UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිකෙලෙස් ඇසින් ගීතයට නැගි සොබා දහමෙහි සැබෑ අසිරිය

නිකෙලෙස් ඇසින් ගීතයට නැගි සොබා දහමෙහි සැබෑ අසිරිය

බුදු දහම ප්‍රතික්ෂේප කරන්නේ සුන්දරත්වය නොවේ. ලෝකයේ යථාර්ථය වූ සුන්දරත්වය විපරීත ලෙස සලකා ගැනීමට ය. එසේ සලකා ගැන්ම නිසා රාග වශයෙන් මිනිස්සු එහි ඇලෙති. ද්වේශ වශයෙන් එහි ගැටෙති.

එයින් මුලාවෙති. දුකට පත්වෙති. එබඳු විපරීත සංකල්පයෙන් තොරවන බැවින් කෙලෙස් වසඟ වීමෙන් තොර වූ විමුක්තිලාභී, පිරිසුදු සන්තාන ඇති උතුමෝ රමණීය වූ වනාන්තරයට කැමති වෙති. එහෙත් කෙලෙස් වසඟව සිටින ප්‍රජාව එයට නොකැමති ය. කාම ගවේසී වූ ඔවුහු සුන්දර නිසල වනයට නොව ජනාවාසයට ම කැමැති වෙත්. මේ අනුව සැබෑ සුන්දරත්වය අව්‍යාජව විඳ ගැනීමට නම් පූර්ණ චරිත සංවර්ධනයක් තිබිය යුතු ය. ථෙර ථෙරි ගාථාවන්හි එසේ පිරිපුන් චරිත සංවර්ධනයෙන් යුතු උතුමන් සොබා දහමෙහි සොඳුරු බව දුටු හැටි කියැවෙයි.

සූත්‍රාන්ත පිටකයෙහි ඛුද්දක නිකායට අයත් ග්‍රන්ථ පහළොවින් දෙකක් වන ථෙරගාථා සහ ථෙරී ගාථා බුදුරදුන් දවස වැඩ සිටි තෙරුන් හා තෙරණියන් විසින් පවසන ලැදැයි සැලකෙන පාලි පද්‍ය සමූහයකින් යුක්ත වෙයි. බෞද්ධ සාහිත්‍යයේ පමණක් නොව සමස්ත පෙරදිග සාහිත්‍යයෙහි ම ඇතුළත් ඉතා විශිෂ්ට ගණයේ රසවත්, එමෙන් ම හරවත් සාහිත්‍ය නිර්මාණ ලෙස සැලකිය යුතු මෙම පද්‍යවල කර්තෘත්වය පිළිබඳ නූතනය විසින් විවිධ මත පලකොට තිබේ. කෙසේ වුව ද ඉතා පැරැණි පාලි ධර්ම ග්‍රන්ථ දෙකක් ලෙස ථෙර ථෙරී ගාථාවන් විද්වතුන්ගේ සම්භාවනාවට ලක්ව ඇත.

ථෙරගාථාවෙහි තෙරවරුන් දෙසිය හැට හතර දෙනෙකු විසින් ගයන ලද ගීත ඇතුළත් ය. ඒ යතිවරුන්ගෙන් සමහරු තම තමන් පසක් කළ මග ඵල සිහිකරමින් එයින් උපන් නිරාමිස පී‍්‍රතියෙන් ගී ගයති. සමහරු තමන් ලද සමවත් සුවයම දක්වනු පිණිස ද, සමහරු අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලෙසද ගී ගයති. ඇතැම් යතිවරුන්ගේ ගීතිකා සම්බුදු සසුනෙහි උතුම් බව කියයි. ඒ සෑම පද්‍යයක්ම පාහේ අපූරු රසවත් රූපක මුසුකොට ගනිමින් සිය අත්දැකීම් පවසනු පිණිස නිමවන ලද්දේ ය. පරිසරයෙහි,සොබා දහමෙහි අසිරිය මතු කරන්නේ ය.

