සමගිය දියුණුවට මගක්
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍රධර්ම
මහා සංඝ සභාවේ
ප්‍රධාන ලේඛකාධිකාරී
අනුනායක ධුරන්ධර
පණ්ඩිත විද්‍යාවිශාරද ශාස්ත්‍රපති,
රද්දැල්ලේ
පඤ්ඤාලෝක අනු නා හිමි
සමගිය වනාහි මිනිස් සමාජයේ සර්වප්‍රකාර දියුණුව නොවරදවා ම සිදු කර දෙන උතුම් ගුණ
ධර්මයක් බව සැලකිය යුතු ය.
සමගිය නම් දෙදෙනෙකුගේ පටන් වැඩි වූ පිරිසක් අතර පවත්නා අන්‍යෝන්‍ය සුහදතාව යි.
දෙදෙනෙකු, තිදෙනෙකු හෝ වැඩි පිරිසක් එක් සිත්ව ක්‍රියා කිරීම යි. එක අදහසකට අනුව
ක්‍රියා කිරීම යි. මිනිසුන් අතර පමණක් නොව සිවුපා සතුන් මෙන්ම කුරාකුහුඹු ආදී ඉතා
කුඩා සතුන් අතර ද මේ එක්සත්ව එක්සිත්ව කටයුතු කිරීම දක්නට ලැබේ.
යහපත් ක්‍රියාවලට මෙන්ම සොරකම් ආදී පවිටු ක්‍රියාවලට ද සමගිය බලපවත්වන නමුත්, පවිටු
ක්‍රියා සඳහා ඇතිවන සමගිය වැඩි කලක් පවත්වාගත නොහැකි වෙයි. ඔවුනොවුන් අතර පවත්නා
දූෂිත අදහස් නිසා මෙම සමගිය ඉක්මනින් ම විනාශයට හේතු වන්නේ ය. එපමණක් ද නොව එය
බුදුරදුන් වදාළ අපරිහානි ධර්මයක් ද නොවන්නේ ය.
පෞද්ගලික සමගිය, පොදු සමගිය යැයි මෙහි දැක්වෙන සමගිය දෙකොටසකට බෙදිය හැකි ය.
එක් එක් පුද්ගලයන් පිළිබඳ ගුණදම් වැඩීම ආර්ථික දියුණුව, අධ්‍යාපනික දියුණුව වැනි තම
තමන්ගේ පෞද්ගලික යහපත සඳහා ඇතිකරගත යුතු සමගිය පෞද්ගලික සමගිය යි.
එක් පවුලක අඹු සැමි සමගිය, සහෝදර සහෝදරියන් අතර සමගිය, ඥාතීන් අතර සමගිය,
අසල්වැසියන් හා පවතින සමගිය, ගුරු ශිෂ්‍ය සමගිය, ශිෂ්‍යයන් අතර සමගිය යන මේ ආදී
වශයෙන් පෞද්ගලික සමගිය විවිධ වේ.
ගිහි ජීවිතයේ දී වගකිව යුතු අනාගතයකට පා තබන්නේ විවාහ ජීවිතයෙනි. අඹු සැමියුවලක
වශයෙන් අන්‍යෝන්‍ය සහයෝගය සබඳතාව ඇතිව කල්පනාකාරීව කටයුතු කිරීමෙන් උසස් දියුණුවක්
පමණක් නොව වාසනාවන්ත අනාගතයක් ද ඇති වන්නේ මේ සඳහා ඉතා අවශ්‍ය වන්නේ ඔවුනොවුන් අතර
පැවතිය යුතු බලවත් සමගිය යි.
අඹු සැමි යුවලක් අතර තිබිය යුතු සමගිය නම් ඔවුනොවුන් අතර කිසිම ලෙසකින් අවිශ්වාසයක්
ඇති නොවන පරිදි ඒකාත්මික ජීවිතයක් වශයෙන් කටයුතු කිරීමයි. එවිට ඔවුනොවුන් අතර රන්
රස සේ බැඳීම් ඇති වේ.
