අකුසලයක
විපාකය
එක් සමයක බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන සමයේ ලෝසක තිස්ස
තෙරුන් වහන්සේ අරබයා මේ ජාතක කතාව වදාළ සේක.
කොසොල් ජනපදයෙහි ගෙවල් දහසක් ඇති, ධීවර වෘත්තිය රැකියාවට කරන ප්‍රදේශයක ලෝසක නමින්
දරුවෙක් උපත ලැබී ය. ඔහු උපන්දා පටන් ඒ ගම පිරිහෙන්නට විය. ඔවුන්ට මත්ස්‍යයන් හසු
නො වූයේ ය. ගම සත්වරක්ම ගිනි ගත්තේ ය. රජු විසින් සත්වරක් ඔවුන්ට දඩ නියම කරනු
ලැබුවේ ය. ක්‍රමයෙන් අන්ත අසරණ වූ ඒ ගම්වැසියෝ
”මින් පෙර අපට මෙවැන්නක් සිදු වූයේ නැත. අප දැන් පිරිහී ඇත. මෙයට කවුරුන් හෝ වගකිව
යුතුව ඇත. අප කණ්ඩායම් වශයෙන් බෙදී ඒ අවාසනාවන්තයා සිටින පවුල සොයමු යි” කතිකා කොට
පිරිස දෙකට බෙදී, නැවත බෙදී ලෝසක සිටි පවුල සොයාගෙන ඔවුන් ගමින් පිට කළහ.
ලෝසකගේ මව ඔහු අමාරුවෙන් ඇතිදැඩි කළා ය. ඔහු ඇවිදින කාලයේ ඔහුගේ අතට කබලක් දී සිඟා
කන්නට පුරුදු කර ඔහු අතහැර දැමී ය. එදා පටන් ඉතා දිළිඳුව, දුකසේ ජීවත් විය.
එදින සැවැත්නුවර සැරියුත් මහ තෙරුන් පිඬුපිණිස වැඩියහ. ලෝසක දැක ඔහු කෙරෙහි
අනුකම්පා කොට විහාරයට රැගෙන ගොස් තමන් වහන්සේ අතින්ම නහවා කවා පොවා ඔහු පැවිදි
කරවූහ. නිසි වයසට ආ විට උපසම්පදා කරවී ය. ලෝසකතිස්ස නමින් පැවිදි වූ උන්වහන්සේට
පින් ඉතා අල්ප විය. කෙදිනකවත් කුස පිරෙන්නට දානය ලැබුණේ නැත. පාත්‍රයට බත් හැන්දක්
බෙදූ කල්හි පාත්‍රය පිරුණාක් මෙන් පෙනෙයි. ඒ වගේම උන්වහන්සේට යමක් පිළිගන්වන විට
දායකයාගේ භාජනවල කැවිලි පෙවිලි අන්තර්ධාන වෙයි.
උන්වහන්සේ දුකසේ හෝ විදසුන් වඩා රහත් වූ නමුත් කුස පිරෙන්නට ආහාර නො ලද්දේ ය.
කාලයාගේ ඇවෑමෙන් උන්වහන්සේ පිරිනිවනට ළංවිය. එ දවස දැනගත් සාරිපුත්තයන් වහන්සේ “අද
මම මුන්වහන්සේට කුස පිරෙන්නට දානය දෙමි” සිතා ඔහු කැඳවාගෙන පිඬුසිඟා වැඩියහ. එදින
සාරිපුත්තයන් වහන්සේ ද දානය නො ලද්දේ ය. ඉන්පසු සාරිපුත්ත තෙරුන් ලෝසක තෙරුන් දාන
ශාලාවට යවා පිණ්ඩපාතය වැඩ දානය පාත්‍රයක් පුරුෂයෙකුට දී “මේ දානය ලෝසක හිමියන්ට
දෙන්නැයි, කීහ. ඒ පුරුෂයා “තෙරුන් වහන්සේට නිතර දානය ලැබේ. මේ දානය මම කමි” සිතා
දානය කෑවේ ය. සැරියුත් තෙරුන් එය දැන සංවේගයට පත් ව නැවත කොසොල් රජුගේ මාළිගාවට
වැඩියහ. රජු තෙරුන් වහන්සේට චතුමධුර පාත්‍රයක් පිළිගැන්වූහ.
දාන ශාලාවට වැඩි සැරියුත් තෙරුන් තමන් වහන්සේ පාත්‍රය අල්ලාගෙන සිටිද්දී ලෝසක
තෙරුන්ට එහි ඇති චතුමධුර වළඳන ලෙස කීහ. එදින උන්වහන්සේ කුස පිරෙන්නට ආහාර ගෙන එදින
ම පිරිනිවිණි. බුදුරජාණන් වහන්සේගේ අනුදැනුම ඇතිව උන්වහන්සේගේ ධාතුන් වහන්සේ
තැන්පත් කොට සෑයක් කරවූහ.
විහාරයේ සිටි අනෙක් ස්වාමින් වහන්සේලා සිතන්නේ ලෝසක තෙරුන්ට පින් නැත්තේ ය.
අල්පලාභී ය. මෙවැන්නෙක් පිරිනිවන් පෑවායැයි සිතිය නො හැක්කේ ය. ආදී ලෙස නොයෙක් කතා
කීහ. ඒ කතා ආරංචි වූ භාග්‍යවතුන් වහන්සේ ඒ ස්වාමින් වහන්සේලා අමතා මෙසේ වදාළ සේක.
පින්වත් මහණෙනි, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයෙහි මිත්ත වින්දක නම් වූ
තෙරුන් වහන්සේ නමක් එක් තරුණයෙකුගේ උපකාර මත ඒ ගමෙහි කුටියක් කරවා සිල්වත්ව වාසය
කළේ ය. එක් රහතන් වහන්සේ නමක් දිනක් ඒ ගමට වැඩියහ. අර තරුණයා ඒ රහතන් වහන්සේට
පැහැදී අර විහාරස්ථානයට වඩමවා දානය පූජා කොට සත්කාර කළේ ය. විහාරස්ථානයේ වැඩ සිටි
අනෙක් භික්ෂුව ඒ තෙරුන්ට සැලකීම ගැන උරණ වූයේ ය. “මොහු මේ විහාරයේ වැඩ සිටියොත් මට
තිබෙන ලාබ සත්කාර අඩු වන්නේ ය. ඒ නිසා මේ හිමියෝ පන්නා දැමිය යුතුයි” සිතා උපායක්
කල්පනා කොට දානයට වඩින වෙලාවේ උන්වහන්සේට නො දන්වා, නො කියා අර තරුණයාගේ නිවසට පිඬු
පිණිස වැඩියහ. තරුණයා “නවක තෙරුන් කොහිදැයි” ඇසූ විට “උන්වහන්සේ අවදි කරන්නට මම
සෑහෙන වෙහෙසක් ගත්තෙමි. නිද්‍රාව බලවත්ව ඇති බැවින් මම වැඩියෙමි” කීහ.
ඒ තරුණයා ගිතෙල් මී සහිත කිරිබතක් කරවා එය ඒ තෙරුන් වැළඳූ පසු තව පාත්‍රයක් පුරවා
නවක තෙරුන්ට දෙන ලෙස පූජා කළේ ය. අර තෙරුන් ඒ පාත්‍රය රැගෙන වඩින අතර, ගිනි ගොඩක්
දැක කවුරුත් නො දකීවා සිතා ඒ දානය ගිනිගොඩට හෙළී ය. වෙහෙරේ සිටි රහතන් වහන්සේ එය
දැක වහාම ඒ විහාරයෙන් නික්ම වැඩියහ.
අර තෙරුන් මියගොස් නිරයේ උපන්නහ. එහි පැසී පන්සිය ආත්මයක් යක්ෂව ද, සුනඛව ද උපන්නහ.
මිනිස් ලොව උපන් කල්හි කිසි දිනක කුස පිරෙන්නට ආහාර නො ලද්දේ ය. එදා මිත්ත වින්දක
නම් අද මේ ලෝසක තෙරුන් යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක.
- නයනා නිල්මිණි |