මනා සිළු ඇති
විසිතුරු පිල් කළඹ ඇති
සොඳුරු නිල්ගෙල ඇති
මනහරු මොණරු නද දෙති
ඇත පොළොවෙහි
මනා නිල්තණ පියෙසි
අහස පැතිරුණු සසොබන
මනහර වළාකුළු

මේ චූලක හිමි ගැයූ ගීතයයි. වනගත අසපුවෙහි හුදකලාව චිත්ත විවේකයෙන් වැඩ සිටි උන්වහන්සේ මොහොතකට අවට නිහඬ පරිසරය වෙත නෙත් හෙලූහ. ඒ නිසල වනයෙහි අපූරු සුන්දරත්වයේ සැබෑ සංකේතය එතුමන් නෙත ගැටිණ. ඒ සිත් කලු මොණර සමූහයෙකි. මැනවින් වැවුණු නිල් වන් සොඳුරු තණ පියෙසි පොළොව වසා ගෙන තිබිණි. අහස වසාගෙන තිබුණේ මොනවට පැතිර ගිය සුදෝ සුදු වළා පෙලිනි. ඒ සුන්දර අපූර්ව දර්ශනයෙන් චූලක හිමි සිත උපන් චමත්කාරය නිතැතින්ම ගීයකට හැරිණ. මේ පොළව පිහිට කොට, ඒ අහස සෙවන කොට ලොව වසන කාමභෝගී පුහුදුන් ප්‍රජාව, නද දෙන රඟන විසිතුරු මොණරුන් වැනි යැයි මොහොතකට චූලක හිමියනට හැඟුණා විය හැකි ය. එකලාවැ මහ වෙනෙහි ගුහාවක සිට සොබාදහම ද දකිමින් එතුමෝ ලෝ තතු සිහිගන්වති. දැහැන් වඩන්නැයි ද නිවන් සුව පහස ලබන්නැයි ද තමාටම අවවාද කර ගනිති. මේ එබැඳුම තවත් ගීයෙකි.

සුදු පියාපත් ඇති කෙකිණි
දැක කලු මේ කුළක්
තැති ගත්තී බියෙන්
සොයන්නී සැඟවෙන තැන්
නොරැඳෙයි පළා යයි
මෙවන් අසිරිය ඇති
නදිය අජකරණී
තුටු කරයි මා සිත
වේය එය අතිරමණී

මේ සප්පක හිමිගේ ගැයුමයි. මහ වන මැදින් ගලා ගිය අජකරණී නදිය අසබඩ එතුමෝ වැඩ හුන්හ. මේ ගීතය උන්වහන්සේ දුටු ගං තෙර අසිරිමත් සිදුවීමක් රූපණය කරන්නකි. කෙකිණිය සුදු පියාපත් ඇත්තී ය. එහෙත් ඇය බියපත් කළ මේ කුළ කළුය. එය මහ වැස්සෙක පෙර නිමිති පළ කරයි. ඒ සොබාදම් පෙරළියෙකි. එය වටහා ගනු නොහැකි කෙකිණිය බියපත් වූවා ය. එය බිය විය යුත්තක් නොවේ. ඇය සැඟවෙන තැන් ද සෙවුවා ය. කැදැල්ල ඇයට හව්හරණය විය. මේ සංසාරික සත්වයෝ ද මෙලෙසින් මැ සසර දුකට බිය වන්නෝ යැයි සප්පක හිමියන් නොකියා කියනු වැනි ය. එහෙත් එය බිය විය යුත්තක් නොවේ. වටහාගත යුත්තකි. කෙකිණිය මෙසේ සැඟවෙන තැන් සොයද්දී රමණීය අජකරණී නදිය නිහඬව ගලන්නී ය. ඒ සසර නොසිඳී පැවැත්ම ඒ ගලායාම බඳු ය. සප්පක හිමියෝ පසෙකට වී මේ සියල්ල බලා සිටිති. මේ තවත් රසවත් ගීයකි.

වටුවන් හඬන හැඬුමට
දඬු ලෙහෙණුන් වැළපුමට
නිවන් අරමුණු කළ
සිත නොසැලෙයි කිසිදු ලෙද

රාමණෙය්‍යක හිමියෝ එසේ ගැයූහ.පරිසරයෙහි වසන්නවුන් කෙලෙස රාව ප්‍රතිරාව නැගුව ද ඒ කිසිවකින් නොසැලෙන සිතක් උන්වහන්සේ වෙත විය. ලෝකයෙහි ඇති මේ විචිත්‍රත්වය සන්සුන් සිත් ඇති ඒ උතුමන්ට පෙනේ. එහෙත් උන්වහන්සේලා එහි ඇලෙන්නේ නැත. එබඳුමැ තවත් ගීයෙකි.

සොදුරු ගායනාවකි වැසි වැටුම
සුවපහස් දෙන සුළුය මගේ කුටිය
සිරිපොදට වැසූ වා කවුළු ඇත
ඉතින් මේඝය වසිනු මැන රිසි ලෙසින

මේ උත්තිය හිමි ගැයූ ගීයයි. උන්වහන්සේට මහ වැස්ස සුන්දර ගායනයක් සේ ඇසිණ. පරිසරයෙහි සිදුවන ඒ පෙරළියෙන් නොසැලෙන සිත් ඇති එතුමෝ තම කුටිය සුව පහසු බව ද , ඒ මහ වැස්සෙන් මැනැවින් ආරක්ෂා වනු පිණිස කුටිය තමාට පිහිටවන බව ද දනිති. එබැවින් රිසි සේ වහින්නැයි වැස්සට කියන්නාහ. ඒ කුටිය නොසැලෙන සිත වැනි ය. එය කෙලෙස් මහ වැස්සට නොතෙමෙයි. මේ තවත් හිමිනමකගේ ගීයකි.

රන්වන් ලපල්ලෙන්
පිරුණු මලින් - ගැවසුනිය ගස්වැල්
පහන් සිළුමෙන් බබළමින්
පල දරනට නිසි වූයෙහි ය
මහා වීරයන් වහන්ස ශාක්‍යයනට උපහාර
පිණිස - වඩනට මේ කාලයයි

මේ කාළුදායි හිමියන්ගේ ගීතයයි. ශාක්‍යයනට දම් දෙසනුවස් කිඹුල්වතට වැඩමවන ලෙස බුදුරදුනට ඇරයුම් කරමින් උන්වහන්සේ මේ ගී ගැයූහ. බුදුරදුන් වැඩමවන මග පැවති සොදුරු බව අතරින් ම ගස්, පළදරනට නිසිව සිටි යැයි කීම ශාක්‍යයනට බුදුරදුන්ගේ වැඩමවීමෙන් අමාඵල ලැබේ යැයි කියන අනාවැකියක් බඳු ය. රූමත් කුමරියනට ද වසඟ කරගත නොහැකි නිසල පී‍්‍රතිමත් සිතක් තමන් වෙත ඇති බව හඟවන රමණීය කුටික හිමියන්ගේ ගීතය මෙසේ ය.

සැදැහැයෙන් දුන් දෙයින් නිමා කළ
සිත්කළුය මනරම්ය මගෙ කුටිය
කුමරියනි, තොපෙන් කම් නැත මෙමට
රමණීය වේ මාගේ කුටිය

සැදැහැවතුන් දුන් දෙයින් ඒ කුටිය තැනුණි. බවුන් වඩා උපදවාගත් ධ්‍යාන සුවයෙන් යුතු පී‍්‍රතියෙන් සැපයෙන් සැදුම්ලද ඒ හිමියන්ගේ සිත මෙහි කියැවෙන කුටියෙන් ගම්‍ය වේ. උන්වහන්සේ එහි වැඩ සිටිති. එයින් සතුටු වෙති. නිසල එකඟ පී‍්‍රතිමත් සිත් ඇති එතුමන්ට රුවැති කුමරියන්ගෙන් කම් නැත. මේ තවත් ගැයුමකි.

