UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පිළිවෙතින් නිදහස සමරමු

බොදු පිළිවෙතින් නිදහස සමරමු

ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් දිනය වූකලී රටක් වශයෙන් එකමුතුව සැමරිය යුතු දිනයක් බව අපි දනිමු. නිදහසක වටිනාකම තේරුම් ගැනීමට පහසුම ක්‍රමය නම්, වහල් භාවයේ ඇති හිංසනය, පීඩනය හා මානසික වධය තේරුම් ගැනීම ය.

කූඩුවක සිරකර තබාගෙන සිටින පක්ෂියෙකු හෝ සුනඛයෙකු, යදම්වලින් බැඳ සිටින හස්තියෙකු, බරපතල වැඩ සහිත සිරකරුවෙකු, ප්‍රජා අයිතිය අහිමි පුරවැසියෙකු, අනුන්ගේ පිහිටෙන් ජීවත් වන යාචකයෙකු හෝ අනාථ නිවසක වෙසෙන පුද්ගලයෙකු ගැන සිතන්න. මෙකී සෑම ජීවීහුම ජීවත්වෙති. කතා බහ කරති. ආහාරපාන ඇඳුම් පැළඳුම් හා වාසස්ථාන ලබති. එහෙත් කයින් මනසින් සෑම මොහොතක ම තැවෙති. පක්ෂියා කෙතරම් සැහැල්ලු ද? හස්තියෙකු කෙතරම් ජව සම්පන්න ද? මිනිසා කෙතරම් දුර්ලභ ආත්මයක් පරිහරණය කරන්නෙක් ද? මොවුනට නිදහසේ හා සතුටින් ජීවත්වීමට ස්වභාව ධර්මය විසින් කෙතරම් දේ හිමිකර දී ඇද්ද? පක්ෂියාට පියාපත්, හස්තියාට තේජස බලය හා ශක්තිය, මිනිසාට මනා අවයව හා බුද්ධිය යනාදී වශයෙන් සෑම ජීවියෙකුටම උපතින් බොහෝ දේ හිමිව ඇත.

එහෙත් ස්වාධීනව ජීවිත් වීමට වරම් නැති, වහල් බවකට යටත් වූ කල්හි ඉහත කී කිසිවෙකුට ඔවුන් ලද කිසිදු ස්වභාවික දායාදයකින් ඵලයක් ලබාගත නො හැකි ය. නිදහසේ පියාඹන්නට පියාපත් ඇතත් කූඩුවක සිර කර සිටින පක්ෂියෙකුට පියාඹන්නට නො හැකි ය. දළ සහිත ඇතෙකු වුවත් යදමින් බැඳ නිදහස අහිමි කොට ඇත්නම්, තේජසින් බලයෙන් හා ශක්තියෙන් පලක් නැත. මෙසේ සලකන විට නිදහස අහිමි වීම යනු මිනිසුන්ගේ පමණක් නොව එය සමස්ත ජීවී සංහතියේ ම ජීවිත කථාවේ ඛේදවාචකයකි. එමෙන්ම ජාතියක් වශයෙන් නිදහසක් නැත්නම් හෝ වහල්භාවයකට ලක්වේ නම් එය එම ජාතියට අත්වි¼දීමට සිදුවන දරුණු මානසික පීඩාවකි. එබඳු කාලයක් ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපගේ මුතුන් මිත්තන් ද භුක්ති විඳී බව සහ ඔවුන් එම වහල් බවින් නිදහස් වීම සඳහා දිවි දෙවැනි කොට දිගු අරගලයක නිරත වූ බවත් 1948 වර්ෂයේ මෙබඳු දිනයක එම අරගලය නවතා ගැනීමට සමත් වූ බවත් අප විසින් අමතක නොකළ යුතු ය.

