ඉල් අමාවක 2018.12.06
සිතට වහල් වීම
ඈත අතීතයේ දිනෙක එක්තරා මිනිසෙක් මහ වන මැදින් ගමනක් යමින් සිටියේ ය. නපුරු ඇතෙකු
තමන් ලුහුබඳිනු දුටු ඔහු යා යුතු මග නො දැන දිව යන්නේ පාළු ළිඳකට ඇද වැටුණේ ය. එහි
එල්ලෙමින් තිබූ වැලක් අල්ලාගත් ඔහු ළිං පතුළට නො වැටී බේරුණේ ය. මරණ බියෙන් ළිං
පතුළ බැලූ ඔහුට දැක ගන්නට ලැබුණේ එහි සිට තමන් දෙසට පෙණය කරමින් සිටින විෂකුරු
නාගයෙකි. පහළට වැටුණේ නම්, නාගයා දෂ්ඨ කොට මිය යන්නේ ය. ළිංකට දෙස බැලූ කල ඔහු
වනසන්නට මාන බලා සිටි ගිජිඳා ය. එල්ලීගත් වැල දෙස බැලූ ඔහු දුටුවේ කරවලා නම් සර්පයා
වැලත් සමඟ ම තම අතේ ග්‍රහණයට හසු වීි සිටින අයුරු ය. ග්‍රහණය ලිහිල් වූයේ නම් කෝපයට
පත්ව සිටින ඒ සර්පයා නිසැකව ම දෂ්ඨ කරන්නේ ය.
දැන් ඔහු අභිමුව මරණ තුනකි. මේ අතර පසෙකින් දඬුවැල් මීයක් දකින ඔහු එය කඩාගෙන අනුභව
කරන්නට වූයේ ය.
මේ මරණ තුනක් අභිමුව එක් මිනිසෙක් පැණි කෑ සැටි ය. අනතුර දැක දැකත් එහි භයානක බව නො
දැන ඉන් මිදෙන මගක් කල්පනා කරනු වෙනුවට තම සිතැඟියාවන් මුදුන්පත් කර ගන්නට පංච
කාමයටම වෙර දරන්නෝ එකල ද වූ හ. මෙකල ද වෙති. වෙනසකට ඇත්තේ එහි ස්වරූපය පමණි.
ඇතැමෙක් සංසාර බිය දනිති. ඇතැමෙක් නො දනිති. දැන හෝ නො දැන යන මේ ගමන තුළ කර ගන්නා
අනේකවිධ පාප කර්මයන්ගේ ඵල භුක්ති විඳින්නට වන්නේ ද තමන්ට ම ය. ගොනු පසු පස ඇදී එන
කරත්ත රෝදය ගොනුට දුක් දෙමින් පසුපස ම එන්නා සේ ය.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අත්තූපනායික ධර්මයට අනුව අප ජීවත් විය යුතු තමන්
උපමාවට ගෙන අන්‍යයන් දෙස බැලීමෙන් ය. එහෙත් මේ ඝෝර සසර මග අපට වරදින්නේ එය වටහාගෙන
ක්‍රියාත්මක කරන්නට තරම් ඉවසීමක් නො වන නිසා ය. ඇතැම් විටෙක කෙනෙකුගේ සිතිවිලි හා
ක්‍රියාකාරකම් අනුන්ටත් වඩා හානි ගෙන දෙනුයේ තමන්ට ය. වෙසෙසින් තරහව, ක්‍රෝධය, වෛරය
ආදී වූ ලාමක අකුසල සිතිවිලි පාලනය කර ගන්නට මොනතරම් ධර්ම ඥානය ලැබුව ද ඇතැමෙකුට
අපහසු ය. ඒ දැනුමට සීමාවනු මිස උගත් දහම ප්‍රායෝගිකව ක්‍රියාත්මක නො කිරීම නිසා ය.