එක මව්පිය යුවලකගේ දරු පිරිස අතරද සහෝදර සහෝදරියන් වශයෙන් ඉතා අවංක සමගියක් ඇතිවිය
යුතු ය. වෙනත් යහළු මිතුරන් හිතවතුන් කොපමණ සිටියත් ඒ හැම දෙනාටම වඩා හිතවත් බවක්,
ප්‍රේමයක් ඇතිවිය යුත්තේ තම සහෝදර සහෝදරියන් කෙරෙහි ය.
තමාගේ සොහොයුරා, සොහොයුරිය, ගුණ දම් වලින්, උගත්කමින් , ආගමික වාරිත්‍රවලින් හා
රජයේ නිලතල දැරීමෙන් උසස් දියුණුවක් ලබා සිටීම තම පවුලට විශාල ගෞරවයක් බව ඒ එක් එක්
අය සිතේ තබා ගත යුතු ය. සහෝදර සහෝදරියන් අතර මෙවැනි හොඳ හැඟීම් වැඩිදියුණු වේ නම්,
එය ඔවුන්ගේ සමගිදම වැඩීමටත් දියුණුවට ත් හේතු වේ.
එක් පවුලකට විශාල ඥාති පිරිසක් සිටිය හැකි ය. ඒ හැමදෙනා අතර ඥාතීන් වශයෙන් පැවතිය
යුතු සුහදතාවය සමඟිය යි. නෑදෑ පිරිස අතර ඇතිවන ඒ සමගිය යහපත් දියුණුව උදාකර
දෙන්නකි. එය ඔවුනොවුන්ගේ ගුණදම් සිරිත් විරිත් වැඩීමට බලවත් රුකුලක් ද වෙයි.
හැම පවුලකම ඇසුරු කරන්නට සිදුවන පිරිසක් නම් අසල්වාසී අය යි. නෑ සබඳකමක් නැති වුවද
ඥාතීන් තරමටම සැලකිය යුතු අවංකවූත් හිතවත් වූත් අසල්වාසීන් ද සිටිති. සමහර විට
ගම්බදව වෙසෙන අයට වඩා නගරබදව වෙසෙන්නන්ට නොයෙක් තරාතිරමේ අසල්වාසීන් ඇසුරු කරන්නට
සිදු වේ.
අසල්වාසීන් සමග සමගියෙන් විසීමේ දී පළමු සඳහන් කළ අය අතර සමගියට වඩා සැලකිලිමත්
බවක් දැක්විය යුතු ය. සමාජයක් වශයෙන් හැඩ ගැසීමේ දී සාමාජික පිරිස අතර දියුණු විය
යුත්තේ ගුණදම් පමණක් නොවේ. සහජීවනයට අවශ්‍ය පහසුකම් ද සලසාගත හැක්කේ ඔවුනොවුන් අතර
පැවතිය යුතු සාමූහික සම්බන්ධය නිසා බව සැලකීම මෙහි දී වැදගත් ය.
ගුරු ශිෂ්‍ය සමගිය හා එක් ගුරුවරයෙකුගේ ශිෂ්‍යයන් අතර සමගියත් විශේෂයෙන් වැදගත් ,
වන්නේ පැවිදි පක්ෂය සම්බන්ධයෙනි. ගුරුවරුන් වහන්සේ හා ශිෂ්‍යයන් අතර සමගිය
පැවැත්විය යුත්තේ මව්පියන් හා දරුවන් අතර සමගිය පැවතියුතු අයුරින් ම බව බුදුදහමෙහි
උගැන්වේ. ශාසනික ගුණදම් දියුණුවන්නේ එසේ ඇතිවන සමගියෙනි.
එක් ගුරුවරයකුගේ ශිෂ්‍යයන් අතර ද, එක්කුස උපන් දරුවන් අතර මෙන් ඉතා උසස් සමගියක්
පැවතිය යුතු ය. එය ඔවුන්ගේ ගුණදම් වැඩීමටත් ලෞකික වශයෙන් රටේ ගෞරවයට හා ප්‍රසාදයට
හේතුවන ව්‍යක්ත බහුශ්‍රැතයන් බිහි වීමටත් ප්‍රබල කරුණක් වන්නේ ය.
‘සමග්ගානං තපොසුඛො’ යන බුදු වදන අනුව සමගියෙන් යුතුව පිළිවෙත් පිරීම හැමවිටම
සැපදායක වන්නේ ය. සමගි සමාගම් මණ්ඩලයන් හි නාමයකින් පරාර්ථය පිහිටුවා ගත් ආයතනයක
තිබිය යුත්තේ පොදු සමගිය යි. තම තමාගේ පෞද්ගලික ගුණ දම් ආදියේ දියුණුවක් සලකාගෙන
පමණක් නොව ආගමට ජාතියට, භාෂාවට සාහිත්‍යයට සේවාවක් කිරීම සඳහාත් එහි දියුණුවත් ,
ආරක්ෂාවත් ඇති කිරීමට පුරවැසියන් වශයෙන් තම තමන්ගෙන් ඉටුවිය යුතු පොදු සේවාවක්
හැටියට සිදුකරනු ලබන කටයුතුවලදී ද සමිතියේ පොදු පිරිසේ සමගිය ඉතා හොඳින් පැවතිය
යුතු ය.
උසස් ලෙසත්, සාර්ථක ලෙසත්, චිරස්ථිතිය වන ලෙසත් පොදු සේවාවක් කර ගෙන යා හැකි වන්නේ
එම පිරිස අතර සමගිය එක්සිත් බව අනුකූල බව හොඳින් පවත්නාතුරු පමණකි.
තම තමාගේ දියුණුව සඳහා පමණක් හෝ පොදු යහපත සඳහා පමණක් හෝ යන මේ දෙකම සඳහා හෝ
පිහිටුවා ගනු ලබන හැම සමාගමක් ම නො කඩවා කලක් තිස්සේ පවත්වාගෙන යා හැකි වන්නේ එම
සාමාජිකයන් අතර පවත්නා සමගිය නිසා ය.
තම තමන්ගෙන් සිදුවන සේවාවේ වටිනාකම වැදගත් කම සලකා ඉතා හොඳ සුහදතාවයෙන් යුතුව
කටයුතු කිරීම නිසා අපේක්ෂා කරනු ලබන පරමාර්ථ ද හොඳින් සාර්ථක වන්නේ ය.
දෙදෙනෙකු අතර පවත්නා සමගිය වුවත් තහවුරු නොවීමට ඉක්මනින් බිඳීයෑමට හේතුවන කරුණු ගැන
සලකා බැලීමද ඉතා වැදගත් වේ. ඉහතින් දැක් වූ කවර සමගියක් වුවද වැඩි කලක් නොපවතින්නේ
සුණු , විසුණු වී යන්නේ මතු දක්වන භේදකර කරුණුවල හේතුවෙනි.
අසවලා හොඳ මිනිසෙකි. උතුම් කෙනෙකි. සත්පුරුෂයෙකි. කියා මිනිසුන් ගැන අප නොයෙක් විට
කතා කරන්නේ ඔවුන් තුළ නරක ගති නූපදින නිසාම නොවේ. ආසාව, මසුරුකම, ද්වේෂය, ක්‍රෝධය,
ඊර්ෂ්‍යාව යනාදී නපුරු ගති පෘථග්ජන හැම මිනිසා තුළම ඇතත් ඒවාට වහල් නොවී හැකිතාක්
දුරට ඉවසීමෙන් යටපත් කරගෙන ක්‍රියා කරන සංසුන් ගති ඇති ශිෂ්ට මිනිසාට අපි හොඳ
මිනිසා යයි කියන්නෙමු. මෙබඳු සත්පුරුෂයාට කිසි කලෙකත් කේළමක් කියන්නට තරම් දුෂ්ට
අදහස් පහළ නොවේ.
කේළම කියා සමගි වූවන් බිඳුවන මිනිසා තුළ පවත්නේ තමාට මර්දනය කර ගත නොහැකි ඊර්ෂ්‍යාව
ප්‍රධාන කොට ඇති දුෂ්ට ගති රාශියකි. ඊර්ෂ්‍යාව නම් අනුන්ගේ යස ඉසුරු, හොඳ ගති, හොඳ
වැඩ දක්නා විට ඉවසිය නොහැකි සතිය යි.
මෙම ඊර්ෂ්‍යාව නමැති නපුරු ගතිය තමන්ගේ අය කෙරෙහි පවා ඇතිවන අවස්ථා තිබේ. තම පවුල
කෙරෙහි සැබෑ මමත්වයක් නැති ආත්මාර්ථකාමී මිනිසුන් තුළ තමාගේ අය කෙරෙහි පවා
ඊර්ෂ්‍යාව ඇතිවෙයි. මෙබඳු එක මිනිසකු නිසා වුවද පවුලක විනාශ වී යයි. කේළාම් කියා
සමගිය බිිඳුවීමට හේතුවන ප්‍රධාන කාරණය වන්නේ පුද්ගලයන් තුළ පවත්නා ඊර්ෂ්‍යාවයි.
සමහරුන් කේලම් කීමට පෙළඹෙන්නේ ලාභාපේක්ෂාවෙනි. මේ ආත්මාර්ථකාමීත්වය නිසා කෙනෙකුගේ
නැති වැරැදි කියා වුවමනා කරන අය බිඳුවා තනතුරක් , රක්ෂාවක් හෝ ධනයක් ලබා ගැනීමට
අදහස් කරයි. මෙය ද ඉතා භයානක අපරාධයකි.
වචනයෙන් සිදු කරන අකුසල් අතර කේලාම් කීම දරුණුම පාපය කි. මෙයින් තමාට පමණක් නොව
විශාල පිරිසකට මහත් විපතක් සිදුවෙයි. අහිංසක කුමරා ඉතා යහපත් විනීත ශිෂ්‍යයෙකි.
හෙතෙම තම ගුරුවරයාට පියාට මෙන් ආදරයක් දැක්වී ය. ගුරුවරයා ද ඔහුට දරුවකුට මෙන්
සැලකී ය එය ඉවසිය නොහැකි අනික් ශිෂ්‍යයන්ගේ කේලාම් නිසා ගුරුවරයා ගේ නියමය පිට
හෙතෙම මිනී මැරීමෙහි නිරත විය. දහස් ගණන් ජීවිත විනාශ කළ මිනීමරුවෙක් විය.
මේ නිසා කේලාම් කීම දරුණු විෂ බෝම්බයකටත් වඩා භයානක අපරාධයක් බව සලකන්න. ඔහුට පරලොව
ද අපමණ කලක් මුළුල්ලෙහි දරුණු දුක් විඳීමට සිදුවේ.
කේලාම් කීමටත් වඩා භයානක කරුණ නම් කේලාම් භාර ගැනීම යැයි මෙකල පවා කතා කරන දෙයකි.
එහෙත් මේ කියන්නේ කේලමක් යැයි දැන ගතහොත් එය භාරගන්නා කිසිවෙක් ඇතැයි සිතිය නොහැකි
ය. කේලමක් භාර ගැනීමට සිදුවන කරුණු කිපයක් ඇත. එයින් පහත දැක්වෙන කරුණු තුන ප්‍රධාන
වේ.
1. කියන්නා, උපාය ශූර කෛරාටිකයකු වීම.
2. අසන්නා අවංක පුද්ගලයකු වීම.
3. කියන කරුණ අසන්නාගේ සිතට තදින් වැදෙන විශ්මය ජනක ප්‍රවෘත්තියක් වීම.