ඉහත තත්වය යටතේ නිදහස ලද අප නිදහසේ අරුත දැන එය අර්ථවත් කර ගැනීමට ජාතියක් වශයෙන් උනන්දු විය යුතු ය. රටකට හෝ ජාතියකට හෝ නිදහසක් අවශ්‍ය වන්නේ දියුණුව කරා යාමට පදනමක් වශයෙනි. එය බුදුදහමෙහි විවේක යන වචනයෙන් ද අර්ථවත් වේ. වර්තමාන සමාජයට නිදහස, විවේකය යන වචන ඉතා හරසුන් කියමන් ලෙස හැඟී ගියත් ලෝකයේ සප්‍රාණික අප්‍රාණික සෑම දේකම වඩාත් කාර්යක්ෂම ක්‍රියාකාරිත්වය හා ඵලදායීතාව සඳහා අත්‍යවශ්‍යම සාධකය එයයි. සිද්ධාර්ථ ගෞතම බෝධිසත්ත්වයන් වහන්සේ බුද්ධත්වය කරා ගිය ගමන පිළිබඳව අරියපරියෙසන නම් සූත්‍රයේ ප්‍රකාශයක් කරති. බෝසත් අවිධියේ දී ගිහි ගෙය අතහැර ගිය තමා ඝන කැලෑ වාසයකට පැමිණ ප්‍රකර්ෂ විවේකය ප්‍රගුණ කළ බව එහි දක්වා ඇත.

ප්‍රකර්ෂ විවේකය යනු උතුම් විවේකයයි. දැඩි නිදහසයි. උන්වහන්සේට තම බුද්ධියේ අසදෘශ විකසිත බව, විශ්වය දැන ගැනීමේ ඥානය නැතහොත් බුද්ධත්වය ලබා ගත හැකි වූයේ කායවිවේක, චිත්තවිවේක හා උපධි විවේක වශයෙන් ප්‍රගුණ කරන ලද කායික මානසික නිදහසේ ප්‍රතිඵලයක් වශයෙනි. ලෝකයේ යම් විශිෂ්ට ශාස්තෘවරයෙකු, දාර්ශනිකයෙකු, විද්‍යාඥයෙකු, කලාකරුවෙකු, චින්තකයෙකු, නිර්මාපකයෙකු හෝ එබඳු කවර හෝ විශිෂ්ට ගණයේ කෙනෙකු බිහි වී ඇත්නම් ඔහුගේ ජීවිතයේ සැඟවී ඇති ප්‍රබලතම පදනම නිදහසයි. අවම වශයෙන් කායික මානසික නිදහසක් නැත්නම් විශිෂ්ට ගණයේ ශිෂ්‍යයෙකු හෝ දරුවෙකු වුවද බිහි වන්නේ නැත. එම අර්ථවත් නිදහසක් භුක්ති විඳීම විශිෂ්ට ජාතියක් බිහිවීමේ වැදගත්ම කාරණාවක් වේ.

නිදහසට දායකවීම

රටක නිදහසට දායක වන පාලකයෙකු හෝ රටවැසියෙකු හඳුනා ගැනීමේ ලක්ෂණ කිහිපයක් ඇත. එබඳු මිනිසා තමා මෙන්ම සමාජයේ සෙසු අය ද ආදරයෙන් රැක බලා ගන්නෙකි. ඔහුගේ දයාවේ කරුණාවේ හිමිකරුවෝ දරු මුනුබුරු නැදෑ ආදීහු පමණක් නොවෙති. සීමා මායිම් හා කොන්දේසි විරහිත විශ්වව්‍යාපී දයාවක් හා කරුණාවක් ඔහු තුළ පවතී. එසේම ඔහු රටක නීතිය හා යුක්තිය පිළිබඳ මනාව දැන ඊට ගරු කරමින් හැසිරෙයි. සාමය හා සමගියේ වටිනාකම පිළිබඳ අවබෝධයෙන් ක්‍රියාකරයි. සමාජයේ වෙනත් අයගේ විශ්වාසය තමා කෙරෙහි ලබා ගැනීමට ක්‍රියා කරයි. සමාජ හර ධර්ම හා සංස්කෘතික උරුමයන්ට ගරු කරයි. අනෙක් අය සතුටෙන් තබයි. මෙබඳු ගති පැවතුම් ඇති පුද්ගලයෙකු නිසා පොදු සමාජයට හිමි වන වරප්‍රසාද රාශියක් වේ. ඉතා කුඩා වූත්, වැරැදි වූ හෝ නීති විරෝධී වූ හෝ ක්‍රියාවක් ඔහු වෙතින් සිදු නොවන්නේ එය අනෙකාගේ නිදහසට බාධාවක් දැයි සලකා බැලීමේ මනසකින් ක්‍රියා කරන්නෙකු වන හෙයිනි. අනෙක් අතින් මෙබඳු සමාජ පැවැත්මක් තුළ යක්ෂාවේෂයෙන් යමෙක් තම පෞද්ගලික අරමුණු කේන්ද්‍රගත කර ගනිමින් සිතා ක්‍රියා කරයි නම්, ඔහු පොදු යහපත වනසන කඩාකප්පල්කාරයෙකු ලෙස සැලකේ. එබඳු විනාශකාරී ස්වභාවයක් හා සතුටක් අපේක්ෂා කරන පුද්ගලයන් නිසා සමාජය තුළ වෛරය හා ගැටුම් වැපිරෙන බව ද මතක තබා ගත යුතු ය.

