධපුර යුගයට අයත් වන එම පොකුණ අභයගිරි විහාරයට අයත් වන ඉතා විශිෂ්ට නිර්මාණයක් ලෙසින් සැලකේ. ඉතාමත් නිර්මාණාත්මකව සැලසුම් කර තිබෙන මෙම කූට්ටම්පොකුණ අභයගිරි වාසී භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා නිර්මාණය කරන ලද පොකුණකි. මෙහි පොකුණු දෙකක් නිර්මාණය කර තිබෙන නිසාත්, එකක් අනෙක් පොකුණ හා සම්බන්ධ වන ආකාරයෙන් වාස්තු විද්‍යාත්මකව නිර්මාණය කර ඇති නිසාත්, කුට්ටම්පොකුණ යන නාමයෙන් ප්‍රකට වී ඇත. පොකුණට ජලය ගෙන යන හා පොකුණෙන් ජලය බැහැර කරන ජල මාර්ග ද ඇත්තේ මෙම පොකුණට පමණි. පුන්කලස් සහ සරල ලෙස ජ්‍යාමිතික මෝස්තර වලින් සරසන ලද කොරවක්ගල් සහිත දොරටු පොකුණට බැසීම සඳහා නිර්මාණය කර ඇත.

කුට්ටම් පොකුණට පුරාණ කාලයේ භාවිත කළ නාමය අප්‍රකටය. පුරා විද්‍යාත්මකව පසුබිම අනුව මෙහි සැලසුම ක්‍රිස්තු වර්ෂ අට වන හා නව වන සියවසට අයත් වන්නේ ය. 1949 සහ 1953 වර්ෂ වලදී පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙම කූට්ටම් පොකුණ සංරක්ෂණය කර ඇත. මෙහි ඇති පොකුණු දෙකෙන් උතුරු පෙදෙසෙහි වූ පොකුණු දකුණු පසෙහි වූ පොකුණට වඩා කලින් සාදන ලදැයි සිතිය හැකි ය. මේ කරුණ සනාථ කෙරෙන මා හැඟි ගෘහ නිර්මාණය වෙනස්කම් ඒ දෙකෙහි ඇත. දකුණු පසෙහි වූ පොකුණ සෑදීමෙන් පසුව ඒ දෙක සම්බන්ධ කිරීමේ උත්සාහය ගෙන ඇති බව පෙනේ. පුරාවිද්‍යාත්මකවත්, පසුව එක් කිරීම නිසා නිර්මාණාත්මක ලක්ෂණයන්ගෙනුත් මිශ්‍ර වූ ස්වභාවය මෙහි දක්නට ලැබේ.

උතුරු පොකුණෙහි කුඩා ටැඹක් සමඟ වු ශෛලමය පියගැට විස්සකින් සමන්විත සෝපාන පන්තියක් හමුවේ .දකුණු පස පොකුණෙහි අනෙක් පොකුණෙහි ලෙසින්ම කුඩා ටැඹක් සහිත තුන් තැනකින් බිඳී ගිය පිය ගැට දහඅටකින් (18) යුතු පියගැට පෙළක් ඇත. උතුරු පොකුණේ ඇත්තේ එබඳු සෝපාන පන්ති දෙකක් වන අතර දකුණු පස පොකුණේ සෝපාන පන්ති තුනක් වේ. ප්‍රමාණයෙන් ද උතුරු පොකුණ අනෙකට වඩා කුඩා ය. ඒවායේ දක්නට ලැබෙන පුන්කලස් (පූර්ණ ඝට) ද එකිනෙකින් වෙනස් ය.

උතුරුපස පොකුණ අඩි 91 වන අතර දකුණු පස පොකුණ අඩි 132 දිග ය. පොකුණු දෙකෙහි ම පළල අඩි 132 කි. පොකුණු දෙක එකිනෙක හා වෙන් කරන්නේ අඩි 9 ක පරතරයෙකිනි. ජල සැපයුම පළමුකොටම පොකුණු වටා පිහිටි කොරටුව හෙවත් අංගනයට වෑස්සෙයි. අනතුරුව එය මකර මුඛය ඔස්සේ කුඩා පොකුණට ගලා බසී. දකුණින් පිහිටි විශාල පොකුණ ජලය ලබා ගන්නේ කුඩා පොකුණෙහි පොළොව මට්ටමට පහළින් වු නලයක් හෝ කාවාටයක් තුළිනි. පොකුණු දෙක සම්බන්ධ වන්නේ ද ඒ ඔස්සේ ය. පොකුණු දෙකෙහිම ජලය ආපසු පිට කරන්නේ කුඩා පොකුණෙහි පතුලෙහි වු ස්ථානයකිනි. මකර මුර්තියට පහළින් නෙළා ඇති පෙන පහක් සහිත නාගරූපය ද මෙහි ඉතා විශිෂ්ට ගණයේ මූර්තියකි. එබඳු වූ අනෙක් නාගරූපය ඇත්තේ උතුරු පොකුණෙහි වු ජල සැපයුම අසල ය. මෙම කුට්ටම්පොකුණ අවිවාදයෙන් ම පුරාණ ශ්‍රී ලංකාවේ උද්‍යාන නිර්මාණය විදහා පෙන්වන දැනට ඉතිරිවී පවතින මාහැඟි එකක් බව පුරාවිද්‍යාඥයින් පෙන්වා දෙන කරුණකි.

(පුරාණ අනුරාධපුරය – මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න පි. 158- 159 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි -1995)

මෙහි ඇති කුඩා පොකුණට යාබදව උතුරින් සාදා ඇති ජල පෙරණය ඒ වර්ගයේ ඉතා වැදගත්ම නිදසුනකි. ජල මාර්ගයකින් ලැබෙන ජලය මේ ජල පෙරණයෙන් පෙරී පොකුණට යෑමට සලස්වා ඇත. පොකුණ වටා මිදුලක් ඇත. එහි සිට අඩි කීපයක් උඩින් සාමාන්‍ය බිම් මට්ටම පිහිටා ඇත. පොකුණ වටා නිර්මාණය කර ඇති පවුරෙන් පොකුණට ආරක්ෂාව පමණක් ම නොව නිර්මාණාත්මකව අලංකාරයක් ද ලැබී ඇත. බිම් මට්ටමේ සිට විශාල පොකුණේ මිදුලට බැසීමට ඇති දොරටුවේ පඩි පෙළෙහි අග සමසතරැස් ගල් පුවරුවකි. එහි රේඛා බොරදම් මගින් සඳකඩ පහණ නිර්මාණය කර ඇත. මේ වර්ගයේ සඳකඩපහණ දුර්ලභ ය. මෙම කුඩා පොකුණේ ඇති පුන්කලස් දක්ෂිණ භාරතයේ අමරාවතී කලා සම්ප්‍රදායට සබඳතාවයක් දක්වයි. විශාල පොකුණේ පුන්කලස් ශෛලිය අතින් ඊට වඩා වෙනස් ය. පුන්කලස් නිර්මාණාත්මකව යොදාගත් පොකුණක් ලෙස මෙය ඉතා ප්‍රකට ය.

 

දුරුතු අමාවක පෝය


දුරුතු අමාවක පෝය පෙබරවාරි 03 වන දා ඉරිදා අපර භාග 11.52 ට ලබයි. 05 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 04 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 12 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 04

First Quarterපුර අටවක

පෙබරවාරි 12

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

මාර්තු 06


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]