UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 සතිපට්ඨාන භාවනාව- ධම්මානුපස්සනාව: ආයතන විදර්ශනාව

ධම්මානුපස්සනාව:

ආයතන විදර්ශනාව

ධම්මානුපස්සනාවේ නීවරණ සහ ස්කන්ධ පහ පිළිබඳව පෙර ලිපි මඟින් සඳහන් කළා. අද සඳහන් කරන්නේ ආයතන දොළහ පිළිබඳව යි. ආයතන නිර්දේශය චක්කායතන, සෝතායතන, ඝානායතන, ජිව්හායතන, කායායතන, මනායතන යනුවෙන් හයකි. රූපායතන, ශබ්ධායතන, ඝන්ධායතන, රසායතන, පොට්ඨබ්භායතන, ධම්මායතන ආදී බාහිර හයත් සමඟ සියල්ල දොළහක් වෙයි.

එවිට තම තමන්ගේ කෘතියෙහි ආයතනය ප්‍රයත්න කරන්නන් හෙවත් යෙදෙන්නන්ට ආයතන යනුවෙන් සඳහන් කරයි. ඇස ගැන සඳහන් කළොත්, එය රූප නිශ්පාදනය කරන බැවින් චක්ඛායතනය නම් වෙයි. යමක් කරණ කොට ගෙන චිත්ත , චෛතසික ධර්මයන් තම තමන්ගේ කෘතියෙහි යොදවනවා නම්, එම යෙදීම ආයතන නම් වෙයි. ආය යනු චිත්ත, චෛතසිකයන්ට නමකි. චක්ඛු - ආයතන වෙයි. එය දීර්ඝ බවට පමුණුවන ආයතන වන අතර ආයත යනු සසර දුකට නමකි. එනම්, දීර්ඝ සංසාර දුකට නමකි. එය ආයතනයන්ට හෙවත් සසර දුකට දීර්ඝත්වයට පමුණුවන්නෝ යමක් වේ නම්, එය ආයතන නම් වෙයි. පිනවීමෙන් ඇලීමෙන් , ගැටීමෙන් වාසය කරන නිසා සසර දිග් වෙනවා. ඒ සංසාර දිග්වන ක්‍රම දොළහකි. හොඳට වටහාගෙන පව් ඉවත් කර, පින් වැඩෙන ක්‍රමයකට යොමු විය යුතු යි. බුදු දහමේ ආයතන විදර්ශනාව ලෙස සඳහන් කරන්නේ එය යි. තම ශක්තිය තම බලය හොඳට යොදන්න පුළුවන්. ඇස යනු යමක් දැකීමට (රූප) අවශ්‍ය කරන දෙයක්. ඒ සඳහා චක්ෂු ප්‍රසාදය තිබිය යුතු යි. ඒ සඳහා රූප, ආලෝකය , මනසිකාරය තිබිය යුතු යි. නො එසේනම්, අපට රූපයක් දැකිය නො හැකි යි. අන්ධකාරයේ සිටියොත් රූප නො පෙනෙයි. දෑස් නො පෙනෙයි නම්, රූප නො පෙනෙයි. කල්පනාව නැතිනම්, රූප නො පෙනෙයි. එසේනම්, මේ කරුණු ටික අපට අවශ්‍යය යි. චක්ෂු ප්‍රසාදය, බාහිර රූපය, ආලෝකය, මනසිකාරය අවශ්‍ය කරනවා. එවිටයි අපට රූපයක් දැකගන්නට පුළුවන් වන්නේ.