නිදහසේ බෞද්ධ මාවත

බෞද්ධ පදනමක් සහිත ජාතියකට දිනෙන් දින ප්‍රගතියක් කරා යන නිදහසක සුවයක් අත්පත් කර ගැනීම අපහසු නැත. නිදහස යනු කිසිවක් නොකර රටක පවතින සම්පත් රිසිසේ භුක්ති විඳීමින් තමා කැමැති දෙයක් කරමින් ජීවත්වීම නොවේ. එය හුදෙක් අලස හා මන්ද බුද්ධික සිතිවිල්ලක් පමණකි. බුදුදහම අනුව නිදහස යනු එක් අතකින් සතුටින් ජීවත්වීම ය. අනෙක් අතින් යුතුකම් ඉටු කරමින් අයිතිවාසිකම් භුක්ති විඳීම ය. මේ සඳහා බෞද්ධ පංචශීල ප්‍රතිපත්තිය පිළිපැදීම පමණක් වුව ද ප්‍රමාණවත් ය.

රටක සමාජයක ජීවත්වීමේ නිදහස, ආර්ථික නිදහස, සාමාජික නිදහස, සාමයික නිදහස, මානසික නිදහස හා දේශපාලනික නිදහස යනාදී සියලු ආකාරයේ නිදහස් පසුබිම් නිර්මාණය වන්නේ එලෙසිනි.

විශේෂයෙන් බෙද්ධයන් වන අප විසින් නිදහසේ වරප්‍රසාද අර්ථවත් ලෙස භුක්ති විඳීමට නම්, ඊට සරිලන පරිදි අපගේ මනස ද සකසා ගත යුතු ය. මනස සකසා ගැනීමට බුදුදහමෙහි පෙන්වා දෙන පරිදි කළයුතු වන්නේ එකම දෙයකි. එනම් නො ඇලීම පුරුදු පුහුණු කිරීමයි. යමෙකුට ලොව කිසිවෙකු හෝ කිසිවක් කෙරෙහි නො ඇලීම ප්‍රගුණ කළහැකි නම්, ඇලීමෙහි ආදීනව පහසුවෙන් තේරුම් ගත හැකි ය. ඇලීමෙන් ඇතිවන ව්‍යසන, විපත්, හිංසා, පීඩා, කරදර හා හිරිහැර ප්‍රකට වේ. ලෝකයේ ඇලීම නිසා ඇති වන්නේ පරපීඩන මානසිකත්වයයි. එනම් ආත්මාර්ථය ඉෂ්ට කරගැනීම සඳහා අනුනට වධහිංසා කිරීමේ සිතිවිල්ලයි. එය පෞද්ගලික වශයෙන් දුකකි. පොදු සමාජමය වශයෙන් ද දුකකි. අප තුළ ඇලීම නමැති දුර්වල මානසික තත්වය උග්‍ර වූ විට හිංසා කිරීම, ඇනුම් බැනුම් නින්දා කිරීම්, පහරදීම්, වෛර කිරීම් ආදී අනේකවිධ ළාමක සිතිවිලි පහළ වේ. ලෝකයේ එලෙස කිරීමෙන් රැකගත හැකි හෝ දියුණු කළහැකි කිසිවක් නැත. සියල්ල ලෙඩ දුක් හා මරණයෙන් කෙළවර වන ස්වභාවයකින් යුතු ය. අතීතය හා අනාගතය පිළිබඳ සිතිවිලිවල ගැටෙමින් ශෝකය හා ප්‍රාර්ථනා සහිත සිහින ලෝකවල ජීවත් නොවීමෙන් වර්තමානය තුළ සාර්ථකව ජීවත්විය හැකි ය. වර්තමානය සාර්ථක නම් අතීතය හා අනාගතය ද සාර්ථක වීම ලෝක ධර්මතාව වේ.

