UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙවළා බුදු වදන් අතරින් 14 : සැබෑ පිරිසුදු කම

තෙවළා බුදු වදන් අතරින් 14 :

සැබෑ පිරිසුදු කම

" බුදුදහම බාහිර හා අභ්‍යන්තර පිරිසුදු බව යන දෙකම වැදගත් කොට සලකන අතර එයින් බාහිර පිරිසුදු කම මෙලොව ජීවිතයට පමණක් බලපාන අතර අභ්‍යන්තර පිරිසුදු බව යටතේ එන දස අකුශල ධර්මයන්ගෙන් වැළකීම දෙලොව අභිවෘද්ධිය පිණිස ම හේතුවේ. එම පිරිසුදු බව බාහිර පුද්ගලයෙක් හෝ දෙයක් වෙතින් ලබාගත නොහැකි අතර එහි වගකීම ඇත්තේ පුද්ගලයාට ම ය."

ජාණුස්සෝණී නම් බ්‍රාහ්මණයා පොහොය දිනයෙහි ස්නානය කොට අලුත් වස්ත්‍ර දෙකක් හැඳ හීතණ මිටක් රැගෙන බුදුරදුන්ට නුදුරෙහි එකත් පසෙක සිටියේ ය. බ්‍රාහ්මණයා දුටු බුදුරජාණන් වහන්සේ එයට හේතු කවරේදැයි ඔහුගෙන් විමසූ සේක.

භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන් ජාණුස්සෝණී බ්‍රාහ්මණයා; “භාග්‍යවතුන් වහන්ස! බමුණෝ පොහොය දවස්හී ස්නානය කොට අලුත් වස්ත්‍ර හැඳ, අමු ගොමවලින් ගෙබිම පිරිමැද, නිල් කුසතණ අතුරා, වැලි ඉවුරු හා ගිනිහල් ගෙය අතර සයනය කරති. ඔවුහු රාත්‍රියෙහි තෙවරක් නැගිට දොහොත් මුදුනෙහි තබා ගිනි දෙවියාට නමස්කාර කරති. “පින්වත් ගිනි දෙවියනි! අප කළ පව් සෝදා හරින්නැයි” කියමින් ගිතෙල්වලින් හා වෙඬරු වලින් ගිනි දෙවියා පුදති. එදින රාත්‍රිය ගත වූ පසුව බමුණන්ට ආහාර පාන පුදා ඔවුන් සතුටු කරති. මෙය බමුණන්ගේ පව් සේදීමේ චාරිත්‍රයයි” යනුවෙන් ප්‍රකාශ කළේ ය.

ජාණුස්සෝණී බමුණාගේ කථාවට සවන් යොමුකළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ඉගැන්වීමෙහි පව් සෝදන ක්‍රමය එය නොවන බවත් ආර්ය විනයෙහි පව් සේදීම කවරේද? යන්නත් පැහැදිලි කරමින් කරුණු පැහැදිලි කළහ. අංගුත්තර නිකායේ දසක නිපාතයේ ජාණුස්සෝණී වග්ගයේ පළමු සූත්‍රයෙහි එන විවරණය අනුව පව් සේදීම යනුවෙන් අදහස් වන්නේ බාහිර ආගමික පිළිවෙතක් නොව, අභ්‍යන්තර මානසික පාරිශුද්ධත්වයයි. ඒ අනුව ආර්ය විනයෙහි පව් සේදීම යනුවෙන් අදහස් වන්නේ කයින් වන වැරැදි තුනත්, වචනයෙන් වන වැරදි හතරත්, සිතින් වන වැරදි තුනත් යන දස විධ අකුශල කර්ම කිරීමෙන් මෙලොව හා පරලොව වශයෙන් විඳීමට සිදුවන දුක්ඛ දායක ආදීනව ගැන සලකා බලා ඒවායින් වැළකීම යි. එය බමුණු දහමෙහි එන පරිදි බාහිර වස්තුවක් හෝ කෙනෙක් මගින් අත්පත්කරගන්නා පාරිශූද්ධියක් නොවේ. පුද්ගලයා විසින් ම සම්‍යග්දෘෂ්ටියෙහි පිහිටා ඇතිකරගන්නා අවබෝධයකි.

මේ අනුව බාහිර සංකේතයක් හෝ පුද්ගලයෙකුගේ පිහිට පැතීමෙන් අධ්‍යාත්මික පාරිශුද්ධත්වය අත්පත් කරගත නොහැකි ය. බුදුසමය බාහිර හා අභ්‍යන්තර පාරිශුද්ධත්වය යන දෙක ම අවධාරණය කරන ආගමික දර්ශනයකි. එයින් බාහිර පාරිශුද්ධත්වය කෙනෙකුට ඉතා පහසුවෙන් අත්පත්කරගත හැකිය. එහෙත් අභ්‍යන්තර පාරිශුද්ධත්වය එසේ නොවේ. එය ආත්ම අවබෝධය මත නුවණින් විමසා බැලීමෙන් ඇති කර ගත යුත්තකි. දේව වාදී ආගමික ඉගැන්වීම් මෙන් පව් සමා කිරීමක්, පව් සෝදා හැරීමක් ගැන බුදුසමයේ නො ඉගැන්වේ. පවින් වැළකීම හැර කරන ලද පව් සමා කිරීමක් නොදැක් වේ. එහෙත් කළ වරද ගැන නුවණින් විමසා එය මතුවට නොකර සිටීමට දරණ ප්‍රයත්නය ආයති සංවරය යනුවෙන් හැඳීන් වේ. එවැනි පිළිවෙතක් බුදුරදුන් විසින් හඳුන්වා දෙනු ලැබ තිබේ.

ඒ අනුව කවර අයෙකුට වුව තමා කළ වරද අවබෝධකරගෙන මතුවට එයින් වැළකී සිටිය හැකි ය. දරුණු ගණයේ අපරාධ සිදුකොට එයින් වැළකුණු දෙදෙනෙක් වශයෙන් අංගුලිමාල තෙරුන් හා අජාසත්ත රජු හැඳීන්විය හැකි ය. පුද්ගලයන් නවසිය අනූ නව දෙනෙකු ඝාතනය කළ අංගුලිමාල බුදුරදුන්ගේ අනුශාසනාව පරිදි ආයති සංවරයේ පිහිටා මතුවට වැරැදි කිරීමෙන් වැළකුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් පැවිද්දට ඇතුළත්ව සියලු කෙලෙස් ධර්ම ප්‍රහීණ කොට විමුක්තිය සාධනය කරගත හැකි විය. අජාසත් රජු ද තමා කළ වරද ගැන පසුතැවී ආයති සංවරයෙහි පිහිටීය. එහෙත් තම පියා ඝාතනය කිරීමෙන් සිදුකළ ආනන්තරිය පාප කර්මය නිසා විමුක්තිය සාධනය කරගත නොහැකි විය.

එහෙත් ආනන්තරිය පාප නොවන ඇතැම් අකුශල කර්ම සිදු කළත්, යම් දිනෙක වරද වටහාගෙන එයින් මිදී කුශල ප්‍රතිපදාවට අවතීර්ණය වන්නෙකුගේ පාපයේ බලය අවම කළ හැකි බව ලෝණඵල සූත්‍රයෙන් පැහැදිලි වේ. මේ අනුව සදාකාලික පව්කාරයෙකු පිළිබඳ ඉගැන්වීමක් බුදු දහමෙහි ඇතුළත් නොවන බව පැහැදිලි ය. කළ වරද වටහාගෙන නිවැරැදි පිළිවෙතට අවතීර්ණ වු සැනින් ඔහුගේ සිතිවිලි ක්‍රියාත්මක වන්නේ යහපත් දිසාවටය. චේතනා සකස් වන්නේ කුශල ප්‍රතිපදාවට අනුරූපීව ය. ඒ අනුව කුශල කර්ම ශක්තිය වර්ධනය වන්නට පටන් ගනී. බාහිර වශයෙන් කෙරෙන පිරිසුදු කිරීම් ආදියෙන් අභ්‍යන්තර අකුශල සහගත චේතනා පිරිසුදු කළ නොහැක්කේ ඒවා මනසට අයත් මනෝභාවයන් නිසයි. අකුශල චේතනාවලින් සිත පිරිසුදුකෙරෙන භාවනාව වැනි අධ්‍යාත්මික වැඩ පිළිවෙලක් එයට අවශ්‍ය වේ.

