දහමෙන් බබළන
සදහම් රසය
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය
අලහේනේගම සුමනරතන හිමි
සමාජය පවතින්නේ ලෝක ධර්මතාවට අනුව ය. ආගමක් පවතින්නේ ද කිසියම් ධර්මයක් අනුව ය. අප
විසින් අනුගමනය කළ යුත්තේ සමාජය යහමගට යවන උසස් චාරිත්‍ර ධර්මයන් ය. උසස්
සාරධර්මයන් ය.
එබඳු සද්ධර්මය සරණගිය තැනැත්තා ලෞකික හා පාරලෞකික වශයෙන් පවිත්‍ර කිරීමට හේතු භූත
වේ. කිසියම් තැනැත්තෙක් ධර්මයෙන් වෙන් වන්නේ නම්, වියුක්ත වන්නේ නම්, ධර්මය ට
පිටුපාන්නේ නම්, මිත්‍යා දෘෂ්ටියෙන් වෙළෙන්නේ නම්, ඔහු ඒකාන්ත වශයෙන් ම යහපත්
සද්ධර්මය අනුගමනය නොකරන අයහපත් පුද්ගලයෙකි. වර්තමානයේ වුව ද, ඇතැම් පුද්ගලයන්
අධර්මයෙන් ජීවත්වීමට කැමැත්තක් දක්වන බැව් පෙනේ. මිත්‍යා දෘෂ්ටියෙන්, අධර්මයෙන්
ඔවුන් වෙළී සිටින බව ඔවුනට ම නොතේරෙයි. එහෙත් ලෝක සමාජයේ ස්වල්ප දෙනෙක් ධර්මය සොයා
යාමට, ධර්මයට අනුකූල වීමට, ධර්මය අනුගමනය කිරීමට, ධර්මයෙන් බැබළීමට ප්‍රයත්න දරති.
ඒ සඳහා ප්‍රසංශා කළ යුතු ය. සැබැවින්ම ඇගයිය යුතු ය. පුරාණයේ ද ඇතැම් සාමාන්‍ය
ජනයෝත්, රාජ රාජ මහා මාත්‍යයෝත් ධර්මයට පි‍්‍රය කළ හ. ධර්මය අනුගමනය කළහ. ධර්මය
පිළිපැදීමට රුචි වූ හ. එපමණක් නොව , වත්පිළිවෙතින් අනූන සත්ත්වයාට මෙලොව පරලොව
සුගතිගාමී වීමට පිහිටවන්නාවූ ද සමාජ ප්‍රගතියට කටයුතු කරන්නා වූ ද ග්‍රන්ථයක්
වශයෙන් ගම්පොළ රාජ්‍ය සමයෙහි ධර්මකීර්තී නම් හිමියන් අතින් සිංහල භාෂාවෙන් රචනා වූ
මාහැඟි ග්‍රන්ථයක් වූ සද්ධර්මාලංකාරය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කෙළෙමු. අද මෙම
ලිපියෙන් අපේක්ෂා කරන්නේ පැරැණි කාලයේ ධර්මය සොයා ගිය, ධර්මයට අතිශයින් කැමැති වූ ,
ධර්මයෙන් ගතකිරීම ප්‍රිය කළ, දහම්සොඬ නම් රජතුමාගේ මනහර වූ මහාර්ඝ වූ කතාව පිළිබඳව
යි. ලෝකයේ කාශ්‍යප නම් බුදුරජාණන් වහන්සේ නමක් පහළව වැඩ සිට පිරිනිවන් පා වදාළ සේක.
පසුව බෝධිසම්භාරයන් පුරණ අප මහා බෝසතාණෝ බරණැස්නුවර බ්‍රහ්ම දත්ත රජුගේ පුත්
කුමරෙක්ව ඉපිද, දහම් සොඬ නමින් ප්‍රසිද්ධ විය. දහම් සොඬ කුමරු සියලු ශිල්ප
ශාස්ත්‍රයක්ම පරතෙර ට පැමිණියේ ය. පිය රජතුමා ඔහුගේ දක්ෂකම් බලා ප්‍රථමයෙන් ම
යුවරාජ තනතුªරු පැවරීය. පිය රජතුමාගෙන් පසුව දහම් සොඬ නමින් රාජශ්‍රීයට පත්වි ය.
නොබෝ කලකින් ම මහජනයා ට මහත් සෙතක් අත්වි ය. ජනප්‍රසාදය ද හිමිකර ගත්තේ ය. රාජ්‍ය
පාලනයේදී මහජනයාට අවශ්‍ය සැප සම්පත්තිය ද සියල්ලක් ම ලබා දුන්නේ ය. එතුමා ජීවිත
තෘප්තියට නම් පත් නොවූයේ ය. ජීවිතයට සේම රාජ්‍යයට අවශ්‍ය ධර්මය නොදැන සිටීමෙන්
ජීවිතයට පළක් නොවන බවද එතුමා නිතර ම අවධාරණය කළේ ය. පංචකාම ආදියෙන් රාජ්‍යයත්වයේ
දියුණු තත්ත්වයට පත් වුවත්, ධර්මයෙන් තොර වූයේ නම්, ස්වකීය රාජ්‍ය බබළන්නේ නැති බව
ද නිතර ම සිහිපත් කළේ ය. කුසල ධර්මයට මුල් වන්නේ ධර්මයම බවත් ,කවුරුන් හෝ ධර්ම
කථිකයෙක් ඇත් නම්, තමා වෙත යොමුකරවන ලෙසත් , අමාත්‍ය සේවකකාරකාදීනට දැනුම් දුන්නේ
ය. එසේ තම අදහස ඉටු කළහොත් රන්රිදී, මුතු මැණික් ආදී වූ දසවිධ රත්නයන්ගෙන් එම ධර්ම
කථිකයා පිදුම් ලබන බවට සඳහන් කළේ ය. තවදුරටත් ධර්මයේ ලොල් වූ දහම්සොඬ රජතුමා දහමින්
කවුරුන් හෝ තමා සවිමත් කරන්නේ නම්, බුදුරදුන් දෙසූ ජාති, ජරා, මරණ ත්‍රිවිධ
නිර්වාණයට පමුණුවන ධර්මයෙන් ස්වකීය කර්ණාලංකාර කරන්නේ නම්, ඒ වෙනුවෙන් තම ජීවිතයම
ඔහුට පූජා කරන බව සඳහන් කළේ ය. එතුමාගේ ප්‍රකාශය දක්වන කොටසකින් ධර්මකීර්ති
හිමියන්ගේ වාක්‍ය කිහිපයක් මෙසේ ය.
ඉදින් ඒ තෙම මාගේ ශරීරමාංස කැමැත්තේ වී නම් ඇඟමස් ලියා දෙම් ම ය. ඇස් කැමැත්තේ වී
නම් නිලුපුල්පෙති පරයන පස් පෑ දිස්නා ඇස් උපුටා දෙම් ම ය. ඉස් කැමැත්තේ වී නම් පූජා
කෙරෙම් ම ය. යනුවෙන් ය. තවදුරටත් අදහස් දක්වන රජතුමා මෙසේ ද කීවේ ය. පූර්ණ
චන්ද්‍රයාගෙන් තොරව රාත්‍රී කාලයේ අහස බැබළීමෙන් තොර වන්නේ යම් සේ ද, එසේම ධර්මයෙන්
තොරව තමා ද නොබබළවන බව ද සඳහන් කළේ ය. පි‍්‍රියංකර දළ යුගලක් නොමැති ඇතෙකු නොබබළයි.
සර්වාභරණ හා ඔටුනු ආදියෙන් වියුක්ත රජතුමා නොබබළන්නා සේම ධර්මයෙන් තොර තම
රාජ්‍යත්වය නොබබළවන බවද සිහිපත් කළේ ය. සැම සම්පත්තියකට ම වඩා ධර්ම සම්පත්තිය ම
වටිනා බවද රජතුමා අවධාරණය කළේය. පසුදා උදෑසන දහම් සොඬ රජතුමා සර්වාභරණයෙන් සැරසී
දිව සෙනඟ පිරිවරා ශක්‍ර දේවේන්ද්‍රයා මෙන් මහත් පිරිවර පිරිවරාගෙන රාජ භවනට ගමන්
කළේ ය. මේ අතර අමාත්‍යවරුන් අතර බුද්ධ ධර්මය දන්නා කෙනෙක් වී නම්, තමාට එයින් බණ
පදයක් කියන ලෙස කීවේය . එවිට ඔවුහු එක බණ පදයකුදු නොදන්නා බව ප්‍රකාශ කළහ. දහම් රස
විඳීමට ආසාවෙන් පෙළුණු රජතුමා ගාථාවක් හෝ බණ පදයක් දන්නා අයෙකුට දහසින් බැඳි
පියල්ලක් හෙවත් වටිනා රන්කාසි මඟුල් ඇතු මත තබා නගර මධ්‍යයේ අඬබෙර ගැසීය. කාර්යය
කිරීමට කවුරුත් ඉදිරිපත් නොවූයේ ය. ධර්මය දන්නා කිසිවෙකු නැති බව දැනගත් රජතුමා
ධර්ම වියෝගයෙන් සිත කළකිරී රාජ්‍ය සම්පත් සියල්ල අමාත්‍ය මණ්ඩලයට පවරා දී දහම් සොයා
නියම්ගම් සිසාරා ඇවිද ගියේ ය.
හේමමාලා රන්දුනු |