නිදහස සහ සතුට

නිදහසක අරමුණ සතුටින් විසීම බව අපි දනිමු. බොහෝ අය නිදහස හා සතුට අතර පවතින සම්බන්ධය දකිනුයේ භෞතික වස්තු තමාට රිසි සේ පරිහරණය කිරීමට ඇති බාධක, නීතිරීති හා සීමා මායිම් ඉවත් කර ගැනීමෙන් ඇතිවන මානසික සතුට වශයෙනි. මෙම අදහස සම්පූර්ණයෙන් වැරැදි සහගත ය. නීති රීති, සිරිත් විරිත්, දඬුවම් තහංචි යනාදිය ලෝකයේ පැවැත්ම සඳහා පණවාගත් දේ ය. ඒවා කඩා බිඳ දමා ගැනීමෙන් සීමා මායිම් සිඳ බිඳ ජීවත්වීම නිදහසක් ලබා ගැනීමක් හෝ සතුටක් ලබා ගැනීමේ ක්‍රමය ද නොවේ. එබඳු උවමනාවන් ඇත්තේ මන්ද බුද්ධිකයන්ට හා උන්මත්තකයන්ට පමණකි.

බුදුදහම අනුව කෙනෙකුට නිදහසක් ලැබෙනුයේ දැඩි ආදානග්‍රාහී සිතිවිලි අඩු වූ පමණට බව සැබෑ බෞද්ධයා දනී. ඇලීම නිසා බැඳීමත්, බැඳීම නිසා ගැටීමත් සිදුවන බව මූලධර්මයකි. ආත්මාර්ථකාමී වූ ඇලීම් සහිත මිනිසාට ලෝකයේ සොඳුරු බව දැකිය නො හැකි ය. එසේම එහි ආස්වාදය භුක්ති විඳීය නො හැකි ය. එබැවින් බෞද්ධයාගේ කර්මය වන්නේ නිරපේක්ෂක මනසකින් ධාර්මික විනෝදාස්වාදයක් ලැබීමට පුරුදු වීමයි. පිරිත් පින්කම්, බෝධිපූජා, පෙරහර උත්සව, දන්සැල් පැවැත්වීම්, ධර්මදේශනා, වන්දනා ගමන් යාම, බණ භාවනා කිරීම ආදී වශයෙන් විවිධාකාරයෙන් බෞද්ධයන් කරනු ලබන පින්කම් ධාර්මික විනෝදාස්වාදයක් ලබා ගැනීම සඳහා බෞද්ධයන් විසින් හුරු පුරුදු කරගත් බව ඉතිහාසයෙන් අපට සාධක පෙන්වයි.

නිදහස පළමු පියවර වූ විට එහි දෙවන පියවර වන්නේ මෙබඳු ක්‍රම මගින් ධාර්මික වූ විනෝදාස්වාදයක් ලැබීමයි. සතුට යනු මෙබඳු දැහැමි දේ කිරීම මගින් ලබන වින්දනය මිස අනෙකක් නොවේ. මව්පියන්, අඹු දරුවන්, ඥාතීන් හිතවතුන් සමඟ ඒකරාශී වීමෙන් යම් විනෝදාස්වාදයක් ලැබීමට නිදහසක් යම් ජන කොටසකට හිමි වේ නම්, ඔවුහු නිදහසේ ඵල භුක්ති විඳීන්නෝ වෙති. මත්පැනින්, සල්ලාලකමින්, දුරාචාරයෙන් හා කාම වියරුවෙන් නිදහසක් සැමරිය නො හැකි ය. එහි අවසානය අසන්තෘප්තිය හා පිරිහීමයි.

නිදහස ආරක්ෂා කරගැනීම

නිදහස යනු මනුෂ්‍යත්වයේ භූමිකාවකි. කිසියම් පුද්ගලයෙකුගේ හෝ ජන කණ්ඩායමකගේ බලපෑම්වලින් තොරව ජීවත්වීමේ අයිතිය නිදහසේ ජීවත්වීම යන්නෙන් අදහස් වේ. මෙය කළ හැකි වන්නේ සමාජයේ සියලු සාමාජිකයන්ගේ පොදු හා සදාචාරාත්මක සම්මුතියකින් පමණකි. එබැවින් බුදුදහමේ දැක්වෙන ජාති ආගම් වර්ග භේදාදියෙන් තොර සැබෑ මනුෂ්‍යත්වය පිළිබඳ ඉගැන්වීම තේරුම් ගැනීම වැදගත් වේ. මනුෂ්‍යත්වය යනු සෑම කෙනෙකුගේම පොදු අයිතිය සුරක්ෂා කිරීම වෙනුවෙන් පුද්ගලික චර්යාව හැඩ ගසා ගැනීමයි. සීමා මායිම් රහිතව දුර ළඟ, උඩ යට, උස මිටි, සැලෙන නොසැලෙන, ලොකු කුඩා, ජීවී අජීවී සියලු සත්ව හා භූත කොටස් වෙත මෙත් සිත පැතිරවීමයි. කෙටියෙන් කිවහොත් කිසිදු නිදහසක් භෞතික වස්තු පදනම් කොට ගනිමින් ගොඩනඟා ගැනීමට හෝ ආරක්ෂා කර ගැනීමට නො හැකි ය. එය හුදෙක් මානසික සංවර්ධනයක් තුළින් ලබා ගැනීමට හා ආරක්ෂා කිරීමට හැකි වන්නකි. විශ්වය යනු මිනිසුන්ගේ පමණක් නොව ගහකොළ, ඇල දොළ ගංගා ආදියේ ද, දිව්‍ය මනුෂ්‍ය නාග සුපර්ණාදී භූත කොටස්වල ද වාසස්ථානයකි. එබැවින් නිදහසක් ලබා ගැනීම හා පවත්වා ගැනීමට එකී සෑම කොටසකම ප්‍රසාදය අවශ්‍ය වේ. එය වෛරය, පළිගැනීම, හිංසා පීඩා කිරීම් ආදිය මගින් පවත්වා ගත හැකි ගනුදෙනුවක් නොවේ. හුදෙක් එය සාමූහික නිරුපද්‍රිත වාසයට උපකාර කිරීම මගින් පවත්වා ගෙන යා යුත්තක් වේ. එබැවින් පිරිසුදු නිකැලැල් මනසකින් සමාජය දෙස බලන්න. දැහැමි විනෝදයෙන් කල් යවන්න. දාන ශීල භාවනාදී යහපත් ක්‍රියාවන්ගෙන් එය අර්ථවත් කර ගනිමින් කායික මානසික නිදහසේ උසස්ම ඵලය වන සාංසාරික නිදහස ළඟා කර ගන්න.

 

දුරුතු අමාවක පෝය


දුරුතු අමාවක පෝය පෙබරවාරි 03 වන දා ඉරිදා අපර භාග 11.52 ට ලබයි. 05 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 04 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 12 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 04

First Quarterපුර අටවක

පෙබරවාරි 12

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

මාර්තු 06


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]