සාමාන්‍ය ජීවතයේ දී අප මෙම ලාමක අකුසල සිතිවිලි නිසා මොන තරම් දැවෙනවා ද? ඒ දැවෙන,
අපිරිසුදු වන සිත නිසා තමන්ට මොනතරම් හානියක් කර ගන්නවා ද?
ඇතැම් විට ඒ හානිය කො තරම් ද යන්න තමන්ට නො දැනෙන තරමට ම සිත වෙළාගත් වෛරී සිතිවිලි
බලවත් ය. මොහොතකට සිතා බලන්නේ නම්, තමන්ගේ සිතිවිලි පිළිබඳ ආවර්ජනයක යෙදෙන්නේ නම්,
එය වටහා ගැන්ම අපහසු නැත. තෙරුවන් සරණ ගිය බෞද්ධයන් ලෙස අප වහ වහා යථාර්ථය අවබෝධ කර
ගැනීම තුළ මේ සිදුවන හානිය, අධ්‍යාත්මික පරිහානිය වළක්වාගෙන කුසල් සිතිවිලි වර්ධනය
කොට මේ සසර ගමන කෙළවරක් සොයා ගන්නට වෑයම් කළ යුතුව තිබේ.
ලාමක අකුසල සිතිවිලි වර්ධනය වීම තුළ සිත අවුල් වියවුල් වේ. කළයුතු දේ, නො කළ යුතු
දේ තෝරා බේරා ගැනීම අපහසු වේ. පින පව, කුසලය – අකුසලය, හොඳ – නරක, යුක්තිය –
අයුක්තිය, යහපත – අයහපත හඳුනා ගැනීම අපහසු වේ. ඒ තුළ ගන්නා තීරණ මොන තරම් අයහපතක්
තමන්ටත් අනුන්ටත් සිදු කරනවා ද?
මවක් නම් දරුවන් වෙනුවෙන් මොන තරම් ඉවසිය යුතු ද? දරුවන් වැරැදි කරනවා නම් ඔවුන්ට
වෛර කිරීමෙන්, ක්‍රෝධ කිරීමෙන් පළක් වේ ද? ගෘහයෙන් පිටත අසල්වැසියන් අතර, සමාජ
සාමාජිකයන් අතර පවා සුළු දෙයටත් වෛර සිතිවිලි ඇතිකර ගනිමින් ගන්නා දැඩි තීරණ කවර
කලෙක හෝ යහපතක් සලසා දුන්නේ ද? පසුගිය කාලයේ ළමා වියේ ඇතැම් දරුවන් අතර පවා වර්ධනය
වූ වෛරී සිතිවිලි අවසානයේ උරුම කර දුන් දුක් වේදනා කො පමණ ද? බොහෝ අය වෛරය ඇති
කරගන්නේ අනුන්ගේ කේළාම් බසට ය. එක්කෝ විශ්වාස කළ හැකි තරමට කියන මුසා බස්වලට ය. ඒ
තුළ ඒ ඒ පුද්ගලයන් පිළිබඳව ගන්නා තීරණ ඇතැම් විට බොහෝ අදූර දර්ශීව පුද්ගලිකව නොව
සමස්ත සමාජයක අනර්ථය පිණිස වන්නේ ය.
වෛරී සිතිවිලි සංසාර ගමන දිගු කරන ප්‍රබල අකුසලයකි. අප ජීවත් වන්නේ බොහෝ කෙටි
කාලයකි. ඊළඟ තත්පරයේ වුව ජීවිතය අවිනිශ්චිත ය. එය දැන දැනත් පව මිහිරිමෙන් හඟිමින්
ඒ පසුපස ම යන්නේ නම්, පරලොව ජීවිතය ද බොහෝ කටුක ය. ලාමක සිතිවිලිවලට වහල් නොවී
ජීවිතය නිවැරැදි කර ගන්නට උත්සාහවත් වීම සැබෑ බෞද්ධයාගේ සිරිත ය.
|