ඇස- චක්ෂු ප්‍රසාදය, රූප – මනසිකාරය, ආලෝකය ආදී කරුණු පහ තිබීමෙන් රූපයක් දැක ගත හැකි යි. රූප ඕනෑම අවස්ථාවක ආලෝකයේ දී දැක ගන්නට පුළුවන්. නමුත් චක්ඛායතනය ද මුළුමනින් ම විනාශවී යයි. මොහොතක් පාසා ම සිඳී බිඳී යන බව වටහා ගත යුතු යි. එසේ ම ඇසට පෙනෙන රූප ද නිබඳව ම සිඳී බිඳී යයි. මොහොතක් පාසා ම ගෙවි ගෙවී යයි. ඒ නිසා අනිත්‍ය , දුක්ඛ, අනාත්ම ලක්ෂණත්‍රයට වටහා ගන්නට පුළුවන්. ඇස් අන්ධ වුණා යනු අකුසල කර්ම විපාකයක් ඵල දීම යි. ඇස් පෙනෙනවා නම්, කුසල විපාකය ඵල දීම යි. ඒ නිසා දැන දැන දෙනෙත් අන්ධ වන පාප කර්ම නො කරන්න. ඇස් පෙනීම ඇති කරන, බෙහෙත් ලබා දීම, කණ්ණාඩි ලබා දීම , කාච ලබා දීම ආදියෙන් ඇසේ කර්ම විපාක දුරු වෙලා, කුසල කර්ම විපාක මතු වෙයි. මේවා හොඳින් දැන කියාගෙන චක්ෂු ප්‍රසාදය හොඳට දියුණු කර ගන්න. චක්ෂු ප්‍රසාදය නිසා තණ්හාව, තරහව, පින්පව් දෙකම හට ගනියි. ඒ බව වටහාගෙන චක්ඛායතනය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. ඇසට පෙනෙන රූප මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. චක්ඛායතනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. රූපායතනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය දහස්වර මෙනෙහි කරන්න. වරක් දෙවරක් නොව එය දීර්ඝ වේලාවක් මෙනෙහි කරන්නට පුරුදු වන්න.

එසේම සෝතායතනය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න. කනට ඇසෙන්නේ ශබ්ද යි. ශබ්දායතනය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එම නිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය දහස්වර මෙනෙහි කරන්න. කන ඇසෙන්නේ නැහැ’යි යනු අකුසල කර්ම විපාකය පල දීමෙන් දෙසවන් බිහිරි වීම යි. කන ඇසෙනවා යනු කුසල විපාකයෙන් කන පිරිසුදුවට ඇසීම යි. මේ කාරණා දෙකම මෙනෙහි කරගෙන කොයි කාගේ වුණත්, කන විනාශයට පත්වන බව වටහා ගෙන හැකිතාක් විදර්ශනා ඥානය දියුණු කර ගන්න. මෙලෙස මෙනෙහි කිරීම සම්මසන ඥානය යි.

නාසිකාව එනම් ඝානායතනය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා ඝානායතනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න. නාසිකාවට අරමුණු වන්නේ ගඳ සහ සුවඳ යි. එනම් ඝානාරම්භනය යි. ඝානායතනය මම නොවෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා ඝානායතනය අනිත්‍ය යි , දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය දහස්වර මෙනෙහි කරන්න පුරුදු වන්න. එවිට ආයතන විදර්ශනාව සම්පූර්ණ වෙයි.

ජිව්හායතනය යනු දිව යි. ඒ නිසා ද පින් පව් රැස් වෙයි. ජිව්හායතනය රස තිත්ත තේරුම් බේරුම් කර ගනි යි. එය වටහාගෙන ජිව්හායතනය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා ජිව්හායතනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. දිවට දැනෙන රසායතනය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා රසායතනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය දහස්වර මෙනෙහි කරන්න. රස තිත්ත නොදැනේ නම්, එය අකුසල කර්ම විපාකයක් ඵල දීම යි. රස තිත්ත හොඳින් දැනේනම්, එය කුසල විපාකයක්. මේ ගැන වටහාගෙන දිව සහ රස ආරම්මණ දෙක වටහාගෙන මෙනෙහි කළ යුතු යි.

කායායතනය – කය එනම් සර්වාංගයම බැලූ විට හිස කෙස්වලට, මැරුණු සමට, නියපොතු අග ස්පර්ශය නො ද ැනෙයි. සර්වාංගයේ අනෙක් සෑම තැනක ම විඤ්ඤාණය දැනෙ යි. කායායතනය නිසා පින් , පව් දෙකම වැඩෙයි. කායායතනය සැප වේදනාවක දී හෝ දුක් වේදනාවක දී පාප ක්‍රියා හට ගනි යි. මධ්‍යස්ථව සිටිය හැකිනම් හොඳයි. එසේනම්, කායායතනය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි යනුවෙන් මෙනෙහි කර, කායායතනය අනිත්‍ය යි, ද ුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය දහස්වර මෙනෙහි කරන්න. කයට දැනෙන ස්පර්ශය පොට්ඨබ්බායතනය හෙවත් ස්පර්ශය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්මයි යනුවෙන් සිය දහස්වර මෙනෙහි කරන්න පුරුදු වන්න. එවිට කය පිළිබඳ ඇති ඇලීම ගැටීම තුරන් කර, හොඳ අවස්ථාවකට එළඹිය හැකි යි.

සිත එනම් මනායතනය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා මනායතනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. එයට ගොදුරු වන්නේ ධම්මායතනය යි. ධම්මායතනය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. ධම්මායතනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි.

ඇස, කන, නාසය, දිව, සිරුර ගැන ගැටලුවක් නැහැ. මනායතනය යනු සිත යි. ධර්මායතනය යනු ධර්ම සම්පත්තිය යි. ධම්මායතනයෙන් අදහස් කරන්නේ චෛතසික පනස් දෙක යි. සුඛම රූප දාසය යි, නිර්වාණය වූ ධර්ම හැටනවය ධම්මායතනය නම් වෙයි. එසේනම්, ධම්මායතනයට අයත් කොටස වැඩි යි. චෛතසික පනස් දෙකක් ද. රූ ප විසි අටෙන් සුඛම රූප දාසයක් ද, නිර්වාණය ද සියල්ල එකතු කළ විට පද හැට නවයකි. එය ධම්මායතනය නම් වෙයි. එය එකක් පාසා ම දැන කියාගෙන මෙනෙහි කළ යුතු යි. ධම්මායතනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, සිත අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. මෙනෙහි කරමින් ඉදිරියට යා යුතු යි.

චෛතසික පනස් දෙක එකක් පාසා ම මෙනෙහි කර, අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වටහා ගන්න. සුඛම රූප දාසය බලා එය ද අනිත්‍ය, දුක්ඛ , අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු යි. නිර්වාණය ද අනිත්‍ය , දුක්ඛ , අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු යි.

එසේනම්, ආයතන දොළහක් පිළිබඳව වටහාගන්න තිබෙනවා. දුකට හේතු වන සසර දිග් කරන නිසා මේවා ආයත නම් වෙයි. ඇස, කන, නාසය, දිව, සිරුර, සිත, තුළින් පින් පව් රැස් වෙනවා. එමගින් අපේ සාංසාරික ජීවිතය දික් වෙවී ගමන් කරනවා. එය නතර කර ගැනීම සඳහා ආයතන එකක් පාසා මෙනෙහි කර, අනිත්‍ය , දුක්ඛ , අනාත්ම වටහා ගත යුතු යි. එවිට සංසාර ගමනේ උපත නතර කළ හැකි යි. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් මාර්ග ඵල අවස්ථාවට එළඹිය හැකි යි. මේ තත්ත්වයට පත් වන්න ලෙහෙසි පහසු නැහැ. තම දැනුම, පිරිසුදු සිත, කරදර පීඩා බාධක වලින් ජය ගන්නට හැකියාව තිබිය යුතු යි. මේ උත්තරීතර අවස්ථාවට අපේ දහම් දැනුමත් දියුණු කරගෙන චිත්ත, චෛතසික ධර්ම වටහාගෙන ඉදිරියට යන්න.

 

ඉල් අමාවක පෝය


ඉල් අමාවක පෝය දෙසැම්බර් 06 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.16ට ලබයි.07 වනදා සිකුරාදා අපරභාග 12.55 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම දෙසැම්බර් 06 වනදා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය දෙසැම්බර් 15 වනදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 06

First Quarterපුර අටවක

දෙසැම්බර් 15

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk