UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුදබිම්වල දොරටු සැරසූ කොරවක්ගල් සහ පියගැට පෙළ

පුදබිම්වල දොරටු සැරසූ කොරවක්ගල් සහ පියගැට පෙළ

කිසියම් ගොඩනැගිලි දොරටුවක ප්‍රධාන දොරටුව පිහිටි බිම් මට්ටමට වඩා තරමක් උස බිමක ඇති ගොඩනැගිල්ලකට පිය ගැට පෙළකින් ගමන් කොට ඇතුළුවීමට සිදුවේ. එවැනි පිය ගැට පෙළක ගල්පඩි ශක්තිමත් ව තිබිය යුතු ය. “කොරවක්ගල” එම අවශ්‍යතාව සපුරන එමෙන් ම දොරටුවට පූර්ණත්වයක් හා අලංකාරයක් ඇති කරන්නකි. ගොඩනැගිලි ගඩොල්වලින් සාදන ලද කාලයේ දී කොරවක්ගල වෙනුවට ගඩොලින් බඳින ලද කොරවක් බැම්මක් විය. ඒ සඳහා විවිධ හැඩයෙන් යුත් ගඩොල් නිෂ්පාදනය කර තිබේ. මේ වර්ගයේ ඉතා සුදුසු ගොඩනැගිලි දොරටුවක් දඹුල්ලේ සෝමාවතී චෛත්‍යයට සාදා ඇත. එවැනි නොවූවත් ඊට ආසන්න නිදසුන් සීගිරියේ ද දැකිය හැකි ය.

කොරවක් බැමි සඳහා ගල් භාවිත කරන්නට පටන් ගත්තේ පසු කාලයක දී ය. එය ක්‍රමයෙන් විකාශනය ට පත් වූ බවට සාධක අභයගිරි විහාරයේත් තිබේ. කැටයම් රහිත කොරවක්ගල් වඩාත් පැරැණි ලෙස සැලකිය හැකි ය. මේ වර්ගයේ සමහර කොරවක් ගල් ජ්‍යාමිතික මෝස්තර යොදා නිර්මාණය කර තිබේ. ඊළඟ අවස්ථාවේ දී වැලක දල්ලක මෝස්තරයක් ලෙස යොදා ගෙන තිබේ.

(අපේ සංස්කෘතික උරුමය – ප්‍රථම කාණ්ඩය –අභයගිරි සම්ප්‍රදාය – මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ කොරවක්ගල් පි. 125 මධ්‍යම සංස්කෘතික අරමුදල– 1995)

මුරගල්, සඳකඩපහණ දෙපස පිහිටුවා ඇත. මෙම මුරගල් දෙක සෝපාන පන්තියට (පඩිපෙළට) සම්බන්ධ කිරීම සඳහා සැකසුණු පඩිපෙළෙහි ම අංගයක් ලෙසින් කොරවක්ගල හඳුන්වාදිය හැකි ය. තවත් ආකාරයකින් සඳහන් කරනවා නම් මුරගල් පිහිටුවීමේ දී එය නොපෙරළී කෙළින් පිහිටුවීමට ආධාර වන ඊට පිටුපසින් ඇති කොටස කොරවක්ගල නමින් හැඳින්වේ. මෙය පඩි පෙළ මෙන් ම මුරගල්වලට ස්ථාවරභාවය (සවිමත්ව තිබීමට) ලබා දීමටත් එය අලංකාරවත් ලෙසට සැකසීමටත් උපකාරි වේ.

මුලින් ම සඳකඩපහණ හා මුරගල මෙන්ම කොරවක්ගල ද කැටයම් නැතිව ඉතා සරල ලෙසින් සකස් කරන ලදී.

මුල් කාලයේ දී පූජනීය ගොඩනැගිලිවල දොරටු දෙපස ගඩොල්වලින් කරන ලද සාක්ෂි හමුවී ඇත. මුරගල් ද, දැවවලින් සාදන ලද මුල් කාලයේ දී කොරවක් බැමිවලට සමාන වූ කොටසක් මුරගල සේ ලී වලින්ම සාදා තිබෙන්නට ඇත. කෙසේ වුවද ලී වලින් (දැව) සාදන ලද එවැනි නිර්මාණ කාලයක් යන විට දිරාපත්වන නිසා ගඩොලින් සාදන ලද කොරවක්ගල් ද ඉතා පැරැණි කාලයේ ඒවා ලෙසින් සැලකිය හැකි ය. ගොඩනැගිලි, මුරගල්, පඩිපෙළ (සෝපාන) හා සඳකඩපහණ යන අංග ගල්වලින් (ශිලාවලින් (පාෂාණවලින්) සෑදීම ඇරඹීමත් සමඟ කොරවක්ගල් ද පාෂාණ වලින් නිර්මාණය කරන්නට ඇත. ඒ අනුව මුල් කාලයේ දී කොරවක්ගලට මකර රූප හෝ් ලියවැල් ආදී කැටයම් තිබුණේ නැත.

ඉතාමත් චාම් පිය ගැට පෙළෙහි හැඩය අනුව නැමී හා වක ගැසුණු ලෙසින් මේවා නිර්මාණය කර තිබේ. කොරවක් ගල්වලට ජ්‍යාමිතික රේඛා යොදා ඇති අන්දම ද දැකිය හැකි ය. ලියවැල් සහිත කොරවක්ගල් ද නිර්මාණය කර තිබීම මෙම කොරවක් ගල්වල තවත් දියුණු පියවරකි. ලියවැල මුලට මකර කට ද ඉන් පසුව කාලයේ දී ඊළඟට එක් වූ කොරවක්ගල් පරීක්ෂා කරන විට පැහැදිලි ව පෙනෙන කරුණකි. එම ලිය වැල කොතරම් නිර්මාණාත්මක ව යොදා ගෙන ඇතිද යන්න පැහැදිලි වන්නේ මකරාගේ දිව ලෙසින් එය කැටයම් කර තිබෙන හෙයිනි.

මකරාගෙන් සංකේතවන්නේ කාලය යි. කාලය විසින් සුන්දර වස්තු විනාශ වී යෑම හෝ කාලය විසින් ඒවා කා දමන බව මෙයින් ප්‍රකාශ වන්නේ යැයි කලා විචාරකයෝ පවසති. මුල් කාලයේ දී බොහෝ විට කොරවක් ගලට ගෙන ඇත්තේ මකර හිස පමණකි. කොරවක්ගල්වල ඇතුළු පැත්ත හා පිටපැත්ත මුල්කාලයේ දී සැරසිලි නැතිව තිබුණි. පිටත සැරසිල්ලක් සේ පුන්කලස යොදාගත් කොරවක්ගලක් අභයගිරිය පුදබිමෙන් හමු වී ඇත. පිටත ඇති රූකම් , සිංහරූප සහිත කොරවක්ගල් ද හමු වී ඇත.

කොරවක්ගල් පිළිබඳ විමසා බලනවිට දොරටුවල අනෙකුත් අංග මෙන් ම කොරවක්ගල කලින් කල විකාශයට පත් වී ඇති බව ඉතා පැහැදිලි ය. මකර රූපය ඉතා බහුල ලෙසින් කොරවක් ගලට යොදාගෙන ඇති බව දක්නට ලැබේ. මේ අනුව සඳකඩපහණ , මුරගල මෙන් ම කොරවක්ගල ද මූර්ති කැටයම් සහිතව නිර්මාණය කිරීමත් සමඟ මෙවැනි නිර්මාණවල පියගැට පෙළ ද නිරායාසයෙන් ම යොමු වූ බව පැහැදිලි ය.

(පැරැණී හෙළ කලා විස්කම් – සිරිසමන් විජේතුංග පි. 45 -48 සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ – 2017)

ලක්දිව පැරැණි ම කොරවක්ගල්වල ස්වරූපය කුමක්දැයි දැකගත නොහැකි බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා 'ස්තූප ඉන් සිලෝන්' ග්‍රන්ථයෙහි සඳහන් කරයි. මේ පිළිබඳ එහි මෙසේ ද සඳහන් වේ.

එහෙත් පසු කාලවල දී ඒවා සාමාන්‍යයෙන් විවිධ හැඩහුරුකම් වලින් නෙළන ලද තනිගල් පුවරුවලින් යුක්ත විය. රුවන්වැලි දා ගැබෙහි උතුරු දොරටුවෙන් සොයා ගෙන ඇති සාමාන්‍ය වර්ගයේ කොරවක්ගලක හැඩහුරුකම් සහ බාහිර සැරසිලිවලින් හෙළිවේ.මේ වර්ගයේ කොරවක්ගලක් රුවන්වැලිසෑයේ උතුරු දොරකොටුවේ පඩිපෙළ අසල පිහිටා තිබේ. එය පැතලි ලෙස පටන් ගෙන පියගැට පහළට දිවෙයි.

(ලංකාවේ ස්තූපය – මහාචාර්ය සෙනරත් පරණවිතාන පිටු අංක 63-64 (1963)

පියගැටවලද කැටයම් කිරීම දක්නට ලැබේ. මුරගල්, සඳකඩපහණ කොරවක්ගල මෙන් ම පිය ගැට පෙළවල මූණතෙහි මූර්ති කැටයම් කිරීම අනුව දොරටු සැරසීම සඳහා අනුරාධපුර සමයේ දී ඉතා අලංකාර ලෙසින් (පාෂාණ) ගල් වලින් නිර්මාණය කිරීම අප රටේ පුරාණ බෞද්ධ මූර්ති කැටයම් ශිල්පීන්ගේ දක්ෂතාවයත්, නිපුණභාවයත් අද මෙන් ම අනාගත යේ දී ද නිහඬව ප්‍රකාශ කෙරෙන මූර්ති නිර්මාණ ලෙසින් සැලකිය යුතු වේ.

 

දුරුතු පුර අටවක පෝය


දුරුතු පුර අටවක පෝය ජනවාරි 13 වන දා ඉරිදා අපර භාග 11.42 ට ලබයි. 15 වන දා අඟහරුවාදා පූර්වභාග 00.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 14 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය ජනවාරි 20 වන ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 14

Full Moonපසෙලාස්වක

ජනවාරි 20

Second Quarterඅව අටවක

ජනවාරි 27

Full Moonඅමාවක

පෙබරවාරි 04


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]