UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හැට වන වසර සමරන විදුරුපොල ශ්‍රී පියතිස්ස පිරිවෙන් විද්‍යායතනය

හැට වන වසර සමරන විදුරුපොල ශ්‍රී පියතිස්ස පිරිවෙන් විද්‍යායතනය

වැලිමඩ – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කැප්පෙටිපොල නගරය පසු කොට මද දුරක් ගෙවා යද්දී මාර්ගයේ වම්පසට වන්නට ගවරම්මාන නම් වූ සුන්දර කඳුවැටිය පාමුල පිහිටි ශ්‍රී පියතිස්ස පිරිවෙන් විද්‍යායතනය දශක ගණනාවක් පුරා අප රටට උගතුන් බිහිකළ ප්‍රකට විද්‍යස්ථානයක් වග නො රහසකි. පියතිස්ස විදුබිම පැරැණි, පිරිවෙන් අධ්‍යාපනයත් , නූතන විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් ලබාදෙමින් බෞද්ධ ධර්මය ආරක්ෂා කරන සසුන්කෙත බබළවන, ජාතියට ශාන්තිය ළඟා කරන කලානුරූපීව හා දේශානුරූපීව වියතුන් බිහි කරන විසිවන සියවසේ උඩරට අමරපුර නිකාය කේන්ද්‍ර කරගනිමින් ඌවේ බිහි වූ ප්‍රමුඛතම විද්‍යස්ථානය යි.

ඌව වෙල්ලස්ස විමුක්ති අරගලයෙන් පසු ඉංගී‍්‍රසින්ගේ තාඩන පීඩන මධ්‍යයේ අධ්‍යාපනය අතින් ඉතා දුර්වලව පැවැති උඩරට ප්‍රදේශයේ ගිහි පැවිදි උගත් පරපුරක් බිහි කිරීම අරමුණූ කොට ගෙන බිහි වූ පිරිවෙන් අධ්‍යාපනික මධ්‍යස්ථාන අතුරින් විදුරුපොල ශී‍්‍ර පියතිස්ස පිරිවෙන් විද්‍යායතනයට වැදගත් ස්ථානයක් හිමි වේ. හුනුවල නන්ද නා හිමියන්ගෙන් ඇරැඹි විදුරුපොල විහාර පරපුර භාෂා ශාස්ත්‍රිය කටයුතුවල නිමග්න වු තෙරවරුන් රැසක් බිහිකළ පරපුරකි. අමරපුර නිකායේ ඌව උඩුකිඳ උඩ පළාත විදුරුපොල විහාරයේ එදා මෙදා තුර බිහි වූ අසමසම ශාස්ත්‍රඥයා බවට පත්වන්නේ විදුරුපොල ශ්‍රී පියතිස්ස නා හිමිපාණන් වහන්සේ ය. විසිවන සියවසේ ලංකාවේ අසදෘශ මහා පාලි පඬිවරයා බවට පත්වෙමින් ඉතා වටිනා ශාස්ත්‍රීය පර්යේෂණ කෘති රචනා කළ පියතිස්ස මහ නා හිමියෝ ලක්දිව ප්‍රාචීන භාෂා ශාස්ත්‍රයේ සිළුමිණ බවට පත් වෙමින් දෙස් විදෙස් උගතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූහ.

විසිවන සියවසේ උඩරට බෞද්ධ පුනර්ජීවනයට මහත් සේවයක් කළ විදුරුපොල ශ්‍රී පියතිස්ස හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය වන නුවරඑළියේ විමලබුද්ධි මහ නා හිමියන් විසින් 1958 දෙසැම්බර් 26 වන දින විදුරුපොල ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ දී සිය ගුරුදේවෝත්තමයන්ගේ ශ්‍රී නාමයට ගෞරවයක් වශයෙන් බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නා හිමියන්ගේ ඇරැයුමෙන් විදුරුපොල ශ්‍රී පියතිස්ස නමින් පිරිවෙන ආරම්භ කරන ලදී. ඌව ප්‍රදේශයේ ධර්ම දූතයෙකු වශයෙන් ද, ලේඛකයෙකු හා කවියෙකු වශයෙන් ද ප්‍රකට විමලබුද්ධි මහ නා හිමියෝ උඩරට අමරපුර මහා නිකායේ පස්වන මහා නායක ධුරය ද හෙබවූහ.

උඩරට ප්‍රදේශයේ ධර්ම ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ඇති කිරීමට සමත් භාෂා ශාස්ත්‍රීය උගතුන් බිහි කිරීමට ඉන් ලැබුණු දායකත්වය අමිල ය. 1958 මූලික පිරිවෙනක් ලෙස ඇරැඹි ශ්‍රී පියතිස්ස පිරිවෙන ආරම්භක ආචාර්ය මණ්ඩලය ගණනින් හයකි. ඔවුන් අතුරෙන් අල්ලේතොට ධම්මකිත්ති විදුරුපොල ධම්මානන්ද හා දික්කාපිටියේ නන්ද යන නාහිමිවරු පැවිදි ආචාර්ය මණ්ඩලයට අයත් වූහ. මුල් ම කෘත්‍යාධිකාරීන් වහන්සේ ලෙස විමලබුද්ධි නා හිමියෝ කටයුතු කළහ. ගිහි පැවිදි සිසුන් විසිහතර දෙනෙකුගෙන් ඇරැඹි පිරිවෙනට නව නේවාසිකාගාරයක් ද ඉදිකර දෙමින් එහි භෞතික දියුණුව ද ඇති කිරීමට උන්වහන්සේ කටයුතු කළේ නොමද උත්සාහයකිනි.

විමලබුද්ධි මහ නා හිමියන්ගෙන් පසුව උන්වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වූ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල, දෙමළ ධර්ම දේශකයන් වහන්සේ නමක් ලෙස කටයුතු කළ ඇල්ලේතොට විමලකිත්ති හිමියෝ 1958 වර්ෂයේදී ශ්‍රී පියතිස්ස පිරිවෙනට දෙවන පරිවේනාධිපතීන් වහන්සේ ලෙස කටයුතු ආරම්භ කළහ. වසර දෙකකට පසු විදුරුපොල ධම්මානන්ද හිමියෝ පරිවේණාධිපතීන් වහන්සේ වශයෙන් පත් වූ අතර උන්වහන්සේගේ කාර්යශූරත්වය හේතු කොටගෙන 1964 වර්ෂයේ දී ජ්‍යෙෂ්ඨ පිරිවෙනක් ලෙස පියතිස්ස පිරිවෙන අබිමන් ලැබී ය. ධම්මානන්ද හිමියන්ගේ අවධිය ශී‍්‍ර පියතිස්ස පිරිවෙනේ කීර්තිය ප්‍රදේශය පුරා පැතිර ගිය අවධියක් ලෙස ප්‍රකට ය.

1968 වර්ෂයේ දී විල්සන් බංගලාව විදුරුපොල ශ්‍රී පියතිස්ස පිරිවෙනට මිලදී ගැනීමට හැකිවීම ලක්දිව පිරිවෙන් ක්ෂේත්‍රයේ සුවිශේෂි ජයග්‍රහණයකි. මෙම කාර්ය සාධනයෙහි ලා විදුරුපොළ ධම්මානන්ද අනු නා හිමිපාණන් වහන්සේගේ කැපවීම ප්‍රසාද ජනක ය. එවක් පටන් ගවරම්මාන පැරැණි විල්සන් බංගලාව නම් වූ වත්මන් පියතිස්ස බෞද්ධ මධ්‍යස්ථානය තුළ ශ්‍රී පියතිස්ස පිරිවෙන පවත්වාගෙන යයි. ධම්මානන්ද අනු නා හිමියන්ගෙන් පසු දික්කාපිටියේ නන්ද අනු නා හිමියෝ පරිවෙනාධිපතිවරයා ලෙස පත් වූහ.

1979 වර්ෂයේ දී විමල බුද්ධි මහ නා හිමියන්ගේ අපවත් වීමෙන් පසු ශ්‍රී පියතිස්ස පිරිවෙනේ කෘත්‍යාධිකාරී වහන්සේ ලෙස උඩරට අමරපුර මහනිකායේ මහා ලේඛකාධිකාරි බඹරපනේ සීලවංශ හිමියෝ පත් වූහ. මෙකල ගවරම්මාන බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධව පිරිවෙන් ශාලාවක් ගොඩනැංවීමත්, පුස්තකාලයක් ස්ථාපිත කිරීමත් උන්වහන්සේගෙන් සිදුවූ විශේෂ සේවයකි. සීලවංශ නා හිමියන්ගෙන් අනතුරුව බඹරපනේ මැදිපොකුණ ශී‍්‍ර ධර්මවිජයාරාමාධිපතිව වැඩ සිටි ධර්මාචාර්ය බඹරපනේ චුන්ද හිමියෝ 1981 කෘත්‍යාධිකාරින් වහන්සේ ලෙස පත්වූහ.

1971 විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙක් වූ විමලබුද්ධි නා හිමියන්ගේ ශිෂ්‍ය රත්නයක් වූ චන්දජෝති නා හිමියන් 1976 දී ශී‍්‍ර පියතිස්ස පිරිවෙනේ ආචාර්යවරයෙක් ලෙස සේවයට එක්විණි. වසරකට පසු පිරිවෙනෙන් ඉවත් ව පාසල් පද්ධතියේ ප්‍රකට සිංහල ගුරුවරයෙක් ලෙස කටයුතු කළ උන්වහන්සේ සිය ගුරුදේවෝත්තම දික්කාපිටියේ නන්ද අනු නා හිමියන්ගේ උපදේශයන් මත 1988 දී ශි‍්‍ර පියතිස්ස පිරිවෙනේ පරිවේණාධිපති ධුරයට පත් වූ හ. වර්තමානයේ කෘත්‍යාධිකාරි තනතුර හොබවන උන්වහන්සේට පිරිවෙනේ පරිපාලන කටයුතු සිදුකරගෙන යෑමේ දී නියෝජ්‍ය පරිවේණාධිපති කළුගහකඳුරේ වජිරජෝති හිමි. සීතාඑළියේ ධම්මානන්ද හිමි සහ අලවතුගොඩ පුඤ්ඤරතන යන හිමිවරු විශාල දායකත්වයක් ලබා දුන්හ. වසර හතළිස් දෙකක් පුරාවට ශී‍්‍ර පියතිස්ස පිරිවෙනේ නායකත්වය උසුලමින් එහි භෞතික හා අධ්‍යාපනික සංවර්ධනය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ නුවර එළියේ චන්දජෝති නා හිමියෝ වර්තමාන උඩරට අමරපුර මහානිකායේ මහානායක ධුරයෙන් හා ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ උප සභාපති ධූරයෙන් පිදුම් ලැබීම ද ශී‍්‍ර පියතිස්ස විදු මෑණියන් ලැබූ මහත් භාග්‍යයකි.

 

ඉල් අමාවක පෝය


ඉල් අමාවක පෝය දෙසැම්බර් 06 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.16ට ලබයි.07 වනදා සිකුරාදා අපරභාග 12.55 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම දෙසැම්බර් 06 වනදා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය දෙසැම්බර් 15 වනදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 06

First Quarterපුර අටවක

දෙසැම්බර් 15

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk