මියුරු වදනින් මිනිස්කම හඳුනාගත හැකි ද?
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
" කෙනෙකු දුටු පමණින් සමීප ඇසුරකට නොගත යුතු ය. යනුවෙන් අදහසක් බුදු දහමේ කියවෙයි.
තමාට කිසියම් අවශ්‍යතාවක් හෝ අපේක්ෂාවක් පවතින විට එය ඉටුකර දීමට ඉදිරිපත් වන
පුද්ගලයා සමඟ දැඩි සමීපතාවයකින් බැඳීම ස්වාභාවිකය. නමුත් ඒ අවශ්‍යතාව ඉටුකර දීමට
පැමිණි පුද්ගලයාට ද වෙනත් අවශ්‍යතාවයන් තිබිය හැක."
අනෙකාට හිතවත් බව අඟවමින් , වචනයෙන් කරනු ලබන අකුසලය ලපනා යන වචනයෙන් බණ පොතේ
විස්තර කරයි. ලපනා යන වචනය ද මුල් ත්‍රිපිටක ග්‍රන්ථවල අපට හමුවන්නේ කුහක
සූත්‍රයෙහි ය. කුහක සූත්‍රයෙහි දක්නට ඇති එම වචනය වඩාත් විග්‍රහාත්මක ව පැහැදිලි
කරනු ලබන්නේ ථෙරවාද ධර්මය විග්‍රහ කළ ග්‍රන්ථයක් වූ විසුද්ධි මාර්ගයේ දී ය. එම
කෘතියෙහි එම පැහැදිලි කිරීම කරනු ලබන්නේ බුද්ධඝෝෂ හිමියන් විසින් ය.
විසුද්ධි මාර්ගයේ දී ලපනා යන වචනය විස්තර කරනු ලබන්නේ මෙසේ ය. ලාභ සත්කාර, කීර්ති
ප්‍රශංසා බලාපොරොත්තු වන්නාවූ පුද්ගලයා අනුන් පිළිබඳ යම්
ආලපනාවක්
ලපනාවක්
සල්ලපනාවක්
උල්ලපනාවක්
සමුල්ලපනාවක්
උන්නහනාවක්
සමුන්නහනාවක්
උක්කාචනාවක්
සමුක්කාචනාවක්
අනුප්පියභාණිතාවක්
චාටුකමා්‍යතාවක්
මුග්ගසුපත්‍යතාවක්
පරිහට්ටතාවක් වේද එය උපනා යයි කියනු ලැබේ.කාලීන සමාජ අවශ්‍යතාවන් අනුව ඒ ධර්ම කරුණු
මෙසේ විස්තර කොට දැක්විය හැකියි.
ආලපනාව-කෙනෙකු සමඟ පළමුව කතා කොට තමා ඔහුට හෝ ඇයට හිතවත් බව ඇඟවීම , තමා රටේ සමාජයේ
ඉහළ තනතුරු හොබවන අය සමඟ හඳුනන බව කීම, ඕනෑම වැඩක් ඒ අයගෙන් තමන්ට කරවා ගත හැකි බව
කීම, අවශ්‍ය ඕනෑම දෙයක් ඒ අයගෙන් කරවා දිය හැකි බව කීම, අනුන්ට උදව් උපකාර කිරීම
තමාගේ සාමාන්‍ය ගති ස්වභාවය බව කීම , තමා අන් අයගෙන් කිසිවක් බලාපොරොත්තු නොවී තමා
අනුන්ට උදව් කරන බව කීම.ඔබ දුටු විට ඔබට උදව් කළ යුතු යැයි මට හිතුණා ආදී වශයෙන්
කීම. ඔබට උදව් කරන්න හිතුණේ සංසාරගත පුරුද්දක් නිසා විය හැකි යයි කීම යනාදී වශයෙන්
ව්‍යාජව මනසේ තබාගෙන අව්‍යාජව පෙන්වමින් අන්‍යන්ගේ හිත ඇද බැඳගෙන තමන්ගේ අවශ්‍යතාව
ඉටුකර ගැනීම සඳහා කතා කිරීම කුහකකමයි. එය මුඛයෙන් කරන නිසා ලපනා නම් මෙය ආලපනා
නමැති අකුසලයට අහුවෙයි.
ලපනාව- තමා සමඟ පළමුව කතාබහ කළ කෙනෙකුට ආලපනාවෙයි දැක්වු ආකාරයෙන් ව්‍යාජ බව මනසේ
තබාගෙන අව්‍යාජ ලෙස අදහස් ප්‍රකාශ කිරීම .
සල්ලපනාව - අන්‍යයා තමා සමඟ අමනාප වුවහොත් මේ කිසිවක් කරගත නොහැකි යයි සිතා
අන්‍යයාටත් අදහස් කතා කිරීමේ අවස්ථාව ලබා දෙමින් ව්‍යාජ මනසින් අව්‍යාජ ලෙස කතා
කිරීම
උල්ලපනාව- ඔබ හරිම දක්ෂයෙකි. ඔබ නායකයෙකි. ඔබ සල්ලිකාරයෙකි. ඔබ හරිම ලස්සන කෙනෙකි.
ආදී වශයෙන් අනිකා ඉහළ තලයේ තබා ව්‍යාජව මනසේ තබාගෙන අව්‍යාජ බව අඟවමින් කතා කිරීම .
සමුල්ලපනාව- සම්පුර්ණ වශයෙන් ම අනිකා ඉහළ අසුනේ තබා ගරුසරු පෙන්වා තමා දෙවැනියා වී
ව්‍යාජය මනසේ තබාගෙන අව්‍යාජ බව අඟවමින් අනිකා සමඟ කතාකිරීම.
උන්නහනාව- අනෙකා සතුව තිබෙන දෙය තමාට ලබාගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකසමින් කරන
මියුරු කතාබහ සෘජු වශයෙන්ම අවශ්‍යතාව නොකියා ඇඟවීම.
සමුන්නහනාව- අස්නාගේ හිත සහ තිබුණු අදහස් සම්පූර්ණයෙන්ම අවුල් සහගත වෙන ලෙස කතා
කිරීම .
උක්කාචනාව- මාගේ ගුණ සම්පන්න බව හා බල සම්පන්න බව නිවැරැදි දනිත් නම් ඔබ සැම ඕවා මට
ම ලබා දෙන්නේය. ආදී වශයෙන් උද්දීපනය වන ලෙස කතාකිරීම
සමුක්කාචනාව - සර්වප්‍රකාරයෙන්ම එසේ උද්දීපනය වන ලෙස කතා කිරීම
අනුප්පියභාණීතාව- සත්‍යානුකූල බව හෝ ධර්මානුකූල බව නොබලා නැවත නැවත ප්‍රිය කතා
කිරීම
චාටුකම්‍යතාව- තමා අනිකාට වඩා පහත් කෙනෙක් ලෙස ඇඟවීම චාටුවයි.
මුග්ගසුප්‍යතාව- මුං ඇට තැම්බූ කල්හි කොටසක් නොපැසී කොටසක් පැසිී තිබෙන්නා සේ යමක්
කතා කරන විට කොටසක් සත්‍ය ඒවා ද තව කොටසක් අසත්‍ය ඒවා ද වශයෙන් මිශ්‍ර වී තිබීම.
පාරිහට්ටතාව- කිරි මව්වරු සේ දරුවන් වඩා ගැනීම මේ වගේ කතාබහ සහිත පුද්ගලයන් සමාජය
ඇසුරු කිරීමේ දී හමුවෙයි. ඔවුන් කරන කතාබහේ දී බාහිරව කෙනෙකුට ඔහුගේ වරදක් ඇතැම්
විට නොදැනෙන්නට පිළිවන. එයට හේතුව ඔහුගේ මනසෙහි වීමයි. එය එකවර බාහිර සමාජයේ
කෙනෙකුට දැක ගැනීමට හෝ දැන ගැනීමට අපහසු තරම්ය. ඔහු කාලයක් ඇසුරු කිරීමෙන් ම ඒ ගති
ස්වභාවයන් දැනගත හැකිය. ඇතැම් විට එසේ ද දැනගත නොහැකිය. වඩාත් සූක්ෂම කුහකයාගේ ගති
ස්වභාවය කෙටිකාලීන ඇසුරකින් වුවද විමසිලිමත්ව නොසිටිය හොත් දැන ගැනීම අපහසුය.
කෙනෙකු දුටු පමණින් සමීප ඇසුරක් නොගත යුතු ය. යනුවෙන් අදහසක් බුදු දහමේ කියවෙයි.
තමාට කිසියම් අවශ්‍යතාවක් හෝ අපේක්ෂාවක් පවතින විට එය ඉටුකර දීමට ඉදිරිපත් වන
පුද්ගලයා සමඟ දැඩි සමීපතාවයකින් බැඳීම ස්වභාවිකය. නමුත් ඒ අවශ්‍යතාව ඉටුකර දීමට
පැමිණි පුද්ගලයාට ද වෙනත් අවශ්‍යතාවයන් තිබිය හැක. ඔහු බලන්නේ තමාගේ අවශ්‍යතාව
ඉටුකර ගැනීමටයි. එනිසා ඇතැම් අය සෘජුව ම තම අවශ්‍යතාව ද , ඇතැම් අය මුල් අවශ්‍යතාව
ඉටුකරදී වඩාත් පහසු ලෙසින් තම අවශ්‍යතාව ය ද ඉටුකරකරගනු ලබන ආකාරය බොහෝ විට සමාජයේ
අත්දැකීම්වලින් වුවද ඔබට වටහාගත හැකි ය. තමාට උපකාර කිරීමට සඳහාම යැයි ද කියමින් ඔබ
වෙත පැමිණි පුද්ගලයාටත් ඔබට උදව් උපකාර කිරීම අමතරව ඔබෙන් ඉටුකර ගැනීමට කිසියම්
අවශ්‍යතාවයක් තිබී ඇතැයි ඔබටද වැටහෙන්නේ ඇතැම් විට සිද්ධි් දාමය අවසන් වූවාටත්
පසුවය. කුහකයාගේ ගති ස්වභාවය එයයි.
- හේමමාලා රන්දුනු |