මේ කරුණු සම්පූර්ණ වන විට අසන්නාට සිතෙන්නේ මෙය මට හිතවත්ව කියන සත්‍යම වූ කරුණක්
කියායි. කාරණය හැබෑදැයි සොයා බලා භාර ගැනීමද එතරම් ලේසි වැඩක් නොවේ. සම්පූර්ණ
අසත්‍යයක් වුවත් ඒ කරුණ සිතට තදින් වැදුන පසු එය හැබෑවක් දැයි පිරික්සා බලන්නේ සැක
සහිත අවිශ්වාස සිතිනි. සැකයෙන් යමක් සොයා බලන විට එය සැබෑවක් යැයි තමන්ට සිතෙන්ට ඉඩ
තිබේ.
මිනිසුන් කරන භයානක අපරාධය නම් කේලාම් කීමයි. එවැන්නක් බාර ගැනීමද ඉතාම
පරීක්ෂාකාරීව කළ යුතු බව පමණක් සිහිපත් කරවමු.
අයුතු වැඩ කිරීම, අයුතු කතා කීම යන දෙකරුණම නිසා මිනිසාගේ යසස පිරිහෙයි. ඔහු සිටින
සමාජයේ සමගිය නැතිවෙයි. දෙදෙනෙකු අතර සමගිය පවා කැඩී බිඳී යන්නේ අයුතුකම් නිසයි.
අයුතුකම් (අගති) කිරීමට මුල්වන කරුණු සතරකි. සතර අගති යනුද මෙයට නමකි, ඡන්දය,
ද්වේෂය, භය, මෝහය යනු ඒ සතරයි.
අල්ලසක් ගැනීමෙන් හෝ නෑදෑ සබඳකමක් ගමේ පළාතේ කමක් සලකා යමෙක් යුතුකම් පැහැර
හැරීමෙන් අයුතු කමක් කරයි නම් නිවැරැදිකරු වැරැදි කරුකොට වැරැදිකරු නිවැරැදි කරු
කරයිනම්, එය ඡන්දයෙන් අගතියට යෑමකි. එහෙයින් අල්ලස් දීමෙන් හා අල්ලස් ගැනීමෙන් ද
පක්ෂපාතකම් සැලකීමෙන් ද අගතියෙන් ක්‍රියා කිරීම සමාජයට කරන බලවත් අපරාධයකි.
මිනීමැරීම, සොරකම් කිරීම වැනි අපරාධයක් සිදු කොට එයින් මිදීමට, නඩුවකින් අයුතු ලෙස
ජය ගැනීමට විභාගයකින් කෙසේ නමුත් සමත්වීමට, අයුතු ලාභයක් අත්කර ගැනීමට, බොරු
සහතිකයක් ඉදිරිපත් කිරීමට යන මේ ආදී නොයෙක් කරුණුවලට මිනිසුන් වෑයම් කරන්නේ ධර්මය,
යුතුකම, සාධාරණකම නො සැලකීමෙනි.
අධාර්මික ලෙස, අයුතු ලෙස ජීවත්වීමේ අදහස නිසා ඔවුහු මතු ඇතිවන විපත ගැන නොසලකති. ඒ
වෙලාවට පමණක් කෙසේ හෝ තම වැඩය කර ගැනීමටයි ඔවුන් බලන්නේ. මේ නිසාම ජාතියක් වශයෙන්
සිදුවන පරිහානිය ගැනවත්, කිසි වැදගත්කමක් නැති තිරිසන් වැනි නොවටිනා, පිරිසක් රටට
ඇතිවීම ගැනවත් ඔවුන් සිතන්නේ නැත.
1977 සැප්තැම්බර් 05 වන දා බුදුසරණ පුවත්පතෙහි පළවූ මෙම ලිපිය අපවත් වී වදාළ
රද්දැල්ලේ පඤ්ඤාලෝක අනු නා හිමියන්ගේ 25 වන ගුණසමරුව නිමිත්තෙන් උන්වහන්සේට උපහාර
පිණිස නැවත පළ කිරීමකි. |