නිල්වලා සේ ම පැහැපත් දිය සොබන
රතිඳු ගොව්වන්ය පර්වත මත විසුල
මේ නිමල සුවිශුද්ධ භූමියේ
අලවයි නැවතෙයි මා සිත

මේ වන වච්ඡ හිමියන්ගේ ගීතයයි .උන්වහන්සේට ගලා යන පැහැපත් දිය දහර නිල් වලාවන් සේ පෙනේ. පර්වත මත ගැවසෙන රතිඳු ගොව්වන් ද පෙනේ. ඒ සොඳුරු වනයෙහි ම එතුමෝ සිත් අලවති. එය නිර්මල සුවිශුද්ධ භූමියකැයි උන්වහන්සේට හැඟෙයි. සිරිවඩ්ඪ හිමියෝ මෙසේ ගායනා කරති.

වෙහෙර පව්වද පාණ්ඩව පව්වද
විවර හස්සෙන් විදුලි එළි වැද
බුදු පුතණුවන් ලෙන් ගැබ
වූ සේම සම වැද

පර්වත විවර අතරින් විදුලි එළි ගලා එයි. එහෙත් ලෙන් ගැබ සන්සුන් සිත් ඇතිව සිටින සිරිවඩ්ඪ හිමියෝ එයින් ද කම්පනය නොවෙති. එය සොඳුරු දසුනක් සේ එතුමන්ට පෙනේ. මේ තවත් ගැයුමකි.

වසියි මහ වැසි නැවත නැවතත්
ගලයි ගල ගල හඬින් වැසි දිය
වසමි එකලාවමැ
බිය ජනක ගුහාවෙක
නොමැත මෙමා හට කිසි
බියක් හෝ තැති ගැන්මක්

මේ සම්බුල කච්චාන හිමියන්ගේ ගීතයයි. උන්වහන්සේ වැඩ සිටියේ බිය උපදවන සුළු ගුහාවෙක ය. නිසල මහ වන මැද පිහිටි එය සිත්සතන් නිවාලණු පිණිස එතුමනට රැකවරණය වූයේ ය.

එදා මහ වැසි ඇද හැලිනි. වැසි දිය හඬ නඟමින් ගලා ගියේ ය. එහෙත් නිවුනු සිත් ඇති බැවින් ගුහාවෙහි වැඩ සිටි සම්බුල කච්චාන හිමියන්ට බියක් තැති ගැන්මක්, හෝ ලොමු දැහැ ගැන්මක් නොවී ය. සොබා දහමෙහි ඒ පෙරළිය නිසා නොපෙරළෙන සිතක් ඇතිව සිටි උන් වහන්සේගේ මුවඟට නැගුණු කවි සංකල්පනාව එසේ සටහන් වූයේ ය. මේ තවත් ගීයෙකි.

පවසයි ඇදුරු තුම
යමුය මෙතැනින් වෙනතක
මා කය ගම්දොර වෙසෙත
සිත දිව යෙයි අරණ වෙත
කම් සැපත හැරලූ මට
නැත කිසි ඇළුම් කිසි තැන

මේ වනවච්ඡ සාමණේරයන් වහන්සේගේ ගැයුමය. මෙබඳු ගීතිකා දහස ඉක්මවා ථෙරගාථාවෙහි ඇතුළත්ව තිබේ. අධ්‍යාත්මික දියුණුව නිෂ්කාමී නිසල සිත තුළින් නිපන් නිරාමිස සතුටින් ප්‍රමෝදයෙන් ගායනා කළ ඒ ගීතිකා මහ වනයෙහි තුරුලතා අතරින් ගලායන්නට ඇත. නිර්මාණාත්මක බවින් ද රසවත් බවින්ද, පිරුණු එම වැකි උසස් ප්‍රතිභාව ද, ව්‍යුත්පත්ති ඥානය ද මොනවට ප්‍රකට කරයි.

 

දුරුතු පුර පසළොස්වක


දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 20 වනදා ඉරිදා අපරභාග 02.19 ට ලබයි. 21 වනදා සඳුදා පූර්ව භාග 10.45 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 20 වනදා ඉරිදා ය.

 

මීළඟ පෝය ජනවාරි 27 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 20

Second Quarterඅව අටවක

ජනවාරි 27

Full Moonඅමාවක

පෙබරවාරි 04

First Quarterපුර අටවක

පෙබරවාරි 12


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]