UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විජම් බණ

විජම් බණ

" අභිධර්ම දේශනාව ගුරුවරයෙකු යටතේ ශ්‍රද්ධාවෙන් ප්‍රගුණ කළ යුතු ය. නො හැකි නම් එම ධර්ම පර්යායට නිගරු නොකළ යුතු ය."

යම් කරුණක් තමාට අගෝචර වූ පමණින් එය ප්‍රතික්ෂේප කිරීම ප්‍රඥාවන්තයන්ගේ ලක්ෂණයක් නොවේ.

ඒ පිළිබඳ දන්නා අයගෙන් විමසා බලා නැවත නැවතත් කරුණු අධ්‍යයනය කොට යථාවබෝධය ලැබීමට නුවණැත්තෝ කටයුතු කරති. බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය ද ප්‍රඥාවන්තයාට ම පමණක් විෂය වූවක් බව වදාරා ඇත. එහෙත් වෘත්තීය සුදුසුකමක් ලෙසින් ලබන ලද අධ්‍යාපනය නිසා හෝ ධර්මයෙන් අන්‍ය වූ බාහිර විෂයයන් ඉගෙන තිබීම හේතුවෙන් හෝ ප්‍රඥාව පහළ නොවේ. සීලය ද, සමාධිය ද මනාව පුරුදු කිරීමෙන් ලබන ජීවිතාවබෝධය ප්‍රඥාව යැයි කිව යුතු ය. බුදුරදුන් වදාළ එම ප්‍රඥාව ලැබීමට මහෝපකාර වූ ශ්‍රී සද්ධර්මයේ “අමා රන් කිර” යැයි කිව යුතු ලොව්තුරා බුදුවරයෙකුට පමණක් ම විෂයය වූ අභිධර්ම දේශනාව පිළිබඳව කෙටි සමාලෝචනයක් මෙම ලිපිය මගින් ඉදිරිපත් කෙරේ.

අභිධර්මය අභිධම්ම, අබිදම්, බිදම්, විජම් (බණ) ලෙසින් හෙළ බසින් ව්‍යවහාරයට පැමිණි අභිධර්ම දේශනාව හෙවත් විජම් බණ තරම් ශාසන ඉතිහාසයේ බුහුමන් ලැබූ අන් ධර්ම පර්යායක් නොමැති තරම් ය. බුදුරදුන් විසින් වදාරණ ලද ස්කන්ධ, ආයතන, ධාතු, ඉන්ද්‍රිය, පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍යය ආදී පරම ගම්භීර ධර්මයන් පිළිබඳ සවිස්තර දේශනාව ඇතුළත් වන්නේ අභිධර්ම පිටකයේ ය.

සුගත තථාගත බුදුරජාණන් වහන්සේ සම්බෝධියෙන් සත්වන වස් කාලය ගත කිරීම සඳහා තව්තිසා දෙව් ලොවට වැඩම කළ පින්බර එදවස ඇසළ පුන් පොහෝ දවසකි. තීර්ථකයන්ගේ මාන මර්දනය පිණිස ගණ්ඩබ්බ වෘක්ෂ මූලයේ දී යමක මහා ප්‍රාතිහාර්යය දැක්වූ කල්හී, ඇසළ සඳ උදා විය. මාතෘ දිව්‍යරාජයාට පිහිට වීම පිණිසත්, පෙර බුදුවරුන්ගේ වංශයට අනුකූල වෙමින් පරසතු රුක් මුලට වැඩි සේක්. පඬු ඇඹුල් සලස්නෙහි සුරක්ත වර පංශුකූල දෙපට චීවරය එලා වැඩ හුන් සේක. ඉන්පසු මාතෘ දිව්‍යරාජයන් ප්‍රධාන දස දහසක් සක්වල දෙවියන්ට “කුසලා ධම්මා - අකුසලා ධම්මා - අව්‍යාකතා ධම්මා” යනාදී පිළිවෙළින් තෙමසක් පුරාවට අභිධර්මය දේශනා කළ සේක.

ඒ කාලය තුළ වේලාව සලකා උතුරුකුරු දිවයිනට පිඬු පිණිස වඩින බුදුරජාණන් වහන්සේ අනවතප්ත විල් තෙරේ දී උපස්ථානය සඳහා තමන් වහන්සේ වෙත එළැඹෙන ධර්ම සේනාධිපති සැරියුත් මහ තෙරුන් අමතා “ශාරීපුත්‍රය, අද මා විසින් මෙපමණ ධර්ම පර්යායක් දෙසන ලදී” යනුවෙන් වදාරන සේක. තෙරුන් වහන්සේ ඒ ධර්මය එදා ගඬඹ වෘක්ෂ මූලයේ යමක මහා ප්‍රාතිහාර්යය දැක සිත පහදවා තමන් වෙත පැවිදි වූ පන්සියයක් ශිෂ්‍ය භික්ෂූන්ට විස්තර වශයෙන් උගන්වන සේක. මේ ආකාරයෙන් දෙව් ලොව විජම් බණ අවසන් වන විට මනුලොව සැරියුත් මහා ස්වාමීහුගේ ශිෂ්‍ය පිරිස විසින්, ධම්මසංගනී, විභංග, ධාතුකථා, පුද්ගල පඤ්ඤත්ති, කථාවත්ථු, යමක, පට්ඨාන යන ප්‍රකරණ සතෙන් යුක්ත විජම් බණ හදාරා නිමවන ලදී.

මෙසේ බුදුරදුන් විසින් දෙවියන්ට දෙසූ අභිධර්මය සැරියුත් තෙරුන් විසින් මනුලොව වාචනා මාර්ගයට නංවන ලදී. බුදුරදුන් දෙසූ ණය විභාග කොට දේශනා කළ නිසා එය බුද්ධ භාෂිතයක්ම ය. පළමු ධර්ම සංගායනාවේ අනුබුදු මහා කසුප් තෙරුන් විසින් අභිධර්මය පිළිබඳ නිදාන ආදිය විමසන ලදුව, අනඳ තෙරුන් විසින් විසඳන ලදී. අනතුරුව 500ක් මහා රහතුන් විසින් සංගායනා කරන ලදුව ගුරු සිසු පරපුරින් සැරියුත් තෙරුන්ගේ පටන්, භද්දජී සෝභිත පියජාලී පියපාල පියදස්සී කොසියපුත්ත සිග්ගව සන්දේහ මොග්ගලීපුත්තතිස්ස සුදත්ත ධම්මිය දාසක සෝණක රේවත යන මහා තෙරුන් වහන්සේලා තුන්වන ධර්ම සංගායනාව තෙක් මුඛ පරපුරින් රැගෙන ආහ. දඹදිව දම්සෝ මහා රජුගේ අතිජාත පුත්‍ර වූ අනුබුදු මිහිදු මහා තෙරුන් විසින් දෙවනපෑතිස් රජ දවස ලක්දිවට වැඩමවන ලදී. අනතුරුව වළගම්බා රජු දවස මාතුල දනව්වෙහි වූ අලු ලෙනේ දී පුස්ථකාරූඩ කරන ලද්දේ මහා රහතුන් විසිනි. අද දක්වාම නිර්මලව පවතින අභිධර්ම සම්බුද්ධ දේශනාව ප්‍රඥාවන්ත දෙවි මිනිසුන්ගේ ඤාණ ක්‍රීඩාවට සුභූමිය වෙමින් අපමණ සත් වගක් මෝහාන්ධකාරයෙන් මුදා නිවන්පුර වෙත පමුණුවන ඤාණ පථය වී ඇත. පරිනිර්වාණ සූත්‍රයේ දී වදාළ පරිදි ඒ උතුම් ධර්මයම අපගේ අනධීවර ශාස්තෘන් වහන්සේ වන්නේ ය. යමෙක් ඒ ශ්‍රී සද්ධර්මය ප්‍රතික්ෂේප කරයි නම් ඔහු බුදුරදුන් ප්‍රතික්ෂේප කරන්නේ යැයි දත යුතු ය. චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමට බලාපොරොත්තු වන ශ්‍රාවකයා විසින් නාම ධර්ම හා රූප ධර්ම පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇතිකර ගත යුතු ය. ඉන් අනතුරුව එම නාමරූප ධර්ම පිළිබඳ සාමාන්‍ය ලක්ෂණ හා විශේෂ ලක්ෂණ හඳුනා ගැනීම ද, ඒ අනුව හේතු ඵල දහම තෝරාගෙන හේතු නිරෝධය පිණිස ධර්මානුධර්ම ප්‍රතිපදාවේ හික්මිය යුතුය. “අභිධම්මෙති නාමරූප පරිච්ඡෙද” යනුවෙන් උගන්වන බැවින් නාමරූප පිළිබඳ පැහැදිලි සහ නිරවුල් අවබෝධය ඇති කර ගැනීමට අභිධර්මය පිළිබඳ ප්‍රාමාණික අධ්‍යයනයක් කළ යුතු ය. නිර්වාණය හැර සෙසු සියලු සවිඤ්ඤාණක අවිඤ්ඤාණක ධර්මයන් පඤ්චස්කන්ධයට ඇතුළු කොට දේශනා කර ඇත. එම පඤ්චස්කන්ධය පිළිබඳව සූත්‍ර පිටකයේ දී සංක්ෂිප්ත ක්‍රමයකට වදාරණ බුදුරදුන් අභිධර්මයේදී සුත්තන්ත භාජනීය - අභිධම්ම භාජනීය - පඤ්හපුච්ඡක යන ත්‍රිවිධ ක්‍රමයන්ගෙන් විස්තර විභාග සහිතව වදාරා ඇත. චිත්ත - චෛතසික - රූප - නිර්වාණ යන සිව් වැදෑරුම් පරමාර්ථ ධර්මයන් පිළිබඳ හැදෑරීමේ දී කුසලය - අකුසලය, විපාකය, ක්‍රියාවය, ප්‍රතිසන්ධිය, මරණය, මාර්ග, ඵල, ධ්‍යාන, අභිඥා, ඤාණ දර්ශන ආදී ගැඹුරු ධර්මයන්ගේ යථා ස්වභාවය උගත හැකි ය. එමගින් මිත්‍යා දෘෂ්ටීන්ට නොවැටී නිවන් මග වඩන්නට මහඟු උපකාරයක් ලැබෙනු ඇත.

සැබෑ ධර්මධරයා හෝ ධර්ම කථිකයා යනු කවරෙක් ද? යන ප්‍රශ්නයට පිළිතුර ලෙසින් ශ්‍රී සද්ධර්මය තුළ පෙන්වා ඇත්තේ “ආභිධම්මිකොයෙව ධම්ම කථිකො” යනුවෙනි. එනම් අභිධර්මය දරා ගත් පුද්ගලයා ම ධර්ම කථිකයෙක් වේ යනු යි. සෙස්සෝ ධර්ම කථා කියන්නාහු නමුත් කර්මය - විපාකය, රූප - අරූප ආදී ධර්මාන්තර ආලෝළනය කොට ප්‍රකාශ කරති. ආභිධර්මික භික්ෂුව සැබෑ ධර්ම කථිකයා බව මහා ගෝසිංග සූත්‍රයේ දී බුදුරදුන් විසින්ම වදාරන්නේ ඒ නිසාවෙනි.

දෙවන ධර්ම සංගායනාවෙන් බිඳී ගිය සර්වාස්තිවාදීන්ගේ ද අභිධර්ම පිටකයක් ඇත. ඔවුන්ගේ සප්තප්‍රකරණ ග්‍රන්ථ ඤාණ ප්‍රස්ථාන ආදී වශයෙන් ථේරවාදී අභිධර්මය හා අසමාන ස්ථාන වලින් ගහණ වන්නේ අධර්මවාදීන්ගේ ශාසන විලෝපයෙහි ඵලයක් ලෙසිනි. ථේරිය සඟ පරපුරේ යුග මෙහෙවරක ඵලයක් ලෙස අප සතුවන අභිධර්මය පිරිසුදු බුද්ධ වචනයක් ලෙසින් අද දක්වා ම සුරක්ෂිතව වැඩ සිටී.

එහෙත් අද වන විට “අභිධර්මය බුද්ධ දේශනාවක් නොවේ”, “එය දෙවියන්ට වදාළ දේශනාවක් නිසා මිනිසුන්ට වැඩක් නැත” යනාදී දුර්මත ප්‍රචාරණය කරන ගිහි පැවිදි පිරිස් බිහිව ඇත. ඔවුන් එම වැරැදි අදහස් ප්‍රකාශ කරන්නේ ධර්මය මනා කොට ශ්‍රද්ධාවෙන් හදාරා නොමැති නිසාවෙනි. ශ්‍රද්ධාව නොමැති කම නිසා බුද්ධ දේශනාව ප්‍රතික්ෂේප කරන අයගේ අනුගාමිකයන්ට ද වන්නේ මහත්ම අලාභයකි. විනය පිටකය යනු මුලුමනින්ම බුද්ධ භාෂිතයකි. එහි ශ්‍රාවක භාෂිත හෝ සෘෂි භාෂිත, දේව භාෂිත නොමැත. එම විනය පිටකයට ඇතුළත් පරිවාර පාලියේ පහත ගාථාව සඳහන් වේ.

සබ්බ සත්තුත්තමො සීහො
පිටකෙ තීණි දෙසයී සුත්තන්තං අභිධම්මඤ්ච
විනයඤ්ච මහා ගුණං

“සියලු සත්වයන්ට උතුම් වූ බුදුරදුන් සූත්‍ර - විනය - අභිධර්මය යන තුන් පිටකය දෙසූ සේක.”

ධර්ම භාණ්ඩාගාරික වූ අනඳ මහා තෙරුන්ගේ ථේර ගාථාවන්හි සඳහන් වන පරිදි ධර්මස්කන්ධ 82000ක් බුදුරදුන්ගෙන් අසා දරා ගත් බව ද 2000ක් ශ්‍රාවක රහතුන්ගෙන් අසා දරාගත් බව ද ඒ සියල්ල 84000 ක් බව ද පැහැදිලිව සඳහන් කොට ඇත. ත්‍රිපිටකයේ සුවාසූ දහසක් ධර්මස්කන්ධ ඇත්තේ ය. ඒ විනය පිටකයේ 21000ක් ද, සූත්‍ර පිටකයේ 21000ක් ද, අභිධර්ම පිටකයේ 42000ක් ද වශයෙනි. මෙසේ විනයෙහි ද සුත්‍රයෙහි ද අභිධර්ම දේශනාව ගැන පැහැදිලිව සඳහන්වන තැන් බොහෝ ඇත. අභිධර්මය ප්‍රතික්ෂේප කරන්නන්ට අනුව ඇත්තේ ස්කන්ධ 42000ක් පමණි. ඒ අනුව පර්යාප්ති ශාසනයට සිදුවන්නා වූ විනාශයෙහි මහත ඔබට හඳුනාගත හැකි ය.

එහෙත් ඉතිහාසය පුරා ලක්දිව බෞද්ධයන් අභිධර්මය කෙරෙහි අතිමාත්‍ර ගෞරවයක් දක්වා ඇත. ත්‍රිපිටක ධර්මයෙහි විශාරද වූ රජදරුවෝ බොහෝ දෙනෙක් මෙරට පාලනය කළහ. ඒ අය අතර ඍ වන කාශ්‍යප (බු.ව. 1445 - 1455) රජු මිරිසවැටි වෙහෙරේ දී නුවරවාසීන් හා මහා සඟරුවන පිරිවරා විසිතුරු මණ්ඩපයක හිඳ විජම්බණ දේසනා කළහ. එම රජුගේ අභයගිරි සෙල් ලිපියේ සඳහන් පරිදි ඔහු විසින් අභිධර්මය ඉගෙන ගන්නා අයට උපකාරයක් ලෙසට සරල බසින් අභිධර්ම ව්‍යාඛ්‍යානයක් ද කරන ලදී. තුන්වන දෙටු තිස් රජු යුද්ධයෙන් පැරදී කඩුවෙන් ගෙල සිඳ තම දිවි නසාගනුයේ, ඇමැතියා අත තම අග මෙහෙසියට පණිවුඩයක් යවමින්, “පැවිදි වී ධර්මය ඉගෙන අභිධර්මය සජ්ඣායනා කොට පින් දෙන්න” යැයි පවසා ඇත.

මිහින්තලා පුවරු ලිපියට අනුව ධ්ඍ වන මිහිදු රජු (බු.ව. 1491 - 1507) අරණ්‍යවාසී දාඨානාග තෙරුන් වහන්සේ ලවා අභිධර්මය උගන්වා ඇත. ඒ සඳහා වැයකළ වියදම් සඳහන් කරන එම පුවරු ලිපියේ “බිදම්වළා කියන බික්සඟ හිමියනට් කඩින් පිඬින් වසග් දොළොසක් ඉසා...” යනුවෙන් සඳහන් වේ. ඒ අනුව සූත්‍ර - විනය යන පිටක දෙකම ඉගැන්වීමට කළ වැයට සමාන වැයක් අභිධර්ම පිටකය හැදෑරවීමට යොදා ඇත. තව ද මෙරට පහළ වූ මහා විජයබාහු රජු (බු.ව. 1594 - 1649) සෑම උදෑසනකම “ධම්මසංගණීපකරණය” පරිවර්තනය කළේ ය.

මෙලෙසින් ධර්ම විනයෙහි නිපුණ විශාරද පඬිවරුන්ගේ නොවක් පැසසුමට බඳුන් වූ සඳ - හිරු ලෙසින් ප්‍රකට විජම්බණ පිළිකෙව් කරන යමෙක් වේ නම්, ඔවුහු තථාගත ආඥා චක්‍රයට පහර දෙන්නෝ වෙති. එම බරපතළ පාප කර්මය නිසා අපා දුකටද වැටෙති. ඒ බව මැනවින් හඳුනා මිසදිටු අදහස් වලට හසු නොවීමට නම් අභිධර්ම දේශනාව ගුරුවරයෙකු යටතේ ශ්‍රද්ධාවෙන් ප්‍රගුණ කළ යුතු ය. නො හැකි නම් එම ධර්ම පර්යායට නිගරු නොකළ යුතු ය.

ඤාණ සාගරයක් සදිසි සිරිමත් ගොයුම්ගොත් භාග්‍යවතුන්ගේ අප්‍රමාණ කල්ප ගණනක අප්‍රතිහත වීර්යයේ ද, මහා කරුණාවේ ද, අග්‍ර ඵලය යැයි කිව යුතු “විජම්බණ” දෙසුම සව්සතුන්ගේ සිත් සතන්හි කෙලෙස් රෝග නිවාරණය කරන අමා ඔසුවක් ම වේවා !

 

උඳුවප් පුර පසළොස්වක පෝය


උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 22 වනදා සෙනසුරාදා පූර්ව භාග 02.08 ට ලබයි. එදිනම අපරභාග 11.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 22 වනදා සෙනසුරාදාය.

 

මීළඟ පෝය දෙසැම්බර් 29 වනදාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29

Full Moonඅමාවක

ජනවාරි 05

First Quarterපුර අටවක

ජනවාරි 14


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]