අධ්‍යාත්මික පාරිශුද්ධත්වය පුද්ගල බද්ධ වූවකි. තවත් කෙනෙකුට වෙනත් අයෙක් පාරිශුද්ධත්වයට පත් කළ නොහැකි ය. බුදුරදුන් මෙය ඉතා පැහැදිලිව ම දේශනා කර ඇති බව ධම්ම පදපාලියේ අත්ත වග්ගයේ නවවන ගාථාවෙන් ප්‍රකට වේ. එහි දැක්වෙන පරිදි පුද්ගලයා විසින් කරනු ලබන පාප ක්‍රියා හේතුවෙන් හෙතෙම අපිරිසුදු බවට පත් වේ. එසේම කෙනෙකු පිරිසුදු වන්නේ පව් නොකර හිඳීමෙන් ය. පිරිසුදු බව හා අපිරිසුදු බව තීරණය කරන්නේ පුද්ගලයා ම ය. වෙනත් අයෙකු නොවේ.

කෙනෙකුට තවත් අයෙක් පිරිසුදු කළ නොහැකිය. ධම්මපදයේ එන මේ අනුශාසනය බොහෝ බෞද්ධයෝ වටහාගෙන නැති බව ඔවුන්ගේ හැසිරීමෙන් පැහැදිලි වේ. අන්‍යයන්ගේ පිරිසුදු අපරිසුදු කම සොයමින්, විමසමින් ඒ ගැන කරුණු දක්වනු විනා තමන්ගේ පාරිශුද්ධත්වය ගැන අල්ප මාත්‍රයක්වක් උනන්දු නොවන අය කොතෙකුත් දක්නට ලැබේ. බුදුරදුන්ගේ අනුශාසනාව එය නොවන බව ධම්මපද ගාථාවෙන් සනාථ වේ. බුදුදහම බාහිර හා අභ්‍යන්තර පිරිසුදු බව යන දෙකම වැදගත් කොට සලකන අතර එයින් බාහිර පිරිසුදු කම මෙලොව ජීවිතයට පමණක් බලපාන අතර අභ්‍යන්තර පිරිසුදු බව යටතේ එන දස අකුශල ධර්මයන්ගෙන් වැළකීම දෙලොව අභිවෘද්ධිය පිණිස ම හේතුවේ. එම පිරිසුදු බව බාහිර පුද්ගලයෙක් හෝ දෙයක් වෙතින් ලබාගත නොහැකි අතර එහි වගකීම ඇත්තේ පුද්ගලයාට ම ය. එබැවින් පාරිශුද්ධත්වය උදෙසා බාහිර පිළිවෙත්වලට කාලය වැය නොකොට දස අකුශල ධර්මයන්ගෙන් සිත මුදවා ගැනීමට උත්සුක වීම ආර්ය විනයෙහි සැබෑ පවිත්‍රත්වය වේ.

 

ඉල් අමාවක පෝය


ඉල් අමාවක පෝය දෙසැම්බර් 06 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.16ට ලබයි.07 වනදා සිකුරාදා අපරභාග 12.55 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම දෙසැම්බර් 06 වනදා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය දෙසැම්බර් 15 වනදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 06

First Quarterපුර අටවක

දෙසැම්බර් 15

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk